සසර කතරෙන් එතෙර වීමට නම්


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පථව්‍යා එක රජ්ජේන - සග්ගස්ස ගමනේනවා
සබ්බ ලෝකාධි පච්චේන - සෝතාපත්ති ඵලංවරං
වාසනාවන්ත පින්වත්නි,
මාතෘකා කළ ගාථාව අයත් වන්නේ බෞද්ධයාගේ අත්පොතවන ධම්ම පද ග්‍රන්ථයේ ලෝකවග්ගයටයි. මෙහි සාමාන්‍ය අදහස වන්නේ මුළුපොළව සක්විති රජකමටත්, දෙව්ලොව යාමටත්, මුළු ලොව සෑම සත්ත්වයාගේ අධිපති කමටත් වඩා සෝවාන් ඵලය උතුම් ය යන්නයි.
පනස් හතර කෝටියක් ධනය වියදම් කර ජේතවනාරාමය ඉදිකර බුදුරජාණන් වහන්සේට පූජා කළේ අනේපිඩු සිටුතුමා ය. එතුමා සෝවාන් ඵලයට පත් වූ කෙනෙක්. නිතරම කුසල් දම් කරන අනේපිඩු සිටුතුමාගේ මාලිගාව සංඝරත්නයට වෙන් වූ දාන ශාලාවක් වැනියි. සංඝරත්නය වෙනුවෙන් උදේ, දවල් දානය, සවස ගිලන්පස නිතරම සකස් කරල තියනව. අනේපිඩු සිටුතුමාට මහා සුභද්‍රා, චූල සුභද්‍රා, සුමනා කියල දූවරු තිදෙනෙක් ඉන්නව. මේ තිදෙනාත් පිනට හරිම ලැදියි. නිතරම පියා සමග දානාදී පින්දහම්වල යෙදෙනව. සිටුතුමාට පුතෙක් ඉන්නව ‘කාල’ කියල. මේ කාල පුතා කිසි දවසක දනකට, පිනකට යොමු වෙන්නෙ නැහැ. මෙයා මිතුරන් සමග සෙල්ලමින් කාලය ගතකරන්නෙ. මේ නිසා සිටුතුමාගේ සිතට දැඩි කනස්සල්ලක් ඇතිවෙලා තිබුණා. සිටුතුමාට උවමනාව තම දියණියන් සමග පුතාත් පින් දහම්වලට සම්බන්ධ කරගන්න. ඒත් කාල මේ පින්දහම්වලට සම්බන්ධ වන්නෙ නැහැ. කාල සිටුපුතා මුදල්වලට හරි කැමතියි. කාල පුතා බුදුමගට ගන්න සිටුතුමා උපායක් යොදනව. සිටුතුමා කාල පුතාට කථාකරල මෙහෙම කියනව. “පුතා ඔබ විහාරයට ගොස් එකදිනක් සිල් සමාදන් වෙලා ආවොත් ඔබට කහවනු දහසක් දෙනව. එය අසා කාල එක දිනක් සිල් සමාදන් වුනා. ඒත් සීලයක නම් පිහිටියෙ නැහැ. සිටුතුමා පොරොන්දු කහවනු දහස දුන්න.
තව දවසක් පුතා කැඳවල සිටුතුමා කියනව. “විහාරයට ගොස් එක දවසක් සිල් සමාදම් වෙලා එක බණ පදයක් මතක තියාගන ආවොත් කහවනු දහසක් දෙනව” කියල. කාල සිටු පුතා විහාරයට ගොස් සිල් සමාදන් වෙලා එක බණ පදයක් මතක තියාගන්න හොඳ කල්පනාවෙන් බණ අහනව. පින්වතුනි, බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ඥානයට මෙය පෙනුණා. එම නිසා බුදුරජාණන් වහන්සේ කාල සිටු පුතාට ගැළපෙන ලෙස ධර්ම දේශනා කළා. බණ අසා කාල සිටු පුතා සෝවාන් ඵලයට පත් වුනා. සිටු පුතා සිටු මාලිගාවට ආපසු ආවෙ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය සමග. කාල මෙදින තම පියාණන් සහ සොහොයුරියන් සමග ඉතා ඕනෑකමින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානය පිළිගැන්නුවා. අනේපිඩු සිටු තුමාගේ සිතට හරිම සතුටක් ඇතිවුනා. තමන්ගෙ උපාය සාර්ථක වූ බව සිටුතුමාට සිතුන. සිටුතුමා, බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ම පොරොන්දු වූ කහවනු දහස කාල සිටු පුතාට දුන්න. කාලට හරිම ලජ්ජාවක් ඇතිවුනා. කාල මුදල් ප්‍රතික්ෂේප කළා. මේ කරුණ අරමුණු කර බුදුරජාණන් වහන්සේ මාතෘකා කළ ගාථාවෙන් ධර්‍ම දේශනා කළා.
චක්‍ර රත්නය, හස්ථි රත්නය, අශ්ව රත්නය, මානික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, පරිනායක රත්නය යන සප්ත විධ රත්නයන්ගෙන් පරිපූර්‍ණ වූ චක්‍රවර්ති රජු සිව් මහා දිවයිනට ම සක්විති රජවෙනව. (කුඩා දිවයින් පන්සියය, පන්සියය වූ ජම්බුදීප, අපරගොයාන, උත්තරකුරු, පූර්වවිදේහ යන කොදෙව් දෙදහසකින් පිරිවැරුනේ සිව් මහා දිවයිනයි.) පුහුණු කරන ලද අදෝස කුසල මූලය නිසා චක්‍ර, හස්ථි, අශ්ව රත්නයන් ලැබෙනව. මානික්‍ය, ස්ත්‍රී, ගෘහපති රත්නයන් අලෝභ කුසල මූලයෙන් ලැබෙනව. පරිණායක රත්නය අමෝහ කුසල මූලයෙන් ලැබෙනව. අදෝස, අලෝභ, අමෝහ කුසල මූලයන් නිසා සක්විති රජතුමාට මෙම සප්ත රත්නයන් ලැබෙනව. මේ අනන්ත සැප සම්පත් ලබමින් සක්විති රජතුමා මුළු සිව් මහා දිවයිනට ම අධිපති ව දස රාජ ධර්මයෙන් රාජ්‍යය කරනව. ආයු කෙලවර මියගොස් දෙව්ලොව උපදිනව. අප්‍රමාණ ආයුෂ ඇති, දෙව්ලොව සැප සම්පත් ලබන ඔහුට චුතවීම අමතක වෙනව. පසිඳුරන් පිනවමින් සැප සම්පත් ලබනව. කුසල් දහමකට සිත යොමුකරන්නෙ නැහැ. දෙව්ලොවින් චුතවෙලා ඔහු නැවත උපදින්නෙ සතර අපායෙ. (පථව්‍යා එකරජ්ජේන) මුලු පෘථිවියටම එකම රජු වුවත් ඔහු නැවත සතර අපායට යනව. චාතුරමහාරාජික ආදී දෙව් ලෝ සයෙහි ද, බ්‍රහ්ම පාරිසජ්ජ ආදී රූපාවචර බඹ ලෝ සොලසහි ද, ආකාසානඤ්චායතන ආදී අරූප බඹලෝ සතරෙහි ද ආදී සවිසි වැදෑරුම් ස්වර්ගවල ඉපදුනත් (සග්ගස්ස ගමනේනවා) නැවත සතර අපායට වැටෙනව.
ආය¸ අෂ්ටාංගික මාර්‍ගය මනාව ප්‍රගුණ කර සක්කාය දිට්‍ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්ම ප්‍රහාණය කළ අයට අපායගාමි ශක්තිය ප්‍රහීණ වෙනව. ඉන්පසු එම අය කිසිවිටක සතර අපායෙ උපදින්නෙ නැහැ. මෙයට කියනව සෝවාන් ඵලයට පත්වීම කියල. සත්තකත්තුපරම නම් වූ මෙම සෝතාපත්ති පුද්ගලයා අට වැනි භවයක උත්පත්තිය ලබන්නේ නැහැ. (නතේ භවං අට්ඨමං ආදියන්ති) වැඩි ම වුනොත් ඔහු උපදින්නේ භව හතයි. හත්වන භවයේ දී අනිවාර්යයෙන් ම සියලු කෙලෙසුන් නසා රහත් ඵලයට පැමිණෙනව. සක්විති රජකමටත් වඩා සෝවාන් ඵලය උතුම් බව බුදුරජාණන් වහන්සේ වදාළේ මේ නිසයි.
සෝවාන් පුද්ගලයා අංග සතරකින් යුක්ත වෙනව. (බුද්ධෙ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති.) සෝවාන් පුද්ගලයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන වෙනස් නොවන ප්‍රසාදයක් තියනව. (ධම්මෙ අවෙච්චප්පාදේන සමන්නාගතෝ හෝති) ධර්මය කෙරෙහි නොසෙල්වෙන වෙනස් නොවන ප්‍රසාදයක් තියනව. (සංඝෙ අවෙච්චප්පසාදේන සමන්නාගතෝහෝති) සංඝයා කෙරෙහි නොසෙල්වෙන නොවෙනස්වන ප්‍රසාදයක් තියනව. (අරිය කත්තේහි සීලේහි සමන්නාගතෝ හෝති) අරිය කාන්ත සීලයෙහි ශ්‍රද්ධාවෙන් යුක්ත ව සීලයෙහි පිහිටනව. ඒවගේ ම සත් පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධර්මානු ධම්ම ප්‍රතිපත්තිය යන මෙයත් සෝවාන් පුද්ගලයාගේ ගුණ අංග වෙනව.
සෝත යනු ගලා බැස්මයි කඳු මුදුනකින් ගලා බසින ගංගා මහ මුහුදට ගලා බසිනව. එය කිසිවිටකත් ආපසු ගලන්නෙ නැහැ. එමෙන්ම ප්‍රථමවරට උපදින සෝතාපත්ති ඵලයට පත් වූ පුද්ගලයාගේ චිත්ත සන්තානය තුළ නැවත කෙලෙස් උපදින්නෙ නැහැ. ගඟක් මහ මුහුද කරා ගලනවා මෙන් ම සෝවාන් පුද්ගලයාගේ සිත ද මහ මුහුද නමැති නිවන කරාමයි ගමන් කරන්නෙ.
සෝවාන් පුද්ගලයා සසරට බියවන්නෙ නැහැ. මක්නිසා ද ඔහු සතර අපායෙ නැවත උපදින්නෙ නැති නිසා. සසරෙ රැඳී සිටින්නෙත් වැඩි ම උනොත් භව හතයි. එහෙමනම් අපි උත්සාය ගන්න ඕන කලාතුරකින් ලැබුණු මේ මනුෂ්‍ය ආත්මයෙන් ප්‍රයෝජන ගන්න. ආය¸ අෂ්ටාංගික මාර්‍ගය ප්‍රගුණ කරල සෝවාන් මාර්‍ග ඥානය අවබෝධ කරගන්න. අපි සංසාරයෙ සැරි සරන්නෙ සක්කාය දිට්‍ඨිය මුල්වීම නිසයි. සක්කාය දිට්‍ඨිය කියන්නෙ මම ය, මාගේ ය කියල ග්‍රහණය කරගැනීම. දෙතිස් කුණපයෙන් සැදුණු කය මම ය කියා අල්ලාගන සිටිනතුරු මෙම සසර දුකින් මිදෙන්න හැකිවෙන්නෙ නැහැ. මම ය කියන හැගීම තුළ බැදී සිටින නිසා මාගේ ය යන්න ඉබේම ග්‍රහණය වෙනව. ඒ තුළ තණ්හාව, ආශාව, බැදීම ඇතිවෙනව. එයින් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදී අනන්ත කෙලෙස් උපදිනව. ඇතිවී, පැවතී, නැති වී යන මේ දෙතිස් කුණපය කෙරෙහි ඇති මම ය, බැදීම අත්හලොත් ඔබට සසරේ ගැලවීමේ මගට පිවිසිය හැකි ය.
ඔබ සැමට තෙරුවන් සරණයි.
හබරන වෙහෙරහේන යෝගාශ්‍රමයේ
 මැල්ලවගෙදර සමණ ධම්ම හිමි
කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශ ප්‍රධාන ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ අගෝස්තු 01 වනදා බදාදා දින බුදුසරණ පත්‍රයේ පල වූ ලිපියක් ඇසුරිණි. 

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment