Friday, July 01, 2016

07. සුමන බුදුන් වහන්සේ

මංගල බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි එක් අතුරුකපක් ගෙවීමෙන් සියලු ධර්‍මයන් අසම වූ, සියලු සත්වයන්ට උතුම් වූ සුමන නම් ලෝක නායකයන් වහන්සේ ලෝ පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව මේඛල නුවර රජ කුලයෙහි සුදත්ත ක්‍ෂත්‍රීය රජතුමාට දාව සිරිමා දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු සුමන යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට චන්ද්‍ර, සුචන්ද්‍ර, චටංස නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ හැට තුන්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු නවදහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ වටංසකා දේවියට අනූපම නම් නිරූපම කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක ඇත් යානයකින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. පැවිදි වන උන්වහන්සේ අනුව තිස් කෙළක් පැවිදි වූහ. දසමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින අනෝම නියම්ගමෙහි අනූපම සිටුදූ අනූපමා දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි අනූපම නම් ආජීවක දුන් කුස තණ මිටි අට ගෙන නා රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී තිස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් සමග පැවිදි වූ තිස් කෙළක් ද සුළුමෑණි පුත් බාල සහෝදර සරණ කුමරුන් ද පුරෝහිත පුත් භාමිත තරුණයා ද හේතු සම්පන්න බැව් දැන මොවුන්ට පළමු බණ දෙසමි සිතා හස්ති රාජයෙකු මෙන් අහසින් ගොස් මේඛලා උයනෙහි බැස ධම්සක් දෙසූහ. එහිදී බොහෝ කෙළ ගණන් සත්වයන්ට දහම් අමා පැන් පෙවූහ.
ඒ කාලයෙහි ඒ සුමන බුදුරජහු ද මේඛල නම් නුවර දී චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්‍ම කථා නම් වූ නවාංග ජිනශාසන නමැති අමා බෙරය ගැසීය. ඒ සුමන බුදුරජහු කෙලෙසුන් දිනා උතුම් වූ සම්බෝධියට පැමිණ නිවන් නමැති නුවරක් මැවීය. ඒ දහම් නමැති පුරයෙහි උන්වහන්සේ අතරක් නැති, ඇද නැති, කෙළින් සිටි, ඉතා උතුම් සතර සතිපට්ඨාන නමැති මහා වීථියක් මැවීය. ඒ වීථියෙහි සෝවාන් ආදී සතර පැවිදි ඵලයන් ද, සිව්පිළිසිඹියාවන් ද, ෂට් අභිඥවන් ද, අට සමවත් ද පැතිර වී ය.
ත්‍රෛතලතිලක සුමන බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ.
අප මහා බෝසතාණෝ ඒ කාලයෙහි මහත් ඍද්ධි ඇති, පිං ඇති, අතුල නම් වූ නාග රාජයෙක් වී නාග භවනයෙන් නික්ම සිය නෑයන් සමග නාගයන්ගේ දිව්‍ය තූර්‍ය්‍යයෙන් සංඝයා සහිත ජිනරාජයන් වහන්සේට උවටැන් කළේ ය. කෝටි ලක්‍ෂයක් භික්‍ෂූන්ට ආහාර පානයෙන් සංග්‍රහ කළේ ය. අතිරේක පිළි සඟල බැගින් පුදා උන්වහන්සේ සරණ ගියේ ය. ශාස්තෲන් වහන්සේ බෝසතුන් මතු බුදු වන්නේ යැයි විවරණ දුන් සේක.
ඒ සුමන මුනිඳු හට සරණ හා භාවිතත්ත දෙනම අගසවුවෝ ය. උපස්ථායක උදේන නම් භික්‍ෂුව විය. සෝණා හා උපසෝණා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. වරුණ හා සරණ යන දෙදෙන උපස්ථායකයෝ ය. චාලා හා උපචාලා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය අනූ රියන් විය. අවුරුදු අනූදහසක් ආයුෂ ගෙවා අංගාරාමයෙහි පිරිනිවියහ. එහි ම උන්වහන්සේගේ ජින සෑය සිව් යොදුනක් ව උස්ව බඳින ලද්දෝ ය.

මෙ කපින් දෙයාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සාරමණ්ඩ නම් කල්පයේ දෙවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය මේඛල නුවර
ජාතිය ක්‍ෂත්‍රීය
පියා සුදත්ත ක්‍ෂත්‍රීය රජතුමා
මව සිරිමා දේවිය
ප්‍රාසාදත්‍රය 1. චන්ද්‍ර .2සුචන්ද්‍ර . චටංස
අග්‍රමහේෂී වටංසකා දේවිය
පුත්‍රයා අනූපම කුමරු
අගාරවාස අවුරුදු නවදහසයි (9,000)
අභිනිෂ්ක්‍රමණය ඇත් යානයකින් නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස දහයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු අනෝම නියම් ගමෙහි අනූපම සිටුදූ අනූපමා
කුස තණ අනූපම ආජීවක
බෝධිය නා
ධම්සක් දෙසීම මේඛලා උයනෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් සරණ තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් භාවිතත්ත තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් සෝණා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් උපසෝණා තෙරණිය
අග්‍ර උපස්ථායක උදේන භික්‍ෂුව
උපස්ථායකයෝ වරුණ, සරණ
උපස්ථායිකාවෝ චාලා, උපචාලා
වැඩ විසූ විහාර අංගාරාරමයෙහි විසූහ
ආයු ප්‍රමාණය අවුරුදු අනූදහසයි. (90,000)
පරිනිර්වානය අංගාරාමයෙහි
බෝසතාණෝ අතුල නම් නාගරාජව විවරණ ලැබීය

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment