අසිරිමත් පුද්ගලයා

“එකපුග්ගලො, භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අදුතියො අසහායො අප්පටිමො අප්පටිසමො අප්පටිභාගො අප්පටිපුග්ගලො අසමො අසමසමො ද්විපදානං අග්ගො. කතමො එකපුග්ගලො? තථාගතො අරහං සම්මාසම්බුද්ධො. අයං ඛො, භික්ඛවෙ, එකපුග්ගලො ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අදුතියො අසහායො අප්පටිමො අප්පටිසමො අප්පටිභාගො අප්පටිපුග්ගලො අසමො අසමසමො ද්විපදානං අග්ගො”ති.
අං.නි./එකකනිපාතපාළි/එකපුග්ගලවග්ගො
“මහණෙනි, තමාට සරිලන දෙවැන්නෙකු නැති වූ, සමානයෙකු නැති වූ, සම කරන්ට දෙයක් නැති වූ, ආත්මභාවයෙන් සමානයෙකු නැති වූ, තමාගේ ධර්‍මයෙහි අඩුපාඩු ප්‍රකාශ කිරීමට කිසිවකු නැති වූ, ‘මම බුදුවෙමි’ යි ප්‍රතිඥා දෙන්නට සමර්‍ථ වූ අන් කිසිවකු නැති වූ, සියලු පුද්ගලයන් හා අසමාන වූ බැවින් අසම නම් ලද බුදුවරයන්ට සමාන වූ බැවින් සම නම් ලද, දෙවි මිනිසුන් අතුරෙන් අග්‍ර වූ, එක පුද්ගලයෙක් ලෝකයේ උපදින්නේ ය. කවර එක ම පුද්ගලයෙක් ද යත්, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේ ය. මහණෙනි, තමාට සම දෙවැනියකු නැති, ප්‍රතිමාවෙන් සමානයෙකු නැති, අප්‍රතිසම වූ, ප්‍රතිභාගවීමට සුදුස්සකු නැති, අප්‍රතිපුද්ගල වූ, අසම වූ, අසමසම වූ මේ අසහාය පුද්ගල තෙම වනාහි දෙපා ඇත්තන්ට අග්‍රව උපදියි.” ලොව බුදුවරු හැර අසිරිමත් අන් සත්වයෙක් නම් නැත. උන්වහන්සේලා මිහිපිට පහළවන්නා වූ උත්තරීතර පුද්ගලයන්වේ. ඊට හේතුව උන්වහන්සේලා තුල වූ මහත් ගුණ සමුදායයි. උන්වහන්සේලා මෙම ගුණ දහම් පූරණය කරනුයේ බෝසත් අවදියේ දී ය.
ලෝ සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් යුතු ව තමා අතට පත් නිවන ද හැරදමා ඇඟ ඉස් මස් ලේ දන් දෙමින් පාරමි දම් සපුරන්නා වූ බෝසත්වරු අන් සත්වයා ද සසරින් එතෙර කර තමා ද එතෙර වන්නේ ය.
බෝධිසත්ව ප්‍රණිධිය හෙවත් ප්‍රාර්‍ථනාව
චින්තිතං සත්තසංඛ්‍යෙය්‍යං, නවසංඛ්‍යෙය්‍ය’වාචකං;
කායවාචා චතුඛ්‍යාතං, බුද්ධත්තං සමුපාගමීති.
සීමවිසොධනී
බුද්ධත්වය ප්‍රාර්‍ථනා කරන්නා වූ සෑම පුද්ගලයෙක් ම ප්‍රථම කොට මනෝ ප්‍රණිධානය හා වාක් ප්‍රණිධානය සම්පූර්‍ණ කළ යුතු ය. මනෝ ප්‍රණිධානය නම් සිතින් බුද්ධත්වය පැතීමය. වාක් ප්‍රණිධානය නම් වචනයෙන් බුද්ධත්වය පැතීමය. සිතින් බුදුබව පැතීම සත් අසංඛ්‍යකල්පයක් ද වචනයෙන් බුදුබව පැතීම නව අසංඛ්‍යකල්පයක් ද වේ. මෙසේ සොළොසාසංඛ්‍යකල්පයක් තිස්සේ මනෝ වාක් ප්‍රණිධිය සම්පූර්‍ණ කළ බෝසත්වරයකුට ජීවමාන බුදුවරයකු හමුවේ දී නියත විවරණ ලබා ගත හැකි වන්නේ ය. මෙම බුද්ධ පූර්‍ව ධර්‍ම සම්පූර්‍ණ කළ තැනැත්තා බුද්ධත්වය සඳහා නියත විවරණ ගැනීමට සුදුස්සෙක් වෙයි. පළමු වන නියත විවරණය ගැනීමට කරුණු 8ක් සම්පූර්‍ණවී තිබිය යුතු ය. එය අට්ඨධම්මසමොධාය ලෙස හැඳින්වේ.
අට්ඨධම්මසමොධාය
“මනුස්සත්තං ලිංගසම්පත්ති, හෙතු සත්‍ථාරදස්සනං;
පබ්බජ්ජා ගුණසම්පත්ති, අධිකාරො ච ඡන්‍දතා;
අට්ඨධම්මසමොධානා, අභිනීහාරො සමිජ්ඣති”
මධුරත්‍ථවිලාසිනී
  1. එහි මනුස්සත්තං යනු: මිනිසත් භාවයේ ම සිට බුදු බව පැතිය යුතු බවයි. යක්‍ෂ නාග ජාති ආදියෙහි සිටියවුන්ට පළමු ව නියත විවරණ නො ලැබෙයි. කුමක් නිසා ද යත් අහේතුක නිසාය.
  2. ලිංගසම්පත්ති යනු: මිනිසත් බැවෙහි සිටින්නහුට ද පිරිමියෙක් ම වී සිටිය යුතු ය. ස්ත්‍රියකට හෝ පණ්ඩකයකුට හෝ නපුංසකයකුට හෝ උබතෝබ්‍යංජකයන්ට විවරණ නො ලැබේ. කුමක් හෙයින් ද යත් අංග ලක්‍ෂණ පරිපූර්‍ණ නොමැති හෙයිනි. එබැවින් ස්ත්‍රී ආදීහූ පළමු ව පුරුෂ ආත්මයක් පතා ඉන්පසු බුදුබව පැතිය යුතු ය. ස්ත්‍රියක් කිසි දිනක සම්මා සම්බුදු පදවිය නො දරන්නේ ය. එබැවින් “අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො යං ඉත්‍ථී අරහං අස්ස සම්මාසම්බුද්ධො. නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො, එතං, භික්ඛවෙ, විජ්ජති යං පුරිසො අරහං අස්ස සම්මාසම්බුද්ධො. ඨානමෙතං විජ්ජතී”ති . යනුවෙ . යනුවෙන් අට්ඨානපාළියේ වදාළ සේක. “මහණෙනි, ස්ත්‍රියක් තොමෝ අර්හත් වූ සම්‍යක් සම්බුදුවරයෙක් වන්නේ ය යන මේ කාරණයක් වේද, ඒ හේතු රහිතය, ප්‍රත්‍යය රහිතය. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමානවේ. (එනම්) යම් හෙයකින් පුරුෂයෙක් අර්හත් වූ සම්‍යක් සම්බුදුවරයෙක් වේද, මේ කාරණය නම් විද්‍යමානවේ.”
  3. හෙතු: පිරිමියෙකු වුව ද එම අත්බැව්හි රහත් වීමට පිං තිබිය යුතු ය.
  4. සත්‍ථාරදස්සනං යනු: ජීවමාන බුදු කෙනෙකුන්ගේ හමුවෙහි බුදු බව පතයි නම් පැතුම් ඉටුවේ. බුදුන් පිරිනිවන් පෑ පසු චෛත්‍ය ලඟ හෝ බෝරුක්මුලෙක හෝ ප්‍රතිමාවක් වෙත හෝ පසේ බුදු කෙනෙකුන් ඉදිරියේ හෝ බුදුබව පතයි ද පැතුම ඉටු නොවේ. කුමක් හෙයින් ද බුදු බවට සුදුසු නුසුදුසු බව නුවණින් දැන ප්‍රකාශ කිරීමට අසමර්‍ථ හෙයිනි.
  5. පබ්බජ්ජා යනු: පළමු නියත විවරණ ලබන්නා කර්‍මය හා විපාකය අදහන තාපසයන් ලඟ හෝ භික්‍ෂූන් අතර පැවිදි ව සිටිය යුතු බවයි. කුමක් හෙයින් ද යත් පැවිදි වූ ම බෝසත්හු සම්බෝධිය ලබන බැවිනි. එබැවින් බුදුවීමට ප්‍රථම දුෂ්කර ක්‍රියා කරන සමයේ ද පැවිද්දකු විය යුතු ය.
  6. ගුණසම්පත්ති යනු: පංච අභිඥා අෂ්ටසමාපත්තිලාභී විය යුතු ය. කුමක් හෙයින් ද යත් ගුණසම්පන්නයෝ ම ලොව ජය ගන්නා බැවිනි.
  7. අධිකාරො යනු: ජීවමාන බුදුවරයකුට ජීවිත පරිත්‍යාග කිරීම ය. කුමක් හෙයින් ද යත් තම ජීවිත පරිත්‍යාග කළ තැනැත්තෙකුට පරිත්‍යාග කළ නො හැකි දෙයක් නොමැති බැවිනි.
  8. ඡන්‍දතා යනු: බු යනු: බුද්ධත්වය කෙරෙහි දැඩි කැමැත්ත වේ. එහි ලා බුදුබව පිණිස ඇති කැමැත්ත උපමාවකින් දක්වනු ලැබේ. එය මෙසේ ය. “යමෙක් මුළු සක්වළක් පුරා ජලයෙන් පිරී ඇති විට කිසි පසුබෑමකින් තොරව දැඩි වීර්‍යයකින් යුතු ව එගොඩ මෙගොඩ පිහිනයි ද හෙතෙම බුදුබවට පැමිණේ. යමෙක් මුළු සක්වළක් ගිනිගෙන දිලිසෙන අඟුරුවලින් පුරවා පාදවලින් මඩිමින් පරතෙරට යන්නේ ද හෙතෙම බුදුබවට පැමිණේ.”
අට්ඨාරස අභබ්බට්ඨාන
ඉහත කරුණු අටෙන් යුක්ත වූ තැනැත්තාගේ ප්‍රාර්‍ථනය සමෘද්ධිමත් වේ. මෙසේ නියත විවරණ ලත් බෝසත්වරයකු කරුණු දහඅටකින් පරිහානියට හෙවත් අභව්‍ය බවට පත් නො වේ. ඒවා අට්ඨාරස අභබ්බට්ඨාන ලෙස හැඳින්වේ. ඒ කවරයත් ඒ බෝසතාණන් වහන්සේ;
  • ජාති අන්ධයකු හෙවත් උපතින් අන්ධයකු නොවේ.
  • උපතින් බිහිරෙකු නොවේ.
  • උන්මත්තකයෙක් නොවේ.
  • උපතින් ගොළු බිහිරෙකු නොවේ.
  • කොරෙක් නොවේ.
  • ප්‍රත්‍යන්ත (කල්‍යාණ මිත්‍රයන් නැති, කුසල් දහම් සිද්ධ කර ගත නො හැකි) ප්‍රදේශ වල නූපදියි.
  • දාසියක කුස පිළිසිඳ නො ගන්නේ ය.
  • නියත මිසදිටුවෙක් නොවේ.
  • ලිංග පරිවර්තකයෙක් බවට පත් නො වේ.
  • පංචානන්තරිය කර්‍ම නො කරයි.
  • කුෂ්ට රෝගියකු නොවේ.
  • තිරිසන්ව උපදියි නම් වටු කුරුල්ලෙකුට වඩා විශාල ද ඇතෙකුට වඩා කුඩා ද වේ.
  • ඛුප්පිපාසික, නිජ්ඣාමතණ්හික ප්‍රේතයකු නූපදියි.
  • කාලකඤ්චික අසුර නිකායේ නූපදියි.
  • අවීචි මහ නිරයේ නූපදියි.
  • ලෝකාන්තරික නිරයේ නූපදියි.
  • මාරයාවී නූපදියි.
  • අසඤ්ඤ තලයේ නූපදියි.
  • සුද්‍ධාවාසයේ නූපදියි.
  • අරූප බ්‍රහ්ම ලෝකවල නූපදියි.
  • පිට සක්වළක නූපදියි.
පරමත්‍ථජොතිකා\ඛග්ගවිසාණසුත්තවණ්ණනා
මේ කාරණා හේතුවෙන් බෝසත්වරයකුට ප්‍රමාදයකින් තොරව සුව සේ පාරමි ධර්‍මයන් සම්පාදනය කරගත හැක. සම්මා සම්බුද්ධත්වය පතන්නා වූ මහ බෝසතාණන් වහන්සේ;
“දානං සීලඤ්ච නෙක්ඛම්මං, පඤ්ඤා වීරියෙන පංචමං;
ඛන්ති සචඛන්ති සච්චමධිට්ඨානං, මෙත්තුපෙක්ඛාති තෙ දසා”ති
චරියාපිටක-අට්ඨකථා
දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, ක්‍ෂාන්තිය, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රිය, උපේක්‍ෂා යන දස පාරමි ධර්‍මයන් තුන් ආකාරයකින් සම්පූර්‍ණ කළ යුතු ය. තමාගෙන් පරිබාහිර අඹුදරුවන් වස්තු ආදිය ගැන අපේක්‍ෂාවකින් තොරව පාරමි පිරීම පාරමි ලෙස ද ඇස් ඉස් මස් ලේ ආදී තමාගේ ශරීර අවයවයන් ගැන අපේක්‍ෂාවකින් තොරව පාරමි පිරීම උප පාරමි ලෙස ද තමාගේ ජීවිත අපේක්‍ෂාවකින් තොරව පාරමි පිරීම පරමත්‍ථ පාරමි ලෙස ද හැඳින්වේ.
බෝසත්වරුන්ගේ ප්‍රභේද
සම්මසම්මා සම්බුදුරජාණන් වහන්සේලා තුන් ආකාර වෙති. ප්‍රඥාධික, ශ්‍රද්‍ධාධික හා වීර්යාධික යනු ඒ තුන් ආකාරයයි. ප්‍රඥාධික බෝසත්වරයකුගේ ශ්‍රද්ධාව අඩු අතර වීර්යය මධ්‍යම වේ. බෝධිසත්ව කාලය හෙවත් බුද්ධත්වය සඳහා පාරමි ධර්‍මයන් සම්පූර්‍ණ කළ යුතු කාලය සාරාසංඛ්‍ය මහා කල්ප ලක්‍ෂයක් වේ. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බුදුවරයෙකි. එබැවින් උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමි දම් පිරූහ. ශ්‍රද්ධාධික බෝසත්වරයකුගේ වීර්යය අඩු අතර ප්‍රඥාව මධ්‍යම වේ. බෝධිසත්ව කාලය අටාසංඛ්‍ය මහා කල්ප ලක්‍ෂයක් වේ. මීට පෙර පහළ වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාධික බුදුවරයෙකි. එබැවින් උන්වහන්සේ අටාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමි දම් පිරූහ. වීර්යාධික බෝසත්වරයකුගේ ප්‍රඥාව අඩු අතර ශ්‍රද්ධාව මධ්‍යම වේ. බෝධිසත්ව කාලය සොළොසාසංඛ්‍ය මහා කල්ප ලක්‍ෂයක් වේ. අනාගතයේ පහළ වන්නා වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වීර්යාධික බුදුවරයෙකි. එබැවින් උන්වහන්සේ සොළොසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමි දම් පුරයි.
බුදු ගුණ
මෙසේ අනනමෙසේමෙසේ අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සේ කුසල් දහම් සම්පූර්‍ණ කර ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පත්වන්නා වූ ඒ තථාගත බුදුවරුන්ගේ ගුණය කීමට තබා සිතාගැනීමට ද නො හැකි ය. සකල ලෞකික මහජනයාගේ ම බුදුගුණ දැනීමට වඩා මහත් වූ බුදුගුණ දැනුමක් එක් සෝවාන් පුද්ගලයකුට ඇත්තේ ය. සෝවාන් පුද්ගලයන් සියයකට, දහසකට ඇති බුදුගුණ දැනීමට වඩා මහත් වූ බුදුගුණ දැනුමක් එක් සකෘදාගාමී පුද්ගලයකුට ඇත. සකෘදාගාමී පුද්ගලයන් සියයකට, දහසකට ඇති බුදුගුණ දැනීමට වඩා මහත් වූ බුදුගුණ දැනුමක් එක් අනාගාමී පුද්ගලයකුට ඇත. අනාගාමී පුද්ගලයන් සියයකට, දහසකට ඇති බුදුගුණ දැනීමට වඩා මහත් වූ බුදුගුණ දැනුමක් එක් අර්හත් පුද්ගලයකුට ඇත. සාමාන්‍ය රහතන් වහන්සේගේ බුදුගුණ දැනීමට වඩා මහත් වූ බුදුගුණ දැනුමක් අසූමහා රහතන් වහන්සේලාට ඇත. අසූමහා රහතන් වහන්සේලාට වඩා අතිරේක බුදුගුණ දැනුමක් මහාකස්සප තෙරුන්, අනුරුද්ධතෙරුන්, මහාකච්චාන තෙරුන්, මහාකොට්ඨිත තෙරුන් යන සතර මහාතෙරුන් වහන්සේලාට ඇත. සතර මහා තෙරුන් වහන්සේලාට වඩා බුදුගුණ දැනුමක් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට ඇත. ඊට වඩා බුදුගුණ දැනුමක් සැරියුත් මහාතෙරුන් වහන්සේට ඇත. සැරියුත් මහාතෙරුන් වහන්සේට වඩා මහත් වූ බුදුගුණ දැනුමක් එක් පසේ බුදුන් කෙනෙකුට ඇත. සක්වළක් පුරා සිවුරු කොනින් සිවුරු කොන ගැටෙන සේ පසේ බුදුවරයන් වැඩ හිඳ බුදුගුණ සිතන අවස්ථාවක් වී නම් ඒ අවස්ථාවෙහි සක්වළ පුරා වැඩ හිඳිනා සියලු පසේ බුදුවරුන්ගේ බුදුගුණ ඥානයට මහත් වූ බුදුගුණ ඥානයක් එක් ලොව්තුරා සම්මා සම්බුදුකෙනෙකුන්ට ඇත්තේ ය. එබැවින්;
“බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං,
කප්පම්පි චෙ අඤ්ඤමභාසමානො;
ඛීයෙථ කප්පො චිරදීඝමන්තරෙ,
වණ්ණො න ඛීයෙථ තථාගතස්සා”ති
සම්පසාදනීයසුත්තවණ්ණනා
“ඉදින් බුදු කෙනෙකුන් සිය ගුණ, කල්පය මුළුල්ලෙහි දෙසුව ද, කල්පය ගෙවේ. බුදුගුණ ඉතිරි වන්නේ ම‍ ය.” එබැවින් බුදුගුණය අනන්ත අප්‍රමාණ වන්නේ ය.
දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ
තවද ලොව්තුරා සම්මා සම්බුදුවරයෝ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන් ගෙන් ශෝභාමත් වන්නාහ. ඒ කවර දෙතිසකින් ද යත්;
01. සුපිහිටි පා (සමතල වූ යටිපතුල්) ඇති බව
02. යටිපතුල් දෙකෙහි සක් ලකුණු ඇති බව
03. දික් විලුඹ ඇති බව
04. දික් ඇඟිලි ඇති බව
05. මුදු මොළකැටි අත් පා ඇති බව
06. දැල් කවුළුවකට බඳු අත් පා ඇති බව
07. පිරුණු ගොප්මසින් යුත් පා ඇති බව
08. ඕළු මුවන්ගේ බඳු කෙන්ඩා ඇති බව
09. දණ තෙක් එල්බෙන දිග අත් ඇති බව
10. කොපුවක ගිලුණු පුරුෂ ලිංගය ඇති බව
11. රන්වන් සමක් සහිත සිරුරක් ඇති බව
12. කුණු නො රැඳෙන සමක් ඇති බව
13. එක් රෝමකූපයෙහි එක් ලෝමයක් බැගින් ඇති බව
14. උඩ අතට කැරකුණු නිල්වන් ලෝම ඇති බව
15. බඹහුගේ බඳු ඍජු ශරීර ඇති බව
16. පිටි අතුල් දෙක, පිටි පතුල් දෙක, දෙ උරහිස හා කර යන සත් තැන් උස්ව පිහිටීම
17. සිංහයකුගේ පෙර කය වැනි පිරුණු කයක් ඇති බව
18. පිට දෑලවර මැද පිරුණු බව
19. සම වූ උස මහත ඇති නුග රුකක් වැනි සම වූ ශරීරයක් ඇති බව
20. සම වූ වට වූ ගෙල ඇති බව
21. උඩු අතට ගෙලෙහි පිහිටි 700ක් රස නහර ඇති බව
22. සිංහයකුගේ බඳු හනු ඇති බව
23. සමසතළිස් දත් ඇති බව
24. එකිනෙකට උස් පහත් නො වූ සම දත් ඇති බව
25. අතර විවර නැති දත් ඇති බව
26. ඉතා සුදු දත් ඇති බව
27. පළල් දිවක් ඇති බව
28. බඹහුගේ බඳු කටහඬ ඇති බව
29. ඉතා නිල් නෙත් ඇති බව
30. උපන් කෙනෙහි වස්සකුගේ මෙන් ඇස් ඇති බව
31. දෙබැම අතර සුදු පැහැති ඌර්‍ණ රෝමයක් ඇති බව
32. පිරුණු නළල සහිත පිරුණු හිසක් ඇති බව
දී.නි.\ලක්ඛණසුත්තං
හිරුසඳු දෙදෙන හා සියලු තරු අහස හැර දමා අන් තැනක නො සිටින්නා සේ, තිමි තිමිංගල තිමිරපිංගල ආනන්‍ද අධ්‍යාරෝහාදී මහා මත්ස්‍යයන් මහා සමුද්‍රය හැර අන් තැනක නො සිටින්නා සේ, මහාමේරු යුගන්‍ධර ඊශධර කරවීක සුදර්ශන නේමින්‍ධර විනතක අශ්වකර්‍ණ හිමාලය නන්‍දමූලක යන සියලු මහා පර්‍වතයන් මහ පොළොවේ මුත් අන් තැනක නො පිහිටන්නා සේ, පරසතු මඳාරා ආදී වූ දිව්‍ය රුක්‍ෂයන් දෙව් ලොවෙහි මුත් අන් තැනක නො තිබෙන්නා සේ, මහා නිධාන මහ පොළොවෙහි මිස අන් තැනක නො තබන්නා සේ, අන් තැනක නො පිහිටා හිස පටන් ශ්‍රී පාදය දක්වා තැනින් තැන සැරසී ගත් දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් පිපී වැනී ගිය මලින් හොබනා පරසතු රුකක් සේ, සත් රුවන් ඉතිරී ගිය මහ මුහුද සේ බබළන රූ ඇති බුදුවරු කෙළ ලක්‍ෂ ගණන් ක්‍ෂීණාස්‍රව රහත් මුනිවරයෝ පිරිවරා තරු පිරිවරන ලද පුන් සඳක් මෙන් ලොව බබළ වන්නේ ය.
තථාගත කාය බලය
තවද තථාගතයන් වහන්සේගේ කාය බලය ද සීමාවක් නැත්තේ ය. මෙය ඇත් කුල දහයකින් අවබෝධ කල යුතු ය.
“කාළාවකඤ්ච ගංගෙය්‍යං,
පණ්ඩරං තම්බපිංගලං;
ගන්‍ධමංගලහෙමඤ්ච,
උපොසථඡද්දන්තිමෙ දසා”ති
මධුරත්‍ථවිලාසිනී
කාළාවක, ගංගෙය්‍ය, පණ්ඩර, තම්බ, පිංගල, ගන්‍ධ, මංගල, හේම, උපෝසථ, ඡද්දන්ත යැයි ඇත් කුල දහයක් ඇත්තේ ය. ඇතුන් දස දෙනෙකුගේ කාය බලය හා සමාන වූ බුදුන්ගේ කාය බල දහය දසබල නම් වේ. දස තැනක නො සැලී සිටිනා නුවණ බල දහය ද දසබල නම් වේ.
මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයන් දස දෙනෙකුගේ කාය බලය එක් කාළාවක කුලයේ ඇතෙකුට ඇත්තේ ය. කාළාවක කුලයේ ඇතුන් දස දෙනෙකුගේ කාය බලය එක් ගංගෙය්‍ය කුලයේ ඇතෙකුට ඇත්තේ ය. ගංගෙය්‍ය කුලයේ ඇතුන් දස දෙනෙකුගේ කාය බලය එක් පණ්ඩර කුලයේ ඇතෙකුට ඇත්තේ ය. පණ්ඩර කුලයේ ඇතුන් දස දෙනෙකුගේ කාය බලය එක් තම්බ කුලයේ ඇතෙකුට ඇත්තේ ය. තම්බ කුලයේ ඇතුන් දස දෙනෙකුගේ කාය බලය එක් පිංගල කුලයේ ඇතෙකුට ඇත්තේ ය. පිංගල කුලයේ ඇතුන් දස දෙනෙකුගේ කාය බලය එක් ගන්‍ධ කුලයේ ඇතෙකුට ඇත්තේ ය. ගන්‍ධ කුලයේ ඇතුන් දස දෙනෙකුගේ කාය බලය එක් මංගල කුලයේ ඇතෙකුට ඇත්තේ ය. මංගල කුලයේ ඇතුන් දස දෙනෙකුගේ කාය බලය එක් හේමවත කුලයේ ඇතෙකුට ඇත්තේ ය. හේමවත කුලයේ ඇතුන් දස දෙනෙකුගේ කාය බලය එක් උපෝසථ කුලයේ ඇතෙකුට ඇත්තේ ය. උපෝසථ කුලයේ ඇතුන් දස දෙනෙකුගේ කාය බලය එක් ඡද්දන්ත (සද්දන්ත) කුලයේ ඇතෙකුට ඇත්තේ ය. ඡද්දන්ත කුලයේ ඇතුන් දස දෙනෙකුගේ කාය බලය තථාගතයන් වහන්සේට ඇත්තේ ය.
තථාගත ඤාණ බලය
තවද තථාගතයන් වහන්සේට සෙස්සන්ට නැති අනූපම වූ ඥාන බල දහයක් ඇත්තේ ය. දසබලඤාණ නම් සර්‍වත්‍රගාමිණිපටිපදා ඤාණය, අනේකධාතු නානධාතු ලෝක දන්නා ඤාණය, සත්වයන්ගේ නානාධිමුත්තිකත්වය දන්නා ඤාණය, ආසයානුසයේ ඤාණය, ධ්‍යානාදීන්ගේ සංකිලේශාදිය දන්නා ඤාණය, අතීත ජාතීන් දන්නා ඤාණය, සත්වයන්ගේ ච්‍යුති උත්පත්ති දන්නා ඤාණය, ආශ්‍රවක්‍ෂය ඤාණය යන දසයයි. මේ දසවිධ ඤාණයට බුද්ධ බලය යැයි කියනු ලැබේ.
තවද උන්වහන්සේ චතුවිශාරද ඤාණයෙන් ද චතුයොනිපරිච්ඡෙදක ඤාණයෙන් ද පංච ගතිපරිච්ඡෙදක ඤාණයෙන් ද පංච චක්ඛුවෙන් ද ෂඩ් අභිඤ්ඤාවෙන් ද අෂ්ටවිධ ඤාණයෙන් ද අෂ්ට විද්‍යාවෙන් ද අෂ්ට අකම්පන ඤාණයෙන් ද අෂ්ට චරියාවෙන් ද අෂ්ට මහා පුරුෂ විතර්කයෙන් ද අෂ්ට විමොක්ෂයෙන් ද නව අනුපුබ්බවිහාර සමාපත්තියෙන් ද නව විපස්සනා ඤාණයෙන් ද දසබල ඤාණයෙන් ද දස ඍද්‍ධියෙන් ද පසළොස් චරණයෙන් ද සොළොස් ඤාණ චරියාවෙන් ද සොළොස් සඤ්ඤාවෙන් ද සිව්සාළිස් ඤාණයෙන් ද සමපණස් උදයව්‍යය ඤාණයෙන් ද තෙසැත්තෑ ඤාණයෙන් ද සත්සැත්තෑ ඤාණයෙන් ද සමන්නාගත වන සේක.
තවද උන්වහන්සේගේ ඤාණය අනන්ත බැවින් අනන්ත ආකාශයට උපමා කොට ඇත. අනන්ත සතරක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. කී පරිදි;
“සත්තකායො ච ආකාසො,
චක්කවාළා චනන්තකා;
බුද්ධඤාණං අප්පමෙය්‍යං,
න සක්කා එතෙ විජානිතු”න්ති
බුද්ධවංසපාළි\1. රතනචංකමනකණ්ඩං
"සත්ව ජාති ද අහස ද සක්වළවල් ද අනන්තය. බුද්‍ධඤාණය ද අපමණ වෙයි. මේවා දැනගත නො හැකි ය.”
තවද වාසනා සහිතව සකල ක්ලේශයන්ගෙන් දුරු වූ හෙයින් ද කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද සංසාර චක්‍රයේ අවිද්‍යාදී කෙලෙස් අර සිඳලූ හෙයින් ද සියලු ආමිස ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වූ හෙයින් ද රහසින්වත් පව් නො කළ හෙයින් ද අරහං වන සේක. සියලු ම ධර්‍ම විපරීත නො කොට තුමූ ම අවබෝධ කළ හෙයින් ද විශිෂ්ට ඥානයෙන් දත යුතු ධර්‍ම විශිෂ්ට ඥානයෙන් දත් හෙයින් ද පිරිසිඳ දත යුතු දුක්ඛ සත්‍යය පිරිසිඳ දත් හෙයින් ද හැරිය යුතු සමුදය සත්‍යය හල හෙයින් ද සාක්‍ෂාත් කළ යුතු නිරෝධ සත්‍යය සාක්‍ෂාත් කල හෙයින් ද භාවනා වශයෙන් වැඩිය යුතු මාර්‍ග සත්‍යය වැඩිය හෙයින් ද සම්මා සම්බුද්‍ධ නම් වන සේක. ත්‍රිවිද්‍යාවෙන් සමන්නාගත හෙයින් ද අෂ්ටවිද්‍යාවෙන් සමන්නාගත හෙයින් ද පසළොස් චරණ ධර්‍මයන්ගෙන් සමන්නාගත හෙයින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ආර්‍ය්‍ය මාර්ග සංඛ්‍යාත ශෝභන වූ ගමන් ඇති බැවින් ද සුන්දර නිවනට ගමන්ගත් බැවින් ද මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් ගත් බැවින් ද සාර්‍ථක වූ ධර්‍මදේශනා ඇති බැවින් ද සුගත වන සේක. ස්කන්ධ ලෝකය අවබෝධකළ හෙයින් ද ලෝකයේ ලෝක ස්වභාවය අවබෝධකළ හෙයින් ද ලෝක සමුදය අවබෝධකළ හෙයින් ද ලෝක නිරෝධය අවබෝධකළ හෙයින් ද ලෝක නිරෝධ උපාය අවබෝධකළ හෙයින් ද සංඛාර ලෝකය අවබෝධකළ හෙයින් ද සත්ව ලෝකය අවබෝධකළ හෙයින් ද අවකාශ ලෝකය අවබෝධකළ හෙයින් ද ලෝකවිදූ නම් වන සේක. අසේඛ සීලස්ඛන්‍ධයෙන් උත්තරීතර හෙයින් ද අසේඛ සමාධිස්ඛන්‍ධයෙන් උත්තරීතර හෙයින් ද අසේඛ ප්‍රඥාස්ඛන්‍ධයෙන් උත්තරීතර හෙයින් ද අසේඛ විමුක්ති ස්කන්ධයෙන් උත්තරීතර හෙයින් ද අසේඛ විමුක්තිඤාණදස්සන ස්කන්ධයෙන් උත්තරීතර හෙයින් ද දමනය කටයුතු සත්වයන් උත්තරීතර විධියෙන් දමනය කල හෙයින් ද අනුත්තරො පුරිසදම්මසාරථි නම් වන සේක. ඉහලෝකාර්‍ථයෙන්, පරලෝකාර්‍ථයෙන්, නිර්වාණ පරමාර්‍ථයෙන් අනුශාසනා කළ හෙයින් ද ජාති කාන්තාරයෙන් සත්වයින් එතෙර කළ හෙයින් ද ජරා කාන්තාරයෙන් සත්වයින් එතෙර කළ හෙයින් ද ව්‍යාධි කාන්තාරයෙන් සත්වයින් එතෙර කළ හෙයින් ද මරණ කාන්තාරයෙන් සත්වයින් එතෙර කළ හෙයින් ද සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාස කාන්තාරයෙන් සත්වයින් එතෙර කළ හෙයින් ද රාග කාන්තාරයෙන් සත්වයින් එතෙර කළ හෙයින් ද දෝෂ කාන්තාරයෙන් සත්වයින් එතෙර කළ හෙයින් ද මෝහ කාන්තාරයෙන් සත්වයින් එතෙර කළ හෙයින් ද මාන කාන්තාරයෙන් සත්වයින් එතෙර කළ හෙයින් ද දිට්‍ඨි කාන්තාරයෙන් සත්වයින් එතෙර කළ හෙයින් ද ක්ලේශ කාන්තාරයෙන් සත්වයින් එතෙර කළ හෙයින් ද දුශ්චරිත කාන්තාරයෙන් සත්වයින් එතෙර කළ හෙයින් ද සංසාර කාන්තාරයෙන් සත්වයින් එතෙර කළ හෙයින් ද නිර්වාණ ක්‍ෂේම භූමියට සැපත් කළ හෙයින් ද සත්‍ථා දෙවමනුස්සානං නම් වන සේක.
තවද දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර අන් අයට ද අවබෝධ කර වූ හෙයින් ද දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර අන් අයට ද අවබෝධ කර වූ හෙයින් ද දුක්ඛ නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර අන් අයට ද අවබෝධ කර වූ හෙයින් ද දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය අවබෝධ කර අන් අයට ද අවබෝධ කර වූ හෙයින් ද බුද්ධ නම් වන සේක. චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළ බැවින් බුද්ධ නමි. ප්‍රජාව පිළිබඳ අවබෝධය ඇති බැවින් බුද්ධ නමි. සර්‍වඥතාඥානය ලබාගත් බැවින් බුද්ධ නමි. සියල්ල දක්නා බැවින් බුද්ධ නමි. අනෙකකු විසින් අවබෝධ නො කර විය යුතු හෙයින් බුද්ධ නමි. විවිධ ගුණ පහළ කරන හෙයින් බුද්ධ නමි. ආශ්‍රවයන් දුරුකළ බැවින් බුද්ධ නමි. උපක්ලේශ නැති බැවින් බුද්ධ නමි. ඒකාන්ත වීතරාගී බැවින් බුද්ධ නමි. ඒකාන්තයෙන් පහකළ තරහ ඇති බැවින් බුද්ධ නමි. ඒකාන්තයෙන් පහකළ මෝහ ඇති බැවින් බුද්ධ නමි. ඒකාන්තයෙන් කෙලෙස් රහිත බැවින් බුද්ධ නමි. ඒකායන මාර්‍ගයට ගිය බැවින් බුද්ධ නමි. තනිව නිරුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළ බැවින් බුද්ධ නමි. අබුද්‍ධිය දුරුකළ බැවින්, බුද්ධිය ලබන ලද බැවින් බුද්ධ නමි.
තවද පාරමි ධර්‍ම සංඛ්‍යාත පුණ්‍ය භාග්‍යයෙන් සමන්නාගත හෙයින් ද ක්ලෙශාදී පංච මාරයන් සිඳලූ හෙයින් ද ඓශ්චර්‍ය්‍යාදී භාග්‍ය ධර්‍මයන්ගෙන් සමන්නාගත හෙයින් ද විභජනය කල යුතු ධර්‍මයන් විභජනය කල හෙයින් ද භජනය කල යුතු ධර්‍මයන් භජනය කල හෙයින් ද එකසිය අට වැදෑරුම් තෘෂ්ණාව වමාරා ශාන්ත නිවන වැළඳූ හෙයින් ද භගවා නම් වන සේක. රාගය නැසූ බැවින් භගවා නම් වන සේක, ද්වේෂය නැසූ බැවින් භගවා නම් වන සේක, මෝහය නැසූ බැවින් භගවා නම් වන සේක, මානය නැසූ බැවින් භගවා නම් වන සේක, දිට්‍ඨිය නැසූ බැවින් භගවා නම් වන සේක, කෙලෙස් කටු නැසූ බැවින් භගවා නම් වන සේක, සියලු කෙලෙස් නැසූ බැවින් භගවා නම් වන සේක, ධර්‍මය බෙද බෙදා දහම් දෙසූ බැවින් භගවා නම් වන සේක, කාමභව රූපභව අරූපභවයන්හි කෙළවරට ගිය බැවින් භගවා නම් වන සේක, වඩන ලද සියලු කාය භාවනා සීල භාවනා චිත්ත භාවනා පඤ්ඤා භාවනා ඇති බැවින් භගවා නම් වන සේක, ආරාම වනපෙත් සේනාසන ශබ්දයන් අඩු ඝෝෂා රහිත හුදකලා වූ මනුෂ්‍යයන්ගේ රහසිගත කටයුතු වලට යෝග්‍ය වූ ස්ථාන ඇසුරු කළ බැවින් භගවා නම් වන සේක, ප්‍රණීත චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ලැබූ බැවින් භගවා නම් වන සේක, අර්‍ථ රසයෙන් ධර්‍ම රසයෙන් විමුක්ති රසයෙන් අධි සීලයෙන් අධි සමාධියෙන් අධි ප්‍රඥාවෙන් යුක්ත බැවින් භගවා නම් වන සේක, සතර රූපාවචර ධ්‍යානලාභී බැවින් භගවා නම් වන සේක, සිව්බඹ විහරණ ලාභී බැවින් භගවා නම් වන සේක, සතර අරූපාවචර ධ්‍යානලාභී බැවින් භගවා නම් වන සේක, අෂ්ට විමෝක්‍ෂ ලාභී බැවින් භගවා නම් වන සේක, අෂ්ට අභිභායතන ලාභී බැවින් භගවා නම් වන සේක, නව අනුපුබ්බවිහාරසමාපත්තී ලාභී බැවින් භගවා නම් වන සේක, දස සඤ්ඤා ලාභී බැවින් භගවා නම් වන සේක, දස කසින සමාපත්ති ලාභී බැවින් භගවා නම් වන සේක, ආනාපානසති සමාපත්ති ලාභී බැවින් භගවා නම් වන සේක, අසුභ සමාපත්ති ලාභී බැවින් භගවා නම් වන සේක, සතර සතිපට්ඨාන ලාභී බැවින් භගවා නම් වන සේක, සතර සම්‍යක් ප්‍රධාන ලාභී බැවින් භගවා නම් වන සේක, සතර ඍද්‍ධිපාද ලාභී බැවින් භගවා නම් වන සේක, පංච ඉන්‍ද්‍රිය ධර්‍ම ලාභී බැවින් භගවා නම් වන සේක, පංච බල ධර්‍ම ලාභී බැවින් භගවා නම් වන සේක, සප්ත බොජ්ඣංග ධර්‍ම ලාභී බැවින් භගවා නම් වන සේක, ආර්ය අෂ්ටාංගික මාර්‍ගයෙන් යුක්ත බැවින් භගවා නම් වන සේක, තථාගත බල දහයකින් යුක්ත බැවින් භගවා නම් වන සේක, චතුවිශාරද ඤාණයෙන් යුක්ත බැවින් භගවා නම් වන සේක, චතුපටිසම්භිදා ඤාණයෙන් යුක්ත බැවින් භගවා නම් වන සේක, අභිඥා සයකින් යුක්ත බැවින් භගවා නම් වන සේක, බුද්ධ ධර්‍මතා සයකින් යුක්ත බැවින් භගවා නම් වන සේක.
තවද බුද්‍ධචක්ඛු, ධම්මචක්ඛු, සමන්තචක්ඛු, දිබ්බචක්ඛු හා ප්‍රඥාචක්ඛු යන පසැසකින් යුත් ජිනවරයෝ ඉසුරුමත් බව ද ලෝකෝත්තර ධර්‍ම හා උත්තරීතර ශීලාදී ගුණයෙන් ද පිරිවර හා කීර්තියෙන් ද ශෝභාසම්පන්නව ද ආත්මාර්‍ථ පරාර්‍ථයන්ගේ සිද්ධියෙන් ද ආත්මාර්‍ථ පරාර්‍ථ සාධනය පිළිබඳ වූ බලවත් වීර්යයෙන් ද යුක්ත වන සේක. class="parnor1"> තවද ඇස් පිහාටුවක රෝමයක් මත පාසිවුරු දරා සතර ඉරියව් පැවැත්වීමට තරම් ශරීරය කුඩා කිරීමට ද ශරීරය විශාල කිරීමට ද කොතෙක් දුරකට වුව ද යෑමට ද ඍද්‍ධියේ පමාවක් නැති බව ද කය සිතට අනුකූල කිරීමෙන් සැහැල්ලු කල හැකි බව ද ඊශ්වර භාවය ද ධ්‍යානසමාපත්ති වලට රිසි සේ සමවැදීමට හා නැගිටීමට හැකි බව ද ඍද්‍ධි ප්‍රාතිහාර්ය කිරීමේ දී නියමිත ප්‍රදේශයෙහි නියමිත කාලයක් මුළුල්ලෙහි ප්‍රාතිහාර්ය පැවැත්විය හැකි බව ද යන කරුණු 8හි ඉසුරුමත් භාවය උසුලන සේක. බුදුගුණයන්හි අපරිමිත බව හඟවනු වස් මෙම කථාවස්තුව ගෙන හැර දක්වමි. කෙසේ ද යත්;
ත්‍රිපිටකධාරී මහාතෙරුන් දෙනම
එක් කලක තෙවළා බුදුවදන් දන්නා මහතෙර දෙදෙනෙක් එක් මඟක යති. එයින් පසු ව වඩනා මහා ස්ථවිරයෝ පෙරටුව වඩනා‍ මහාතෙරුන් තමන් මහ නුවණැති බැව් හඟවා කියන්නාහු “ස්වාමීනි! බුදුගුණ ඉතා බොහෝමය, විස්තර වශයෙන් පොත් සංග්‍රහ කරත් නම් බඹලො දක්වා පොත් සංග්‍රහ වේ දෝ හෝයි? සිතමි” කීහ, එබස් අසා පෙරටුව වඩනා මහතෙරහු පෙර තෙරුන්ටත් වඩා සියුම් වූ නුවණ ඇති හෙයින් සිනා පහළ කොට “ඇවැත්නි! එසේ බුදුගුණ ලඝු කොට‍ කීව ද, බුදුගුණ බොහෝ වේ, බඹලොව උස්තැනක් ද” යි වදාළහ. එවේළෙහි පස්සෙහි වඩනා මහතෙරහු බුදුගුණ ලඝු කොට කියවුනයි කී බසට භය ඇති ව “ස්වාමීනි! බුදුන්‍ කෙරෙහි අනාදරයක් නිසා නො කීවෙමි, මාගේ නුවණ පමණින් බුදුගුණ දැක්වීමි. මට ක්‍ෂමාකළමැනැවැ”යි කියා මහාතෙරුන් ක්‍ෂමා කර වූහ.
මෙසේ බුදුගුණ බඹලොව සේ අචින්ත්‍ය ය. අපරිමේය වූ බුදුන් කෙරෙහි ද, ධර්‍මය කෙරෙහි ද, පහන් වූ වන්ට විපාකයෝ ද අචින්ත්‍ය ය.
එක් බුදු කෙනෙකුගේ ගුණය ඉතා මහත් බැවින් බුදුවරයන් දෙදෙනෙකුගේ ගුණය ඊටත් මහත් වේ. එම ගුණය මහ පොළොවට දරා ගැනීමට ද නො හැක. එබැවින් බුදුවරු දෙනමක් එකවර ලොව පහළ නොවේ. එය එසේම ය. එබැවින් අට්‍ඨානපාළියෙහි “අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො යං එකිස්සා ලොකධාතුයා ද්වෙ අරහන්තො සම්මාසම්බුද්ධා අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්‍යුං. නෙතං ඨානං විජ්ජති. ඨානඤ්ච ඛො එතං, භික්ඛවෙ, විජ්ජති යං එකිස්සා ලොකධාතුයා එකොව අරහං සම්මාසම්බුද්ධො උප්පජ්ජෙය්‍ය. ඨානමෙතං විජ්ජතී”ති කියා කියන ලදි. තුන් බුදු කෙනෙකුගේ ගුණය ඊට ද මහත් වේ. මෙසේ අටවිසි බුදුවරුන්ගේ ගුණය මේ නයින් ඊටත් මහත් බව දත යුතු ය. එසේම අටවිසි බුදුවරයන්ට පෙර ලොව පහළ වූ පන්ලක්‍ෂ දොළොස්දහසක් බුදුවරුන්ගේ ගුණයත් ලොව පහළ වූ අනන්ත බුදුවරුන්ගේ ගුණයත් ප්‍රමාණාතික්‍රාන්ත වන්නේ ය. එබැවින්;
"එවං අචින්තියා බුද්ධා,
බුද්ධධම්මා අචින්තියා;
අචින්තියෙ පසන්නානං,
විපාකො හොති අචින්තියො”
බුද්ධවංසපාළි\1. රතනචංකමනකණ්ඩං
“මෙසේ බුදුවරයෝ චිත්තවිෂයාතික්‍රාන්තයහ. බුද්ධ දේශිත ධර්‍මය චිත්තවිෂයාතික්‍රාන්තයහ. චිත්තවිෂයාතික්‍රාන්ත වූ බුදුන් කෙරෙහි හා ධර්‍මය කෙරෙහි පැහැදුණ වුන්ට ලැබෙන විපාකය ද චිත්තවිෂයාතික්‍රාන්ත වේ. හෙවත් සිතා අවසන් කළ නො හැකි වේ.”

දුක්පත් සතෙක් මුනිඳුන් වෙත සිත පැහැදී
එක් දාගැබෙක දියබෙරලිය මලක් පිදී
සක්විති සැපත් ඉන් පන්තිස් වරෙක ලදී
දුක් නැත මෙපුද කරතොත් අකුසලින් මිදී
ලෝ වැඩ සඟරාව
පෙර එක් දුප්පත් කෙනෙක් බුදුන් කෙරෙහි පැහැදුන සිතින් එක්තරා දාගැබකට දියබෙරලිය මලක් පූජා කර එම පිනෙන් සක්විති රජ සැප ආත්ම තිස්පස් වාරයක් ලද්දේ ය. එබැවින් කෙනෙක් අකුසලයෙන් මිදී මල් පහන් පූජා කළ හොත් දුක් නැති වන බව මින් දැක්වේ. එබැවින් සැප කැමැත්තෝ අප්‍රමාදී ව කුසල් කටයුතු ය.

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

1 comment :

  1. ශ්‍රේෂ්ඨ ලිපියකි!!! ඒ ලිපිය කියවීමෙන් මාතුළ අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙරෙහි යම්වූ පෙර නොතිබූ විරූ ශ්‍රද්ධාවක් හටගත්තේ ඒ මහා කුසලය මේ ලිපියේ සම්පාදක පුජක උතුමන් වහන්සේලාට,සම්පාදක වරුන්ට සහ සම්පාදක වරියන්ට අනුමෝදන් වේවා!!!
    වැඩි දෙනාගේ යහපත පිණිස මමද මේ ලිපිය මුහුණු පොතේ මිතුරන් සමග බෙදා ගතිමි. තවද මා විසින් රචිත පොතකටද මේ link එක අඩංගු කලෙමි.!!!

    සියළු දෙනාගේම සම්‍යක් ප්‍රාර්ථනා හිරු උදාව සමගින් පිබිදෙන සූරියකාන්තා මල සේ මේ ක්ෂණයේ මේ මොහොතේම සපලවේවා!!!

    ReplyDelete