Friday, July 01, 2016

18. ධම්මදස්සි බුදුන් වහන්සේ

අත්‍ථදස්සී බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි තෙවැනි අතුරුකප ලෝකාලෝකතර ලෝකමල නසාලන ලොවට එකම නායක වූ මහා යසස් ඇති ධම්මදස්සී නම් ජිනවර තෙම මොහඳුර නැති කොට දෙවියන් සහිත ලෝකය බබුළුවමින් ලෝ පහළ විය. දෙවියන්ට දෙවි වූ ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව සරණ නුවර රජ කුලයෙහි සියලු දෙනා හට සරණ වූ සරණ නම් ක්‍ෂත්‍රීය රජතුමාට දාව සුනන්‍දා දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් සරණ උයනෙහි දී වැසිකල මේකුළු විවරගත පුන්සඳ මෙන් මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු “අධිකරණ පුස්තක වලින් අධර්‍මය තුමූ ම අතුරුදහන් වී ධාර්මික ව්‍යවහාර පමණක් ඉතිරි වූ හෙයින්” ධම්මදස්සී යැයි නම් තැබූහ. පුරුෂෝත්තම වූ ඒ ධම්මදස්සී භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට අරජ, විරජ හා සුදස්සන යැයි උතුම් තුන් පහයක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තෙසාළිස්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු අටදහසක් ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ විචිකෝලි දේවියට පුඤ්ඤවඩ්ඪන කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක මහ රෑ නිදිගත් ගැහැණුන්ගේ විප්‍රකාර දැක හටගත් සංවේග ඇතිව අබිනික්මනට සිතූහ. සිතූ කෙනෙහි ම උන්වහන්සේගේ සුදස්සන ප්‍රාසාදය අහසට නැග සිව්රඟ සෙන් පිරිවරා දෙවෙනි දිවාකරයකු මෙන් දෙව් විමනක් මෙන් ගොස් රත්කරව් බෝධිය සමීපයෙහි බැස සිටියේ ය. මහ පුරුෂයාණෝ බඹහු විසින් එළවන ලද කසාවත් ගෙන පැවිදි ව පහයෙන් බැස නුදුරෙහි සිටියහ. පහය නැවත අහසින් ගොස් බෝරුක මැදි කොට පොළොවෙහි පිහිටියේ ය. පිරිවර ස්ත්‍රීහු ද පහයෙන් බැස අඩ ගව්වක් පමණ ගොස් සිටියහ. එහිදී ස්ත්‍රීන් ද ඔවුන්ගේ සේවිකාවන් ද හැර සියලු මිනිස්සු උන්වහන්සේ අනුව මහණ වූහ. කෙළ ලක්‍ෂයක් භික්‍ෂූන් වූහ. ඉන්පසු ධම්මදස්සී බෝසතුන් දින හතක් ප්‍රධන් වඩා වෙසක් පොහෝදින විචිකෝලි අගමෙහෙසිය දුන් පරම මධුර මී කිරිබත් වළඳා ඩෙබර වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි සිරිවඩ්ඪ නම් ගවපාලකයා දුන් අටතණමිට ගෙන රත්කරව් (බිම්බිජාල/ කුරවක) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී තෙපනස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් සමග පැවිදි වූ කෙළ ලක්‍ෂයක් පිරිසගේ හේතු සම්පත් දැක අටළොස් යොදුනක් එක් දවසකින් ම ගෙවා ඉසිපතන මිගදායෙහි ධම්සක් දෙසූහ. එහිදී කෙළ ලක්‍ෂයක් දෙනාට ධර්‍මාභිසමය විය.
දේවාතිදේව ධම්මදස්සි බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ.
අප මහබෝසතාණෝ ඒ කාලයෙහි පුරින්‍දද නම් සක්දෙව් රජෙක් වී දෙව්ලොව හටගත් සුවඳින් ද මලින් ද පසඟතුරින් ද බුදුරදුන් පිදුවේ ය. ඒ ධම්මදස්සී භාග්‍යවතුන් වහන්සේ එතුමාට අනාගතයෙහි ගෞතම නමින් කියා විවරණ දුන්හ.
ධම්මදස්සී නම් ශාස්තෘන් වහන්සේට පදුම හා ඵුස්සදේව දෙනම අගසවුවෝ ය. උපස්ථායක සුනෙත්ත නම් භික්‍ෂුව විය. ඛේමා හා සච්චනාමා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. සුභද්‍ර හා කටිසභ යන දෙදෙන උපස්ථායකයෝ ය. සාලියා හා වලියා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය අසූව රියන් විය.
හොඳින් මල් පිපුණු සල් ගසක් මෙන් ද අහසෙහි විදුලිය මෙන් ද ඉර මුදුන් වේලෙහි හිරු මෙන් ද මෙසේ ඒ බුදුරජ තෙම බැබළූ සේක. අසම තෙද ඇති ඒ බුදුරදුන්ට ද සියලු සත්වයන් හා සම වූ ජීවිතයක් විය. පසැස් ඇති උන්වහන්සේ අවුරුදු ලක්‍ෂයක් ලෝකයෙහි වැඩ සිටි සේක. අහසෙහි හිරුසඳු දෙදෙනා මෙන් ආලෝකය දක්වා, ශාසනය පිරිසිදු කොට ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුරජ තෙමේ ද කේසාරාමයෙහි දී පිරිනිවී සේක. එහි ම ඒ උතුම් දාගැබ තුන් යොදුනක් උසට බඳින ලදි.

මෙ කපින් කල්ප එක්දහස් අටසීයයකට පෙර වර නම් කල්පයේ තුන්වන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය සරණ නුවර
ජාතිය ක්‍ෂත්‍රීය
පියා සරණ ක්‍ෂත්‍රීය රජතුම
මව සුනන්‍දා දේවිය
ප්‍රාසාදත්‍රය 1. අරජ 2. විරජ 3. සුදස්සන
අග්‍රමහේෂී විචිකෝලි දේවිය
පුත්‍රයා පුඤ්ඤවඩ්ඪන කුමරු
අගාරවාස අවුරුදු අටදහසයි (8,000)
අභිනිෂ්ක්‍රමණය ප්‍රාසාදයෙන්ම නික්මුණහ
ප්‍රධන් වීර්ය දින හතක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු විචිකෝලි අගමෙහෙසිය
කුස තණ සිරිවඩ්ඪ නම් ගවපාලක
බෝධිය රත්කරව් (බිම්බිජාල/ කුරවක)
ධම්සක් දෙසීම ඉසිපතන මිගදායෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් පදුම තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් ඵුස්සදේව තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් ඛේමා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් සබ්බනාමා තෙරණිය
අග්‍ර උපස්ථායක සුනෙත්ත භික්‍ෂුව
උපස්ථායකයෝ සුභද්‍ර, කටිසභ
උපස්ථායිකාවෝ සාලියා, වලියා
ආයු ප්‍රමාණය අවුරුදු ලක්‍ෂයයි. (100,000)
පරිනිර්වානය සාලවතී නුවර කේසාරාමයෙහි
බෝසතාණෝ පුරින්ද්ද නම් සක්‍ර දේවේන්‍ද්‍රව විවරණ ලැබීය

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment