ලෝක පාලක ධර්ම

ලෝකය පාලනය කරන කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක් හෝ සර්ව බලධාරි පුද්ගලයෙකු පිළිබඳ විශ්වාසය බුදුසමයෙන් ප්‍රතික්ෂේප වේ. ඒ වෙනුවට ලොව පාලනය කරන සදාචාර ප්‍රතිපත්ති දෙකක් බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරා තිබේ. එම සදාචාර ප්‍රතිපත්ති ලෝකපාලක ධර්ම ලෙස නම්කර ඇත. එක් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ දේශනා කළහ.
‘මහණෙනි සුදු ධර්ම (සුක්කා ධම්මා) දෙකක් ලෝකය පාලනය කරයි. ඒ කවරේ ද ලැජ්ජාව (පවට ලැජ්ජා වීම) හා බියයි (පවට බිය වීම) මහණෙනි, මෙම සුදු ධර්ම විසින් ලෝකය පාලනය නොවන විට, ලෝකයෙහි මව යැයි කියා හෝ සුළු මව යැයි කියා හෝ නැන්දණියයි කියා හෝ ගුරුවරයාගේ භාර්‍යාව කියා යැයි හෝ ගරු කටයුත්තන්ගේ භාර්‍යාවෝ යැයි කියා වෙනසක් නො පෙනේ. ලෝ වැසියා එළුවන්, කුකුළන් හා ඌරන් සේද, සුනඛයන් හා හිවල්ලු මෙන් ද සදාචාර සීමාවන් ඉක්මවත්.
ඉතිවුත්තක පාලියේ දැක්වෙන මෙම බුද්ධ දේශනාවෙන් ඉදිරිපත් කරන කරුණු වර්තමාන සදාචාර පරිහානිය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී විශේෂයෙන් වැදගත් වේ. ලෝක පාලක සුදු ධර්ම වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලැජ්ජාව (හිරි) හා බිය (ඔත්තප්ප) යන දෙකයි. මෙම සදාචාර ධර්ම සුදු යනුවෙන් හඳුන්වන්නේ වර්ණය පදනම්කරගෙන නොව සිත හෙවත් මනස පිරිසුදු කරන ධර්ම යන අර්ථයෙන් ය. පවට දක්වන ලැජ්ජාව හා බිය මානසික දියුණුවේ ප්‍රතිඵලයකි. එසේම නිරෝගී මනසක් සහිත පුද්ගලයෙක් හඳුනාගැනීමට තිබෙන එක් නිර්ණායකයකි. වැරදි කිරීමට පෙර තමා ගැන සිතීමෙන් ලැජ්ජාවත් ලෝකය ගැන සිතීමෙන් බියත් ඇතිකරගත යුතු වේ. එබැවින් ලැජ්ජාව ආත්මය හෙවත් තමා අධිපතිකොට පවතින ධර්මතාවක් වන අතර බිය ලෝකය අධිපතිකොට පවතින්නකි. මේ අනුව පුද්ගලයා මෙන් ම ලෝකය පාලනය කරන සදාචාර ධර්ම දෙකක් ලෙස ලැජ්ජාව හි බිය දැක්විය හැකි ය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමා අධිපතිකොටගත් ලැජ්ජාවත් ලෝකය අධිපතිකොටගත් බියත් නොමැති වූ විට පුද්ගලයා සදාචාරය ප්‍රතික්ෂේප කොට මව, සුළු මව, නැන්දණිය, ගුරු භාර්‍යාව හා වැදගත් කාන්තාවන් කෙරෙහි වරදවා පිළිපදින බවයි. මෙසේ වරදවා පිළිපැදීම යනුවෙන් මූලික වශයෙන් අදහස් කරන්නේ අනාචාරයේ හැසිරීමයි. පවට ලැජ්ජාව හා බිය නොමැති වූ විට පුද්ගලයා හැසිරෙන්නේ එළුවන්, කුකුළන්, ඌරන්, සුනඛයන් හා හිවලුන් වැනි තිරිසන් සතුන් හැසිරෙන ආකාරයට බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එදිනෙදා විවිධ මාධ්‍යවලින් අසන්නට හා දකින්නට ලැබෙන පුවත් පිළිබඳ අවධානය යොමු කළ විට බුදුරදුන්ගේ මෙම අදහස තහවුරු වේ. සියලු සදාචාර ධර්ම බිඳ දමමින් කාන්තාවන්ගේ විළිබිය සිඳින විවිධ වයස්වලට අයත් පුද්ගලයන් පිළිබඳ කොතෙකුත් වාර්තා දක්නට ලැබේ. මේ සිදුවීම් කෙරෙහි බලපාන විවිධ හේතු අතර පුද්ගලයා තුළ ලැජ්ජා භය දෙක නොමැති වීම එක් ප්‍රධාන හේතුවක් ලෙස අවිවාදයෙන් ම පිළිගත හැකි ය.
අටුවාචාරීන් වහන්සේලාගේ විවරණය අනුව කරුණු හතරක් පදනම් කරගෙන ලැජ්ජාව ඇතිකරගත යුතු වේ. එනම්, ජාතිය, වයස, දක්ෂතාව හා උගත්කමයි. මෙහි ජාතිය යනුවෙන් අදහස් වෙන්නේ තමන් අයත් ජන වර්ගයයි. එම ජන වර්ගය සතු ඓතිහාසික වටිනාකම් තේරුම් ගෙන, තම වයස හා පරිණත බව ගැන අවධානය යොමුකොට, තමා සතු විවිධ කුශලතා හා හැකියාවන් සැලකිල්ලට ගෙන, තමන්ගේ අධ්‍යාපන මට්ටම හා උගත්කම පිළිබඳ කල්පනා කොට පව්කිරීමට හා වැරදි කිරීමට ලැජ්ජාව ඇතිකර ගතයුතු හෙයින් එය තමා අධිපතිකොට පවතින්නකි. එය පුද්ගල හෘදය සාක්ෂිය මත පදනම් වූවකි. ඔත්තප්ප යනුවෙන් දැක්වෙන පව්කිරීමට ඇති බිය වනාහි ලෝකාධිපති ධර්මයකි. එහි දී බාහිර සමාජය පිළිබඳ සාධකය සැලකිල්ලට යොමුවේ. තම ක්‍රියාව පිළිබඳ සමාජය කුමන ආකල්පයක් දරන්නේ ද යන්න මෙමඟින් සලකා බැලේ. මේ යටතේ තමන් වෙත සාමාන්‍ය සමාජයෙන් එල්ලවන බලපෑම කෙරෙහි පමණක් නොව, ආධ්‍යාත්මික ඇස දියුණුකරගත් (දිබ්බචක්ඛු) ආධ්‍යාත්මවේදීන්ගේ නිරීක්ෂණයට පවා තම සාවද්‍ය ක්‍රියාව යොමුවිය හැකි බව කල්පනා කළ යුතු යැයි දැක්වීමෙන් පැහැදිලි වන්නේ සමාජමය සාධකය කොතරම් ගැඹුරු අර්ථයකින් බුදුසමය සැලකිල්ලට ගෙන තිබේ ද යන්නයි. වරදක් කිරීම සම්බන්ධයෙන් සිව් ආකාරයක බියක් පුද්ගලයා තුළ ඇතිකරගත යුතු වේ. ඒ අනුව අත්තානුවාද භය යනුවෙන් තමා ම තමන්ගේ සිතට චෝදනා කර ගැනීමයි. නැතහොත් ආත්මාවලෝකනයයි. දෙවැන්න පරානුවාද භයයි. එනම් සමාජයෙන් තමාට ලැබෙන ගැරහුම් නින්දා අපහාස ගැන සැලකීමයි. වරදක් කළහොත් එයට කවර ආකාරයේ හෝ දඬුවමක් විඳීමට සිදු වේ. ඇතැම් විට තර්කය උපයෝගීකරගෙන නීතියෙන් බේරිය හැකි අවස්ථා තිබුණත් හෘදය සාක්ෂියෙන් මෙන් ම කර්ම විපාකයෙන් නිදහස් විය නොහැකි ය. එසේ දඬුවමට ඇති භය දණ්ඩභය නම් වේ. බුදුසමයට අනුව පුද්ගලයා කළ පාපයේ අකුශලයේ ඵලවිපාක මේ ජීවිතයෙන් ම කෙළවර නොවේ. මරණින් පසුව දුගතියේ ඉපදීමට එය හේතුවක් විය හැකි ය. මරණින් පසුව තමාට විඳීමට සිදුවන සතර අපායාදී දුක් පිළිබඳ සැලකිල්ලට ගෙන වරදින් නිදහස් වීම දුග්ගති භය නම් වේ. මේ ආකාරයට හෘදය සාක්ෂිය, සමාජමය බලපෑම, නීතිය හා කර්මය ගන සැලකිලිමත් වී වරදට හා පාපයට බියක් ඇති කරගැනීම සදාචාරමත් ජීවිතයකට අවශ්‍ය වේ.
හිරි යනුවෙන් හැඳින්වෙන පව් කිරීමට ඇති ලැජ්ජාවත් – ඔත්තප්ප යනුවෙන් දැක්වෙන පව් කිරීමට ඇති බියත් යන දෙක ම නුවණැති පුද්ගලයා විසින් සැලකිල්ලට ගත යුතු ආකාරය පැහැදිලි කෙරෙන උපමා දෙකක් අටුවාචාරීන් වහන්සේලා විසින් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව යකඩ ගුලි දෙකක් ගැන සැලකූ කල එක් යගුළියක් සිසිල් ය නමුත් එය අසූචියෙන් තැවරී ඇත. අනෙක ගිනි ගෙන දිලිසෙන එකකි. නුවණැති පුද්ගලයා අසූචියෙන් තැවරී තිබෙන හෙයින් සිසිල් යගුළිය ස්පර්ශ නො කරයි. එසේම රත් වී දිලිසෙන යගුළිය ස්පර්ශ කිරීමෙන් වළකින්නේ එයින් තම අත පිලිස්සෙන බැවිනි. මේ ආකාරයට නුවණැති පුද්ගලයා පව් කිරීමට ලැජ්ජාවෙන් එය පිළිකුල් කරයි. පව් කිරීමෙන් මෙලොව වශයෙන් ලැබෙන නින්දා අපහාස ගැරහුම් දඬුවම් ආදිය ගැන සැලකිලිමත් වීමෙන් පමණක් නොව මරණින් පසු දුගතියෙහි ඉපදීමෙන් ලැබෙන විවිධ දුක් වේදනාවන් ද සිහිකොට පව් කිරීමට බියක් ඇති කර ගනී.
ගිහි වුව ද පැවිදි වුව ද වැරදි පිළිවෙත වැරදි යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එසේම ගිහි වුව ද පැවිදි වුව ද නිවැරදි පිළිවෙත නිවැරදි බවත් එය උන්වහන්සේගේ පැසසුමට ලක්වන බවත් දේශනා කළහ. එබැවින් ගිහි පැවිදි සෑම අයෙක් ම තමා තුළ වර්ධනය කරගත යුතු කුශල සහගත චෛතසික ධර්ම දෙකක් ලෙස හිරි ඔත්තප්ප දෙක හැඳින්විය හැකි ය. මෙම කුශල සහගත චෛතසික ධර්ම පුද්ගල සන්තානයෙන් ඉවත් වූ විට නිර්මාණය වන්නේ ඉහතින් දැක්වූ බුද්ධ වචනය අනුව තිරිසන් ගති ඇති තිරිසනුන් මෙන් බිය නැතිව හැසිරෙන මිනිසුන් ය. එවන් මිනිසුන්ගෙන් යුක්ත සමාජයක සදාචාරය නීතිය යුක්තිය මෙන් ම හැදියාව විනයගරුක බව පවතින්නේ නැත. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය වූයේ පාපයට ලැජ්ජා නොවීම (අහිරික) පවට බිය නොවීම (අනොත්තප්ප) යන කළු ධර්ම සන්තානයෙන් බැහැර කොට ඒ වෙනුවට පාපයට හා අකුශලයට ලැජ්ජා වීම (හිරි) පවට හා අකුශලයට බිය වීම (ඔත්තප්ප) යන සුදු ධර්ම මනස තුළ වර්ධනය කරගැනීමයි. පුද්ගල සන්තානය තුළ මෙකී උත්තම සිතිවිලි වර්ධනය වූ පමණට සදාචාර සම්පන්න සමාජයක් නිර්මාණය වනු ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ,
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ වෙසක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ අප්‍රේල් 25 වනදා සෙනසුරාදා දින බුදුසරණ පත්‍රයේ පල වූ ලිපියක් ඇසුරිණි.

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment