Friday, July 01, 2016

04. දීපංකර බුදුන් වහන්සේ

සරණංකර බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන දිගු කලක් මිහිපිට පැවතුණේ ය. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි එක් අන්තර කල්පයක් ගෙවී ගිය කල්හි ලෝකනායක වූ සකල ලෝක අතිදීපංකර දීපංකර නම් ජිතපංචමාරයන් වහන්සේ ලෝ පහළ වූ සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ සොළොසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා පංච මහා පරිත්‍යාගයන් කොට පූර්‍වයෝග පූර්‍වචර්‍යා ධර්‍මඛ්‍යාන ඥාතර්‍ත්ථචර්‍යා යනාදී දහම් පුරා බුද්ධිචර්‍යාවන්ගේ පරතෙරට ගොස් බෝධි ඤාණය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට සප්ත මහා දානයන් දී සත් වරක් මහපොළොව කම්පා කර එයින් සැව තුසීපුරයෙහි උපන් සේක.
පංච මහා විලෝකනය හෙවත් පස් මහ බැලුම්
ඉක්බිති දෙවියන් විසින් බුදුබව පිණිස මනුලොව උපදිනු මැනව යැයි ආයාචනා කරනුයේ;
කාලොයං තෙ මහාවීර, උප‍්පජ‍්ජ මාතුකුච‍්ඡියං;
සදෙවකං තාරයන‍්තො, බුජ‍්ඣස‍්සු අමතං පදං
බුඳ්‍ධවංසපාළි\1. රතනචඞ‍්කමනකණ‍්ඩං
"මහත් වීර්‍ය්‍ය ඇති උතුමාණෙනි, ඔබට බුදුවීමට මේ කාලයයි. මිනිස් ලොවෙහි මව් කුස පිළිසිඳ ගනු මැනව. දෙවියන් සහිත ලෝකයා සසර සයුරෙන් එතෙර කරමින් නිවන් අවබෝධ කළ මැනව." කී කල්හි මහ බෝසතාණන් වහන්සේ ඒ දෙවියන්ට පොරොන්දුවක් නො දී කාලය, දීපය, දේශය, කුලය හා මව වශයෙන් පස් මහ බැලුම් බැලූ සේක.
01. එහි කාලය යනු; එහිදී කල් ද නො කල් දැයි පළමු ව බැලූහ. මිනිසුන්ගේ පරමායුෂ වර්‍ෂ ලක්‍ෂයක් නම් එය බුදු වීමට කාලය නොවේ. කුමක් හෙයින් ද? ජරා මරණ අප්‍රකට බැවිනි. බුදුවරුන්ගේ ධර්‍ම දේශනාව නම් ත්‍රිලක්‍ෂණයෙන් මිදුණේ නො වෙයි. අනිච්චං දුක්ඛං අනත්තං යැයි කියූ විට ඔවුන්ට එය කුමක් දැයි නොම දැනේ. එබැවින් දහම් අවබෝධ නොවේ. එවිට සසුන අනෛර්යාණික වේ. එබැවින් මිනිසුන්ගේ පරම ආයුෂ ලක්‍ෂයකට වැඩි විට බුදුවරු ලෝ පහළ නොවේ. එමෙන්ම පරමායුෂ වර්‍ෂ සියයකට අඩු කාලයේ ද බුදුවරු ලෝ පහළ නොවේ. කුමක් නිසා ද? එකල සත්වයෝ උත්සන්න කෙලෙස් ඇත්තෝ වෙති. කෙලෙස් උත්සන්නයන්ට දුන් අවවාදය නො පිළිගනී. එබැවින් එය ද අකාලය වේ. එබැවින් මිනිසුන්ගේ පරම ආයුෂ සියයත් ලක්‍ෂයත් අතර කාලවල දී බුදුවරු ලෝ පහළ වේ. මේ කාලය බැලීම නම් වේ.
02. දීපය යනු; පූර්වවිදේහය, දඹදිව, උතුරුකුරු දිවයින හා අපරගෝයානය යනුවෙන් ලෝ ඇති සතර මහ දිවයින් වලින් සියලු ම බුදුවරු දඹදිව ම උපදිති. එය දසදහසක් යොදුන් ප්‍රදේශයයි. මේ දීපය බැලීම නම් වේ.
03. දේශය යනු; එමෙන්ම දඹදිව මධ්‍යම දේශයේ සියලු බුදුවරු උපදිති. මධ්‍ය දේශය යනු නැගෙනහිරින් කජංගල නම් නියම්ගම ද ගිනිකොනින් සල්ලවතී නම් ගංගාව ද දකුණු දිශාවෙන් ස්වේත කර්ණිකා නම් නියම්ගම ද බස්නාහිරින් ථූණ නම් බමුණු ගම ද උතුරු දිශාවෙන් උසීරද්වජ නම් පර්‍වතය ද යන ස්ථානයන්ගෙන් මොබ පිහිටි ප්‍රදේශය මධ්‍ය ප්‍රදේශය වේ. ඉන් පිටත ප්‍රත්‍යන්ත ප්‍රදේශයයි. මධ්‍ය ප්‍රදේශයේ බුදුවරු, පසේබුදුවරු, අගසවුවෝ, අසූමහා ශ්‍රාවකයෝ, සක්විති රජවරු ද අන්‍ය වූ මහේශාක්‍ය ක්‍ෂත්‍රීය, බ්‍රාහ්මණ, ගෘහපති, මහාසාල ඇත්තෝ උපදිත්. මේ දේශය බැලීම නම් වේ.
04. කුලය යනු; බුදුවරු වනාහි ලෝක සම්මත කුලයක උපදින්නාහ. එනම් බ්‍රාහ්මණ හෝ ක්‍ෂත්‍රීය කුලය වේ. යම් කලක රජවරු බමුණන්ට සත්කාර කරත් ද ගරුකාර කරත් ද මානන කරත් ද පූජා කරත් ද එකල බෝසත්වරු බමුණු කුලයේ උපදිති. යම් කලක බමුණෝ ක්‍ෂත්‍රීයයන්ට සත්කාර ගරුකාර මානන පූජා කරත් ද එකල බෝසත්වරු රජ කුලයේ උපදිති. මේ කුලය බැලීම නම් වේ.
05. මව යනු; බුද්ධ මාතාව නම් ලොල් බැවින් සුරාවට ගිජු වූ කෙනෙක් නොවේ. කල්ප ලක්‍ෂයක පටන් පුරන ලද පාරමී ඇති, උපතේ සිට නො සිඳුණු සිල් ඇත්තියක් වේ. ඇගේ ආයුෂ මාස දහයකුත් දින හතකුත් ඇති විට බෝසතාණෝ මව්කුස පිළිසිඳ ගන්නාහ. කුමක් හෙයින් ද යත් බුද්ධ බෝසත්වරයකු හිඳිනා වූ තැන උතුම් වන්නේ ය. තව කෙනෙකුට පිළිසිඳ ගැනීමට අසාධාරණ වන්නේ ය. එබැවින් මහ බෝසතාණෝ මව්කුස පිළිසිඳ ගෙන මාස දහයක් මව්කුස සිට බිහි වේ. අන් සත්වයෝ එසේ නොවේ. මාස දහයකට අඩුවෙන් හෝ වැඩියෙන් මව්කුස තුල හිඳ බිහි වේ. බෝසතුන් ඉපිද තව කෙනෙකුන්ට පිළිසිඳ නො ගැනීම වස් බුද්ධ මාතාවෝ දින හතකින් කලුරිය කර තුසිත භවනේ උපදිත්. මේ මව් බැලීම නම් වේ.
මෙසේ මේ පස් මහ බැලුම් බලා "දෙවිවරුණි!, බුදුබව පිණිස මට දැන් කාලය වේ." යැයි දෙවිවරුන්ට ප්‍රතිඥා දී දෙවිවරුන් ව පිටත් කොට තුසිත දෙවියන් විසින් පිරිවරන ලදුව තුසිත දෙව් ලොව නන්‍දන නම් වනයට පිවිසිය ය. සියලු ම දේව ලෝකවල නන්‍දන වනයක් ඇතයි කියනු ලැබේ. එහිදී දෙවියෝ "මෙයින් චුත ව සුගතියට යන්න, මෙයින් චුත ව සුගතියට යන්න" යැයි කරන ලද කුසල් සිහිගන්වමින් එහි ඇවිදිමින් ම චුත වෙති.
ඒ දීපංකර බෝධිසත්‍වෝත්තමයෝත් තුසීපුරෙන් චුත ව සිහි නුවණින් යුක්ත වූයේ රම්මවති නුවර රජ කුලයෙහි සුදේව නම් ක්‍ෂත්‍රීය රජතුමාට දාව යහපත් වූ නුවණින් යුත් සුමේධා නම් දේවියගේ කුස පිළිසිඳ ගත්හ. මෙසේ සිහි නුවණින් යුක්ත ව මව් කුස පිළිසිඳීම බුදුවරුන්ගේ ධර්‍මතාවකි.
දෙව් ලොවින් චුත වීම, මව්කුස තුල පිළිසිඳ ගැනීම, මව්කුස තුල වැඩ හිඳීම හා මව්කුසින් බිහි වීම යන සිව් තැනෙහි සිහිනුවණින් යුක්ත වන්නේ මහා බෝසත්වරු පමණි. පසේ බුදුවරයෝ මුල් අවස්ථා තුනේ දී සිහිනුවණින් යුක්ත වෙති. බිහිවන අවස්ථාවේ දී සිහිනුවණින් තොර වෙති. අගසවු දෙනම මුල් අවස්ථා දෙකෙහි දී සිහිනුවණින් යුක්ත වෙති. මව්කුස තුල වැඩහිඳීම හා බිහිවීමේ දී සිහිනුවණින් තොර වෙති. අසූමහා ශ්‍රාවකයෝ පළමු අවස්ථාව වන දෙව් ලොවින් සිහිනුවණින් චුත වෙති. නමුත් ඉතිරි අවස්ථා තුනේ දී සිහිනුවණින් තොර වෙති.
දීපංකර බෝධිසත්වයෝ මව්කුස පිළිසිඳ ගැනීමේ දී දෙතිස් පූර්‍ව නිමිති පහළ විය. සියලු බුදුවරු මව්කුස පිළිසිඳ ගැනීමේ දී, බිහිවීමේ දී, සම්බුද්ධත්වයට පත්වීමේ දී හා ධම්සක් දෙසීමේ දී යන අවස්ථා සතරෙහි දී ම දෙතිස් පෙළහර පවතින්නේ ම ය. එනම්;
දෙතිස් පූර්‍ව නිමිති
01. දසදහසක් සක්වළ එකපැහැර කම්පා විය.
02. දසදහසක් සක්වළ මහත් ආලෝකයක් පැතිරුණේ ය.
03. උපතින් අන්ධයෝ රූප දුටුහ.
04. උපතින් බිහිරෝ මිහිරි ශබ්ද ඇසූහ.
05. ගොළුවෝ කතාබස් කළහ.
06. උපතින් සිහිමුළා වූවෝ සිහි ලැබූහ.
07. කුදු ඇත්තෝ ඍජුව ද, කොර වූවෝ පයින් ද ගමන් කළහ.
08. බන්ධනාගාර ගත සියලු සත්වයෝ විලංගු ආදියෙන් මිදුණාහ.
09. ඝෝර නිරාගිනි නිවී ගියේ ය.
10. බුද්ධාන්තරයකුත් දිය බිඳක් නො ලද ප්‍රේත ලෝකයේ පිපාසය පහවිය.
11. තිරිසනුන්ට කිසි බියක් නො වී ය.
12. සියලු රෝග සංසිඳුණාහ.
13. පහන් සිත් ඇති සත්වයෝ උනුන් ප්‍රිය වචන බිණූහ.
14. සතුටු සිතැති අශ්වයෝ හේෂාරව කළහ.
15. ඇතුන් කුංචනාද කළහ.
16. සියලු තූර්‍ය්‍ය භාණ්ඩයෝ තුමූ ම නාද පැවැත්වූහ.
17. මිනිසුන් විසින් පැළඳි ආභරණ ශබ්ද පැවැත්වූහ.
18. දසදිසාවෝ පහන් වූහ.
19. හැම සතුන්ට සුව උපදවමින් සිසිල් සුළඟ හැමී ය.
20. නො කල් වැසි වැස්සේ ය.
21. පොළොවෙන් දිය නැගී ගලා බැස්සේ ය.
22. අහසෙහි හැසිරෙන පක්‍ෂීන් තුටුපහටු ව පොළොවට බැස සිටියේ.
23. ගංගාවෝ ගලා නො බැස්සාහු ය.
24. සාගරයේ කරදිය ජලය මිරිදිය හෙවත් මිහිරි විය.
25. සෑම තැනක ම පස් පියුමෙන් ගැවසී ගත් ගොඩබිම විය.
26. දිය ගොඩ දෙකෙහි වූ සියලු මල් පිපී ගියේ ය.
27. ගස් කඳන්වල මැදපියුම් ද අතුවල අතුපියුම් ද වැල්වල වැල්පියුම් ද පිපුණාහ.
28. ඝන ගල්තලා බිඳී ඒ මත්තෙහි සියක් පෙති පිහිටා නෙළුම් දඬු නික්මුණහ.
29. අහසේ එල්ලෙන පියුම් එල්ලී සිටියහ.
30. හාත්පස මල් වර්‍ෂාවක් වැස්සාහ.
31. අහසේ දිව්‍ය තූර්‍ය්‍ය නාද වලින් නාද වූහ.
32. සියලු දසදහසක් ලෝක ධාතුව අතිශයින් සෞභාග්‍යයෙන් පිරුණේ විය.
එහි දසදහසක් සක්වළ එක පැහැර කම්පා වීම සර්වඥතාඥාන ප්‍රතිවේධයට පෙරනිමිත්ත ය. අන්ධයෝ රූප දැකීම දිවැස් ලැබීමට පෙරනිමිත්ත ය. බිහිරෝ ශබ්ද ඇසීම දිවකන ලැබීමට පෙරනිමිත්ත ය. සිහිමුළා වූවෝ සිහි ලැබීම සතිපට්ඨාන ප්‍රතිලාභයට පෙරනිමිත්ත ය. පිල්ලු පයින් ගමන් කිරීම සතර ඍද්ධිපාද ප්‍රතිලාභයට පෙරනිමිත්ත ය. බැමි ඉබේම සිඳී යෑම අස්මිමාන ඡේදයට ද, ගෝර නිරාගිනි නිවී යෑම එකොළොස් කෙලෙස් ගිනි නිවීමට ද, තිරිසනුන්ට කිසි බියක් නො වීම සිව්බඹ විහරණ ප්‍රතිලාභයට ද, සියලු රෝග ඉබේම පහව යෑම සිව්සස් ලාභයට ද, තූර්‍ය්‍ය භාණ්ඩයෝ තමතමන් ම නාද පැවැත්වීම දහම් බෙර ඇසීමට ද, දසදිසාවෝ පහන් වීම විමුක්ති සුවයෙන් සුවපත් වීමට ද, සිසිල් සුළං හැමීම දෙසැටක් මිත්‍යාදෘෂ්ටි නැති කිරීමට ද, නො කල් වැසි වැසීම මහා ධර්‍ම වර්‍ෂාවට ද, පක්‍ෂීන් තුටුපහටු ව පොළොවට බැස සිටීම අවවාද අසා මහජනයාගේ දිවිහිමි කොටැති සරණාගමනයට ද, ගංගාවන්හි ජලය නිසල වීම චතුවිශාරද ඤාණ ලැබීමට ද, සාගරයේ කරදිය ජලය මිරිදිය වීම නිවන් එකම රසයෙන් යුක්ත වීමට ද, ගස්වැල්හි මල් පිපීම විමුක්ති කුසුමින් යුක්ත බවට ද, අහසේ දිව්‍ය තූර්‍ය්‍ය නාද වලින් නාද වීම බුදුව උදන් ඇනීමට ද, සියලු දසදහසක් ලෝක ධාතුව අතිශයින් සෞභාග්‍යමත් වීම ආර්‍ය්‍ය සෞභාග්‍යයක් ඇති බවට ද පෙරනිමිති ය. සෙසු විශේෂතා සෙසු බුදුගුණ ලැබීමට පෙරනිමිති ද වේ.
දීපංකර කුමරු පිළිසිඳගැනීමෙහි දී දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
මේ කුමරු දෙතිස් මහපුරිස් ලකුණෙන් යුක්ත විය. මේ ලකුණෙන් යුක්ත වූ මහපුරුෂයෙකුගේ ගති දෙකක් ම වෙයි. අනික් ගතියක් නම් නොවේ. ඉදින් ගිහිගෙයි වසන්නේ නම් ධාර්මික වූ සතර මහා ද්වීපයට අධිපති වූ සියලු සතුරන් දිනන ලද්දා වූ ජනපදයන්හි ස්ථිර වූ සප්ත රත්නයකින් යුක්ත වූ සක්විති රජෙක් වන්නාහ. චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, පරිනායක (පුත්‍ර) රත්නය යනු ඒ සප්ත රත්නයෝයි. ඒ සක්විති රජ සයුර හිම් කොටැති මේ පෘථිවිය දඬුවමි තොරව ආයුධයෙන් තොරව ධර්‍මයෙන් ජය ගෙන අධිපති ව වාසය කෙරේ. ඉදින් ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදි වේ නම් කෙලෙස් නමැති වහල සිඳ දමා ලෝකයෙහි අර්හත් සම්‍යක් සම්බුදු වන්නේ ය.
කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු දීපංකර යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ.
ඉක්බිති දිවකුරු කුමරා මහ සැපතින් සංග්‍රහ ලබමින් ක්‍රමයෙන් සොඳුරු යෞවනයට පැමිණ තුන් ඍතුවට හොබනා හංසා, කොංචා, මයුරා නම් තුන් පහයක දෙව්ලොව සිරි වන් රජසිරි වළඳමින් උයන් කෙළි සඳහා යන අවස්ථාවෙහි ක්‍රමයෙන් ජීර්ණ ව්‍යාධි මළ සංඛ්‍යාත තුන් දේවදූතයන් දැක හටගත් සංවේග ඇතිව ආපසු පැමිණ සුදසුන් නුවර සම්පත් වලින් බබළන රම්මවතී නම් නුවරට පිවිසියේ ය.
දිනක් ඇත්රුවා කැඳවා මෙසේ කීය. "දරුව, මම උයන බැලීමට යන්නෙමි. ඇත් යානා සරසව්" යනුවෙනි. ඔහු "මැනව යි දේවයිනි" පිළිතුරු දී ඇතුන් සුවාසූදහසක් සැරසූහ. ඉක්බිති විස්කම් දෙව්පුත් නන්පැහැ වතින් බෝසතුන් හැන්ද වූහ. සෑම බෝසත්වරයකුට ම අවසන් ගිහි ඇඳුම පැලඳුම් හැන්ද වීම දෙවියන් විසින් සරස වන්නේ ය. ඒ දිවකුරු කුමරු ද දෙව් කුමරුවකු මෙන් සුවාසූදහසක් ඇතුන් පිරිවැරූ උතුම් මඟුලැතු අරා හිඳ මහබලසෙන් පිරිවරා උයනට පිවිස ඇතුපිටින් බැස උයන සැරිසරා පරම සොඳුරු දැකුම් ඇති සිලාතලයෙහි හිඳ පැවිද්දට සිත ඉපදවීය. එකෙණෙහි ම සඳවැසි ක්‍ෂීණාස්‍රව මහබඹහු අෂ්ට පරිෂ්කාර ගෙන බෝසතුන් ඇස් හමුවෙහි පහළ විය. මහපුරිස්‍හු ඔහු දැක මේ කුමක් දැයි විමසා ශ්‍රමණ පරිෂ්කාර යැයි අසා අබරණ බඩු මුදා භාණ්ඩාගාරිකයා අතට දී මඟුල් කඩුව ගෙන මකුටය සහිත කෙස් සිඳ අහසට දැමූහ. එවිට සක්දෙව් රජ රන් කරඬුවකින් ඒ කේශමකුටය පිළිගෙන සිනේරුව මුදුනෙහි තුන් යොදුන් පමණැති ඉඳුණිල්මිණිමුවා මකුට චේතිය කළේ ය.
එවිට දීපංකර මහපුරිස්‍හු දෙවියන් දුන් අරහත් ධජ කසාවත් දරා සළු සඟල අහසට දැමූහ. එය බඹහු පිළිගෙන බඹලොව දොළොස් යොදුන් සියලු රත්නයන්ගෙන් යුත් චෛත්‍යයක් කළේ ය. පැවිදි වූ දිවකුරු කුමරුන් අනුව කෝටියක් දෙනා පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ මහසත්හු දසමසක් ප්‍රධන් වීර්‍ය්‍ය වැඩූහ. අනතුරුව වෙසක් පුණුපොහෝ දා එක්තරා නුවරකට පිඬු පිණිස ගියහ. එදා ඒ නුවර දෙවියන්ට බලි පිණිස දිය නුමුසු කිරිබත් පිසූහ. මිනිස්සු පිරිස් සහිත පිඬු පිණිස පැමිණි බෝසතුන්ට ඒ කිරිබත් පිදූහ. එය කෝටි සංඛ්‍යාත සියලු භික්‍ෂූන්ට ප්‍රමාණවත් විය. මහසතුන්ගේ පාත්‍රයෙහි දෙවියෝ දිව්‍ය ඕජා බහාලූහ. එය වළඳා එම සල් උයනෙහි ම දහවල් දවස ගෙවා සවස විවේකයෙන් නැගී පිරිස පිටත් කොට සුනන්‍ද නම් ආජීවක දුන් අටතණමිට ගෙන පුලිල (ගිවුළු/ පළොල්) රුක් බෝධිය වෙත ගොස් පනස්තුන් රියන් තණ ඇතිරි අතුරා අනූ රියන් බෝකඳට පිට දී පර්යංකයෙන් හිඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට සපරිවාර මාර මථනය කොට රෑ පළමු යම පෙර විසීම් සිහිකරන නුවණ පිරිසිදු කොට මැදියම දිවස පිරිසිදු කොට අලුයම පටිච්ච සමුප්පාදය මෙනෙහි කොට ආනාපාන චතුර්‍ථ ධ්‍යානයෙන් නැගී ස්කන්ධයන්හි පිවිස උදයව්‍යය වශයෙන් සම ප්‍රඥාවෙන් ලක්‍ෂණ දැක ගෝත්‍රභූ ඥානය තෙක් විදසුන් වඩා සතර මග නුවනත්, සතර ඵල නුවනත්, සතර පිළිසිඹියා, සතර යෝනි හිම් කොටැති ඥානය, පංච ගති පරිච්ඡේදක ඥානය, ෂඩ් අසාධාරණ ඤාණ යන සියල්ල බුද්ධ ඤාණයෙන් ප්‍රතිවේධ කොට සපිරි සංකල්ප ඇතිව බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සිට සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් සුභාවතී නුවර සුදසුන් උයනෙහි ධම්සක් දෙසූහ. එහිදී සිය කෝටියක් දෙනාට ධර්‍මාභිසමය විය.
මහර්ෂි වූ දීපංකර බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති ශ්‍රාවක සන්නිපාත රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ.
අප මහා බෝසතාණෝ එකල සුමේධ නම් තාපස ව විවරණ ලැබීය. එය සුමේධ කථාවේ කියන ලදි.
ඒ දිවකුරු භාග්‍යවතුන් වහන්සේට සුමංගල හා තිස්ස දෙනම අගසවුවෝ ය. උපස්ථායක සාගත නම් භික්‍ෂුව විය. නන්‍දා හා සුනන්‍දා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. තපස්සු හා භල්ලික යන දෙදෙන උපස්ථායකයෝ ය. සිරිමා හා සෝණා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය අසූ රියන් විය.
සදහම් බබුළුවා මහජනයා සසරින් එතෙර කරවා, ගිනි කඳක් මෙන් දිලිහී, සව්වන් සහිත වූ ඒ දිවකුරු මුනිසඳු පිරිනිවී සේක. ඒ ඍද්ධිය ඒ පිරිවර ද, පා යුගයෙහි ඒ සක් ලකුණු ද යන සියල්ල අතුරුදන් විය. සියලු සකර දහම් හිස් වූවාහු නො වේ ද?
අනුශාසක වූ දීපංකර ජිනරාජයන් වහන්සේ අවුරුදු ලක්‍ෂයක් ආයුෂ ගෙවා නන්‍දාරාමයෙහි පිරිනිවියහ. එහි ම උන්වහන්සේගේ ධාතු පිහිටුවා කළ ජිනථූපය තිස් හය යොදුනක් උස් වී ය.

මෙ කපින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සාරමණ්ඩ නම් කල්පයේ හතරවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය රම්මවති නුවර
ජාතිය ක්‍ෂත්‍රීය
පියා සුදේව නම් ක්‍ෂත්‍රීය රජතුමා
මව සුමේධා දේවිය
ප්‍රාසාදත්‍රය 1. හංසා 2. කොඤ්චා 3. මයුරා
අග්‍රමහේෂී පදුමා දේවිය
පුත්‍රයා උසභක්ඛන්‍ධ කුමරු
අගාරවාස අවුරුදු දහදහසයි (10,000)
අභිනිෂ්ක්‍රමණය ඇත් යානයකින් නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස දහයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු නුවර වැසියන්
කුස තණ සුනන්‍ද ආජීවක
බෝධිය පුලිල (ගිවුළු/ පළොල්)
ධම්සක් දෙසීම නන්‍දාරාමයෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් සුමංගල තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් තිස්ස තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් නන්‍දා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් සුනන්‍දා තෙරණිය
අග්‍ර උපස්ථායක සාගත භික්‍ෂුව
උපස්ථායකයෝ තපස්සු, භල්ලික
උපස්ථායිකාවෝ සිරිමා, සෝණා
ආයු ප්‍රමාණය අවුරුදු ලක්‍ෂයයි. (100,000)
පරිනිර්වානය නන්‍දාරාමයෙහි
බෝසතාණෝ සුමේධ නම් තාපසව විවරණ ලැබීය

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

1 comment :