Friday, July 01, 2016

21. ඵුස්ස බුදුන් වහන්සේ

තිස්ස බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි දෙවන අන්තර කල්පයේ දෙවි මිනිසුන්ගේ අනුශාසක වූ, තමාට වැඩි උතුමෙක් නැති හෙයින් අනුත්තර වූ, උපමා රහිත හෙයින් අනූපම වූ, අසමසම වූ ඵුස්ස නම් ශාස්තෘන් වහන්සේ පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව කසී නුවර රජ කුලයෙහි ජයසේන ක්‍ෂත්‍රීය රජතුමාට දාව සිරිමා දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් සිරිමා උයනෙහි මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු ඵුස්ස යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට ගරුළපක්ඛ, හංස, සුවණ්ණහාර නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තිස්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු හයදහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ කිසාගෝතමී දේවියට අනූපම කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක සරසන ලද ඇත්කඳ මත නැගී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. කෙළක් දෙන උන්වහන්සේ අනුව පැවිදි වූහ. සමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින එක්තරා නුවරක එක්තරා සිටුවරයකුගේ සිරිවඩ්ඪා නම් සිටුදූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා ඇට්ටේරිය වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි සිරිවඩ්ඪ නම් තවුසා දුන් කුස තණ මිටි අට ගෙන නෙල්ලි (ඇඹල) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී තිස්අට රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් වහන්සේ සමග එකට පැවිදි වූ කෙළක් භික්‍ෂූන්ගේ හේතු සම්පත් දැක අහසින් වැඩ සංකස්ස නුවර ඉසිපතන මිගදායෙහි ධම්සක් දෙසූහ. එහිදී කෙළ ලක්‍ෂයක් දෙනාට ධර්‍මාභිසමය විය.
මහර්ෂි වූ ඵුස්ස බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ. අප මහබෝසතාණෝ ඒ කාලයේ අරිමන්‍ද නුවර විජිතාවි නම් රජව ඵුස්ස බුදුරජාණන්ගෙන් බණ අසා පැහැද උන්වහන්සේට මහ දන් පුදා මහා රාජ්‍යය අතහැර භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි ව තුන්පිටකය ඉගෙන ත්‍රිපිටකධාරී ව මහජනයාට ධර්‍මය දේශනා කළ සේක. සීල පාරමිතාව ද පිරූහ. ඒ ඵුස්ස භාග්‍යවතුන් වහන්සේ ද මෙයින් දෙයානූවන කපින් මතු මෙතෙම ගෞතම නමින් බුදු වන්නේ යැයි විවරණ දුන් සේක.
පුරුෂෝත්තම ඵුස්ස බුදුන්ට සුරක්ඛිත හා ධම්මසේන දෙනම අගසවුවෝ ය. උපස්ථායක සභීය නම් භික්‍ෂුව විය. චාලා හා උපචාලා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. ධනඤ්ජය හා විසාඛා යන දෙදෙන උපස්ථායකයෝ ය. පදුමා හා නාගා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය පනස්අට රියන් විය. ඒ කාලයෙහි අවුරුදු අනූදහසක් ආයුෂය ඇත්තේ ය. උන්වහන්සේ එතෙක් කල් වැඩ සිටිමින් බොහෝ දෙනා බව සයුරෙන් එතෙර කළ සේක. අපමණ යසස් ඇති ඒ ශාස්තෘන් වහන්සේ ද, බොහෝ සත්වයන්ට අවවාද කොට මහජනයා සසරින් එතෙර කොට, ශ්‍රාවකයන් සහිතව පිරිනිවී සේක.
ශාස්තෘ වූ ඵුස්ස ජිනරාජ තෙම කුසිනාරාවෙහි ශ්වේතාරාමයෙහි පිරිනිවී සේක. ඒ ඒ පෙදෙස්හි උන්වහන්සේගේ ධාතු පැතිරීම විය.

මෙ කපින් කල්ප අනූදෙකකට පෙර මණ්ඩ නම් කල්පයේ දෙවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය කශ්සි නුවර
ජාතිය ක්‍ෂත්‍රීය
පියා ජයසේන ක්‍ෂත්‍රීය රජතුම
මව සිරිමා දේවිය
ප්‍රාසාදත්‍රය 1. ගරුළ 2. හංස 3. සුවණ්ණ
අග්‍රමහේෂී කිසාගෝතමී දේවිය
පුත්‍රයා අනූපම කුමරු
අගාරවාස අවුරුදු හයදහසයි (6,000)
අභිනිෂ්ක්‍රමණය ඇතුපිටි නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස හයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු සිරිවඩ්ඪා සිටුදූ
කුස තණ සිරිවඩ්ඪ තාපසය
බෝධිය නෙල්ලි (ඇඹ්ල)
ධම්සක් දෙසීම සංකස්ස නුවර ඉසිපතන මිග්දායෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් සුරක්ඛිත තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් ධම්මසේන තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් චාලා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් උපචාලා තෙරණිය
අග්‍ර උපස්ථායක සභීය භික්‍ෂුව
උපස්ථායකයෝ ධනඤ්ජය, විසාඛා
උපස්ථායිකාවෝ පදුමා, නාගා
ආයු ප්‍රමාණය අවුරුදු අනූදහසයි. (90,000)
පරිනිර්වානය කුසිනාරාවෙහි සේතාරාමයෙහි
බෝසතාණෝ විජිතාවී නම් ක්‍ෂත්‍රීය රාව විවරණ ලැබීය

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment