Friday, July 01, 2016

28. ගෞතම බුදුන් වහන්සේ

කාශ්‍යප බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන ද බොහෝ වර්‍ෂ ගණනාවක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි මෙම මහා භද්‍ර කල්පයේ ම සිව්වන අතුරුකප අප භාග්‍යවතුන් වහන්සේ පහළ ලෝ වූහ. එහිලා අප බෝසතාණෝ දීපංකරාදී සූවිසි බුදුන් හමුවෙහි ප්‍රාර්‍ථනා කරමින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පැමිණියේ ය.
එදා දීපංකර බුදුන් හමුවෙහි දී අෂ්ඨසමෝධාන ව විවරණ ලත් බෝසතාණෝ අටළොස් අභව්‍ය ස්ථාන වලින් මිදී සසර නො ඇලී සියලු පාරමී ධර්‍මයන් පුරමින් ලෝකාර්‍ථචර්‍ය්‍යාවෙහි හැසිරෙමින් පැමිණියහ.
එහිදී අප මහා බෝසතාණෝ අකීර්‍ත බ්‍රාහ්මණ කාලයේ ද, සංඛ බ්‍රාහ්මණ කාලයේ ද, ධනංජය රාජ සමයේ ද, මහා සුදර්‍ශන රාජ සමයේ ද, මහා ගෝවින්‍ද කාලයේ ද, නිමි මහ රජුගේ කාලයේ ද, චන්‍ද කුමාර කාලයේ ද, විසය්හ සෙට්ඨි කාලයේ ද, සිවි රජුගේ කාලයේ ද, වෙස්සන්තර රාජ කාලයේ ද සස පණ්ඩිත කාලයේ ද යැයි දාන පාරමිතාව පුරන ලද ආකාරයේ ප්‍රමාණයක් නම් නැත්තේ ය. එබැවින්;
භික‍්ඛාය උපගතං දිස‍්වා, සකත‍්තානං පරිච‍්චජිං;
දානෙන මෙ සමො නත්‍ථි, එසා මෙ දානපාරමීති
චරියාපිටකපාළි\දානපාරමිනිද්දෙසො
“භික්‍ෂාව පිණිස එළඹියහු දැක ස්වකීය ආත්මය පරිත්‍යාග කළෙමි. දාන පාරමිතාවෙන් මා හා සම කෙනෙක් නැත. මෝතොමෝ මාගේ දාන දාන පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක. එසේම සීලව රජ කාලයේ ද, භූරිදත්ත නාග රාජ කාලයේ ද, චම්පෙය්‍ය නාග රාජ කාලයේ ද, චූලබෝධි පරිබ්‍රාජක කාලයේ ද, මහීස රාජ කාලයේ ද, රුරුමිග රාජ කාලයේ ද, මාතංග පණ්ඩිත කාලයේ ද, අලීනසත්තු කුමාර කාලයේ ද යැයි සීල පාරමිතාව පුරන ලද ආකාරයේ ප්‍රමාණයක් නම් නැත්තේ ය. එබැවින් සංඛපාල ජාතකයේ දී;
සඞ‍්ඛපාලස‍්ස මෙ සතො, සබ‍්බකාලම‍්පි ජීවිතං;
යස‍්ස කස‍්සචි නිය්‍යත‍්තං, තස්මා සා සීලපාරමීති
චරියාපිටකපාළි\සීලපාරමිනිද්දෙසො
“මා සංඛපාල ව සිටියදී සියලු කල්හි ම යම් කිසිවෙක්ට ජීවිතය පරිත්‍යාග කරන ලද්දේ ද, එහෙයින් ඕතොමෝ මාගේ ශීල පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක.
තවද සෝමනස්ස කුමාර කාලයේ ද, හත්‍ථිපාල කුමාර කාලයේ ද, අයෝඝර පණ්ඩිත කාලයේ ද, මහ රාජ්‍ය හැරදමා නෙක්ඛම්ම පාරමිතාව පුරන ලද ආත්මවල ප්‍රමාණයක් නැත්තේ ය. එබැවින් චූලසුතසෝම ජාතකයෙහි;
මහාරජ‍්ජං හත්‍ථගතං, ඛෙළපිණ‍්ඩංව ඡඩ‍්ඩයිං;
චජතො න හොති ලග‍්ගනං, එසා මෙ නෙක‍්ඛම‍්මපාරමී
ජාතකඳ්‍ඨකථා
“අතට පත් මහා රාජ්‍ය කෙලපිඬක් මෙන් ඉවත දැමුවෙමි. බිඳකුදු ඇලීමක් නැතිව පරිත්‍යාග කළෙමි. මේ මාගේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක.
ඒ පරිදි ම විධුර පණ්ඩිත කාලයේ ද, මහාගෝවින්‍ද පණ්ඩිත කාලයේ ද, කුද්දාල පණ්ඩිත කාලයේ ද, අරක පණ්ඩිත කාලයේ ද, බෝධි පරිබ්‍රාජක කාලයේ ද, මහෞෂධ පණ්ඩිත කාලයේ ද යැයි ප්‍රඥා පාරමිතාව පුරන ලද ආකාරයේ ප්‍රමාණයක් නම් නැත්තේ ය. එබැවින් සේනක පණ්ඩිත කාලයෙහි;
පඤ‍්ඤාය විචිනන්තොහං, බ්‍රාහ්මණං මොචයිං දුඛා;
පඤ‍්ඤාය මෙ සමො නත්‍ථි, එසා මෙ පඤ‍්ඤාපාරමී
ජාතකඳ්‍ඨකථා
“ප්‍රඥාවෙන් සොයා බලා විසඳූ මම බ්‍රාහ්මණයා දුකෙන් මිදුවෙමි. ප්‍රඥාවෙන් මා හා සමානයෙක් නැත. මේ මාගේ ප්‍රඥා පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක.
එ පරිදි ම විරිය පාරමිතාව ද පුරන ලද ආත්ම ගණනේ ද සීමාවක් නොමැත. එහෙයින් මහජනක ජාතකයෙහි;
අතීරදස‍්සී ජලමජ්ඣෙ, හතා සබ්බෙව මානුසා;
චිත‍්තස‍්ස අඤ‍්ඤථා නත්‍ථි, එසා මෙ වීරියපාරමී
ජාතකඳ්‍ඨකථා
“තෙරක් නො පෙනෙන මහ මුහුද මැද සියලු මිනිසුන් නැසෙද්දී චිත්ත ධෛර්‍ය්‍ය උපදවා වීර්‍ය්‍ය වඩා මුහුදින් එතෙර විමි. මේ මාගේ වීර්‍ය්‍ය පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක. එ පරිදි ම ඛන්ති පාරමිතාව ද පුරන ලද ආත්ම ගණනේ ද සීමාවක් නොමැත. එහෙයින් ක්‍ෂාන්තිවාදී ජාතකයේ දී;
අචෙතනං ව කොට්ටෙන්තෙ, තිණ්හෙන ඵරසුනා මමං;
කාසිරාජෙ න කුප‍්පාමි, එසා මෙ ඛන‍්තිපාරමී
ජාතකඳ්‍ඨකථා
“තියුණු වූ පොරොවකින් චේතනා විරහිත ව මට කොටන කල්හි ද කසී රජු කෙරෙහි නො කිපියෙමි. ඒ මගේ ක්‍ෂාන්ති පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක. එ පරිදි ම සච්ච පාරමිතාව ද පුරන ලද ආත්ම ගණනේ ද සීමාවක් නොමැත. එහෙයින් මහා සුතසෝම ජාතකයේ දී;
සච‍්චවාචං අනුරක‍්ඛන්තො, චජිත්‍වා මම ජීවිතං;
මොචෙසිං එකසතං ඛත‍්තියෙ, එසා මෙ සච‍්චපාරමී
ජාතකඳ්‍ඨකථා
“සත්‍ය වචනය ම රකින්නේ මගේ ජීවිතය හැරදමා එක්සියයක් රජවරුන් මුදවාලීමි. එය මාගේ සත්‍ය පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක. එ පරිදි ම අධිෂ්ඨාන පාරමිතාව ද පුරන ලද ආත්ම ගණනේ ද සීමාවක් නොමැත. එහෙයින් තෙමිය ජාතකයේ දී;
මාතාපිතා න මෙ දෙස‍්සා, නපි දෙස‍්සං මහායසං;
සබ‍්බඤ්ඤුතං පියං මය‍්හං, තස්මා වතමධිඳ්‍ඨහි
චරියාපිටකපාළි\තෙමියචරියං
“මට දෙමව්පියෝ අප්‍රිය නොවේ. මහා කීර්තිය ද අප්‍රිය නොවේ. ඒ සියල්ලට ම වඩා සර්වඥතාඥානය මට ප්‍රිය ය. එහෙයින් ව්‍රතය අධිෂ්ඨාන කළෙමි.” යනුවෙන් වදාළ සේක. එ පරිදි ම මෙත්තා පාරමිතාව ද පුරන ලද ආත්ම ගණනේ ද සීමාවක් නොමැත. එහෙයින් සාම ජාතකයේ දී;
න මං කොචි උත‍්තසති, නපිහං භායාමි කස‍්සචි;
මෙත‍්තාබලෙනුපත්‍ථඳ්‍ධො, රමාමි පවනෙ තදා
චරියාපිටකපාළි\සුවණ‍්ණසාමචරියං
“මා දැක කිසිවෙක් බිය නොවේ. මම ද කිසිවකු දැක බිය නො වෙමි. මෛත්‍රී බලයෙන් ශක්තිමත් වූ මම හැම කල්හි ම මහා වනයෙහි සතුටින් වෙසෙමි.” යනුවෙන් වදාළ සේක. එ පරිදි ම උපෙක්ඛා පාරමිතාව ද පුරන ලද ආත්ම ගණනේ ද සීමාවක් නොමැත. එහෙයින් ලෝමහංස ජාතකයෙහි;
සුසානෙ සෙය්‍යං කප්පෙමි, ඡවඳ්‍ඨිකං උපනිධායහං;
ගාමණ‍්ඩලා උපාගන්ත්‍වා, රූපං දස්සෙන‍්තිනප‍්පක
චරියාපිටකපාළි\මහාලොමහංසචරියා
“මිනී ඇට පොදියක් හිසට කොට්ටයක් සේ තබාගෙන මම සොහොනෙහි සැතපෙමි. ගොපලු දරුවෝ පැමිණ විරූප රූප දක්වති. උසුළු විසුළු කරති.” යනුවෙන් වදාළ සේක.
මහබෝසතාණෝ මෙසේ අනේක ජාති කෝටි සත සහස්‍රයන්හි මහ පොළොව කම්පා කරන්නා වූ මහ පිංකම් කළහ. වෙසතුරු අත්බැව්හි දී, අට වයස් කල්හි දානාඳ්‍ධ්‍යාශය උපන් කල්හි ද, මඟුල් ඇතු දන් දීමෙහි ද, පැවිදි වන කල්හි ද, සප්තශතක මහදන් දෙන කල්හි ද, අඹු දන් දෙන කල්හි ද, වංක පර්‍වතයෙහි ඤාති රැස්වීමෙහි ද, නුවරට වදනා කල්හි රුවන් වැසිවස්නා කල්හි ද යන මෙකී සප්ත ස්ථානයේ දී සත් වරක් පොළොව කම්පා විය. මෙසේ එකම අත්බැව්හි දී මහ පොළොව සත් වරක් කම්පා කොට දන් දී ආයු කෙළවර තුසිත භවනෙහි උපන් සේක. එහි දෙව් සැප විඳිමින් අවුරුදු තුන්කෙළ හැටදහසක් වැස දෙවියන් විසින් අයදිනා ලදුව පස්මහ බැලුම් බලා දෙවියන්ට ප්‍රතිඥා දී තුසිත දෙව් ලොවින් චුත ව දඹදිව මධ්‍ය දේශයෙහි කපිල වස්තු නුවර ක්‍ෂත්‍රීය කුලයෙහි සුද්ධෝදන නම් රජුට දාව රුවින් අගතැන්පත් මායා නම් දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දී ද දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් ලුම්බිණි නම් සාල වනෙහි මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා අග‍්ගොහමස්මි ලොකස‍්ස … ආදී ලෙස සීහනාද කළහ. අප මහ බෝසතාණෝ තුන් භවයක දී මව්කුසින් නික්මුණු කෙනෙහි ම වදන් පිට කළහ. මහෞෂධ අත්බැව්හි, වෙසතුරු අත්බැව්හි හා මෙම අත්බැව්හි ය. සියලු බුදුවරයන්ට නො වෙනස් වන ධර්‍මතා ඇත්තේ ය. එනම්;
සියලු බුදුවරයන්ගේ ධර්‍මතා
  • යම් කලක බෝධිසත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගත් සේක් ද, “ඒ බෝධිසත්වයන් හෝ උන්වහන්සේගේ මව අන් කිසිවෙක් නො පෙළ ව යි” එකල දිව්‍ය පුත්‍රයෝ සතර දෙනෙක් සිව් දිග ආරක්‍ෂාව පිණිස පැමිණෙන්නාහ.
  • යම් කලෙක බෝධිසත්වයන් වහන්සේ මව් කුසට පැමිණියේ වේද, ස්වභාවයෙන් ම බෝධිසත්ව මව් තොමෝ පංච ශීලය රකින ඇත්තියක් වේ.
  • මවට කිසියම් පුරුෂයෙකු කෙරෙහි කාම ගුණ සහිත සිතක් නූපදී.
  • රාග සිත් ඇති කිසියම් පුරුෂයෙකු විසින් උන්වහන්සේගේ මව් තොමෝ ආශ්‍රය නො කළ හැකි වෙයි.
  • බෝධිසත්ව මව් තොමෝ බොහෝ සම්පත් ලබන්නියක් වේ.
  • බෝධිසත්ව මවට කිසියම් ආබාධයක් නූපදී. බෝධිසත්ව මව සැප ඇත්තියක් වේ.
  • බෝධිසත්ව මව් දුර්වල නො වූ ශරීර ඇත්තී කුස තුළ වූ සම්පූර්ණ ඉන්‍ද්‍රියන් ඇති සියලු අඟ පසඟ ඇත්තා වූ බෝධිසත්වයන් දකී.
  • බෝධිසත්වයන් උපන් සත්වන දිනයෙහි බෝධිසත්ව මව පරලොව යන්නී ය. තුසිත දිව්‍ය ලෝකයෙහි උපදී.
  • බෝධිසත්ව මව බෝධිසත්වයන් දසමසක් ම කුසින් උසුලා සිට වදයි.
  • බෝධිසත්ව මව සිටගෙන ම බෝධිසත්වයන් වදයි.
  • යම් කලක බෝධිසත්වයෝ මව්කුසින් බිහි වේ ද, දෙවියෝ පළමු කොට පිළිගනිත්. පසුව මනුෂ්‍යයෝ පිළිගනිත්.
  • යම් කලක බෝධිසත්වයෝ මව් කුසින් නික්මෙත් ද එකල බෝධිසත්වයෝ පොළොවට නො පැමිණියෝ ම වෙත්. දෙවිවරු හතර දෙනෙක් ඒ බෝධිසත්වයන් පිළිගෙන මෑණියන් ඉදිරියේ තබා “දේවියනි, ඔබට මහානුභාව ඇති පුතෙක් උපන්නේ ය, සතුටු වන්න” යැයි කියති.
  • යම් කලක බෝධිසත්වයෝ මව්කුසින් නික්මෙත් ද, එකල පිරිසිදුව නික්මෙති. කිසි කැත කුණකින් නො තැවරෙන ලද්දේ වේ. සුද්ධ වෙයි, පිරිසිදු වෙයි.
  • යම් කලක බෝධිසත්වයෝ මව් කුසින් නික්මෙත් ද එකල බෝධිසත්වයන්ගේ හා මවගේ යම් කටයුත්තක් ජලයෙන් කෙරෙත් ද ඒ සඳහා ජලධාරා දෙකක් අහසින් පහළ වෙත්. එයින් එකක් සීත ජලය වෙයි, එකක් උෂ්ණ ජලය වෙයි. උෂ්ණ ජලය වෙයි.
  • බෝධිසත්වයන් වහන්සේ උපන් කෙනෙහි බ්‍රහ්ම, දේව, මනුෂ්‍යයන්ගේ අතින් පොළොවට බැස සම පාදයන්ගෙන් පොළොවේ පිහිටා උතුරු දිසාවට අභිමුඛ ව ශ්වේතචඡත්‍රය දරමින් සත් පියවරක් ඉදිරියට ගමන් කෙරෙයි. සියලු දිශාවන් ද බලයි, මම ලෝකයට අග්‍ර වෙමි. මම ලෝකයට ප්‍රධාන වෙමි. මම ලෝකයට උතුම් වෙමි. මේ අවසාන ජාතියයි. දැන් මට මෙයින් මතු නැවත උත්පත්තියක් නැතැයි” යන අභීත වචන කියයි. 
  • යම් කලක බෝධිසත්වයෝ මව් කුසින් නික්මෙත් ද, එකල දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි ද මහණ බමුණන් සහිත වූ දෙව් මිනිසුන් සහිත වූ සත්වයන් කෙරෙහි ද දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ප්‍රමාණ නො කළ හැකි මහත් වූ ආලෝකයක් පහළ වේ. 
  • අඳුර ඇත්තා වූ ගණ අඳුර ඇත්තා වූ යම් ලෝකාන්තරික නම් නිරයක් ඇත්තේ ද, ඒ ලෝකාන්තරික නිරයෙහි ද මහත් ආලෝකය පහළ වෙයි. මේ දසදහසක් ලෝක ධාතුව කම්පා වෙයි. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවූ ප්‍රමාණ නො කළ හැකි මහත් ආලෝකයක් පහළ වෙයි. මේවා සියලු බුදුවරයන්ගේ ධර්‍මතාවන් වේ.

ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු “සර්ව ලෝකාර්‍ථ සිද්ධකාරක හෙයින්” සිද්ධත්‍ථ (සිදුහත්) යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි ගෞතම ගෝත්‍රයේ වූහ. උන්වහන්සේට රම්ම, සුරම්ම හා සුභ නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ සතළිස්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු විසිනවයක් ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ භද්දකච්චායනා (යසෝධරා) දේවියට රාහුල කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක කන්ථක නම් වරතුරඟු පිට නැගී අබිනික්මන් කොට සියලු අබරණ මුදා ඡන්න නම් ඇමතියා අතට දී තමන් ම නිල් මානෙල් පතක් හා සමාන අසිපතින් මෞලිය සහිත කෙස් කපා අහසට දැමූ කල්හි දහසක් නෙතැති සක්දෙව් රජ එය රන් කරඬුවෙන් පිළිගෙන තව්තිසා භවනට ගෙන ගොස් සිළුමිණි සෑය නම් සෑයක් කළේ ය. කීසේමය;
ඡෙත්‍වාන මොළිං වරගන්‍ධවාසිතං, වෙහායසං උක්ඛිපි අග‍්ගපුග‍්ගලො;
සහස‍්සනෙත්තො සිරසා පටිග‍්ගහි, සුවණ‍්ණචංකොටවරෙන වාසවො
බුඳ්‍ධවංසඳ්‍ඨකථා\ගොතමබුඳ්‍ධවංසවණ‍්ණනා
ඉක්බිති කාශ්‍යප බුදුන් සමයෙහි පැරණි මිත්‍ර වූ ඝටීකාර මහ බ්‍රහ්ම තෙම ශ්‍රමණ පරිෂ්කාර අට ගෙනවුත් දුන්නේ ය.
තිචීවරඤ‍්ච පත්තො ච, වාසි සූචි ච බන්‍ධනං;
පරිස‍්සාවනඤ‍්ච අඳ්‍ඨෙතෙ, යුත‍්තයොගස‍්ස භික‍්ඛුනො
දීඝනිකායඳ්‍ඨකථා\සාමඤ‍්ඤඵලසුත‍්තවණ‍්ණනා
තුන් සිවුර ද පාත්‍රය ද දැලිපිහිය ද ඉඳිකටුව ද පෙරහන හා පටිය ද යන මේ අට යෝගයෙහි යුක්ත භික්‍ෂුවගේ පිරිකර වේ. බෝසත්වරුන් හට පැවිදි වීමේ දී ලැබෙන්නා වූ මෙම අට පිරිකර ලැබෙනුයේ මෙසේ ය. ලෝකය විනාශ වන විට මහබෝමැඬ හැමට ම පසුව විනාශ වෙයි. නැවත පිහිටන විට පළමු ව පිහිටයි. එහිදී බෝමැඬ පිහිටන ස්ථානයේ මුලින් ම නෙළුම් පඳුරක් පහළ වේ. ඉඳින් එම කල්පයේ බුදුවරු පහළ වන්නේ නම් නෙළුම් මල් හටගනී. එහි පියුම් ගැබ තුල අට පිරිකරක් ද සහිතව පහළ වේ. බුදුවරු පහළ නො වන්නේ නම් මල් නො හටගනී. එසේ මල් හට ගන්නා විට එක බුදුවරයෙක් පහළ වන්නේ නම් එක් මලක් ද බුදුවරු දෙනමක් පහළ වන්නේ නම් මල් දෙකක් ද තෙනමක් නම් මල් තුනක් ද ආදී වශයෙන් බුදුවරු ගණනට සමානව මල් හට ගන්නේ ය. ඒ මල් ද එක් දණ්ඩක කර්ණිකා එකට බැඳී හට ගනී. ඒ කාලයේ ශුඳ්‍ධාවාස වාසී බ්‍රහ්මයෝ මෙම පෙර නිමිති බැලීම සඳහා පැමිණෙනුයේ මල් හට නො ගෙන ඇත්නම් ඒ දැක “ලෝකය වනාහි අඳුරු වන්නේ ය. අපාය පිරෙන්නේ ය. දෙව්ලොව හිස් වන්නේ ය.” යැයි අසතුටු සිත් ඇත්තේ වෙයි. මල් පිපුණු කල්හි ඒ දැක සතුටු සිත් ඇත්තේ එම අට පිරිකර රැගෙන ගොස්, යම් බුදු කෙනෙකුන් පහළ වූ විට දීම පිණිස බඹලොව තබනු ලැබේ. මේ මහා භද්‍රකල්පයෙහි වනාහි නෙළුම් මල් පහක් හටගත්තේ ය. එම නෙළුම් මල් පහ මත අට පිරිකර පහක් ද විය. බඹහු ඒ දැක බඹලොවට රැගෙන ගියේ ය. එක අට පිරිකරක් කකුසඳ බෝසතුන් පැවිදි වූ දිනයේ දී දුන්හ. එකක් කෝණාගමන බෝසතුන් පැවිදි වූ දිනයේ දී දුන්හ. තවත් එක පිරිකරක් කාශ්‍යප බෝසතුන් පැවිදි වූ දිනයේ දී දුන්හ. අප මහ බෝසතුන් පැවිදි වූ දිනයේ දී තවත් එකක් දුන්හ. ඉතිරි පිරිකර අනාගතයේ දී පහළ වන මෛත්‍රී බෝසතුන්ට දීම සඳහාය.
මහපුරිස්‍හු බඹහු දුන් ඒ කසාවත් හැද පැවිදි වූහ. මහබඹහු උන්වහන්සේගේ ගිහි වස්ත්‍ර ගෙන ගොස් බඹලොව සළුමිණි නම් සෑය කළහ. උන්වහන්සේ පස්වග තවුසන් පිරිවරන ලදුයේ සය වසක් ප්‍රධන් වඩා වෙසක් පොහෝදින උරුවෙලාවෙහි සේනානි නියම්ගම සේනානි කෙළඹියාගේ දූ සුජාතා නම් දියණිය දුන් පරම මධුර මී කිරිබත් වළඳා නේරංජරා ගංතෙර සල් වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි සොත්‍ථිය නම් බ්‍රාහ්මණයන් දුන් අටතණමිට ගෙන ඇසතු රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී තුදුස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට සපරිවාර මාර පරාජය කොට ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් දුෂ්කරක්‍රියා සමයෙහි තමන් වහන්සේට බොහෝ උපකාර වූ පස්වග තවුසන්ගේ හේතු සම්පත් දැක පා ගමනින් ම අටළොස් යොදුන් මඟ ගෙවා වැඩ බරණැස ඉසිපතන මිගදායෙහි දී ධම්සක් දෙසූහ. එහිදී අටළොස් කෙළක් දෙනාට ධර්‍මාභිසමය විය.
මහර්ෂි වූ ගෞතම බුදුන්ට සීලාදී ගුණ සොයන ශ්‍රාවකයන්ගේ එක රැස්වීමක් විය. එය එක්දහස් දෙසීය පනහක් පමණ භික්‍ෂූන්ගේ රැස්වීමක් විය.
ඒ ශාක්‍යසිංහ ගෞතම මහා මුණිවරයාණන් හට කෝලිත හා උපතිස්ස දෙනම අගසවුවෝ ය. උපස්ථායක ආනන්‍ද නම් භික්‍ෂුව විය. ඛෙමා හා උප්පලවණ්ණා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. චිත්ත හා හත්‍ථාළවක යන දෙදෙන උපස්ථායකයෝ ය. නන්‍දමාතා හා උත්තරා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය සොළොස් රියන් විය.
බික් සඟන මැද බුදු සිරින් බබළන, රාගාදී කිලුටු නැති ඒ මුනිවර තෙම දෑ රඟ මිණිරුවනක් සේ පතන ලද ලොවී ලොව්තුරු සැප සම්පත් දුන්හ. සිව් මග පල කැමතිවන, භව ආසාව දුරු කරනු කැමැත්ත වුන්ට අනුකම්පා කොට සිව්සස් දෙසූ සේක. දසදහස් දෙනා හට, විසිදහස් දෙනා හට වරින්වර ධර්‍මාවබෝධය විය. එක් අයකුට දෙදෙනෙකුට ධර්‍මාවබෝධය ගණන් අප්‍රමාණ විය. ඒ කාලයේ තෘෂ්ණාව ක්‍ෂය කළ රාගාදී කෙලෙස් පහකළ සන්හුන් සිත් ඇත්තා වූ එකඟ සිත් ඇති නොයෙක් සිය ගණන් බොහෝ භික්‍ෂූහු ඒ ජිනවර තෙම හැම කල්හි ම පිරිවරා සිටියහ.
මෙම බුද්ධවංශ දේශනාව කෙළවර කෙළ ලක්‍ෂයක් දෙවියන්ගේ උපාදාන ආශ්‍රවයන්ගෙන් මිදුණෝ ය. සෙසු මඟඵලවල පිහිටිය වුන්ගේ ගණන අපමණ විය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ කල්ප, නාම ආදී ලෙස බෙදන ලද සියලු බුදු සිරිත් අහසෙහි රුවන් සක්මනෙහි සක්මන් කරමින් ම දේශනා කොට ජනයා වන්දවාගෙන අහසින් බැස පනවන ලද උතුම් බුද්ධාසනයේ වැඩහුන් සේක. ලෝකනාථ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් කල්හි ඤාති සමාගම මස්තකප්‍රාප්ත විය. සියල්ලෝ ම එකඟ සිත් ඇත්තේ වාඩි වූහ. ඉක්බිති පොකුරු වැසි වැස්සේ ය. එහිදී තෙමෙනු කැමැත්තෝ තෙමෙයි. නො තෙමෙනු කැමැත්තෝ ශරීරය බිඳකුදු නො තෙමෙයි. ඒ අසිරිය දැක සියල්ලෝ ම මවිත වූවාහු අහෝ ආශ්චර්‍ය්‍ය ය අද්භූත ය කියා කථාවක් ඉපද වූහ. ඒ අසා ශාස්තෘන් වහන්සේ මගේ ඥාති සමාගමෙහි පොකුරු වැසි වැස්සේ දැන් මතු නො වෙයි පෙරත් වැස්සේ යැයි මේ අර්ත්‍ථෝත්පත්තියෙන් වෙස්සන්තර ජාතකය දෙසූ සේක. ඒ ධර්‍මදේශනය සාර්‍ථක වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අස්නෙන් නැගී විහාරයට වැඩි සේක.
ජිතපංචමාර ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂය මඳ වූයේ සියක් අවුරුද්දක් පවතින්නේ ය. උන්වහන්සේ ඒ තාක් කල් සිටිමින් බොහෝ ජන සමූහයා සසරින් එතෙර කළ සේක. පශ්චිම ජනයාගේ අවබෝධය පිණිස දහම් නමැති දඬුවැටපහන තබා උන්වහන්සේ ද නොබෝ කලකින් ම ශ්‍රාවක සමූහය සමග දර ක්‍ෂය වී යාමෙන් ගින්න මෙන් මෙහි දී ම පිරිනිවන් පෑහ.
ඒ අසම තේජස් ද මේ දසබල ද දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් මේ උතුමා ගුණයෙන් යුත් සිරුර ද යන සියල්ල සවනක් රැසින් යුත් හිරු මෙන් දස දිගින් හොබවා අතුරුදන් වූහ. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද? වෙත් මැයි.
අසමසම වූ ඒ ගෞතම ජිනවර තෙම කුසිනාරා නුවර උපවත්තන නම් සල් වනෙහි පිරිනිවියහ. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිර වී ම විය.

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා මෙම මහා භද්‍ර කල්පයේම හතරවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය කපිලවත්‍ථු (කිඹුල්වත්) නුවර
ගෝත්‍රය ගෞතම
ජාතිය ක්‍ෂත්‍රීය
පියා සුද්ධෝදන ක්‍ෂත්‍රීය රජතුම
මව මහාමායා දේවිය
ප්‍රාසාදත්‍රය 1. රම්ම 2. සුරම්ම 3. සුභ
අග්‍රමහේෂී භද්දකච්චායන (යශෝධරා) දේවිය
පුත්‍රයා රාහුල කුමරු
අගාරවාස අවුරුදු විසිනවයයි (29)
අභිනිෂ්ක්‍රමණය කන්ථක අසුපිටින් නික්මුණහ
ප්‍රධන් වීර්ය අවුරුදු හයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු සේනානි නියම්ගමෙහි සේනානි සිටුදූ සුජාතා
කුස තණ සොත්‍ථිය බමුණා
බෝධිය ඇසතු
ශරීර රශ්මිය සොළොස් රියනක් පමණ පැතිර සිටියේය
ධම්සක් දෙසීම බරණැස් නුවර ඉසිපතන මිගදායෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත එකක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් සැරියුත් තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් මුගලන් තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් ඛේමා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් උප්පලවණ්ණා තෙරණිය
අග්‍ර උපස්ථායක ආනන්‍ද භික්‍ෂුව
උපස්ථායකයෝ චිත්ත, හත්‍ථාලක
උපස්ථායිකාවෝ නන්‍දමාතා, උත්තරා
ආයු ප්‍රමාණය අවුරුදු අසූවයි. (80)
පරිනිර්වානය කුසිනාරා නුවර උපවත්තන සාලවනයෙහි

<<< Previous

27 කස්සප බුදුන් වහන්සේ

කෝණාගමන බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි මෙම මහා භද්‍ර කල්පයේ ම තුන්වන අන්තර කල්පයේ සිව්සස් අවබෝධ කළ, දෙපා ඇති සතුන්ට උතුම් වූ, බැබළීම් ඇති කරණ, නමින් කාශ්‍යප නම් වූ දම්රද තෙම පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ අටාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව බරණැස් නුවර බ්‍රාහ්මදත්ත බමුණාට දාව මනා ගුණැති ධනවතී බැමිණියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් ඉසිපතන මිගදායෙහි මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු ගෝත්‍ර වශයෙන් කාශ්‍යප යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණ කුලයෙහි වූහ. උන්වහන්සේට හංස, යස, සිරිනන්‍දා නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ හතළිස් අටදහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු දෙදහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ සුනන්‍දා දේවියට විජිතසේන කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක ප්‍රාසාදයෙන් ම අභිනිෂ්ක්‍රමණය කොට පිරිවර සහිත ව ම පැවිදි වූහ. දින හතක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින සුනන්‍දා බැමිණිය දුන් පරම මධුර මී කිරිබත් වළඳා කිහිරි වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි සෝම නම් ගවපාලකයා දුන් කුස තණ මිටි අට ගෙන නිග්‍රෝධ (නුග) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පහළොස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් වහන්සේ සමග පැවිදි වූ පිරිසගේ හේතු සම්පත් දැක අහසින් වැඩ බරණැස් නුවර ඉසිපතන මිගදායෙහි ධම්සක් දෙසූහ. එහිදී විසි කෙළ දහසක් දෙනා හට ධර්‍මාභිසමය විය.
මහර්ෂි වූ කස්සප බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් එකක් වූහ. ඒ කාලයෙහි දී ලැජ්ජා සීලාදී ගුණයෙන් එක බඳු, රාගාදී කෙලෙස් ඇතියන් ඉක්මවූ විසිදහසක් භික්‍ෂූන්ගේ රැස්වීමක් විය.
ඒ කාලයෙහි අප මහා බෝසතාණෝ සිප්සතර උගන්වන ඉගෙනගත් මන්ත්‍ර දරණ තුන් වේදයෙහි පරතෙරට ගිය මහපුරිස් ලකුණු දැනීමෙහි ද ඉතිහාසයෙහි ද සිය බමුණු දහමෙහි ද පරතෙරට පැමිණි පොළොව හා අහස පිළිබඳ තතු දැනීමෙහි බුහුටි වූ කළ පුරුද්ද ඇති දැනුමෙන් නො අඩු ජොතිපාල නම් මානවකයෙක් විය. කසුප් බුදුරදුන්ගේ ගෞරව සහිත වූ යටහත් පැවතුම් ඇති අනාගාමී ඵලයෙන් කෙලෙස් නිවූ ඝටීකාර නම් උපස්ථායකයෙක් වී ය. එම ඝටීකාර තෙම ජෝතිපාල තරුණයා ව ගෙන කසුප් මුනිඳු වෙත එළඹ දහම් ඇසීමට සැලසූහ. හෙතෙම දහම් අසා පැහැදී කසුප් බුදුන් වෙත පැවිදි විය. උන්වහන්සේ ආරබ්ධවීර්ය ව තෙවළා දහම් ඉගෙන වත්පිළිවෙතින් බුදු සසුන හෙබවූහ. උන්වහන්සේට ඒ කසුප් බුදුන් වහන්සේ ද විවරණ දුන් සේක.
උන්වහන්සේට තිස්ස හා භාරද්වාජ දෙනම අගසවුවෝ ය. උපස්ථායක සබ්බමිත්ත නම් භික්‍ෂුව විය. අනුලා හා උරුවෙලා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. සුමංගල හා ඝටීකාර යන දෙදෙන උපස්ථායකයෝ ය. විජිතසේනා හා භද්දා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය විසි රියන් විය.
මහර්ෂි වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂය අවුරුදු විසි දහසකි. ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ දෙනා බව සයුරෙන් එතෙර කළ සේක. ත්‍රිවිද්‍යා නමැති පළඳනාවක් ද, සිව් මග පල නමැති මුදුන් මල් කඩක් ද, ෂඩ් අභිඥා නමැති අලංකාර කරණ අබරණ ද, නව ලොව්තුරු දහම් නමැති පළඳන මල් දමක් ද දී, අකුසල් නමැති අව්ව වැළැක්වීම් කරන සදහම් නමැති සේසතක් ද දී, අභයපුර යයි කියන ලද නිවනට පමුණුවන අරි අටඟි මග නමැති මල් අතුළ මගක් ඇති කොට ඒ කසුප් බුදුරජ තෙම ශ්‍රාවකයන් සහිතව පිරිනිවී සේක.
අපමණ ගුණැති, සතුරන් විසින් නො ළංවිය හැකි, ඒ බුදුරුවන ද, යහපත් ව දෙසන ලද එව බලව යි කීමට සුදුසු ඒ දම්රුවන ද, උතුම් වූ සුපිළිපන් ඒ සඟරුවන ද යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?
ශාස්තෘ වූ මහ කසුප් ජිනරාජ තෙම කසීරට ස්වේතව්‍ය නම් ආරාමයේ දී පිරිනිවී සේක. එහි ම උන්වහන්සේගේ ජිනථූපය යොදුනක් උසට ගොඩ නගන ලද්දේ ය.

මෙම මහා භද්‍ර කල්පයේම තුන්වන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය බාරාණසී (බරනැස්) නුවර
ගෝත්‍රය කාශ්‍යප
ජාතිය බ්‍රහ්මණ
පියා බ්‍රාහ්මදත්ත බමුණු
මව ධනවතී බැමිණිය
ප්‍රාසාදත්‍රය 1. හංස 2. යස 3. සිරිනන්‍දා
අග්‍රමහේෂී සුනන්‍දා දේවිය
පුත්‍රයා විජිතසේන කුමරු
අගාරවාස අවුරුදු දෙදහසයි (2,000)
අභිනිෂ්ක්‍රමණය ප්‍රාසාදයෙන්ම නික්මුණහ
ප්‍රධන් වීර්ය දින හතක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු සුනන්‍දා බැමිණිය
කුස තණ සෝම ගවපාලක
බෝධිය නිග්‍රෝධ (නුග)
ධම්සක් දෙසීම බරණැස් නුවර ඉසිපතන මිගදායෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත එකක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් තිස්ස තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් භාරද්වාජ තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් අනුලා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් උරුවෙලා තෙරණිය
අග්‍ර උපස්ථායක සබ්බමිත්ත භික්‍ෂුව
උපස්ථායකයෝ සුමංගල, ඝටීකාර
උපස්ථායිකාවෝ විජිතසේනා,
ආයු ප්‍රමාණය අවුරුදු විසිදහසයි. (20,000)
පරිනිර්වානය කිසීරට සේතව්‍ය නුවර සේතව්‍යාරාමයෙහි
බෝසතාණෝ ජෝතිපාල නම් මානවකව විවරණ ලැබීය

<<< Previous Next >>>

26. කෝණාගමන බුදුන් වහන්සේ

කකුසඳ බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි මෙම මහා භද්‍ර කල්පයේ ම දෙවන අන්තර කල්පයේ දෙපා ඇති සතුන්ට උතුම් වූ, ලොවට උසස් වූ, නරදෙටු කෝණාගමන නම් ජිනරාජ තෙම පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව සෝභවතී නුවර බමුණු කුලයෙහි යඤ්ඤදත්ත බමුණාට දාව රූපාදී ගුණයෙන් අනුත්තර උත්තරා බැමිණියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් සුභගවතී උයන්හි දී මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු “උපදිද්දී මුළු දඹදිවට ම රන් වරුසාවක් වැස්සේ ය. එබැවින් උන්වහන්සේට රන් වැසි ආ කරුණින්” කණකාගමන හෙවත් කෝණාගමන යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණ කුලයෙහි වූහ. උන්වහන්සේට තුසිත, සන්තුසිත, සන්තුට්ඨ නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ සොළොස්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු තුන්දහසක් ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ රුචිගත්තා දේවියට සත්‍ථවාහ කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක ඇත් යානයකින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. තිස්දහසක් පුරුෂයෝ උන්වහන්සේ අනුව පැවිදි වූහ. සමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින අග්ගිසෝණ බ්‍රාහ්මණයාගේ දියණිය දුන් පරම මධුර මී කිරිබත් වළඳා කිහිරි වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි තින්‍දුක නම් යවපාලකයන් දුන් කුස තණ මිටි අට ගෙන පුණ්ඩරික (උදුම්බර/ දිඹුල්) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී විස්ස රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් වහන්සේ සමග පැවිදි වූ භික්‍ෂූන්ගේ හේතු සම්පත් දැක අහසින් වැඩ සුදස්සන නුවර ඉසිපතන මිගදායෙහි ධම්සක් දෙසූහ. එහිදී තිස් කෙළ දහසකට ධර්‍මාභිසමය විය.
දෙවියන්ට දෙවි වූ ඒ කෝණාගමන බුදුරදුන්ට ද බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් එකක් වූහ. ඒ කාලයෙහි චතුරෝඝයන් ඉක්මවූ, මරණය බිඳ දැමූ, රහත් වූ තිස්දහසක් භික්‍ෂූන්ගේ එම සමාගමෙහි විය.
එකල අප මහා බෝසතාණෝ මිථිලා නුවර පබ්බත නම් රජ වූහ. සරණාගත සියලු සතුන්ගේ ආගමන ඇති කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ මිථිලා නුවරට වැඩි බව අසා පිරිවර සහිත රජ පෙරගමන් කොට දසබලයන් වහන්සේට ආරාධනා කොට දන් පුදා එහි භාග්‍යවතුන් වහන්සේට වස් විසීම පිණිස අයැද තෙමසක් බික්සඟන සහිත ශාස්තෘන් වහන්සේට උවටැන් කොට මාහැඟි සිනිඳු වස්ත්‍ර රන් මිරිවැඩි ද අනෙකුත් බොහෝ පිරිකර පිදූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ද එතුමාට මේ භද්‍ර කල්පයේ ම ගෞතම නමින් බුදු වන්නේ යැයි විවරණ දුන් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ විවරණ අසා මහ බෝසතාණෝ මහා රාජ්‍යය පරිත්‍යාග කොට උන්වහන්සේ වෙත පැවිදි වූහ.
උන්වහන්සේට භීයස හා උත්තර දෙනම අගසවුවෝ ය. උපස්ථායක සොත්‍ථිජ නම් භික්‍ෂුව විය. සමුද්දා හා උත්තරා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. උග්ග හා සෝමදේව යන දෙදෙන උපස්ථායකයෝ ය. සීවලා හා සාමා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය තිහ රියන් විය.
ඒ කාලයෙහි කෝණාගමන බුදුරදුන්ගේ ආයුෂය අවුරුදු තිස් දහසකි. ඒ තාක් කල් උන්වහන්සේ වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතෙර කළ සේක. ධර්‍ම නමැති සෑයක් ගොඩනගා, සිව්සස් නමැති ධජ පතාකයෙන් හොබවා, දහම් නමැති මල් ගුළාවක් කොට, ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුරජ තෙම පිරිනිවී සේක. උන්වහන්සේගේ ලොව්තුරා දහම් පැවසූ මහා විලාසය ද, ශ්‍රාවක ජන සමූහයා ද යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?
කෝණාගමන බුදුරජ තෙම පබ්බතාරාමයේ දී පිරිනිවී සේක. ඒ ඒ පෙදෙස්වල උන්වහන්සේගේ ධාතු පැතිරීම වී ය.

මෙම මහා භද්‍ර කල්පයේම දෙවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය සෝභවතී නුවර
ගෝත්‍රය කාශ්‍යප
ජාතිය බ්‍රහ්මණ
පියා යඤ්ඤදත්ත බමුණු
මව උත්හරා බැමිණිය
ප්‍රාසාදත්‍රය 1. තුසිත 2. සන්තුසිත 3. සන්තුට්ඨ
අග්‍රමහේෂී රුචිගත්තා දේවිය
පුත්‍රයා සත්‍ථවාහ කුමරු
අගාරවාස අවුරුදු තුන්දහසයි (3,000)
අභිනිෂ්ක්‍රමණය ඇත් යානයකින් නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස හයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු අග්ගිසෝණ බ්‍රාහ්මණයාගේ දු
කුස තණ තින්දුක යවපාලක
බෝධිය පුණ්ඩරික (උදුම්බර/ දිඹුල්)
ධම්සක් දෙසීම සුදස්සන නුවර ඉසිපතන මිගදායෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත එකක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් භිය්‍යස තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් උත්තර තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් සමුද්දා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් උත්තරා තෙරණිය
අග්‍ර උපස්ථායක සොත්‍ථිජ භික්‍ෂුව
උපස්ථායකයෝ උග්ග සෝමදේව
උපස්ථායිකාවෝ සීවලා, සාමා
වැඩ විසූ විහාර සිරිවනයෙහි විසූහ
ආයු ප්‍රමාණය අවුරුදු තිස්දහසයි. (30,000)
පරිනිර්වානය පබ්බතාරාමයෙහි
බෝසතාණෝ පබ්බත නම් රජව විවරණ ලැබීය

<<< Previous Next >>>

25. කකුසන්ධ බුදුන් වහන්සේ

ස්වයම්භූ වෙස්සභූ බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. ඒ කල්පය ද ඉකුත් කල එකුන්තිස් (29) කපක් ජිනසූර්‍ය්‍යයෝ නූපන්හ. මෙම මහා භද්‍ර කල්පයේ සිවුබුදු කෙනෙක් උපන්හ. කවර සතර නමක් ද? කකුසඳ කෝණාගමන කාශ්‍යප යන තුන් නම සහ අප බුදුරජාණෝ ය. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මතු උපදනාහ. මෙසේ මෙම කල්පය පස් බුදු කෙනෙකුගෙන් යුක්ත බැවින් මහා භද්‍රකල්පය යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. එහි පළමුවන අන්තර කල්පයේ දෙපා ඇති දෙවි මිනිසුන්ට උතුම් වූ, අපමණ ගුණැති, සතුරන්ට ළංවිය නො හැකි, නමින් කකුසඳ නම් වූ බුදුරජ තෙම පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව ඛේමවතී නුවර ඛේමංකර නම් රජුගේ අර්‍ථධර්‍මානුශාසක අග්ගිදත්ත නම් පුරෝහිත බමුණාට දාව විසාඛා බැමිණියගේ කුස පිළිසිඳ ගත්හ. යම් කලෙක රජවරු බමුණන්ට සත්කාර කරත් ද ගරුකාර කරත් ද මානන කරත් ද පූජා කරත් ද එකල බෝසත්වරු බමුණු කුලයේ උපදිති. යම් කලෙක බමුණෝ ක්‍ෂත්‍රීයයන්ට සත්කාර ගරුකාර මානන පූජා කරත් ද එකල බෝසත්වරු රජ කුලයේ උපදිති. එකල්හි වනාහි බමුණෝ ක්‍ෂත්‍රීයයන් විසින් සත්කාර ගරුකාර මානන පූජා කරන ලද්දෝ වූහ. එහෙයි සත්‍යසන්ධ වූ කකුසන්ධ මහ බෝසත්හු විභවශ්‍රී සම්පතින් ආකූල නිරාකූල බ්‍රාහ්මණ කුලයෙහි දසසහශ්‍රී ලෝකධාතු ව නාද කරවමින් පහළ වූහ.
උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් ඛේම උයන්හි මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු කකුසන්ධ යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණ කුලයෙහි වූහ. උන්වහන්සේට සුචි, සුරුචි, රතිවඩ්ඪන නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තිස්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු හතරදහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ විරෝචමානා (රෝහිණී) දේවියට උත්තර කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක මැනවින් සෑදූ අජානීය රථයකින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. සතළිස්දහසක් දෙනා උන්වහන්සේ අනුව පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ අටමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින සුචිරින්‍ද නිගමෙහි වජිරින්ධ බ්‍රාහ්මණයාගේ දූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා කිහිරි වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි සුභද්ද නම් යවපාලකයන් දුන් කුස තණ මිටි අට ගෙන මහරි රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී තිස්තුන රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් වහන්සේ සමග එකට පැවිදි වූ සතළිස්දහසක් භික්‍ෂූන්ගේ හේතු සම්පත් දැක එක් දවසින් ම මිථිලා නුවර ඉසිපතන මිගදායට වැඩ ඔවුන් පිරිවරා ධම්සක් දෙසූහ. එහිදී සතළිස් කෙළ ලක්‍ෂයක් දෙනාට ධර්‍මාභිසමය විය.
මහර්ෂි වූ කකුසන්ධ බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් එකක් වූහ. ආස්‍රව ආදී සතුරු සමූහයා නැති කිරීමෙන් දැමුනු බවට පැමිණි සතළිස්දහසක් භික්‍ෂූන්ගේ රැස්වීම විය.
අප මහා බෝසතාණෝ ඒ කාලයෙහි ඛේම නම් රජෙක් ව තථාගතයන් වහන්සේට ද ජින පුත්‍රයන්ට ද බොහෝ වූ දන් දී, පාත්‍රයක් ද, සිවුරක් ද, අඳුන් ද, වැල්මී ද, යන ආදී දෑ පුදා කැමතිවන ලද ඒ මේ උතුම් සියල්ල ද පිළියෙළ කොට දුන්හ. උන්වහන්සේගෙන් බණ අසා පහන් සිතැති ව බුදුන් වෙත පැවිදි විය. ඒ කකුසඳ ශාස්තෘන් වහන්සේ ද මෙතෙම මේ කල්පයේ ම බුදු වන්නේ යැයි විවරණ දුන් සේක.
කකුසඳ ශාස්තෘන් වහන්සේට විධුර හා සංජීව දෙනම අගසවුවෝ ය. උපස්ථායක බුද්ධිජ නම් භික්‍ෂුව විය. සාමා හා චම්පා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. අච්චුත හා සුමන යන දෙදෙන උපස්ථායකයෝ ය. නන්‍දා හා සුනන්‍දා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය හතළිහ රියන් විය.
මහර්ෂි වූ ඒ කකුසඳ බුදුරදුන්ගේ ආයුෂය අවුරුදු සතළිස් දහසකි. උන්වහන්සේ ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතෙර කළ සේක. දෙවියන් සහිත ලෝකයෙහි ස්ත්‍රී පුරුෂයන්ට දහම් නමැති සල්පිලක් ඇර තබා, සිංහ නාද කොට ශ්‍රාවකයින් සහිතව පිරිනිවී සේක. අටඟ හඬින් යුත් වචන ඇති කකුසඳ බුදුරජ තෙමේ ද නිතර සිදුරු නැති සීලයෙන් යුත් අගසවු ආදී සියල්ලෝ ම අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?
කකුසඳ ජිනරාජ තෙම ඛේම නම් ආරාමයේ දී පිරිනිවී සේක. එහි ම උන්වහන්සේගේ උතුම් සෑය ගව්වක් අහසට උස්ව නැංගේ ය.

මෙම මහා භද්‍ර කල්පයේම පළමුවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය ඛේමවතී නුවර
ගෝත්‍රය කාශ්‍යප
ජාතිය බ්‍රහ්මණ
පියා අග්ගිදත්ත බමුණු
මව විසාඛා බැමිණිය
ප්‍රාසාදත්‍රය 1. සුචි 2. සුරුචි 3. රතිවද්ධන
අග්‍රමහේෂී විරෝචමානා (රෝහිණී) දේවිය
පුත්‍රයා උත්තර කුමරු
අගාරවාස අවුරුදු හතරදහසයි (4,000)
අභිනිෂ්ක්‍රමණය ආජඤ්ඤ රථයකින් නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස දහයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු සුචිරින්‍ද නිගමෙහි වජිරින්‍ධ ඹ්‍රහ්මණයාගේ දූ
කුස තණ සුභද්ද යවපාලක
බෝධිය පාටලි (මාර)
ශරීර රශ්මිය දස යොදුනක් පමණ පැතිර සිටියේය
ධම්සක් දෙසීම මිථිලා නුවර ඉසිපතන මිගදායෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත එකක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් විධුර තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් සඤ්ජීව තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් සාමා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් චම්පා තෙරණිය
අග්‍ර උපස්ථායක බුද්‍ධිජ භික්‍ෂුව
උපස්ථායකයෝ අච්චුත, සුමන
උපස්ථායිකාවෝ නන්‍දා, සුනන්‍දා
ආයු ප්‍රමාණය අවුරුදු හතළිස්දහසයි. (40,000)
පරිනිර්වානය ඛේමාරාමයෙහි
බෝසතාණෝ ඛේම නම් රජව විවරණ ලැබීය

<<< Previous Next >>>

24. වෙස්සභූ බුදුන් වහන්සේ

සිඛී බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි දෙවන අන්තර කල්පයේ අසම වූ දිනූ අදහස් ඇති ලොව දිනූ වෙස්සභූ නම් ලෝනා සමිඳු පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව අනූපම නුවර රජ කුලයෙහි මනා ප්‍රීතියට පත් සුප්පතීත නම් ක්‍ෂත්‍රීය රජතුමාට දාව සිල්වත් වූ යසවතී නම් දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් අනූපම උයන්හි මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු “උපදිද්දී ම ජනයා සතුටු කොට ඍෂභ නාද කළහ. එහෙයින් වසභ නාද හේතුවෙන්” වෙස්සභූ යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට සුචී, සුරුචී, රතිවඩ්ඪන නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තිස්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු හයදහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ සුචිත්තා දේවියට සුප්පබුද්ධ කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක සිවිකා යානයකින් (රන්සිවිගෙයකින්) උයන දැකීමට ගොස් දෙවියන් දුන් කසාවත් ගෙන පැවිදි වූහ. සැත්තෑදහසක් උන්වහන්සේ අනුව පැවිදි වූහ. සමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින සුචිත්ත නියම්ගම දෘෂ්‍යමාන කයින් සිරිවඩ්ඪනාව දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි නරින්‍ද නම් නා රජු දුන් කුස තණ මිටි අට ගෙන සාල (සල්) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී හතළිහ රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් සිය බාල සොහොයුරු සෝණ කුමරුගේ ද උත්තර කුමරුගේ ද හේත් සම්පත් දැක අහසින් වැඩ අනූපම නගර සමීපයෙහි අරුණ උයන්හි බැස දෙකුමරුවන් කැඳවා පිරිවර මැද දම්සක් පැවැත්වූහ. එහිදී අසූ කෙළ දහසකට ධර්‍මාභිසමය විය.
මහර්ෂි වූ වෙස්සභූ බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ. අසූදහසක් භික්‍ෂූන්ගේ පළමුවන රැස්වීම විය. සැත්තෑදහසක් භික්‍ෂූන්ගේ දෙවන රැස්වීම විය. ජරා මරණ ආදී භය නැති කළ හැටදහසක් භික්‍ෂූන්ගේ තුන්වන රැස්වීම විය.
එකල අප මහා බෝසතාණෝ සරභවතී නුවර පරම ප්‍රියදර්‍ශණ වූ සුදර්‍ශණ නම් රජව වෙස්සභූ ලෝකනායකයන් වහන්සේ සරභ නගරයට වඩින කල්හි උන්වහන්සේගේ බණ අසා පහන් හදින් දෑත් එක් කොට, බබළන ජලජ නිමල අවිකල මානෙල් කැකුළක් වන් දෑඟිලි හිස තබා බුදුපාමොක් මහසඟනට මහා චීවර දානයක් දී එහි ම භාග්‍යවතුන් වහන්සේගේ වාසය පිණිස ගඳකිළියක් කොට එය වට කොට විහාර දහසක් කරවා සියලු සම්පත් බුද්ධ ශාසනයට පුද කොට වෙස්සභූ බුදුන් වෙත මහණ ව ආචාර ගුණ සම්පන්න ව තෙළෙස් ධූත ගුණයෙහි නිරත ව බෝධිසම්භාර පිරික්සීම සඳහා ඇඳුණෝ බුද්ධශාසනාභිරත ව විසූහ. ඒ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ ද මෙතෙම මෙයින් කල්ප තිස් එකකට මත්තෙහි ගෞතම නමින් බුදුවන බවට විවරණ දුන් සේක.
ඒ වෙස්සභූ සර්‍වඥයන් වහන්සේට සෝණ හා උත්තර දෙනම අගසවුවෝ ය. උපස්ථායක උපසන්ත නම් භික්‍ෂුව විය. දාමා හා සමාලා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. සොත්‍ථික හා රම්ම යන දෙදෙන උපස්ථායකයෝ ය. ගෝතමී හා සිරිමා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය හැට රියන් විය.
ඒ කාලයෙහි අවුරුදු හැටදහසක් ආයුෂ ඇත්තේ ය. ඒ තාක් කල් වැඩ සිටිමින් උන්වහන්සේ බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතෙර කළ සේක. ධර්‍මය පැතිර වීම කොට, මහජනයාට බෙදා, දහම් නමැති නැව තබා, ශ්‍රාවකයින් සහිතව ඒ බුදුරජ තෙම පිරිනිවී සේක. දැක්ක යුතු සියලු පිරිවර සහිත බුදුරජ තෙමේ ද, විහාරය ද, ඉරියව් ද යන සියල්ල අතුරුදන් වී. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?
ශාස්තෘ වූ ඒ වෙස්සභූ ජිනරාජ තෙම ඛේම නම් ආරාමයේ දී පිරිනිවී සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරීම වී ය.

මෙ කපින් කල්ප තිස්එකකට පෙර මණ්ඩ නම් කල්පයේ දෙවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය අනූපම නුවර
ගෝත්‍රය කොණ්ඩඤ්ඤ
ජාතිය ක්‍ෂත්‍රීය
පියා සුප්පතීක ක්‍ෂත්‍රීය රජතුම
මව යසවතී දේවිය
ප්‍රාසාදත්‍රය 1. සුචී 2. සුරුචී 3. රතිවඩ්ඪන
අග්‍රමහේෂී සුචිත්තා දේවිය
පුත්‍රයා සුප්පබුද්ධ කුමරු
අගාරවාස අවුරුදු හයදහසයි (6,000)
අභිනිෂ්ක්‍රමණය සිවිකා යානය (රන්සිවිගෙය) කින් නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස හයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු සුචිත්ත නියම්ගම සිරිවඩ්ඪනාව
කුස තණ නරින්‍ද නාරජු
බෝධිය සාල (සල්)
ධම්සක් දෙසීම අරුණ ආරාමයෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් සෝණ තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් උත්තර තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් දාමා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් සමාලා තෙරණිය
අග්‍ර උපස්ථායක උපසන්තා භික්‍ෂුව
උපස්ථායකයෝ සොත්‍ථිත, රම්ම
උපස්ථායිකාවෝ ගෝතමී, සිරිමා
ආයු ප්‍රමාණය අවුරුදු හැටදහසයි. (60,000)
පරිනිර්වානය උසභවතී නුවර ඛේමාරාමයෙහි
බෝසතාණෝ සුදර්ශන නම් රජව විවරණ ලැබීය

<<< Previous Next >>>

23. සිඛී බුදුන් වහන්සේ

විපස්සී බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි මෙම කල්පයට කල්ප තිස්එකකට පෙර මණ්ඩ නම් කල්පයේ සම්බුදු වූ දෙපා ඇති සතුන්ට උතුම් වූ අසම වූ සිඛී, වෙස්සභූ යයි ජිනරාජවරු දෙනමක් වූහ. එහි සිඛී නම් ශාස්තෘන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව අරුණවතී නුවර රජ කුලයෙහි පරම ගුණයෙන් යුත් අරුණවා ක්‍ෂත්‍රීය රජතුමාට දාව පරම රුසිරු රන්පැහැ ඇති ප්‍රභාවතී දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් නිපක උයන්හි දී මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු “සිඛාවක් මෙන් උන්හීසය උඩනැගි හෙයින්” සිඛී යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට සුචන්‍ද, ගිරි, වසභ නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ සූවිසිදහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු හත්දහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ සබ්බකාමා දේවියට ගුණගණයෙන් ආතුල අතුල නම් කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක ඇත් යානයකින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. සැත්තෑ ලක්‍ෂයක් දෙනා උන්වහන්සේ අනුව පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ අටමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින සුදස්සන නියම්ගමෙහි පියදස්සී සිටුහුගේ දූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා තරුණ කිණිහිරි වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි අනෝමදස්සී නම් තවුසා දුන් කුස තණ මිටි අට ගෙන පුණ්ඩරික (ඇටඹ/ සුදු අඹ) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී විස්ස රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් වහන්සේ සමග එකට පැවිදි වූ සැත්තෑ ලක්‍ෂයක් පිරිසගේ හේතු සම්පත් දැක අහසින් වැඩ මිගාචීර උයනෙහි ඔවුන් පිරිවරන ලද්දේ ධම්සක් දෙසූහ. එහිදී කෙළ ලක්‍ෂයක් දෙනාට ධර්‍මාභිසමය විය.
මහර්ෂි වූ සිඛී බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ. ලක්‍ෂයක් භික්‍ෂූන්ගේ පළමු රැස්වීම විය. අසූ ලක්‍ෂයක් භික්‍ෂූන්ගේ දෙවන රැස්වීම විය. දියෙහි හටගෙන දියෙහි වැඩුණු දිය හා නො ගැටුණු පියුමක් මෙන් වූ සැත්තෑදහසක් භික්‍ෂූන්ගේ තුන්වන සමාගම විය.
එකල්හි අප මහා බෝසතාණෝ කිසිතැනක නො ඇලුණාහු පරිභුත්ත නුවර අරින්‍දම නම් රජව සිඛී ශාස්තෘන් වහන්සේ පරිභුත්ත නුවරට වැඩි කල්හි සපිරිවරින් රාජ භවනයෙන් පෙර ගමන් කොට පා පියුම් යුගලයෙහි පිරිස් සහිතව සිරසින් නැමැද දසබලයන් වහන්සේට ආරාධනා කොට සතියක් ඓශ්චර්ය කුල සම්පත් ශ්‍රද්ධාවට අනුරූප මහ දන් දී සළු ගබඩා හැර බුදුපාමොක් බික්සඟන මහඟු සළු පිදූහ. තමන්ගේ බල රූප ලක්‍ෂණ ජව සම්පන්න රන්දැල් මාලාදියෙන් සරසන ලද නවරන් සොඳුරු දළකොපු චාමර යුග්මයෙන් බබළන මහත් මෘදු කන් ඇති සඳ රේඛා මෙන් බබළන මුවශෝභා යුත් එරවණ ඇතු මෙන් සතුරන් වළකන මඟුලැතු පුදා ඇත් ප්‍රමාණයෙන් කැප බඩු ද පූජා කලහ. ඒ සිඛී ශාස්තෘන් වහන්සේ ද මෙයින් කල්ප තිස් එකකින් මතු මෙතෙම ගෞතම නමින් බුදු වන්නේ යැයි විවරණ දුන් සේක.
මහාවීර වූ නරෝත්තම වූ සිඛී නම් ලෝකාග්‍ර නායකයන් වහන්සේ හට අභිභූ හා සම්භව දෙනම අගසවුවෝ ය. උපස්ථායක ඛේමංකර නම් භික්‍ෂුව විය. මඛිලා හා පදුමා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. සිරිවඩ්ඪ හා නන්‍ද යන දෙදෙන උපස්ථායකයෝ ය. චිත්ත හා සුගුත්ත යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය හැත්තෑව රියන් විය.
මහර්ෂි වූ ඒ සිඛී බුදුරදුන්ට අවුරුදු සැත්තෑදහසක් ආයුෂ වී ය. උන්වහන්සේ ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතෙර කළ සේක. දහම් වැසි වස්වා, දෙවියන් සහිත ලෝ වැසියන් තෙමා, ඒ නිවනට පමුණුවා, ශ්‍රාවකයන් සහිත වූ උන්වහන්සේ පිරිනිවී සේක. අසූ අනූ ව්‍යඤ්ජනයෙන් යුත්, දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?
සිව්සස් අවබෝධ කළ සිඛී මුනිසඳු සීලවතී නුවර දුස්සාරාමයෙහි පිරිනිවී සේක. එහි ම උන්වහන්සේගේ උතුම් සෑය තුන් යොදුනක් උසට බදින ලදි.

මෙ කපින් කල්ප තිස්එකකට පෙර මණ්ඩ නම් කල්පයේ පළමුවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය අරුණවතී නුවර
ගෝත්‍රය කොණ්ඩඤ්ඤ
ජාතිය ක්‍ෂත්‍රීය
පියා අරුණවා ක්‍ෂත්‍රීය රජතුම
මව ප්‍රභවතී දේවිය
ප්‍රාසාදත්‍රය 1. සුචන්‍ද 2. ගිරි 3. වසභ
අග්‍රමහේෂී සබ්බකාමා දේවිය
පුත්‍රයා අතුල කුමරු
අගාරවාස අවුරුදු හත්දහසයි (7,000)
අභිනිෂ්ක්‍රමණය ඇත් යානයකින් නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස අටක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු සුදස්සන නියම්ගමෙහි පියදස්සී සිටුගේ දූ
කුස තණ අනෝමදස්සී තවුසා
බෝධිය පුණ්ඩරික (ඇටඹ/ සුදු අඹ)
ශරීර රශ්මිය තුන් යොදුනක් පමණ පැතිර සිටියේය
ධම්සක් දෙසීම මිගාචීර උයනෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් අභිභූ තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් සම්භව තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් මඛිලා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් පදුමා තෙරණිය
අග්‍ර උපස්ථායක ඛේමංකර භික්‍ෂුව
උපස්ථායකයෝ සිරිවඩ්ඪ, නන්‍ද
උපස්ථායිකාවෝ චිත්ත, සුගුත්ත
ආයු ප්‍රමාණය අවුරුදු හැත්තැදහසයි. (70,000)
පරිනිර්වානය සීලවතී නුවර අස්සාරාමයෙහි
බෝසතාණෝ අරින්‍දම නම් රජව විවරණ ලැබීය

<<< Previous Next >>>

22. විපස්සී බුදුන් වහන්සේ

ඵුස්ස බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි අන්තර කල්ප සහිත ඒ කල්පය ගත වූ කල්හි මෙම කල්පයට කල්ප අනූඑකකට පෙර සාර නම් කල්පයේ පළමුවන අන්තර කල්පයේ විකල්ප දත් පරහිත නිරත සංකල්ප ඇති සර්‍වාර්‍ථයන් විශේෂයෙන් දන්නා පසැස් ඇති, දෙපා ඇති සතුන්ට උතුම් වූ, නමින් විපස්සී නම් ශාස්තෘන් වහන්සේ පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව බන්‍ධුමතී නුවර රජ කුලයෙහි බන්‍ධුම ක්‍ෂත්‍රීය රජතුමාට දාව බන්‍ධුමතී දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් ඛේම මිගදායෙහි මේ වලාරොදින් පුන් සඳ සේ මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු “නෑයෝ දිවා රෑ අතරතුර මොහොතකුදු අන්ධකාරයක් නොමැතිව පිරිසිදුව දක්නාහ. විවෘත ඇසින් දක්නාහ. එහෙයින්” විපස්සී යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට නන්‍ද, සුනන්‍ද, සිරිමා නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ එක්ලක්‍ෂ විසිදහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු අටදහසක් ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ සුදස්සන (සුතනු) දේවියට සමවත්තක්ඛන්ධ කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක ආජඤ්ඤ රථයකින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. උන්වහන්සේ අනුව සුවාසූදහසක් පුරුෂයෝ පැවිදි වූහ. අටමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින සුදස්සන සිටුදූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා නොයෙක් කුසුමින් සමලංකෘත සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි සුජාත නම් යවපාලකයා දුන් කුස තණ මිටි අට ගෙන පළොල් රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පනස්තුන් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් සුළුමෑණි පුත් ඛණ්ඩ කුමරුගේ ද පුරෝහිත පුත් තිස්ස කුමරුගේ ද හේතු සම්පත් දැක අහසින් වැඩ ඛේම මිගදායෙහි ධම්සක් දෙසූහ. එහිදී අපමණ සත්වයන්ට ධර්‍මාභිසමය විය.
මහර්ෂි වූ විපස්සී බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ.
අප මහබෝසතාණෝ එකල්හි මහර්ධිමත් මහානුභාව ඇති අතුල නම් නාග රාජයෙක් ව නොයෙක් කෙළ ගණන් නා පිරිවර ඇත්තේ පිරිවර සහිත අසම සිල්බල ඇති කරුණාවෙන් සිසිල් සිත් ඇති දසබලයන් වහන්සේට සත්කාර කරනු වස් සඳමඬල වන් රුවන්මුවා දර්ශනීය සාරමණ්ඩයක් වූ මණ්ඩපයක් කරවා එහි වඩාහිඳුවා සතියක් දෙව් සැපයට අනුරූප මහදන් පුදා සත්රුවණින් සැරසූ මාහැඟි රන්මුවා නන් මිණිරැස් දහරින් බබළන පුටුවක් භාග්‍යවතුන් වහන්සේට පිදීය. එකල්හි ඔහුට පීඨදානානුමෝදනා වශයෙන් මෙතෙම මෙයින් ඒකානූවන කප්හි ගෞතම නමින් බුදු වන්නේ යැයි විවරණ දුන් සේක.
විපස්සී බුදුන්ට ඛණ්ඩ හා තිස්ස දෙනම අගසවුවෝ ය. උපස්ථායක අසෝක නම් භික්‍ෂුව විය. චන්‍දා හා චන්‍දමිත්තා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. පුනබ්බසුමිත්ත හා නාග යන දෙදෙන උපස්ථායකයෝ ය. සිරිමා හා උත්තරා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය අසූව රියන් විය.
ඒ කාලයෙහි විපස්සී බුදුරදුන්ට අවුරුදු අසූදහසක් ආයුෂ වී ය. උන්වහන්සේ එතෙක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතෙර කළ සේක. බොහෝ දෙවි මිනිසුන් සසර බැඳුමෙන් මිදෙව් සේක. මග හා නොමග සෙසු පුහුදුන්ට වදාළ සේක.
ඒ විපස්සී බුදුරජ තෙම ආලෝකය දක්වා, අමා පදය යැයි කියන ලද නිවන් තැබීමට කරුණු වූ දහම් දෙසා, ගිනි කඳක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිතව සුමිත්තාරාමයෙහි දී පිරිනිවී සේක. එහි ම උන්වහන්සේගේ උතුම් සෑය සත් යොදුනක් උසට බඳින ලද්දේ ය.
උතුම් ඍද්ධිය ද, උතුම් පින ද, සක් ලකුණු ආදිය කරණකොට මල් පිපුණු ගසක් මෙන් අලංකාර ශරීරය ද, සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?

මෙ කපින් කල්ප අනූඑකකට පෙර සාර නම් කල්පයේ පළමුවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය බන්‍ධුමතී නුවර
ගෝත්‍රය කොණ්ඩඤ්ඤ
ජාතිය ක්‍ෂත්‍රීය
පියා බන්‍ධුමා ක්‍ෂත්‍රීය රජතුම
මව බන්‍ධුමතී දේවිය
ප්‍රාසාදත්‍රය 1. නන්‍ද 2. සුනන්‍ද 3. සිරිමා
අග්‍රමහේෂී සුදස්සන (සුතනු) දේවිය
පුත්‍රයා සමවත්තක්ඛන්‍ධ කුමරු
අගාරවාස අවුරුදු අටදහසයි (8,000)
අභිනිෂ්ක්‍රමණය ආනඤ්ජ රථයකින් නික්මුණහ
ප්‍රධන් වීර්ය දින දහහතරක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු සුදස්සන සිටුදූ
කුස තණ සුජාත යවපාලකා
බෝධිය පළොල්
ශරීර රශ්මිය සත් යොදුනක් පමණ පැතිර සිටියේය
ධම්සක් දෙසීම ඛේම මිගදායෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් ඛණ්ඩ තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් තිස්ස තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් චන්‍දා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් චන්‍දමිත්තා තෙරණිය
අග්‍ර උපස්ථායක අසෝක භික්‍ෂුව
උපස්ථායකයෝ පුනබ්බසුමිත්ත, නාග
උපස්ථායිකාවෝ සිරිමා, උත්තරා
ආයු ප්‍රමාණය අවුරුදු අසූදහසයි. (80,000)
පරිනිර්වානය සුමිත්තාරාමයෙහි
බෝසතාණෝ අතුල නම් නා රජුව විවරණ ලැබීය

<<< Previous Next >>>

21. ඵුස්ස බුදුන් වහන්සේ

තිස්ස බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි දෙවන අන්තර කල්පයේ දෙවි මිනිසුන්ගේ අනුශාසක වූ, තමාට වැඩි උතුමෙක් නැති හෙයින් අනුත්තර වූ, උපමා රහිත හෙයින් අනූපම වූ, අසමසම වූ ඵුස්ස නම් ශාස්තෘන් වහන්සේ පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව කසී නුවර රජ කුලයෙහි ජයසේන ක්‍ෂත්‍රීය රජතුමාට දාව සිරිමා දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් සිරිමා උයනෙහි මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු ඵුස්ස යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට ගරුළපක්ඛ, හංස, සුවණ්ණහාර නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තිස්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු හයදහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ කිසාගෝතමී දේවියට අනූපම කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක සරසන ලද ඇත්කඳ මත නැගී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. කෙළක් දෙන උන්වහන්සේ අනුව පැවිදි වූහ. සමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින එක්තරා නුවරක එක්තරා සිටුවරයකුගේ සිරිවඩ්ඪා නම් සිටුදූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා ඇට්ටේරිය වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි සිරිවඩ්ඪ නම් තවුසා දුන් කුස තණ මිටි අට ගෙන නෙල්ලි (ඇඹල) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී තිස්අට රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් වහන්සේ සමග එකට පැවිදි වූ කෙළක් භික්‍ෂූන්ගේ හේතු සම්පත් දැක අහසින් වැඩ සංකස්ස නුවර ඉසිපතන මිගදායෙහි ධම්සක් දෙසූහ. එහිදී කෙළ ලක්‍ෂයක් දෙනාට ධර්‍මාභිසමය විය.
මහර්ෂි වූ ඵුස්ස බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ. අප මහබෝසතාණෝ ඒ කාලයේ අරිමන්‍ද නුවර විජිතාවි නම් රජව ඵුස්ස බුදුරජාණන්ගෙන් බණ අසා පැහැද උන්වහන්සේට මහ දන් පුදා මහා රාජ්‍යය අතහැර භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි ව තුන්පිටකය ඉගෙන ත්‍රිපිටකධාරී ව මහජනයාට ධර්‍මය දේශනා කළ සේක. සීල පාරමිතාව ද පිරූහ. ඒ ඵුස්ස භාග්‍යවතුන් වහන්සේ ද මෙයින් දෙයානූවන කපින් මතු මෙතෙම ගෞතම නමින් බුදු වන්නේ යැයි විවරණ දුන් සේක.
පුරුෂෝත්තම ඵුස්ස බුදුන්ට සුරක්ඛිත හා ධම්මසේන දෙනම අගසවුවෝ ය. උපස්ථායක සභීය නම් භික්‍ෂුව විය. චාලා හා උපචාලා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. ධනඤ්ජය හා විසාඛා යන දෙදෙන උපස්ථායකයෝ ය. පදුමා හා නාගා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය පනස්අට රියන් විය. ඒ කාලයෙහි අවුරුදු අනූදහසක් ආයුෂය ඇත්තේ ය. උන්වහන්සේ එතෙක් කල් වැඩ සිටිමින් බොහෝ දෙනා බව සයුරෙන් එතෙර කළ සේක. අපමණ යසස් ඇති ඒ ශාස්තෘන් වහන්සේ ද, බොහෝ සත්වයන්ට අවවාද කොට මහජනයා සසරින් එතෙර කොට, ශ්‍රාවකයන් සහිතව පිරිනිවී සේක.
ශාස්තෘ වූ ඵුස්ස ජිනරාජ තෙම කුසිනාරාවෙහි ශ්වේතාරාමයෙහි පිරිනිවී සේක. ඒ ඒ පෙදෙස්හි උන්වහන්සේගේ ධාතු පැතිරීම විය.

මෙ කපින් කල්ප අනූදෙකකට පෙර මණ්ඩ නම් කල්පයේ දෙවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය කශ්සි නුවර
ජාතිය ක්‍ෂත්‍රීය
පියා ජයසේන ක්‍ෂත්‍රීය රජතුම
මව සිරිමා දේවිය
ප්‍රාසාදත්‍රය 1. ගරුළ 2. හංස 3. සුවණ්ණ
අග්‍රමහේෂී කිසාගෝතමී දේවිය
පුත්‍රයා අනූපම කුමරු
අගාරවාස අවුරුදු හයදහසයි (6,000)
අභිනිෂ්ක්‍රමණය ඇතුපිටි නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස හයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු සිරිවඩ්ඪා සිටුදූ
කුස තණ සිරිවඩ්ඪ තාපසය
බෝධිය නෙල්ලි (ඇඹ්ල)
ධම්සක් දෙසීම සංකස්ස නුවර ඉසිපතන මිග්දායෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් සුරක්ඛිත තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් ධම්මසේන තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් චාලා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් උපචාලා තෙරණිය
අග්‍ර උපස්ථායක සභීය භික්‍ෂුව
උපස්ථායකයෝ ධනඤ්ජය, විසාඛා
උපස්ථායිකාවෝ පදුමා, නාගා
ආයු ප්‍රමාණය අවුරුදු අනූදහසයි. (90,000)
පරිනිර්වානය කුසිනාරාවෙහි සේතාරාමයෙහි
බෝසතාණෝ විජිතාවී නම් ක්‍ෂත්‍රීය රාව විවරණ ලැබීය

<<< Previous Next >>>

20. තිස්ස බුදුන් වහන්සේ

සිද්ධත්‍ථ (සිදුහත්) බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි එක් මහා කල්පයක් ගෙවී මෙම කල්පයට කල්ප අනූදෙකකට පෙර මණ්ඩ නම් කල්පයේ අසම වූ, තමාට සමාන පුද්ගලයෙක් නැති, අපමණ තෙදැති, බොහෝ පිරිවර ඇති තිස්ස, ඵුස්ස යයි ලෝනාහිමිවරු දෙනමක් වූහ. එහි තිස්ස නම් මහා පුරුෂයාණෝ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව ඛේමක රජ කුලයෙහි ජනසන්ධ ක්‍ෂත්‍රීය රජතුමාට දාව පියුම් පෙති මෙන් නුවන් ඇති පදුමා නම් දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් අනෝම උයන්හි මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු තිස්ස යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට ගුහ, සේලනාරිය, නිසභ නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තිස් තුන්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු හත්දහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ සුභද්දා දේවියට ආනන්‍ද කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක සෝණුත්තර නම් අනුත්තර තුරඟාරූඪ ව අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. මිනිස්සු කෙළක් උන්වහන්සේ අනුව පැවිදි වූහ. මාස අටක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින වීර නියම්ගමෙහි වීර සිටුදූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි විජිතසංගාම නම් යවපාලකයා දුන් කුස තණ මිටි අට ගෙන පියා රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී හතළිහ රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් හංසවතී නුවර බ්‍රහ්මදේව හා උදයන යන හේතු සම්පත් ඇති රජ කුමරුවන් දෙදෙන දැක අහසින් වැඩ හංසවතී නුවර බ්‍රහ්මදේව උයනෙහි ධම්සක් දෙසූහ. එහිදී කෙළ සියයක් දෙනාට ධර්‍මාභිසමය විය.
තිස්ස බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ.
අප මහබෝසතාණෝ ඒ කාලයෙහි “සුජාත” නම් රජව, මහත් සම්පත් හැරදමා, ඍෂි පැවිද්දෙන් පැවිදි විය. එකල්හි ලෝනාහිමි වූ බුදුරජ තෙම ලොව පහළ වූ සේක. “බුද්ධ” යන ශබ්දය අසා සතුටක් උපන්නේ දෙව්ලොව හටගත්තා වූ මඳාරා මල් ද, පියුම් ද, පරසතු මල් ද, දෑතින් දැඩි කොට ගෙන සලමින් අහසින් බුදුරදුන් වෙත පැමිණ ඒ මලක් ගෙන, සිවුවණක් පිරිස් පිරිවරන ලද “තිස්ස” නම් ලෝනාහිමි ජිනරාජයන් මත කුඩයක් සේ දැරූහ. එවිට ඒ තිස්ස භාග්‍යවතුන් වහන්සේ මෙයින් අනූ දෙවන කපින් මතු ගෞතම නමින් බුදු වන්නේ යැයි විවරණ දුන් සේක.
මහර්ෂි වූ තිස්ස නම් බුදුන්ට බ්‍රහ්මදේව හා උදය දෙනම අගසවුවෝ ය. උපස්ථායක සමංග නම් භික්‍ෂුව විය. ඵුස්සා හා සුදත්තා යන දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. සම්බල හා සිරි යන දෙදෙන උපස්ථායකයෝ ය. කිසාගෝතමී හා උපසේනා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය හැට රියන් විය.
අසම තෙද ඇති ඒ තිස්ස බුදුරදුන්ගේ ද ආයුෂය ඉතා දික් වූයේත්, ඉතා මඳ නො වූයේත් විය. පසැස් ඇති උන්වහන්සේ අවුරුදු සියක්දහසක් ලෝකයෙහි වැඩ සිටි සේක. උතුම් වූ, ප්‍රවර වූ, ශ්‍රේෂ්ඨ වූ මහා යසස් විඳ, ගිනි කඳක් මෙන් දිලිහී, ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුරජ තෙම පිරිනිවී සේක. පවනින් මේකුළක් මෙන් ද, හිර කරණකොට පිනි මෙන් ද, ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුරජ තෙම පිරිනිවී සේක.
ජිනරාජ වූ තිස්ස බුදුරජ තෙම නන්‍දාරාමයෙහි දී පිරිනිවී සේක. එහි ම උන්වහන්සේගේ ජිනථූපය තුන් යොදුනක් උසට බඳින ලදි.

මෙ කපින් කල්ප අනූදෙකකට පෙර මණ්ඩ නම් කල්පයේ පළමුවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය ඛේමක
ජාතිය ක්‍ෂත්‍රීය
පියා ජනසන්‍ධ ක්‍ෂත්‍රීය රජතුම
මව පඩුමා දේවිය
ප්‍රාසාදත්‍රය 1. ගුහ 2. සේලනාරිය 3. නිසභ
අග්‍රමහේෂී සුභද්දා දේවිය
පුත්‍රයා ආනන්ද කුමරු
අගාරවාස අවුරුදු හත්දහසයි (7,000)
අභිනිෂ්ක්‍රමණය සෝණුත්තර අසුපිටින් නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස අටක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු වීර නියම්ගමෙහි වීර සිටුදූ
කුස තණ විජිතසංගාම යවපාලක
බෝධිය පියා
ධම්සක් දෙසීම හංසවතී නුවර බ්‍රහ්මදේව උයනෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් බ්‍රහ්මදේව තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් උදය තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් ඵුස්සා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් සුදත්තා තෙරණිය
අග්‍ර උපස්ථායක සමංග භික්‍ෂුව
උපස්ථායකයෝ සම්බල, සිරි
උපස්ථායිකාවෝ කිසාගෝතමී, උපසේනා
ආයු ප්‍රමාණය අවුරුදු ලක්‍ෂයයි. (100,000)
පරිනිර්වානය සුනන්‍දවතී නුවර සුනන්‍දාරාමයෙහි
බෝසතාණෝ සුජාත නම් රාව විවරණ ලැබීය

<<< Previous Next >>>