Friday, July 01, 2016

24. වෙස්සභූ බුදුන් වහන්සේ

සිඛී බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි දෙවන අන්තර කල්පයේ අසම වූ දිනූ අදහස් ඇති ලොව දිනූ වෙස්සභූ නම් ලෝනා සමිඳු පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව අනූපම නුවර රජ කුලයෙහි මනා ප්‍රීතියට පත් සුප්පතීත නම් ක්‍ෂත්‍රීය රජතුමාට දාව සිල්වත් වූ යසවතී නම් දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් අනූපම උයන්හි මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු “උපදිද්දී ම ජනයා සතුටු කොට ඍෂභ නාද කළහ. එහෙයින් වසභ නාද හේතුවෙන්” වෙස්සභූ යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට සුචී, සුරුචී, රතිවඩ්ඪන නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තිස්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු හයදහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ සුචිත්තා දේවියට සුප්පබුද්ධ කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක සිවිකා යානයකින් (රන්සිවිගෙයකින්) උයන දැකීමට ගොස් දෙවියන් දුන් කසාවත් ගෙන පැවිදි වූහ. සැත්තෑදහසක් උන්වහන්සේ අනුව පැවිදි වූහ. සමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින සුචිත්ත නියම්ගම දෘෂ්‍යමාන කයින් සිරිවඩ්ඪනාව දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි නරින්‍ද නම් නා රජු දුන් කුස තණ මිටි අට ගෙන සාල (සල්) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී හතළිහ රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් සිය බාල සොහොයුරු සෝණ කුමරුගේ ද උත්තර කුමරුගේ ද හේත් සම්පත් දැක අහසින් වැඩ අනූපම නගර සමීපයෙහි අරුණ උයන්හි බැස දෙකුමරුවන් කැඳවා පිරිවර මැද දම්සක් පැවැත්වූහ. එහිදී අසූ කෙළ දහසකට ධර්‍මාභිසමය විය.
මහර්ෂි වූ වෙස්සභූ බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ. අසූදහසක් භික්‍ෂූන්ගේ පළමුවන රැස්වීම විය. සැත්තෑදහසක් භික්‍ෂූන්ගේ දෙවන රැස්වීම විය. ජරා මරණ ආදී භය නැති කළ හැටදහසක් භික්‍ෂූන්ගේ තුන්වන රැස්වීම විය.
එකල අප මහා බෝසතාණෝ සරභවතී නුවර පරම ප්‍රියදර්‍ශණ වූ සුදර්‍ශණ නම් රජව වෙස්සභූ ලෝකනායකයන් වහන්සේ සරභ නගරයට වඩින කල්හි උන්වහන්සේගේ බණ අසා පහන් හදින් දෑත් එක් කොට, බබළන ජලජ නිමල අවිකල මානෙල් කැකුළක් වන් දෑඟිලි හිස තබා බුදුපාමොක් මහසඟනට මහා චීවර දානයක් දී එහි ම භාග්‍යවතුන් වහන්සේගේ වාසය පිණිස ගඳකිළියක් කොට එය වට කොට විහාර දහසක් කරවා සියලු සම්පත් බුද්ධ ශාසනයට පුද කොට වෙස්සභූ බුදුන් වෙත මහණ ව ආචාර ගුණ සම්පන්න ව තෙළෙස් ධූත ගුණයෙහි නිරත ව බෝධිසම්භාර පිරික්සීම සඳහා ඇඳුණෝ බුද්ධශාසනාභිරත ව විසූහ. ඒ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ ද මෙතෙම මෙයින් කල්ප තිස් එකකට මත්තෙහි ගෞතම නමින් බුදුවන බවට විවරණ දුන් සේක.
ඒ වෙස්සභූ සර්‍වඥයන් වහන්සේට සෝණ හා උත්තර දෙනම අගසවුවෝ ය. උපස්ථායක උපසන්ත නම් භික්‍ෂුව විය. දාමා හා සමාලා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. සොත්‍ථික හා රම්ම යන දෙදෙන උපස්ථායකයෝ ය. ගෝතමී හා සිරිමා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය හැට රියන් විය.
ඒ කාලයෙහි අවුරුදු හැටදහසක් ආයුෂ ඇත්තේ ය. ඒ තාක් කල් වැඩ සිටිමින් උන්වහන්සේ බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතෙර කළ සේක. ධර්‍මය පැතිර වීම කොට, මහජනයාට බෙදා, දහම් නමැති නැව තබා, ශ්‍රාවකයින් සහිතව ඒ බුදුරජ තෙම පිරිනිවී සේක. දැක්ක යුතු සියලු පිරිවර සහිත බුදුරජ තෙමේ ද, විහාරය ද, ඉරියව් ද යන සියල්ල අතුරුදන් වී. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?
ශාස්තෘ වූ ඒ වෙස්සභූ ජිනරාජ තෙම ඛේම නම් ආරාමයේ දී පිරිනිවී සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරීම වී ය.

මෙ කපින් කල්ප තිස්එකකට පෙර මණ්ඩ නම් කල්පයේ දෙවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය අනූපම නුවර
ගෝත්‍රය කොණ්ඩඤ්ඤ
ජාතිය ක්‍ෂත්‍රීය
පියා සුප්පතීක ක්‍ෂත්‍රීය රජතුම
මව යසවතී දේවිය
ප්‍රාසාදත්‍රය 1. සුචී 2. සුරුචී 3. රතිවඩ්ඪන
අග්‍රමහේෂී සුචිත්තා දේවිය
පුත්‍රයා සුප්පබුද්ධ කුමරු
අගාරවාස අවුරුදු හයදහසයි (6,000)
අභිනිෂ්ක්‍රමණය සිවිකා යානය (රන්සිවිගෙය) කින් නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස හයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු සුචිත්ත නියම්ගම සිරිවඩ්ඪනාව
කුස තණ නරින්‍ද නාරජු
බෝධිය සාල (සල්)
ධම්සක් දෙසීම අරුණ ආරාමයෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් සෝණ තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් උත්තර තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් දාමා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් සමාලා තෙරණිය
අග්‍ර උපස්ථායක උපසන්තා භික්‍ෂුව
උපස්ථායකයෝ සොත්‍ථිත, රම්ම
උපස්ථායිකාවෝ ගෝතමී, සිරිමා
ආයු ප්‍රමාණය අවුරුදු හැටදහසයි. (60,000)
පරිනිර්වානය උසභවතී නුවර ඛේමාරාමයෙහි
බෝසතාණෝ සුදර්ශන නම් රජව විවරණ ලැබීය

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment