Friday, July 01, 2016

09. සෝභිත බුදුන් වහන්සේ

රේවත බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන කාලයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි එක් අතුරුකපකට පසු එකඟ වූ සන්හුන් සිත් ඇති, අසම වූ සෝභිත නම් ලෝහිමි බුදුරජ තෙම පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන් විසින් අයදිනා ලදුව දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව සුධම්මා නුවර රජ කුලයෙහි සුධම්ම ක්‍ෂත්‍රීය රජතුමාට දාව සුධම්මා දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් මේඝ පටලයෙන් නික්මී පුන්සඳ මෙන් සුධම්ම උයනෙහි දී මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු සෝභිත යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට කුමුද, කලීර, පදුම නම් රමණීය ප්‍රසාද තුනක් විය. දසදහසක් අවුරුදු ගිහිගෙයි වැස සැත්තෑදහසක් නළඟනන්ට නායක අගමෙහෙසි මඛිලා දේවිය කුස සීහ නම් කුමරු උපන් කල්හි සතර පෙර නිමිති දැක සංවේගයට පැමිණ මාලිගයෙහි දී ම පැවිදි ව එහි ම ආනාපානසති සමාධිය වඩා දැහැන් වඩා සතියක් එහි ම ප්‍රධන් වැඩූහ. ඉක්බිති මඛිලා දේවිය පිදූ පරම මධුර මී කිරිබත වළඳා අබිනික්මනට සිත් ඉපදූහ. සිතත් සමග උන්වහන්සේගේ සුධම්ම රජ මාලිගය එතැනින් උඩට නැගී ගුවන්තල බබුළුවමින් අහසේ හිරු මෙන් ද සරාකල සඳමඬල මෙන් ද නාටිකාංගනාවන්ගේ මිහිරි ගායනාවෙන් ද ශෝභමාන ව උතුම් දිව්‍ය සේනාවක් මෙන් ගොස් අට අසූ රියන් උස නාරුක මැදි කොට බැස බිම පිහිටියේ ය. නාටිකාංගනාවෝ පහයෙන් බැස ගියහ. මහා පුරුෂයාණෝ මහජනයා පිරිවරා ගෙන ම සවස් කාලයෙහි පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් සිය සුළුමව පුත් බාල සොහොයුරු අසම කුමරු ද සුනෙත්ත කුමරු ද දැක මේ හේතු සම්පත් ඇති දෙකුමරහු ගැඹුරු නිපුණ දහම් අවබෝධ කිරීමට සමත් වෙති. ඔවුන්ට පළමු දහම් දෙසන්නෙමි නම් මැනවැයි සිතා අහසින් වැඩ සුධම්ම උයන්හි බැස උයන්පල්ලා ලවා දෙකුමරුන් කැඳවා පරිවාරය සමග ඔවුන් පිරිවරා මහජනයා මධ්‍යයෙහි උතුම් වූ ධම්සක් දෙසූහ. එහිදී ගණනින් කිව නො හැකි අපමණ සත්වයෝ දහම් අමාවෙන් සැනසූහ.
තිලෝනා මුනි සෝභිත මුනිඳුන් හට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ.
එකල අප මහා බෝසතාණෝ සුජාත නම් බමුණෙක් වී බුදුන් සරණ ගොස් මහදන් දුන්හ. සෝභිත බුදුහු ද මෙතෙම අනාගතයේ ගෞතම නමින් බුදු වන්නේ යැයි ප්‍රකාශ කළ සේක.
ඒ සෝභිත ජිනරාජයන් හට අසම හා සුනෙත්ත දෙනම අගසවුවෝ ය. උපස්ථායක අනෝම නම් භික්‍ෂුව විය. නකුලා හා සුජාතා යන දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. රම්ම හා සුදත්ත යන දෙදෙන උපස්ථායකයෝ ය. නකුලා හා චිත්තා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය පනස්අට රියන් විය.
ඒ කාලයෙහි අවුරුදු අනූදහසක් ආයුෂය පවතී. ඒ තාක් කල් වැඩසිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතෙර කළ සේක. ඒ සෝභිත බුදුරජහු සෙසු ජනයා කෙරෙහි අවවාද ද, අනුශාසනා ද දී, ගින්නක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිතව පිරිනිවී සේක. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද? හිස් වූවා ම ය. සම්බුද්ධයන් වහන්සේ සීහාරාමයේ දී පිරිනිවී සේක. ඒ ඒ පෙදෙස්හි ධාතු විසිරුණහ.

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා මෙ කපින් දෙයාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සාරමණ්ඩ නම් කල්පයේ හතරවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය සුධම්මා නුවර
ජාතිය ක්‍ෂත්‍රීය
පියා සුධම්ම ක්‍ෂත්‍රීය රජතුමා
මව සුධම්මා දේවිය
ප්‍රාසාදත්‍රය 1. කුමුද 2. කලීර 3. පදුම
අග්‍රමහේෂී මඛිලා දේවිය
පුත්‍රයා සීහ කුමරු
අගාරවාස අවුරුදු දහදහසයි (10,000)
අභිනිෂ්ක්‍රමණය ප්‍රාසාදයෙන්ම නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස හතරක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු මඛිල අගමෙහෙසිය
බෝධිය නා
ධම්සක් දෙසීම සුදම්ම උයනේදී
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් අසම තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් සුනෙත්ත තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් නකුලා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් සුජාතා තෙරණිය
අග්‍ර උපස්ථායක අනෝම භික්‍ෂුව
උපස්ථායකයෝ රම්ම, සුදත්ත
උපස්ථායිකාවෝ නකුකා, චිත්තා
වැඩ විසූ විහාර සෝතරාමය
ආයු ප්‍රමාණය අවුරුදු අනූදහසයි. (90,000)
පරිනිර්වානය සීහාරාමයෙහි
බෝසතාණෝ සුජාත නම් බ්‍රහ්මණව විවරණ ලැබීය

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment