Friday, July 01, 2016

16. පියද්ස්සී බුදුන් වහන්සේ

සුජාත බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. ඉන්පසු විසි නවදහස් අටසියදෙයාසූ කපක් ලොව අවිද්‍යාව නම් අන්ධකාරයෙන් වැසී තිබුණහ. සුජාත බුදුන්ට අපරභාගයෙහි මෙම කල්පයට කල්ප එකසිය අටළොසකට පෙර වර නම් කල්පයේ පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සී යැයි තුන්බුදු කෙනෙක් පහළ වූහ. එහි ලෝනාහිමි වූ අසමසම වූ, මහ පිරිවර ඇති පියදස්සී නම් සම්බුදුරජ තෙම පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව සුධඤ්ඤ නුවර රජ කුලයෙහි සුදත්ත ක්‍ෂත්‍රීය රජතුමාට දාව සඳවත් ඇති සුචන්‍දා දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් වරුණ උයන්හි දී මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි “ලොවට ප්‍රිය පෙළහර වෙසෙස් දැක්වූ හෙයින්” නම් කරන්නාහු පියදස්සී යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට සුනිම්මල, විමල හා ගිරිබ්‍රහා නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තෙතිස්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු නවදහසක් ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ විමලා දේවියට කඤ්චනවෙල කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක රථයකින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. උන්වහන්සේ සමඟ කෙළක් පුරුෂයෝ පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ හයමසක් ප්‍රධන් වඩා වෙසක් පොහෝදින වරුණ බමුණුගම වසභ බමුණාගේ දියණිය දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි සුජාත නම් ආජීවකයන් දුන් කුස තණ මිටි අට ගෙන කකුධ (කුඹුක්) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පනස්තුන් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් වහන්සේ සමග පැවිදි වූ කෙළක් භික්‍ෂූන් දැක අහසින් වැඩ උසභවතී නුවර ළඟ උසභ උයනෙහි ධම්සක් දෙසූහ. එහිදී කෙළ ලක්‍ෂයක් දෙනාට ධර්‍මාභිසමය විය.
මහර්ෂි වූ පියදස්සී බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ.
අප මහා බෝසතාණෝ ඒ කාලයෙහි සිප්සතර උගන්වන, වේද මන්ත්‍ර ඉගෙනගත්, තුන් වේදයන්ගේ පරතෙරට ගිය “කස්සප” නම් බමුණෙක් විය. පියදස්සී බුදුරදුන්ගේ ධර්‍මය අසා පැහැදී කෝටි ලක්‍ෂයක් පමණ ධනයෙන් මනරම් සංඝාරාමයක් කර වූහ. ඒ බුදුරදුන්ට ආරාමය පූජා කොට සතුටු වූයේ, ප්‍රීතියෙන් විස්මයට පැමිණි සිත් ඇත්තේ, තිසරණය ද, පංච සීලය ද දැඩි කොට සමාදන් වූහ. ඒ පියදස්සී බුදුන් ද මෙතෙම අනාගතයේ ගෞතම නමින් බුදු වන්නේ යැයි විවරණ දුන් සේක.
පස්මරුන් දිනූ ඒ පියදස්සී බුදුන් හට පාලිත හා සබ්බදස්සී දෙනම අගසවුවෝ ය. උපස්ථායක සෝභිත නම් භික්‍ෂුව විය. සුජාතා හා ධම්මදින්නා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. සන්‍දක හා ධම්මික යන දෙදෙන උපස්ථායකයෝ ය. විසාඛාව හා ධම්මදින්නා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය අසූව රියන් විය. චක්‍ෂුස්මත්හු අවුරුදු අනූදහසක් ආයුෂ ගෙවා අස්සත්‍ථාරාමයෙහි පිරිනිවියහ. ඒ ආරාමයෙහි ම ඒ බුදුරදුන්ගේ ජිනථූපය තුන් යොදුනක් උසට බඳින ලදි.

මෙ කපින් කල්ප එක්දහස් අටසීයයකට පෙර වර නම් කල්පයේ පළමුවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය සුධඤ්ඤ නුවර
ජාතිය ක්‍ෂත්‍රීය
පියා සුදත්ත ක්‍ෂත්‍රීය රජතුම
මව සුචන්‍දා දේවිය
ප්‍රාසාදත්‍රය 1. සුනිම්මල 2. විමල 3. ගිරිගුහා
අග්‍රමහේෂී විමලා දේවිය
පුත්‍රයා කඤ්චනවෙල කුමරු
අගාරවාස අවුරුදු නවදහසයි (9,000)
අභිනිෂ්ක්‍රමණය රථයකින් නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස හයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු වරුණ බමුණුගම වසභ බමුණාගේ දියණිය
කුස තණ සුජාත ආජීවක
බෝධිය කුඹුක්
ධම්සක් දෙසීම උසභවතී නුවර ළඝ උසසාවන උයනෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් පාලිත තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් සබ්බදස්සී තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් සුජාතා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් ධම්මදින්නා තෙරණිය
අග්‍ර උපස්ථායක සෝභිත භික්‍ෂුව
උපස්ථායකයෝ සන්දක, ධම්මික
උපස්ථායිකාවෝ විසාඛාව, ධම්මදින්නා
ආයු ප්‍රමාණය අවුරුදු අනූදහසයි. (90,000)
පරිනිර්වානය අස්සථ්තාරාමයෙහි
බෝසතාණෝ කාශ්‍යප මන් බ්‍රහ්මණව විවරණ ලැබීය

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment