Friday, July 01, 2016

08. රේවත බුදුන් වහන්සේ

සුමන බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ අනූදහසක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි එක් අන්තර කල්පයකට පසු උපමා රහිත, සමාන කෙනෙක් නැති, අසම වූ, උතුම් වූ, පස්මරුන් දිනූ රේවත නම් තථාගත තෙම පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව සකල ධන ධාන්‍යයෙන් සපිරි සුධඤ්ඤවතී නුවර රජ කුලයෙහි සකලාලංකාර සමලංකෘත අපමණ පිවිතුරු පිරිවර පිරි, සිරිසැපතින් නිරවුල් සකල සමෘද්ධියෙන් විසල් විපුල නම් ක්‍ෂත්‍රීය රජතුමාට දාව සුපිපි නෙතුපුලින් සශ්‍රීක සුසිනිඳු මුවකමලාකර ශෝභා ඇති රුසිරු මනෝහර ගුණගණයෙන් සුවිසල් විපුලා නැමති දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් සිනේරුවෙන් බස්නා රනහංස රාජයෙකු මෙන් මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු රේවත යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට සුදස්සන, රතනග්ඝි හා ආවේල නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තිස් තුන්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ ප්‍රත්‍යුපස්ථාන හැමදා විය. උන්වහන්සේ අවුරුදු හයදහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ සුදස්සනා දේවියට වරුණ කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක නන්පැහැ උතුම් සළු හැද පොරවා මිණිකොඬොල් පැලඳ පරම සුවඳ කුසුමින් සැරසී සරාකල සඳ මෙන් තරු පිරිවැරූ චන්‍ද්‍රයා මෙන් දෙව්ගණ පිරිවැරූ ශක්‍රයා මෙන් බඹගණ පිරිවැරූ මහබඹු මෙන් මහත් සිව්රඟ සේනා පිරිවරා ආජන්‍ය රථයකින් අභිනිෂ්ක්‍රමණය කොට දෙවියන් දුන් කසාවත් හැද පැවිදි වූහ. උන්වහන්සේ අනුව කෙළක් පුරුෂයෝ පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ සත්මසක් ප්‍රධන් වඩා වෙසක් පොහෝදින සාධුදේවී නම් සිටුදූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි වරුණීන්ධර නම් ආජීවකයන් දුන් කුස තණ මිටි අට ගෙන නා රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පනස්තුන් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් සමඟ පැවිදි වූ කෙළක් භික්‍ෂූන්ගේ හේතු සම්පත් දැක අහසින් අවුත් වරුණාරාමයෙහි බැස ධම්සක් දෙසූහ. එහිදී කෙළක් දෙනා අර්හත්වයෙහි පිහිට වූහ.
සනරාමර තිලොවග මුනිඳු රේවත බුදුන් හට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ.
අප මහා බෝසතාණෝ ඒ කාලයෙහි අතිදේව නම් බමුණෙක් වී ශාස්තෘ ධර්‍ම දේශනාව අසා සරණ සීලයේ පිහිටියේ පැහැදී අතුරු සළුව පූජා කළේ ය. ශාස්තෲන් වහන්සේ බෝසතුන් මතු බුදු වන්නේ යැයි විවරණ දුන් සේක.
ඒ රේවත ජිනරාජයන් හට වරුණ හා බ්‍රහ්මදේව යන දෙනම අගසවුවෝ ය. උපස්ථායක සම්භව නම් භික්‍ෂුව විය. භද්දා හා සුභද්දා යන දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. පදුම හා කුඤ්ජර යන දෙදෙන උපස්ථායකයෝ ය. සිරිමා හා යසවතී යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය අසූ රියන් විය. සියලු සංස්කාරයෙහි අනිත්‍යභාවය ප්‍රකට කරමින් අවුරුදු හැටදහසක් ආයු ගෙවා කීර්තිය දරන ඒ රේවත මහා මුනිඳු තෙම මහා සාර උයනෙහි පිරිනිවී සේක. ඒ ඒ ප්‍රදේශයන්හි ධාතු පැතිර වීම විය.

මෙ කපින් දෙයාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සාරමණ්ඩ නම් කල්පයේ තුන්වන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය සුධඤ්ඤවතී නුවර
ජාතිය ක්‍ෂත්‍රීය
පියා විපුල ක්‍ෂත්‍රීය රජතුමා
මව විපුලා දේවිය
ප්‍රාසාදත්‍රය 1. සුදස්සන 2. රත්නග්ඝි 3. ආවේල
අග්‍රමහේෂී සුදස්සනා දේවිය
පුත්‍රයා වරුණ කුමරු
අගාරවාස අවුරුදු හයදහසයි (6,000)
අභිනිෂ්ක්‍රමණය ආජන්‍යරථයකින් නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස හතක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු සාධුදේ සිටුදූ
කුස තණ වරුණීන්ධර ආජීවක
බෝධිය නා
ශරීර රශ්මිය යොදුනක් පමණ පැතිර සිටියේය
ධම්සක් දෙසීම වරුණාරාමයේහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් වරුණ තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් බ්‍රහ්මදේව තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් භද්දා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් සුභද්දා තෙරණිය
අග්‍ර උපස්ථායක සම්භව භික්‍ෂුව
උපස්ථායකයෝ පදුම, කුඤ්ජර
උපස්ථායිකාවෝ සිරිමා, යසවතී
ආයු ප්‍රමාණය අවුරුදු හැටදහසයි. (60,000)
පරිනිර්වානය මහා සාර උයනෙහි
බෝසතාණෝ අතිදේව නම් බ්‍රහ්මණව විවරණ ලැබීය

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment