මහා මසුරෙකු පිසාචයකු වූ හැටි


සැවැත්නුවරට ආසන්නයෙහි එක්තරා නගරයක ආනන්ද නම් මහා සිටුවරයෙක් වාසය කළේ ය. සිටුවරයා යනු නගරයේ මහා ධනවතා ය. වෙනත් සිටුවරුන්ට මෙන් ම මොහුට ද සතළිස් කෝටියක මහා රන් නිධානයක් මොහු සතු විය. සකල සම්පතින් ද ආඪ්‍ය විය. එහෙත් ඔහුගේ ධනයටත් වඩා මසුරු බව සුවිශාල විය. ඉපයීම විනා අංශුවක් හෝ වැය කරන්නට ඔහුට කිසි දා සිත් නොදුන්නේ ය. තමාගේ පරිභෝගයට පවා මේ ධනය භාවිත නොකළේ ය. මසුරු බව නිසාම ඉතා දුක සේ ජීවිකාව කරගෙන ගියේ ය.
මෙම මසුරු සිටාණන්ට මූලසිරි නම් පුතෙක් විය. ආනන්ද සිටුවරයා අඩමසින් අඩමස කළේ සිය නෑයන් රැස් කරවා ඒ මධ්‍යයෙහි තම පුතු වාඩිකරවා ධනය උපයන ආකාරය කියා දීමයි. කිසිවක් වැය නොකළ යුතු බවට ද ඔහු අවවාද කළේ ය. සතළිස් කෝටිය විශාල ධනයක් සේ නොසැලකිය යුතු බවත් එයට එක් එක් කහවණුවක් හෝ එකතු කරන්නට වෑයම් කළ යුතු බවට ද කියා සිටියේ ය. එක් කහවණුවක් හෝ වියදම් කිරීමෙන් ධන හානිය වන අයුරු කියා දුන්නේ ය. එබැවින් වේයන් තුඹස් බදින්නා සේ ධනය රැස් කළ යුතු බවට ද අනුශාසනා කළේ ය.
මෙසේ මහා මසුරෙකු ව ජීවත් ව තමා සතු පංච මහා නිධානයන් ද පුතුට නොපෙන්වා මසුරු මලයෙන් ම මිය ගොස් සැවැත්නුවර සමීපයෙහි ම සැඬොල් පවුල් දහසක් ඇති වාසල් ගමක එක් සැඬොලියකගේ කුසෙහි ඉපදිණි. මසුරු පියාගේ වියෝව ගැන ඇසූ රජතුමා මූලසිරි පුතු ගෙන්වා ඔහුට සිටු තනතුරු ප්‍රදානය කළේ ය. පියාගේ ඔවදන් ම මනාව පිළිපැදි මූලසිරි ද ඉසුරු නොවිඳ මහා මසුරෙකු ලෙසින් ඉපයීම ම කරමින් ජීවත් විය.
සැඬොලියකගේ කුසෙහි මෙම මසුරු සිටු පිළිසිඳ ගැනීමෙන් පසු මෙම පවුල් දහසට ම කිසිදු බැල මෙහෙවරක් කරන්නට නොලැබුණි. යැපෙන්නට පුතණුවන් බත් පිඬක් සොයා ගැනීම පවා අසීරු විය. සියලු බැලයෝ එක තැනකට රැස් ව තමන් අතරෙහි කිසියම් කාලකණ්ණියෙකු බිහි ව ඇතැයි කතිකා කළහ. ඔවුහු කාලකණ්ණි සොයන්නට පරීක්‍ෂණයක් ආරම්භ කළහ. සියල්ලෝ ම දෙකොටසකට බෙදුනහ. ඒ බෙදුණු අය අතර මෙහෙකාරකම් නොලැබෙන කොටස යළිත් දෙකොටසකට බෙදුනහ. ඒ කණ්ඩායම් අතරත් මෙහෙකාරකම නොලබන අය වෙන් කළහ. මෙසේ කණ්ඩායම් ගැසී දෙදෙනෙක් වන තුරු ම මෙහෙකාර කම් නොලබන අය ලෙස තේරූහ. අවසානයට මසුරු සිටාණන් පිළිසිඳගත් සැඬොල් මව පමණක් ඉතිරි වූහ. ඇගේ කුසෙහි කාලකණ්ණියා පිළිසිඳ ගත් බව දැන ගත් සියලු සැඬොලන් එකතුව මේ මව තම ගමෙන් නෙරපා හැරියෝ ය. එදා සිට යැපීම් පමණ ම ආහාර කිසිවක් නොලද මේ මව ඉතා දුක සේ මහ මග ගත කරමින් පැමිණ අවසන පුතු බිහි කළාය.
මසුරු බවේ ආදීනව මොනවට පසක් කරවමින් මේ ඉපදුණු පුතාගේ සියලු අවයව විකලාංග විය. ඔහුගේ අත් පා කන්, නාසා, ඇස්, මුඛ ආදි සියල්ල විකෘති ව පිහිටියේ ය. දැකීමට පවා පිළිකුල් විය. පාංශුපිශාචයෙකු සේ අතිශයින් ම විරූපි විය. එහෙත් මවට මෙම පිසාචයා අත්හැරිය නොහැකි විය. මවගේ දරු සෙනෙහස බලවත් බැවිණි. එහෙත් මේ දරුවා රැගෙන බැල මෙහෙවරෙහි හෝ යෙදෙන්නට ඇයට නොහැකි විය. මේ දරුවා රැගෙන සිගමන් යදින්නට නොහැකි විය. මේ විරූපියා දකින දකින අය අනෙකක් බලා ගන්නා බැවිනි.
අවසානයේ මවට සිදුවූයේ මේ විරූපියා අතර මඟ රඳවා සිඟමන් යදින්නට ය. එවිට මවට සිඟමන් ලැබෙයි. බැලමෙහෙවර ලැබෙයි එයින් ලැබෙන අහරක් රැගෙන ගොස් පුතා පෝෂණය කරන්නට මවට සිදුවිය. මේ අම්මා ඉන් පසු කළේ තම පුතා සඟවා තමා තනියම ගොස් ජීවත්වීමට යමක් උපයා ගැනීමයි. පුතු සමඟ යාමෙන් තමන්ට ද මියැදෙන්නට වන බව මේ මව තේරුම් ගත්තා ය. ඇතැම් පව්කාර පුතුන් ලැබීමෙන් ඔවුන්ට ද එම කර්මය ගෙවන්නට සිදු වන අයුරු මේ මවගෙන් ඉතා හොඳින් ම පසක් විය.
අවසානයේ මව කළේ තම විරූපි පුතු ලොකු මහත් වූ පසු කබලක් අත දී, ඔබ මෙතෙක් කල් දුක සේ පෝෂණය කළ බවත්, ඒ සඳහා අපමණ දුක් වේදනා විඳි බවත්, තවදුරටත් ඔබ පෝෂණය කිරීම අපහසු බවත් පවසා තනියම සිඟමනේ ගොස් ජීවත් වේව’ යි පිටත් කළේ ය. මෙම විරූපියා අහර සොයා ගෙයින්ගෙට යන්නේ කිසිදු අහරක් නොලබා අවසානයේ පෙර ජාතියේ තමන්ගේ ම නිවසට ගොඩ වැදුණේ ය. තම පුතු මූලසිරි සිටුවරයා දුටු කෙණෙහි ම මෙම විරූපියා කෑ ගසා අඬන්නට විය. එය දුටු මූලසිරි සිටුවරයා මහත් සේ බියට පත්ව කාලකණ්ණියෙකු නිවසට වැදුණැයි මෙහෙකරුවන් ලවා තලා පෙළා ඇද ගෙන ගොස් කසළ ගොඩකට දැම්මවීය. ඔහුට හිමි නිසි තැන තම නිවසින් ම ලැබුණි.
බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් සමග පිඬු සිඟා වඩිමින් යන කල කසළ ගොඩෙහි වැටී සිටි මේ පිසාචයා දෙස නෙත් හෙළූහ. ආනන්ද හිමියන් ඒ පිළිබඳ විමසා සිටි කල්හි බුදු හිමියෝ මේ පිසාචයාගේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර වදාළහ. තෙරණුවෝ මූලසිරි සිටුවරයා එතැනට කැඳවා මේ ඔබගේ පියා බව පැහැදිලි කර දුන්හ. ඔහු එය නො ඇදහී ය. එවිට බුදුරජාණන් වහන්සේ පිසාචයා අමතා, ආනන්ද සිටුවරයා, ඔබ සතු ව පෙර බවයෙහි පැවති පංච මහා නිදාන පෙන්වා තමා පියා බව තහවුරු කරන්නැයි වදාළහ. තමන්ගේ ධනය නිධන් කොට ඇති තැන් පෙන්වූ පසු මේ පිසාචයා තම පියා බව පිළිගත් මූලසිරි සිටුවරයා බුදුන් සරණ ගොස් තම පියාට පිහිට වෙමින් බොහෝ කුසල් රැස් කර ගත්තේ ය. තමන්ගේ මසුරුමල ද මුළුමනින් ම දුරුකර ගත්තේ ය. බුදු හිමියෝ මේ නිමිතිකර අඥානයා තමාට ධනට ඇතැයි ද දරුවන් ඇතැයි ද වෙහෙසෙතත් තමාට තමාවත් නැති කල දරුවන් හෝ ධනයෙන් ඇති ඵලයක් නොවන බව වදාළහ.
කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශ ප්‍රධාන  අගලකඩ සිරිසුමන හිමි
කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශ ප්‍රධාන
 අගලකඩ සිරිසුමන හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ අගෝස්තු 01 වනදා බදාදා දින බුදුසරණ පත්‍රයේ පල වූ ලිපියක් ඇසුරිණි.

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment