Tuesday, January 26, 2016

අසිරිමත් ධාතු පුරාණය 8 කොටස

අපමණ ප්‍රාතිහාර්ය පෑ වාම ශ්‍රී දළදා වහන්සේ

මේ වගේ ආනුභාව සම්පන්න ධාතුන් වහන්සේ නමක් ඝෝෂිය රජ ළඟ තිබෙනවා කියා නපුරු රජ කෙනෙකුට ආරංචි වුනා. ඔහු ඝෝෂිය රජුගේ රාජධානිය ආක්‍රමණය කළා. ධාතුන් වහන්සේගේ ආනුභාවය අසා අල්ලපු රටක කුමාරයෙක් ධාතුන් වහන්සේට උපස්ථාන කරන්න ආවා. ඒ ‘දන්ත’ කුමාරයා. රජතුමා ඒ කුමාරයාට පැහැදිලා තමන්ගේ දුව ‘හේමමාලා’ කුමරිය දන්ත කුමරුට විවාහ කර දුන්නා. යුද්ධයට යන්න කලින් රජතුමා කිව්වා දන්ත ධාතුන් වහන්සේ උදෙසායි මේ යුද්ධය තිබෙන්නේ. මම යුද්ධයෙන් පැරදුනොත් මේ ධාතුන් වහන්සේ අරගෙන ඔබ දෙදෙනා සිංහල දීපයට යන්න. ඒ රට රහතන් වහන්සේගෙන් හිස් නැහැ. ශ්‍රද්ධාවන්ත රජෙක් රට පාලනය කරන්නේ’ කියා සිටියා. රජතුමා යුද්ධයට ගියා. එහි දී පැරදුණා. හේමමාලා කුමරිය හා දන්ත කුමරු වෙස්වලාගෙන කරඬුවක දන්ත ධාතුන් වහන්සේ වඩම්මවාගෙන ලංකාදීපයට ඒමට පිටත්වුණා. හිසේ ගසාගෙන ආ බව කියන කථා පසු කාලයක හැදුණ කතාන්තරයි. පැරණි පොත්පත්වල සඳහන් ව තිබෙන්නේ කරඬුවක තැන්පත් කරගෙන ආ බවයි. ඔවුන් බොහෝ දුර පැමිණ පැන් පහසුවෙන්න ඕන නිසා වැලිගොඩක් අයිනේ ධාතු කරඬුව තබා වැලි වලින් වසා මොවුන් පැන් පහසු වුනා. එතැනින් රහතන් වහන්සේ නමක් ආකාශයෙන් ගමන් කරමින් සිටියා. උන්වහන්සේ දැක්කා වැලිවලින් රැස් විහිදෙනවා. ධාතුන් වහන්සේ නමක් බව දැනගෙන උන්වහන්සේ වන්දනාමාන කළා. අර දෙදෙනා පැන් පහසු වෙලා එනවිට ස්වාමීන් වහන්සේ නමක් වන්දනා මාන කරමින් සිටියා. ඒ දෙදෙනා දැනගත්තා මුන්වහන්සේ ධාතුන් වහන්සේ බව හඳුනාගත්තා කියා.
රහතන් වහන්සේ අහනවා ඔබලා කොහේද මේ යන්නේ? සිංහල දීපයට. බොහොම හොඳයි සිංහල දීපයේ තමයි බුදුසසුන පිහිටන්නේ. ඔබලා යන්න. හදිසියක දී කරදරයක් අන්තරාවක් වුනොත් මා සිහිකරන්න කියා උන්වහන්සේගේ නම කිව්වා. වංශකතාවල නම සිහි කරන්න කියන දේ තිබෙනවා. නමුත් උන්වහන්සේගේ නම කොතැනකවත් සඳහන් වෙන්නේ නැහැ. දැන් මේ දෙදෙනා කරඬුව අරගෙන ගඟක් අසලට ගියා. මුහුණ හෝදන්න කරඬුව තියා ගඟට බැස්සා. ගඟ තුළින් නාගයෙක් මතුවෙලා කරඬුව ගිල්ලා. මේ අය බලනකොට ධාතු කරඬුව නැහැ. දන්ත ධාතුන් වහන්සේ හංගන්න බැහැ. ධාතුන් වහන්සේගෙන් රැස් විහිදෙනවා. අර දෙදෙනා රහතන් වහන්සේගේ නම සිහිකළා. උන්වහන්සේ ගුරුළු වෙසක් මවාගෙන ඇවිත් නාගයා බයකරලා කරඬුව ගත්තා. එදා ලංකාවට යන නැවක් රහතන් වහන්සේ ඒ දෙදෙනාට පෙන්නුවා. දෙදෙනා නැවට ගොඩ වුනා. ගොඩවුණ විගස මුහුදේ රැල්ල නැවතුණා. නැව ඉදිරියට යනවා රැල්ල ගහන්නේ නැහැ. සියලු දෙනාට ම පුදුමයි. මුහුද ඇතුළේ සිටි නාගයන්ට පෙනෙනවා නැවේ රැස් විහිදෙනවා. මුහුදේ නාගයන් නැව වට කළා. වටේ ම නාගයෝ සිටින නිසා නැවට යන ඉදිරි මාර්ගය පෙනුණේ නැහැ. නැවතත් රහතන් වහන්සේගේ නම සිහි කළා. උන්වහන්සේ ඍද්‍ධියෙන් වැඩම කොට ගුරුළු වෙසක් මවා නාගයන් පලවා හැරියා. ඉන් පසු දන්ත ධාතුන් වහන්සේ සුව සේ ලංකාවට වැඩමවූවා.
මේ වන විට ලංකාව පාලනය කළේ කිත්සිරිමෙවන් රජතුමායි . අලුතින් රාජ්‍යයක් පත්වෙලා තිබුණේ. දන්ත කුමරුයි හේමමාලායි ධාතුන් වහන්සේ සමඟ ගොඩ බැස්සේ ලංකා පටුනටයි. ගොඩ බැහැලා ධාතුන් වහන්සේ සංඝයාට ලබා දුන්නා. සංඝයා වහන්සේ විසින් ධාතුන් වහන්සේ රජතුමාට ලබා දුන්නා. කිත්සිරිමෙවන් රජතුමාට හරි සතුටුයි. කරඬුවට ධාතුන් වහන්සේ තැන්පත් කළා. දවසක් රජතුමාට කල්පනා වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ සුදු ම සුදුපාටයි කියනවා. නමුත් මේ ධාතුන් වහන්සේ ටිකක් පාටින් අඩුයි. මේ දන්ත ධාතුන් වහන්සේ නෙමෙයිවත් ද? කියා හිතනකොට ම කරඬුව මෑත්වෙලා ධාතුන් වහන්සේ අහසට පැන නැඟ සුදු රශ්මි දහරා විහිදුවනවා. අනේ ස්වාමීනි, මගේ අයහපත් සිතිවිල්ලට සමාව දෙන සේක්වා කියා පැන් පාත්තරය අල්ලාගෙන වන්දනා කළා. දන්ත ධාතුන් වහන්සේ පැන් පාත්තරයට වැඩමවා පාත්තරය ඇතුළේ දක්ෂිණාව කැරකෙනවා. මේ දන්ත ධාතුන් වහන්සේ තරම් ප්‍රාතිහාර්ය පෑ තවත් ධාතුන් වහන්සේ නමක් නැතිතරම්. ධාතුන් වහන්සේ පාත්තරයෙන් වඩම්මවලා රන් සළු පන්සියයකින් වැසුවා. ඒ රන් සළු පන්සියය ම දෙබෑ කරමින් දන්ත ධාතුන් වහන්සේ නැවතත් අහසට පැන නැග්ගා. රජතුමා සමන්පිච්ච මල් අරගෙන ධාතුන් වහන්සේ වහනවා. වහන්න වහන්න ධාතුන් වහන්සේ උඩට පැන නගිනවා. එසේ ප්‍රාතිහාර්ය පෑ දන්ත ධාතුන් වහන්සේයි අද මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ වැඩ ඉන්නේ. ඔබ නුවර දළදා මාලිගාවට ගොස් ධාතු වන්දනාව කරන විට මේ ප්‍රාතිහාර්ය සිහි කරන්න. දන්ත ධාතූන් වහන්සේගේ ගුණ සිහි කර වන්දනා කරන්න. ඒ පින අපතේ යන්නේ නැහැ. මෙතැනින් අසිරිමත් ධාතු වංශකතාවේ පළමු කොටස නිමාවට පත්වෙනවා.
අප ඉගෙන ගත්තා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී චෛත්‍යය හතරනමක් ඉදි වූ බව. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ද්‍රෝණ අටක් තැන්පත් කර චෛත්‍යය අටක් ඉදි වූ බවත් අප සඳහන් කළා. කපිලවස්තු පුරයට ද්‍රෝණයක් ධාතුන් ලැබුණේ නැහැ. ටිකයි ලැබුණේ. හේතුව කිම? මල්ලරජදරුවන්ට ලැබුණ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තුළයි ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටියේ. ඒ ලලාට ධාතුන් වහන්සේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ එතැනින් ඉවත් කර ගත්තා. ද්‍රෝණ බමුණා පාත්‍රය ගෙනගොස් හැදූ චෛත්‍යය “තුම්භ” චෛත්‍යය යි. මෞර්ය රජදරුවෝ පිරිනිවන් මංචකය ළඟට ආවේ ධාතු බෙදීමෙන් අනතුරුවයි. ඒ නිසා ඔවුන් සෑයේ අඟුරු ගෙනගොස් සෑයක් ඉඳිකළා. එය ‘අංඟාර ස්තූපය යි’. ඒ අංඟාර ස්තූපයත් සමඟ සෑයන් දහයක් දඹදිව ඉදිවෙලා තිබෙනවා.
ඉතින් මේ ධාතුන් වහන්සේලාට ඔබත් වන්දනා කරන්න. ධාතු වන්දනාව හිස් දෙයක් නොවේ. අර්ථ සිහිකර කර වන්දනා කරන්න. මහා පරිනිබ්බාන සූත්‍රයේ මේ ධාතුන් වන්දනාවේ ගුණ අසිරිමත් ලෙස සඳහන් වෙනවා. ඒ කරුණුත් ඔබ හොඳින් කියවා ඉගෙන ගන්න.
මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා ස්තූපයන් කළ යුත්තේ කවුරුන් උදෙසා ද? ආනන්දයෙනි, ස්තූප තනවා පිදීමට සුදුසු මේ සිව් දෙනෙකි. ඒ කවර සිව් දෙනෙක් ද යත් තථාගත අරහත් සම්මා සම්බුදුහු ස්තූප තනවා පිදීමට සුදුසු ය. පසේබුදු රජාණන් වහන්සේගේ, තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක තෙමේ සහ සක්විති රජු ස්තූප තනවා පිදීම සුදුසු ය.
ආනන්දයනි, කවර කරුණක් නිසා තථාගත අරහත් සම්මා සම්බුදු රජුහු ස්තූප තනවා පිදීමට සුදුසු වෙත් ද? මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ගේ ස්තූපය යැයි බොහෝ ජනයෝ සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිති. මෙකරුණ නිසාවෙන් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්තූප තනවා පිදීමට සුදුසු වෙති.
මෙසේ හෙයින් ආනන්දයෙනි, සිව්මංසලෙහි තථාගතයන් ගේ ස්තූපයක් කළ යුත්තේ ය. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සඳුන් හෝ තැන්පත් කරන්නාහු ද, සකසා වන්දනා කරන්නාහු ද සිත හෝ පහදවා ගන්නාහු ද, එය ඔවුන් හට බොහෝ කල් හිත සුව පිණිස වන්නේ ය.
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ උඳුවප් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ දෙසැම්බර් 18 වනදා සිකුරාදා දින බුදුසරණ පත්‍රයේ පල වූ ලිපියක් ඇසුරිණි.

<<< Previous Next >>>

Sunday, January 24, 2016

අසිරිමත් ධාතු පුරාණය 7 කොටස

රජවරුන්ගේ යුද්ධය සංසිඳවීමට ද්‍රෝණ බමුණා ඉදිරියට එයි

තථාගත පරිනිර්වාණයෙන් පසු ධාතුන් වහන්සේ අත්පත් කර ගැනීමට රජවරු අට දෙනෙක් යුද්ධයකට සැරසුණා. ඒ යුද්ධය සංසිඳවීම පිණිස ඒ රජවරුන්ගේ ගුරුවරයා ඉදිරිපත් වුනා. ඔහු නමින් "ද්‍රෝණ බමුණා" යි.
ඒ ද්‍රෝණ බමුණා උස් තැනකට ගොස් හඬනගා කියනවා "රජදරුවනි, ඝෝෂා කරන්න එපා. බුදුරජාණන් වහන්සේ ශාන්තිවාදීන් වහන්සේ නමක්. යුද්ධය ප්‍රතික්ෂේප කළ උත්තමයෙක් ආදි ගුණ කියමින් බණවරක් කියා සිටියා. ඒ බණවර ගාථාවට අකුරු අටදහසක් අයත් වුනා. සාමාන්‍යයෙන් පැය එකහමාරක් පමණ ඒ බණවරයට කාලය ගතවෙනවා. කෙතරම් කියා සිටියත් එක් රජෙකුවත් එයට කන යොමු කළේ නැහැ. යුද්ධයක් සඳහා ම සූදානම් වුනා. බමුණා නැවත දෙවන බණවරය කියා සිටියා. දැන් පැය තුනක් පමණ ගතවෙලා. එයට කියනවා "ද්‍රෝණ ගර්ජනාව" කියා. ඒ දෙවැනි බණවරයේ අවසාන අකුර කියන විට එක රජ දරුවෙකුට ඇසුණා. ඔහු කියා සිටියා රජවරුනි, නිහඬ වෙන්න, අපේ ආචාර්යන් වහන්සේ කථා කරනවා කියා. එය කටින් කටට ගියා. රජදරුවන් ටික වෙලාවකින් නිහඬ වුනා.
දැන් ද්‍රෝණ බමුණා කියනවා "රජදරුවෙනි, අපගේ ශාස්තෘන් වහන්සේ අනුකම්පා සහගත යි. යුද්ධයට කැමැති නැහැ. ඒ නිසා යුද්ධ කරන්න එපා. ඔබලා අට දෙනෙක් ඉන්නවා. අප මේ සියලු ම ධාතුන් වහන්සේ අටකට බෙදමු" කියා යෝජනා කළා. රන්දෙණ ඇරියා. ධාතුන් වහන්සේ දුටු කළ රජවරු අඬා වැටුණා. ද්‍රෝණ බමුණා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සුදුපාට රැස් විහිදවමින් දකුණු දළදා වහන්සේ වැඩ සිටින අයුරු දැක ඔහු ඒ දළදා වහන්සේ ගෙන කෙස් වැටියේ සඟවා ගත්තා. රජවරු තවමත් අඬා වැටෙනවා. ඒ ක්ෂණයෙන් තවත් දන්ත ධාතුන් වහන්සේ නමක් ගෙන ඉනේ ගසා ගත්තා. තවත් දන්ත ධාතුන් වහන්සේ නමක් බිම දමා පය අසල තබා ගත්තා.
දැන් රජවරුන්ට සම සේ ද්‍රෝණ අට බැගින් ධාතුන් වහන්සේ බෙදුවා. ශක්‍රයා බැලුවා ද්‍රෝණ බමුණාගේ හිසෙන් සුදුරැස් විහිදෙනවා. ඔහු දිවැසින් දැක්කා ඒ දන්ත ධාතුන් වහන්සේ බව. දිව්‍ය ඍද්‍ධියෙන් ධාතුන් වහන්සේ ගෙන සිළුමිණ සෑයේ තැන්පත් කළා.
දන්ත ධාතුන් වහන්සේ නමක් ළඟ තබාගෙන වැදුම් පිදුම් කරන්න සසරේ පින් කළ ගාන්ධාරයේ මනුස්සයෙක් එතැන සිටියා. ඔහුට ද්‍රෝණ බමුණාගේ ඉනේ තිබෙන ධාතුන් වහන්සේ පෙනෙනවා. ඔහු සෙමින් ඉණට අත දාලා ඒ ධාතුන් වහන්සේ ගත්තා. ජයසේන කියා නා රජෙක් එතැනට ඇවිත් සිටියා. ඔහු දැක්කා පොළොවෙන් රැස් විහිදෙනවා. පොළොව ඇතුළෙන් ඇවිත් බිම තිබූ ඒ ධාතුන් වහන්සේ රැගෙන ගියා. ධාතුන් වහන්සේ බෙදා අවසානයේ ද්‍රෝණ බමුණා බැලුවා තමන් සඟවා ගත් ධාතුන් වහන්සේ. එක නමක් වත් වැඩ සිටියේ නැහැ. ඔහු කියනවා ‘රජදරුවනි මේ ධාතුන් වහන්සේ බෙදපු භාජනය මට ලබා දෙන්න කියා අවසර ඉල්ලා සිටියා.
දකුණු දළදා වහන්සේ
කළිඟු රටට ගෙන ගිය ධාතුන් වහන්සේ ඝෝෂීය කියන රජතුමා නිරන්තරයෙන් වන්දනා කළා. එහි සිටි නිගණ්ඨයන්ට එය මහත් අවමානයක් වුනා. "පඬි" කියන රජතුමාට ගිහින් කියනවා "ඔබ වහන්සේගේ රටෙන් යැපෙන අර රජතුමා දෙවියන්ට, බ්‍රහ්මයන්ට, ගින්දරට වඳිනවා. ඒ වගේ ම තවත් අදෘශ්‍ය දෙයකට වන්දනාමාන කරනවා. ඒ වගේ ම ඔබතුමාට බණිනවා කියා කිව්වා. පඬි රජතුමාට තරහ ගියා. ඇමතිවරයෙක් යැවුවා ගිහින් අර අදෘශ්‍යමාන දේත් ඒ රජතුමාත් කැඳවාගෙන එන්න කියා. ඒ ඇමතිට ඝෝෂීය රජතුමා කියනවා "ඔබ දකින්නට ආවේ මේ ලෝකයේ තිබෙන උතුම් දෙයක්. වන්දනා කරමින් පින් රැස්කර ගන්න’’ කියමින් ධාතුන් වහන්සේගේ ගුණත් තථාගතයන් වහන්සේගේ ගුණත් කියනවා.
මෙසේ බුදුගුණ කියන විට අර ඇමතිට මහත් ශ්‍රද්ධාවක් ඇතිවුනා. ධාතු මන්දිරයට යන විට කරඬුව දෙබෑ වලා දන්ත ධාතුන් වහන්සේ ආකාශයට පැන නඟලා සුදු රැස් විහිදුවමින් ආකාශයේ වැඩ ඉන්නවා. ඒ දළදා ප්‍රාතිහාර්ය යි. දැන් අර ඇමතියාට බොහෝම සතුටුයි. වන්දනා කළා. රාජ අණට කීකරු ව කරඬුව ඔළුව උඩ තබාගෙන පෙරහරකින් පඬි රජතුමා ළඟට ගෙන ගියා. නිගණ්ඨයන් කියනවා රජතුමනි, මෙය නම් මාලිගාවට ගන්න එපා. එහෙනම් මොකක්ද කරන්නේ? කුණුවලකට විසීකරන්න. දන්ත ධාතුන් වහන්සේ කුණු වලකට දැම්මා. ඒ කුණුවල මැදින් නෙළුම් මලක් පිපුණා. ඒ නෙළුම් මලේ ධාතුන් වහන්සේ වැඩ සිටියා. නුවර දළදා මාලිගාවේ වැඩ ඉන්නේ ඒ ප්‍රාතිහාර්ය පාපු ධාතුන් වහන්සේ යි. ඔබ දළදා මාලිගාවට ගියා ම කල්පනා කරන්න මේ ධාතුන් වහන්සේ අසිරිමත් ලෙස ප්‍රාතිහාර්ය පාලා තිබෙනවා. මේ වන්දනාව කෙතරම් පූජනීය ද කියා සිතමින් වන්දනා කරන්න. ඒ ඉදිරියේ සිටගෙන බුදුගුණ කියන්න ලැබීම ගැනත් සතුටු වෙන්න.
ඊළඟට අර රජතුමා ඒ නෙළුමෙන් ධාතුන් වහන්සේ ගෙන අසුචි වලකට දැම්මා. ඒ වලෙන් පස්පියුම් පිපුණා. නිගණ්ඨයන් දැන් ලැජ්ජයි. ඔවුන් කියනවා රජතුමනි, මේක තළලා දාන්න කියා යෝජනා කළා. කිණිහිරෙන් තැළුවා. කිණහිර ඇතුළට ධාතුන් වහන්සේ කිඳා බැස්සා. දැන් නිගණ්ඨයන්ටත් පුදුමයි. ඔවුන් කියනවා රජතුමනි, ඒකාන්තයෙන් ම මේ අපේ පිරිනිවන් පාපු නිගණ්ඨයන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක්. ඒකයි මේ ප්‍රාතිහාර්ය. රජතුමා කියනවා එහෙනම් අරගන්න. නිගණ්ඨයන් පුද පූජා කරමින් කියනවා ධාතුන් වහන්ස වඩින සේක්වා. ඔබ වහන්සේ තනි කකුලෙන් හිටියා, ඇඳුම් නැතිව සිටියා, තණකොළ ගොඩේ පමණයි නිදා ගත්තේ ආදි ගුණ කියමින් ඔබගේ දන්ත ධාතුන් වහන්සේ වඩින සේක්වා කියා කියනවා. ධාතුන් වහන්සේ වැඩියේ නැහැ.
සසරේ ස්වභාවය කෙතරම් ද කියනවා නම් එතැන සිටියා අනේපිඬු සිටුතුමාගේ මුණුපුරා වන "සුදත්ත කුමරු". ඔහු කියනවා රජතුමනි, මේ අපේ ශාස්තෘන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ නමක් . එහෙනම් ගන්න කිව්වා. සසරේ පෙරුම් පුරපු හැටි, සත්ත්වයන්ට කරුණාව මෛත්‍රිය දක්වපු හැටි, විස්තර ආකාරයට කියමින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අපට අනුකම්පා සහගතයි, වඩින සේක්වා කියා ආරාධනා කළා. එවිට ධාතුන් වහන්සේ කිණිහිරෙන් ගිලිහිලා ආකාශයේ සුදුරැස් විහිදවමින් වැඩ සිටියා.
නිගණ්ඨයන් කිව්වා අපට පෙනෙන්නට ඔහොම කිව්වට ඔය මනුස්සයා මන්තරයක් මේ මැතුරුවේ. මේ ධාතුන් වහන්සේ නමක් නොවේ කිව්වා. ඒ මිථ්‍යාදෘෂ්ටික රජතුමාට නැවත සැකයක් ඉපදුණා. අණ කළා කුණුවලකට දාන්න. කුණු වලේ නැවත පස්පියුම් පිපුණා. ඒ පස්පියුම් මත බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා වගේ පියුමෙන් පියුමට වඩිනවා. සුදු නෙළුමින් රතු නෙළුමට, රතු නෙළුමෙන් මානෙල් මලට, මානෙල් මලෙන් ඕලුමලටත් ඕලුමලින් කුමුදු මලටත් වඩිනවා. සියල්ලට ම පුදුමයි. ඇමතිවරු පඬි රජතුමා නැවත නැවතත් කියනවා රජතුමනි, මෙය ආනුභාව සම්පන්න දෙයක්. සුදුසු පිළිවෙත් කරන්න කියා. නමුත් රජුගේ හිත නැමුණේ නැහැ. අනේපිඬු සිටුතුමාගේ මුනුබුරා නැවත නැවත ධර්මය කියන්න ගත්තා. එවිට රජුට පැහැදීමක් ඇතිවුනා. අණ කළා ධාතුන් වහන්සේ වඩම්මවන ලෙස. ඇමතිවරයා වැඳ කියනවා අපේ රජතුමා පැහැදුණා ඔබ වහන්සේ වඩින සේක්වා කියා. ඒ ඇමති උරමඬලේ රන් ආභරණ දෙකක් පළදාගෙන හිටියා. ඔහුගේ දක්ෂිණ උරයේ රන් ආභරණය තුළ සුදු රැස් විහිදවමින් ධාතුන් වහන්සේ වැඩ සිටියා. පුදුම සතුටක්. දැන් රජතුමාට හරි සතුටුයි. වන්දනා කළා. කියා සිටියා "භාග්‍යවතුන් වහන්ස, මට සමාව දෙනවා නම් මගේ සිරසේ ධාතුන් වහන්සේ පිහිටත්වා කියා අධිෂ්ඨාන කළා. ධාතුන් වහන්සේ ඔටුන්නේ උඩ තිබෙන චූඩා මාණික්‍යයේ පිහිටියා. රජතුමා බුදුගුණ කියමින් ඔටුන්න මුළු රටේ ම ප්‍රදක්ෂිණා කර තිබෙනවා. සත්කාර සම්මාන කරලා ඝෝෂිය රජතුමාට නැවත ධාතුන් වහන්සේ ලබා දුන්නා.
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඉල් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ දෙසැම්බර් 10 වනදා බ්‍රහස්පතින්දා දින බුදුසරණ පත්‍රයේ පල වූ ලිපියක් ඇසුරිණි.

<<< Previous Next >>>

අසිරිමත් ධාතු පුරාණය 6 කොටස

පිරිනිවුණ සම්බුදු සිරුරේ උතුම් ගුණ කඳ දසත පැතිරේ

තථාගතයන් වහන්සේගේ පිරිනිවීමට කලින් ආනන්ද ස්වාමීන් වහන්සේ විමසා සිටියා ස්වාමීනි, තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසුව ආදාහන කටයුතු කරන්නේ කෙසේ ද? ආනන්ද එය රජවරුන් විසින් කරයි. ස්වාමීනි, රජවරුන් එය කරන්නේ කොහොමද? ආනන්ද, තථාගතයන් වහන්සේගේ ශරීරය රත්තරන් සළුවකින් ඔතන්න. ඒ සළුවට උඩින් සියුම් පුළුන් පටලයකින් ඔතන්න. ආනන්ද එයට උඩින් තවත් රත්තරන් සළුවකින් ඔතන්න. ඊට උඩින් තවත් පුළුන් රොදකින් ඔතන්න. ඒ ආකාරයට රත්තරන් සළු පන්සිය යයි, පුළුන් පටල පන්සියයකින් ඔතන්න ඕන. ආනන්ද ඉන්පසු රන් දෙණක තැන්පත් කළ යුතු යැයි වදාළා.
ඒ ආකාරයට තථාගතයන් වහන්සේගේ සිරුර රන් දෙණක තැන්පත් කොට සුවඳ තෙල් පිර වූවා. දෙවියන් මඳාරා මල් වරුසා වැස්ස වූවා. ඒ මල් කෙතෙක් ද කියනවානම් කෙනෙකුගේ දණහිසක් දක්වා ගොඩගැසී තිබුණා. මිනිසුන් තමන්ගේ නිවෙස්වලට ඒ මඳාරා මල් ගෙන ගියා.
ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ බොහෝ සෙයින් දෙවියන්ට ප්‍රිය වුනා. දෙවිවරු ඒ පිරිස අතර කස්සපයන් වහන්සේ සොයමින් සිටියේ. උන්වහන්සේ ඒ වන විට මහ වනයේ ධුතාංගධාරී ව යි වැඩ සිටියේ.
ශ්‍රී දේහයට මල්ල රජ දරුවෝ දවස් හතක් පූජා පවත්වා සත්වැනි දින ‘මකුටබන්ධන’ නම් චෛත්‍යයේ උතුම් බුදු සිරුර තැන්පත් කර පෙර කී පරිදි රන්සළු හා කපු පුළුන් පන්සියයකින් සිරුර වෙළුවා. ඉන්පසු රනින් කරන ලද තෙල් දෙරණක තැන්පත් කර තවත් රන් දෙරණකින් සිරුර වසා නොයෙක් සුවඳ දර වලින් කරන ලද චිතකයේ රන්දෙණේ තැන්පත් කළා. ඉන්පසු රජවරු චිතකයට ගිනි දල්වන්නට උත්සාහ කළත් ගිනි දැල්වුණේ නැහැ. රජවරු අනුරුද්ධ මහා රහතන් වහන්සේගෙන් අසනවා “ස්වාමීනි, ඇයි මේ ශ්‍රී දේහය ගිනි නො ගන්නේ”. උන්වහන්සේ වදාළා “රජතුමනි මෙය දෙවිවරුන් විසින් කරන ලද දෙයක්.” ‘ඒ ඇයි ස්වාමීනි?’ “රජතුමනි, මහකස්සපයන් වහන්සේ වඩින තුරු ශ්‍රී දේහය ගිනි නොගනී”. මිනිසුන් බැලුවා ශ්‍රාවකයෙක් වඩින තුරු ශාස්තෘන් වහන්සේගේ දේහය දැල්වෙන්නේ නැතිනම් ඒ ශ්‍රාවකයා කොයි වගේ කෙනෙක් ද? කියා පාර දෙපැත්තට වෙලා මැද ඉඩ තියාගෙන බලා සිටියා.
මේ දින හතේ කස්සපයන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලයි සිටියේ. ඉන් නැගිට්ට දවසේ උන්වහන්සේ දුටුවා එක් මිනිසෙක් කුඩයක් වගේ විසිතුරු මලක් අරගෙන යනවා. පින්වත ඔබ කොහේ සිට ද එන්නේ? අපේ ශාස්තෘන් වහන්සේ සනීපෙන් ද? අනේ ස්වාමීනි උන්වහන්සේ මීට දින හතකට පෙර පිරිනිවන් පෑවා. මේ එතැනින් ලැබුණ මඳාරා මලක්. එය ඇසූ භික්ෂු සංඝයා හඬන්නට පටන් ගත්තා. ප්‍රිය විප්පයෝගයෙන්, ශාස්තෘ සම්පත්තිය අහිමි වීමෙන් වීතරාගි නොවූ සංඝයා විලාප දුන්නා. තුන් ලෝකයට අග්‍ර පරමේශ්වර බුදුරජාණන් වහන්සේ පිරිනිවීමට සැමට විශාල ශෝකයක් වුනා.
මහාකස්සප මහ රහතන් වහන්සේ සඟ පිරිස සමඟ වැඩියා. චිතකය වටා තුන් වරක් පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපතුල් පිහිටි පෙදෙසෙහි සිටගත්තා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දකිනු පිණිස මෙයින් කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා නම් ශාස්තෘන් වහන්සේගේ පාද මූලයෙහි විවරණ ලද තැන් පටන් ඔබ වහන්සේ අත්නොහැර පැමිණියා. දැන් මාගේ අවසාන දැක්ම වෙයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අවසාන වතාවට ඔබ වහන්සේගේ සිරිපතුල වන්දනා කරන්න, චක්‍ර ලකුණින් සමන්විත නිකෙලෙස් සිරිපා කමල දැකගන්න මම කැමතියි කියා අධිෂ්ඨාන කළා. ශ්‍රී දේහය ඔතා තිබූ පන්සියයක් සළු, පන්සියයක් පුළුන්, සඳුන් දර ඈත්වෙලා උතුම් සිරිපාකමල මතුවුණා. කස්සප හිමියන්ගේ නළල්තලේ බුදුරජාණන් වහන්සේගේ සිරිපාකමල පිහිටියා. සියලු ම ස්වාමීන් වහන්සේලා බුදුසිරිපා කමල ස්පර්ශ කරමින් වන්දනා කළා. ඉන්පසු නැවතත් සිරිපාකමල තිබූ පරිදි ම දෙණේ තැන්පත් වුනා. රන්සළු තිබූ ආකාරයට පිහිටියා. සඳුන් දර එසේ ම පිහිටියා. ඉබේම ගිනිජාලා මතුවෙලා ශ්‍රී දේහය දැවී ගියා. දැල්වෙන තෙලක් නොපෙනී යන ලෙස බුදුරජුන්ගේ සිරුර දැවෙන කල්හි අළු හෝ දැලි දකින්නට නො ලැබුණා. මේ ආකාරයට යි ශ්‍රී දේහය ආදාහනය වුණේ.
සමන්ත බුද්ධකිච්චෝ සෝ - කුසිනාරාය නිබ්බුතෝ
ධාතුභෝදමහෙදංච - අධිටිඨාය මහාදයෝ
සියලු බුදුකිස නිම කළ භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවී සේක. මහාකාරුණිකයන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි ධාතුන් වහන්සේලාගේ බෙදීම සිදුවිය.
සරභූ, කච්චායන, ඛේම මහරහතන් වහන්සේ බුදු සිරුරේ ධාතු බෙදීයන ආකාරය දිවැසින් බලා සිටියා. අකු ධාතුන් වහන්සේ දෙනම, දන්ත ධාතුන් හතර නම, ලලාට ධාතුන් වහන්සේ, බෙදුණේ නැහැ. අනෙක් ධාතුන් අබ ඇට, මුංඇට පියලි ප්‍රමාණයට බෙදුණා. ශරීරයේ සම, මස, නහර දැවී ගියා. එහෙත් එහි අළු නැහැ. දේහය ඔතා තිබූ පළමු හා පන්සිය වැනි රන්සළුව ඉතිරිවෙන්න අනෙක් සියලු සළු දැවුනා. මෙසේ ධාතු බෙදී බෙදී යනවිට සරභූ මහරහතන් වහන්සේ මහා ගිනිජාලාව ඇතුළට වැඩම කොට ග්‍රීවා ධාතුන් වහන්සේ රන් සළුවකට වඩම්මවාගෙන ඒ මොහොතේ ම මහරහතන් වහන්සේ පිරිසක් සමඟ ලක්දෙරණට වැඩම කොට මහියංගණ චෛත්‍යයේ තැන්පත් කළා. මේ දැල්වෙන චිතකයට ඛේම රහතන් වහන්සේත් ඇතුල්වුණා. වම් දළදා වහන්සේ රැගෙන කළිඟු පුරේ ශ්‍රද්ධාවන්ත රජකුට රන් කරඬුවක් මවා ධාතුන් වහන්සේ තැන්පත් කර පූජා පවත්වන ලෙස වදාළා. ඒ අතර සිවුරු හතක් මවලා කච්චායන මහ රහතන් වහන්සේත් අස්ථි ධාතුන් වහන්සේ දෙනමක් රැගෙන මහ වනයේ ගල් ගුහාවක කරඬුවක් මත තැන්පත් කළා. ‘සුජාත’ නම් ඇති කුමරුවෙකුට ඒ ධාතුන් වහන්සේ ලබා දී බුදු කෙනෙකුට මෙන් වන්දනාමාන කරන ලෙස දන්වා සිටියා. ශ්‍රී දේහය විවෘත කරන්න කලින් ම මෙසේ ධාතුන් වහන්සේ කිහිප නමක් ගෙන ගොස් තිබුණා. අහසින් සුවඳ පැන් කඩා වැටී ශ්‍රී දේහය නිවී ගියා. ඉන්පසු රන් දෙරණ විවෘත කළ පසු ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේ වැඩ සිටියා. නමුත් රජවරු දන්නේ නැහැ කොපමණ ප්‍රමාණයක් ධාතුන් වහන්සේ රන් දෙණේ වැඩ තිබෙනවා ද කියා.
"බුද්ධ පරිනිර්වාණය ඇසූ අජාසත් මහරජු මම ද ක්ෂත්‍රියයෙක්. භාග්‍යවතුන් වහන්සේත් ක්ෂත්‍රියෙක්. ශාස්තෘන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා උදෙසා ස්තූපයක් ද කර මහා පූජාවන් ද කරමි" යි මල්ල රජවරුන්ට හසුනක් යැව්වා. ඒ අයුරින් විසල්පුර ලිච්ඡවි රජවරුන් ද, කපිලවස්තුවෙහි ශාක්‍ය රජවරුන් ද, අල්ලකප්පයෙහි රජදරුවන් ද, රාම ගමෙහි කෝලියයෝ ද, වේඨදීපක රජදරුවන් ද, පාවා නුවර පාවෙය්‍යක රජවරු ද හසුන් එවා ධාතුන් වහන්සේ තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීම් කළා. මේ රාජධානි අටේ ම රජදරුවන් එක් වී කුසිනාරාවෙහි රජදරුවන් සමඟ යුද්ධ පිණිස විවාදයක් පටන් ගත්තා. එහෙත් මල්ල රජදරුවන් පවසා සිටියේ අප තථාගතයන් වහන්සේට ආරාධනා කළේ නැහැ අපේ රටේ පිරිනිවන් පානා ලෙසට. උන්වහන්සේ මෙහි පිරිනිවන් පෑවේ අපට උරුමයක් තිබෙන නිසායි. ඒ නිසා මේ ධාතුන් වහන්සේ කිසිවෙකුට දෙන්නේ නැහැ කියා ඔවුන් ඝෝෂා කළා. යුද්ධයකට සූදානම් වුනා.
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2559ක් වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015ක් වූ ඔක්තෝබර් 27 වන දා අඟහරුවාදා දින බුදුසරණ පත්‍රයේ පල වූ ලිපියක් ඇසුරිණි.

<<< Previous Next >>>

අසිරිමත් ධාතු පුරාණය 5 කොටස

ලක් දෙරණේ තැන්පත් කළ පාරිභෝගික ධාතුන් වහන්සේලා

බුදු රජුන් බුද්ධත්වයට පත් වෙලා අටවැනි අවුරුද්දේ දී අසූමහා ශ්‍රාවකයන්ගෙන් බොහෝ දෙනෙක් බිහිවෙලා සිටියේ. ඒ අතර සාරිපුත්ත, මුගලන්, මහාකස්සප, බක්කුල, අංගුලිමාල, සීවලී, රාධ, උපාලි, අනුරුද්ධ, ආදී මහ රහතන් වහන්සේත් එදා වැඩ සිටියා.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි අවුරුද්දේ දී දෙවැනි වතාවට ලංකාවට වැඩම කළේ නාගදීපයට. එයට හේතුව ලෙස දැක්වෙන්නේ මහෝදර රජතුමා තම දියණියට දෑවැද්දට මැණික් පුටුවක් තෑගි කළා. පසු කලක දියණිය මියගියා. පියා මැණික් පුටුව නැවත තමාට අවශ්‍ය බව දන්වා සිටියා. චූලෝදර බෑණා කියා සිටියේ දෑවැද්දට දුන් දේ නැවත දෙන්න බැහැ කියා. ඒ සඳහා යුද්ධයක් ඇති වුනා.
නාගදීප සෑ රජුන්
මිණි පලග නිධන් කළ නාගදීප චෛත්‍යය
එය සංසිඳවීමට බුදු රජුන් නැවතත් අනුකම්පාවෙන් ලක් දෙරණට වැඩම කළා. ඒ මැණික් පුටුව මත වැඩ හිඳ දම් දෙසා යුද්ධය සංසිදෙව්වා. චුලෝදර මහෝදර නාගයන් ඒ මැණික් පුටුව තැන්පත් කර චෛත්‍යයක් ඉදිකළා. ඒ නාගදීප සෑ රජුන්. අදත් සැදැහැති මිනිසුන් දහස් ගණන් මුහුදෙන් එගොඩ වෙලා ඒ සෑ රඳුන් වඳිනවා. පොතපතේ සඳහන් වෙනවා යම් දවසක මේ සෑය දෙබෑ වෙලා මැණික් පුටුව ආකාශයේ වැඩ ඉන්නා බව. එතෙක් කිසිවෙකුට එය සොලවන්න බැහැ. බුදුරජාණන් වහන්සේ ජීවමාන ව සිටිද්දී ඉදි වූ තවත් පාරිභෝගික සෑයක් තමයි යාපනයේ නාගදීප සෑය.
කැලණි සෑ රජුන්
ඊළඟට බුදුරජාණන් වහන්සේ තුන්වැනි වතාවට ලංකාවට වැඩම කළේ කැලණියට යි. නාගදීපයේ සිදු වූ අසිරිය දැක මිණිකැට වන් නෙත් ඇති මණිඅක්ඛික නා රජු ආරාධනා කළා ස්වාමීනි, අපට අනුකම්පා කර මගේ රාජධානියටත් වඩින සේක්වා කියා. සැමට අනුකම්පා සහගත බුදු රජුන් බුද්ධත්වයෙන් අටවැනි අවුරුද්දේ කැලණියට වැඩම කළා. නා රජුගේ විමානයේ දී දන් වැළඳුවා. ඒ වැඩ හුන් ආසනය තැන්පත්වයි කැලණි මහා සෑ රජුන් ඉඳි වුණේ.
කැලණි විහාරයේ ඉදිවෙන කාලේ ඉතාමත් ආශ්චර්ය දේ සිදු වී තිබෙනවා. ජනප්‍රවාදයේ තිබෙනවා කැලණි චෛත්‍යය ඉතාමත් ශ්‍රද්ධාවෙන් වන්දනා කළ පසු මිනිසුන්ගේ සිතේ දුක දුරු වෙනවා කියා. එනිසා මිනිසුන්ට සිතුවා මෙතැනයි පව් නැති වෙන තැන කියා. කථාවෙන් කථාවට ඇවිත් අද කියනවා “උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ” කියා. අදත් නිහඬව සෑ රජුන් දෙස බලා බුදුගුණ සජ්ඣායනා කළ විට දුක් දුරු වෙනවා. සැනසිල්ල ඇතිවෙනවා.
බුදුරදුන් වැඩි කැලණි පුදබිම
චීවර සෑය
දානයෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ පැන් පහසු වුනා. අපට අනුකම්පා කර බුදු සිරුර ස්පර්ශ කළ ජල ධාරාව ධරණි තලය පුරා ගලා ගියා. පැන් පහසු වෙන්න ඇඳපු සළුව එගොඩ කැලණියේ පිහිටා ඇති චීවර සෑයේ වැඩ වෙසෙනවා.
සිරිපතුල පිහිටීම
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් වූ සුමන සමන් දෙවියන් එයාගේ විමානය පිහිටි සමනළ ගිරි මුදුනේ සිට බලාගෙන සිටිනවා. විමානයේ මල් අතුරලා. කාශ්‍යප, කෝණාගමන, කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ පර්වත මුදුනට වැඩ සිටි බව දෙවියන් දැන සිටියා. මගේ ශාස්තෘන් වහන්සේත් මේ පර්වත මුදුනට වඩීවා කියා දෙවියා අධිෂ්ඨාන කළා. උන්වහන්සේ ලංකාවට වැඩියේ පන්සියයක් රහතන් වහන්සේ සමඟ. බුදු රජුන් බුද්ධත්වයට පත්වෙලා අටවැනි අවුරුද්දේ දී අසූමහා ශ්‍රාවකයන්ගෙන් බොහෝ දෙනෙක් බිහිවෙලා සිටියේ. ඒ අතර සාරිපුත්ත, මුගලන්, මහාකස්සප, බක්කුල, අංගුලිමාල, සීවලී, රාධ, උපාලි, අනුරුද්ධ, ආදී මහ රහතන් වහන්සේත් එදා වැඩ සිටියා. මුළු සමන්ගිර ම මල් වලින් වැහිලා. සමන් දෙවියන්ගේ විමානයේ මැද ගල් පර්වතයක් තිබුණා. ඒක මාණික්‍යයක්. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් සමඟ සමනළ ගිරි පර්වතයට වැඩියා. සමන් දෙවියන් ආරාධනා කරනවා භාග්‍යවතුන් වහන්ස, ඔබ උතුම් සිරිපා කමල මට අනුකම්පා පිණිස මේ මාණික්‍ය මත තබන සේක්වා. දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ සිරස මේ උතුම් සිරිපා අසල තැබෙනු ඇති. ස්වාමීනි, උතුම් සිරිපා කමල මාණික්‍ය මත තබන සේක්වා. ඔබ වහන්සේ මේ මිහි තලයේ වඩින විට මහ පොළොවේ උස්තැන් පහත් වී පහත් තැන් උස් වී පොළොව සමතලා වුනා. ස්වාමීනි, ඒ උතුම් සිරිපා මේ මාණික්‍යයේ තබන සේක්වා. ස්වාමීනි,මේ ගිරිකුස මගේ සිරස යැයි සිතා මේ මාණික්‍ය මත උතුම් සිරිපා කමල තබන සේක්වා ආදී ගුණ කියමින් මහත් ශ්‍රද්ධාවෙන් සිරිපතුල තබන ලෙස ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ සමන් දෙවියන්ටත්, අපටත් අනුකම්පා කළා. උන්වහන්සේ අසනවා පින්වත් දිව්‍ය පුත්‍රය, මේ වගේ උස් තැනක සිරිපා කමල තැබූ පසු පිනට කැමැති මිනිසුන් එය වන්දනා කරන්නේ කෙසේ ද? “ස්වාමීනි, මම සැදැහැ සිත් ඇත්තන් ව පුළුන් ගොඩක් සේ ගෙනවිත් සිරිපා කමල වන්දවනවා” කියා ප්‍රකාශ කළා. අදටත් තිබෙන ඒ ආනුභාවය ඔබත් අත්විඳලා ඇති.
ශ්‍රි පාදස්ථානය
ඉන්පසු දිවාකල් ගෙවා එයින් නැගිට දීඝවාපි චෛත්‍ය පිහිටි තැන සමවතට සමවැදුණා. එවේළෙහි මහ පොළොව සිය දහස් වර කම්පා වුනා. එතැනින් නැගිට රුවන්වැලි මහා සෑය පිහිටන තැනට වැඩම කොට එහි සමවතට සමවැදුණා. එහි දී ද පොළොව කම්පා වුනා. එතැනින් නැගිට ථූපාරාම චෛත්‍යය පිහිටන තැනට වැඩම කොට නිරෝධ සමාපත්තියට සමවැදුණා. එහි දී ද පොළොව පෙර පරිදි ම කම්පා වුනා. එතැනින් මිරිසවැටිය චෛත්‍යය පිහිටන තැනට වැඩ භික්ෂූන් සමඟ සමවතට සමවැදුණා. මහපොළොව එහි දී ද කම්පා වුනා. එතැනින් නැගිට කතරගම චෛත්‍යය පිහිටන තැනට වැඩම කොට සමවතට සමවැදුණා. එහි දී ද පොළොව කම්පා වුනා. එයින් නැගිට තිස්ස මහා විහාර චෛත්‍යය පිහිටන තැනට වැඩම කොට සමවතට සමවැදුණා. එහි දී ද පොළොව කම්පා වුනා. ඉන්පසු ථූපාරාම විහාර චෛත්‍යය පිහිට වන තැනට වැඩම කොට සමවතට සමවැදුණු අතර මෙහි දී ද මහපොළොව කම්පා වුනා. බලවත් ව කම්පා වුනා. එයින් නැගිට මහවැලි ගඟට දකුණු ඉවුරු දිශාවෙහි සේරු නම් විල කෙළවරෙහි වරාහ නම් ගල් පොකුණ පිහිටි භූමියෙහි පන්සියයක් රහතන් වහන්සේ සමඟ නිරෝධ සමාපත්තියට සමවැදුණා. එවලෙහි මහා පොළොව මහා හස්ති රාජයෙකුගේ කුඤ්චනාදයක් සෙයින් දහස්වර නාද නංවමින් සොම්නස් වූ කලෙක මෙන් සකල ලංකාද්වීපය නින්නාද කරවමින් කම්පා වුනා. ඒ වගේ ම දොළොස්මස්ථානයේ ම උන්වහන්සේගේ ආනුභාවය පැතිරී ගියා. අදටත් ඒ අනුභාවය එලෙස ම තිබෙනවා.
මහා පරිනිර්වාණය
දැන් තථාගතයන් වහන්සේ අසූවැනි වියේ පසුවෙන්නේ. උන්වහන්සේ පිරිනිවන් පාන්නට වඩිනවා. උන්වහන්සේ විශාලා මහනුවරින් පිළිවෙළින් භණ්ඩ ග්‍රාම, හස්ති ග්‍රාම, අම්බ ග්‍රාම, ජම්බු ග්‍රාම, භෝග, ග්‍රාම යන ගම්වලට වැඩම කර ජනයාට දහම් දෙසා පාවා නුවරට වැඩියා. තමන් වහන්සේගේ පරිනිර්වාණය ඉතා ආසන්න වී ඇති බව දැනගෙන කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල්වනයට වැඩ සල්ගස් දෙකක් අතර උතුරට හිස දමා ඇඳක් පිළියෙල කරවාගෙන යළිත් නො නැගිටිමි යි අධිෂ්ඨාන කරමින් සැතපුණා. මධ්‍යම යාමයෙහි දස දහස් ලෝක ධාතුවෙහි දෙවියන් හට අනුශාසනා කොට අවසන් යාමය අවසානයෙහි පළමු ධ්‍යානයට සමවැදී එයින් නැගිට දෙවෙනි,තුන්වැනි, සිව්වැනි ධ්‍යානයන්ට සමවැදුණා. එයින් නැගිට ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදී එයින් නැගිට නිරෝධ සමාපත්තියට සමවැදුණා. එයින් නැගිට පළමු, දෙවැනි, තුන් වෙනි, සිව් වෙනි ධ්‍යානයන්ට සමවැදී එයින් නැගිට සැණින් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. දෙවිවරුන් මහා දුකකින් හඬා වැටුණා. ඉතා ඉක්මනින් මේ ලෝකයේ දහම් ඇස අතුරුදහන් වෙනවා කියමින් ඝෝෂා කළා.
බුදුරජුන්ගේ පිරිනිවන් පෑම කිසිවෙකුටවත් වාවාගත නොහැකි වුනා. සැමට ම කරුණාවන්ත ලෝකානුකම්පකයාණන්ගේ පරිනිර්වාණයත් සමඟ ආකාශයේ විදුලි හඬ ඇසුණා. වීතරාගි නොවුන පිරිස් හඬා වැළපුණා. මහපොළොව කම්පා වුනා. මහත් සේ කම්පා වුනා. වෙසක් පුන් පෝ දිනක සාල වනරුක්ෂ දෙකක් අතර උන්වහන්සේ පිරිනිවන් පා වදාළා.
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 25 වනදා බදාදා දින බුදුසරණ පත්‍රයේ පල වූ ලිපියක් ඇසුරිණි.

<<< Previous Next >>>

අසිරිමත් ධාතු පුරාණය 4 කොටස

සර්වඥ ධාතු නිදන් වූ මහියංගණ මහා සෑය

අනුත්තර පුරිසදම්ම සාරථි වූ අපගේ තථාගත සර්වඥයන් වහන්සේ බුද්ධත්වයෙන් නවවැනි මාසයේ දී තුන්බෑ ජටිලයන් දමනය කිරීමෙහි ලා යෙදී වාසය කළා. මේ පිරිස දමනය කිරීමට උන්වහන්සේ ඍද්‍ධි ප්‍රාතිහාර්ය තුන්දහස් තුන්සිය තිස් ගණනක් දක්වා තිබෙනවා.
උන්වහන්සේ මහා කරුණාවෙන්, ඉවසීමෙන්, උපේක්ෂාවෙන් එසේ කර තිබෙනවා. උරුවෙල් කාශ්‍යප දමනයට ඍද්‍ධි පාමින් සිටිද්දී එක් දිනක් කාශ්‍යප සිතනවා, අද අපට මිනිසුන් දානය ගෙනෙන දවස. ශ්‍රමණයා ඇවිත් කුමක් හෝ ප්‍රාතිහාර්යයක් පෑවොත් මිනිසුන් උන්වහන්සේට පැහැදේවි. එනිසා අද වැඩියේ නැත්නම් හොඳ යි කියා සිතුවා. බුදුරජාණන් වහන්සේ ඒ සිත දැක උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය වැඩ අනෝතත්ත විල සමීපයේ විවේක ව වැඩ සිටිද්දී දිවැසින් දුටුවා බොහෝ කල් බුදු දහම පවතින්නේ ලංකා ධරණි තලයේ බව. ඒ වන විට ලංකා ධරණි තලයේ විශාල යක්ෂ බලයක් ක්‍රියාත්මක වුනා. ඒ යක්ෂ බලය ඉවත් කර බුද්ධානුභාවය පිහිට වූයේ නැතිනම් ඉදිරියේ දී ධරණි තලයේ බුද්ධ ශාසනය පිහිට වන්නට බාධා පැමිණෙනවා. මේ වන විට පින් ඇති දෙවියන්ගේ පින මෝරා තිබෙනවා. උන්වහන්සේ දුරුතු පුන් පොහෝ දා මහියංගණයට වැඩම කරනවා.
මහියංගණ ස්තූපය ඉදිවීම
එදා මහා යක්ෂ සමාජයක් එකට එකතු වෙලා සිටියා. තථාගතයන් වහන්සේ ආකාශයේ සිට තද ඝන අන්ධකාරයක් මැවුවා. ඒ අන්ධකාරයට යක්ෂයෝ බය වුනා. ඒ අය ඍද්‍ධියෙන් තම තමන්ගේ ආලෝක පතුරවන්නට බැලුවත් නොහැකි වුනා. ඒ අන්ධකාරය මැදින් භාග්‍යවතුන් වහන්සේ රශ්මි දහරා විහිදුවමින් ආකාශයේ වැඩ සිටියා. දැන් සියලු දෙනාට පෙනෙන්නේ උන් වහන්සේ පමණයි. කෑ ගසා කියනවා “අපට අභය දෙන්න, අපට අභය දෙන්න” කියා. එවිට උන්වහන්සේ වදාළා ඔබලාට අභය දෙන්නම් මට අසුන් ගන්න තැනක් දෙන්න කියා. “ස්වාමීනි මෙතැන වැඩ සිටින සේක්වා යි” ආරාධනා කළා. භාග්‍යවතුන් වහන්සේගේ ආකාශයේ සිට පත්කඩය වැඩම කර බිම ඇතිරුවා. උන් වහන්සේ පත්කඩයේ වැඩ සිටියා. මුලින් ම තථාගතයන් වහන්සේ බුද්ධ භූමිය කරගත්තේ මහියංගණය බිමයි. හරියට ම අද චෛත්‍යය ගොඩනැඟුන තැනයි වැඩ සිටියේ. උන්වහන්සේ එතැන වැඩ සිටිමින් තමන්ගේ ආනුභාවය ටික ටික පතුරුවා. එසේ පතුරන විට ගිනි ජාලාවක් ලෙස එය පැතිරි ගියා. යක්ෂයන් බියෙන් පිටු පසට, පිටුපසට ගියා. කෙතරම් ගියා ද කියතත් සියලු දෙනා මුහුද ආසන්නයේ නැවතුණා.
ලංකා ධරණි තලයට පෙනෙන්නේ වත් නැති කිට්ටු වත් නැති කඳු තිබෙන දිවයිනක් තිබුණා “ගිරී” කියා. භාග්‍යවතුන් වහන්සේ ඍද්‍ධියෙන් අර යක්ෂයන්ට පේන්න ඒ දූපත ඉදිරියට ගෙනාවා. ලංකාව වටේ සිටි යක්ෂයන්ට ඉදිරියේ පෙනෙන ඒ දිවයිනට ගියා. ඒ සියලු දෙනා සමඟ භාග්‍යවතුන් වහන්සේ නැවතත් ඍද්‍ධියෙන් ඒ දිවයින තිබූ තැන ම තැබුවා. උන් වහන්සේට මෙවැනි ආනුභාවයන් තිබෙනවා. දුරුතු පුන් පෝදා මුළු ලංකාවේ ම බුද්ධ ආනුභාවය පැතිරී ගියා. දෙවිවරු ආකාශයේ බැබළී-බැබළී සාදුකාර දෙමින් මල්වරුසා වැස්සුවා. ඒ දෙවියන් අතර බැබළී-බැබළී සමන් මලක් වන් සුමන සමන් දෙවියන් සිටියා. තථාගතයන් වහන්සේ සුමන සමන් දෙවියා ඉලක්ක කර ගනිමින් දෙවියන්ට දහම් දෙසුවා. අසූ හාරදාහක් දෙවිවරු මහියංගණ සෑ මළුවේ දී ධර්මය අවබෝධ කළා. මහියංගණ චෛත්‍යයේ ඒ ආනුභාවය අදටත් තිබෙනවා. සැදැහැ සිත් ඇත්තන්ට ඒ ආනුභාවය දකින්න පුළුවන්. හුදකලාවේ ආකාශයට එස වූ තේජාන්විත ආනුභාවය පැතිරෙන සෑයක් තමා මහියංගණය චෛත්‍යය කියන්නේ. ලංකාවේ ප්‍රථම වරට බුද්ධානුභාවය පැතිරුණු තැනයි ඒ.
සුමන සමන් දෙවියා සෝතාපන්න වුනා. දෙවියා කියනවා “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වැඩිය පසු අප වඳින්නේ පුදන්නේ කාට ද?” බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් කේශ ධාතු අහුරක් ගෙන සුමන සමන් දෙවියන්ට දෙනවා. රත්තරං සළුවකින් එය පිළිගන්නවා. රන් සළුවේ කේශ ධාතූන්ගේ රැස් විහිදෙනවා. ශාසන ඉතිහාසයේ බුදුරජාණන් වහන්සේ කේශ ධාතුන් වහන්සේ දුන් අවස්ථා දෙකයි. තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයන්ටත්, සුමන සමන් දෙවි රජුන්ටත්.
සුමන සමන් දෙවියන් තථාගතයන් වහන්සේ වැඩ සිටිය ස්ථානයේ ම ඒ කේශ ධාතු තැන්පත්කරු පරම පූජනීය ශාස්තෘන් වහන්සේ වැඩහුන් තැන තවත් කෙනෙකුට නො පෑගේවායි සිතා එතැන රියන් හතක් උස ඉන්‍ද්‍රනීල මාණික්‍යයෙන් සෑයක් මවා කේශ ධාතු එහි තැන්පත් කළා. තථාගතයන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිද්දී ඉදි වූ හතරවන සෑය මහියංගණ සෑ රජුන්. ඒ සෑ රජාණන් වහන්සේ දෙවියන්ගෙන්, බ්‍රහ්මයන්ගෙන්, මිනිසුන්ගෙන්, නාගයන්ගෙන් වැඳුම් පිදුම් ලබනවා.
ග්‍රීවා ධාතුන් වහන්සේ
තථාගත පරිනිර්වාණයෙන් පසුව ඒ සෑයේ තව ධාතුන් වහන්සේ නමක් නිදන් වුනා. ඒ පිටකොන්දේ අවසාන කශේරුකා වන ග්‍රීවා ධාතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේගේ දැල්වෙන චිතකයෙන් ග්‍රීවා ධාතුන් වහන්සේ වඩම්මවා සරභූ මහරහතන් වහන්සේ පන්සියයක් රහතන් වහන්සේ සමඟ මහියංගණ සෑයට වැඩමකර ඉන්‍ද්‍රනීල මාණික්‍ය සෑය තමන්ගේ ශ්‍රී හස්තයෙන් ඔසවා කේශ ධාතුන් සමීපයේ ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කර රියන් දහතුනක් උසට මේධ වර්ණ පාෂාණයේ සෑයක් මැවුවා. සෑයක් වටකොට සෑයක් හැදීමට කියනවා කඤ්චුක සෑය කියලා. පැරණි පොත්පත් වල ඒ බව මෙසේ සඳහන් වෙනවා.
බෝධිතෝ නවමේ මාසේ- ලංකං පඨම මාගතෝ
බුද්ධෝ සුමන දේවස්ස - කේසධාතුවරං අදා
බුද්ධත්වයට පත්වෙලා අපේ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් සුමන සමන් දෙවියන්ට දුන්නා.
නිදභිත්ථාන තං දේවෝ - සත්තරතන මුච්චකං
ඉන්දනීලමණිමයං - ථූපං සද්ධාය කාරයි
ඒ දෙවිරජ සත්රුවන් සහිතව කේශ ධාතුන් වහන්සේලා නිදන් කොට සත් රියන් ඉඳුනිල් මිණි සෑයක් සැදැහැයෙන් කර වූයේ ය.
ගීවට්ඨිධාතුං බුද්ධස්ස - ආනෙත්වා ජම්බුදීපතෝ
නිධාය සරභුත්ථේරෝ - මේදවණ්ණ සීලායතං
සරභූ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ දඹදිව සිට රැගෙන විත් මේ උතුම් සෑයේ නිදන් කොට මේධ වර්ණ පාෂාණයෙන් තවත් කඤ්චුක සෑයක් කර වූයේ ය.
කාරේසි ද්වාදසහත්ථ – මුච්චකං චේතියං තහිං
දේවානම්පියතිස්සස්ස - රඤ්ඤාභාතු කුමාරකෝ
එහි කළ ඒ සෑය දොළොස් රියන් වූයේ ය. එහි ම කාලයක් ගිය පසු දෙවියන්ට ප්‍රිය වූ දේවානම්පියතිස්ස රජුගේ සහෝදර චූලාභය කුමරු සෑයක් කරවීය.
උද්ධ චූළාභයෝ තිංස - හත්ථුච්චක මකාසිතං
දුට්ඨගාමිණි භුමින්දෝ - සාසනෝදය කාමකෝ
චූලාභය කුමරු කළ ඒ සෑය තිස් රියන් උස කඤ්චුක සෑයයි. සසුන් වැඩ කැමැති දුටුගැමුණු රජතුමා ද එහි ම සෑයක් කරවීය.
අසීතිරතනුබ්බේධං - තස්ස කඤ්චුක චේතියං
කාරෙසිතං නමස්සාමි –මහියංගණ සුවිස්සුතං
දුටුගැමුණු රජු විසින් කරන ලද ඒ කඤ්චුක සෑය අසූ රියන් උස වූයේ ය. මහියංගණය නමින් ප්‍රකට ඒ උතුම් සෑය මම වන්දනා කරමි.
ලංකාය යත්ථ පඨමං සුගතෝ නිසජ්ජ
යක්ඛේ දමේසි නිජ සාසන පාලනාය
ඨානෙ තහිං නහිත කුන්තල ගීවධාතුං
වන්දාමි සාධු මහියංගණ ථූපරාජං
සුගතයන් වහන්සේ ස්වකීය ශාසනය ආරක්ෂා වනු පිණිස පළමුවෙන් ලක්දිවට වැඩ යම් තැනක වැඩහිඳ යකුන් දමනය කළ සේක් ද, ඒ උතුම් ස්ථානයේ කේශ ධාතුන් වහන්සේ හා ග්‍රීවා ධාතුන් වහන්සේ නිදන් කොට කරවන ලද මහියංගණ සෑ රජුන් වන්දනා කරමි.
මේ ආකාරයට අපටත් ඒ ගුණ සිහිකරමින් සෑයන් වඳින්න ඇත්නම් කෙතරම් පිනක් රැස්වෙනවා ද? ඔබ ආනුභාව සම්පන්න සෑයන් වන්දනා කරන විට පිනට හානිකර ගන්න එපා. ඒ වගේ ම ජීවමාන ස්තූප හතරට ම එකවර මෙසේ වන්දනා කරන්න.
සම්බුද්ධේ ධරමානම්භි – ථූපා ඒතේ පතිට්ඨිතා
කේස දුස්සෙභි ධාතුහි – චත්තාරෝ තේ නමාමහං
බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ ම කරන ලද කේශ ධාතු සෑ දෙනමත් (ගිරිහඬු සෑය සහ මහියංගණ සෑය) සළුමිණි සෑයත්, සිළුමිණ සෑයත් යන සතර ස්තූපයෝ මම ආදරයෙන් වන්දනා කරමි.
සෑ වන්දනාවෙන් ඔබට අනන්ත පින් රැස්වෙනවා. සෑ වන්දනාවෙන් පසුව මගෙන් දෝසයක් වුණි නම් සමාවන්න කියා ඔබ සමාව ගන්න. හිතේ රැඳුණ පින සසරට එකතු වෙනවා. මේ සෑ රජාණන් වහන්සේ සැදැහැ සිතින් වන්දනා කරන්නට ඔබ අධිෂ්ඨානයක් ඇතිකර ගන්න.
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2559ක් වූ ඉල් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015ක් වූ නොවැම්බර් 19 වන දා බ්‍රහස්පතින්දා දින බුදුසරණ පත්‍රයේ පල වූ ලිපියක් ඇසුරිණි.

<<< Previous Next >>>

අසිරිමත් ධාතු පුරාණය 3 කොටස

ජීවමාන බුදුරජුන් වෙනුවෙන් ඉදි වූ තෙවැනි ස්තූපය ගිරිහඬු සෑය යි

වප් අව අටවක පෝදා පත්‍රයෙන් අප ඔබට සෑයන් දෙකක් ගැන කියා දුන්නා. ඒ සෑයන් දෙක බුද්ධත්වයට පත්වෙන්න කලින් අපගේ බෝසතාණන් වහන්සේ වෙනුවෙන් ඉදි වූ සෑ රඳුන් වහන්සේලා.
කතරගම කිරිවෙහෙර 
ඒ වගේ ම අපේ මහා බෝසතාණන් වහන්සේ තමන්ගේ කෙස් කළඹ සිඳලූ මඟුල් කඩුව තැන්පත් ව තිබෙන්නේ කතරගම කිරිවෙහෙරේ. බුදුරජාණන් වහන්සේ කතරගමට වැඩම කර දෙවියන්ට දහම් දෙසූ තැන ඉදිකළ අදටත් මහත් ප්‍රාතිහාර්‍ය පාන කිරිවෙහෙර සෑ රදුන් අභියස වැඩ සිටින්නේ මංගල අසිපත ධාතුන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවධියේ ධාතු තැන්පත් ව තිබෙන සෑයන්.
ඒ බෝසතාණන් වහන්සේ ගේ ජීවිතය පූජනීය වන්නේ ඒ ජීවිතය ඉතාමත් අසිරිමත් නිසායි. ගුරුවරයෙක් ළඟට ගිහින් තොල් සොලවන පමණින් ගුරුවරයාගේ දැනුම බෝසතාණෝ ඉගෙන ගන්නවා. ගුරුවරු දෙදෙනෙක් ළඟ ම ඉගෙන ගත්තා. නමුත් බෝසතාණන් වහන්සේට සිතුණා මම ගිහි ගෙදරින් නික්මිලා සොයන්නේ මෙපමණයි ද? සසරේ නිවීමක් සෙවිය යුතුයි කියා උන්වහන්සේ ඒ තැන්වලින් නික්ම ගියා.
ඉන්පසු උන්වහන්සේ දුෂ්කරක්‍රියා කරන්නට පෙළඹුණා. ඒ වසර හයක කළ දුෂ්කර ක්‍රියාව සාමාන්‍ය අපට සිතා ගන්නවත් බැරි එකක්. දෙතිස්මහා පුරුෂ ලක්ෂණ මුළු ශරීරයෙන් ම අතුරුදහන් වුනා. සියලු උත්සාහයන් අමාමහ නිවන උදෙසා යි. ඒ උත්සාහයේ ප්‍රතිඵල අද අප යි භුක්ති විඳින්නේ. මේ සෑම දෙයක් ම උන්වහන්සේ කළේ අප වෙනුවෙන් ම යි. බෝධිසත්වයන්ගේ ජීවිතය රඳා පැවතියේ පින් බලයෙන්. ඒ වගේ උත්තමයෙක් වැඩ සිටි බිමත් පූජනීය යි. ඒ දුෂ්කර ක්‍රියාවෙන් පසුව සම්බුද්ධත්වයට පත්වුණා.
උන්වහන්සේ දුෂ්කරක්‍රියා ව අතහැරියාට පසුව සුජාතාව කිරිපිඬු පූජා කළා. ඒ කිරිබත් පූජා කළ රන් තැටිය ගඟේ පා කර හැරියේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා නම් මේ තැටිය උඩුගං බලා යත්වා කියන අධිෂ්ඨානයෙන්. උඩුගං බලා ගිය ඒ තැටිය අද තිබෙන්නේ නාග ලෝකයේ. ඒ රන් තැටියේ තිබූ කිරිපිඬු වැළඳුවේ ගුලි හතළිස් නමයක් කරලා. ඒ ගුලි හතළිස් නවය ම කුසේ පිහිටියා, එක දවසකට එක ගුළියක් දිරවන ලෙස.
බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලාගේ ආරම්භය සිදු වෙන්නේ බුද්ධත්වයත් සමඟම යි. සර්වඥයන් වහන්සේ කියන්නේ සියල්ල අවබෝධ කළා වූ උතුමන් වහන්සේගේ ධාතුන් වහන්සේ යි. නේරංජනා නදිය අසබඩ වජ්‍රාසනය අසල ජයශ්‍රී මහා බෝ සෙවනේ දී අපේ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. ඒ ඇති වූ නිකෙලෙස් චිත්ත සන්තානය රෝම කූපයක් පුරා පැතිරි තිබෙනවා. සිතේ රාග, ද්වේෂ, මෝහ ක්ෂය වූ බව නිකෙලෙස් බව රෝම කූපයක පවා පැතිරි තිබෙනවා. ඒ නිසායි රෝම කූපයක් පවා ධාතුන් වහන්සේ නමක් වන්නේ. රෝම කූපයේ පවා ආනුභාවය පැතිරි තිබෙනවා. උන් වහන්සේ සිරිපතුල් තබන විට ඒ සිරිපතුලේ පවා නිකෙලෙස් බව පැතිරි ගියා. පොළොව මහී කාන්තාව කැමැති නැහැ උන්වහන්සේගේ සිරිපතුල තවත් කෙනෙකුට පෑගෙනවට. බුදුරජාණන් වහන්සේ සිරිපතුල තබා ඊළඟ සිරිපතුල තබන්න පය ඔසවන විට අර සිරිපතුල මැකී යනවා. උන්වහන්සේ අධිෂ්ඨාන කර තැබුවොත් පමණයි පා සටහන පවතින්නේ. සිරිපා සටහන තවත් කෙනෙකුට පෑගෙන්නේ නැහැ. එය ආශ්චර්‍ය අද්භූත දෙයක්. ඒ සම්බුද්ධාලෝකය මේ ලෝකයට මහත් ආශ්චර්‍යයක් වුණා.
සත්සතිය ගත කරද්දී ආශ්චර්ය බොහෝ දේ සිදු වුණා. විශේෂ දේ තමයි සත්සතිය තුළ පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් ලෙස ජයශ්‍රී විජයශ්‍රී බෝධින් වහන්සේ ලෝකයට බිහි වීම. ඒ සත්සතිය ගත කළ ස්ථාන අදටත් සෑයන් සාදා වන්දනාමාන කරනවා. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේට විළඳ මී පැණි පූජා කිරීමත් මේ සත්සතිය තුළ සිදු වූ දෙයක්. දවස් හතළිස් නවයක් බුදුරජාණන් වහන්සේ මුව දෝවනය කර නැහැ, වැසිකිළියට කැසිකිලියට වැඩ නැහැ. දවස් හතළිස් නවයක් පැන් පොදක්වත් පානය කර නැහැ. උන්වහන්සේ කෙසේ ද එහෙම සිටියේ? සුජාතාව පූජා කළ කිරිපිඬු දානය ගුලි හතළිස් නමයෙන් එක දිනකට එක ගණනෙ කුස පිරුණ නිසායි.
තථාගතයන් වහන්සේ සත් සතියෙන් පසු සිතනවා දැන් දවස් හතළිස් නමයකින් මුව දෝවනය කළේ නැහැ. එහෙම හිතන කොට ශක්‍ර දේවේන්‍ද්‍රයා මැණික් භාජනයකින් අරළු කුඩු පූජා කළා වැසිකිළි කැසිකිලි පිණිස. ඒ වගේ ම ශක්‍රයා “නාලිය දැහැටි” දන්ත ධාතුන් වහන්සේ පිරිසුදු කිරීමට පූජා කළා. ඒ වගේ ම ශක්‍රයා අනෝතත්ත විලෙන් දුන් පැන්වලින් මුව දෝවනය කළා.
එතැන සිටි රුක් දේවතාවියකට කල්පනා වෙනවා බුදුරජාණන් වහන්සේට දැන් මොනවද දානයට වළඳන්න තිබෙන්නේ? තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයෝ එතැනට ආසන්න ව වෙළදාමේ යනවා. අර දේවතාවිය බැලුවා මේ යන දෙන්නා කවුද? පුදුමයට ඒ පෙර ජීවිතයේ ඇයගේ පුතාලා දෙදෙනා. මගේ දරුවන්ට අනුග්‍රහ කරන්න ඕන කියා ඇය අධිෂ්ඨාන කළා කරත්ත ටික නො සෙල්වෙන්න. අර දෙවිදුව එක් අයෙකුගේ ඇඟට ඇවිත් කියනවා පින්වත ඔබට අමනුස්ස දෝසයක් නැහැ. නාගයෝ දෙවියෝ කිපිලත් නැහැ. ඔබට මේ දේ කළේ පිනක් රැස්කර ගැනීම පිණිසයි. මෙතැනින් එහා පැත්තේ යම් තැනක ලෝකයට පහළ වූ මහා මුණිවරයෙක් ඉන්නවා. ඒ මුණිවරයාණන් වහන්සේට දානය පූජා කර ගන්න. ඒ දෙදෙනා සසරේ ප්‍රාර්ථනා කර තිබෙනවා බුදු කෙනෙකුට මුල් ම දානය පූජා කරන්න ඕන කියා. විළඳ කුඩු කර මීපැණි කවලම්කර ගුලි හදා භාජනයකට දාගෙන අරගෙන ගියා. ඒ අය දන්නේ නැහැ මේ බුදු කෙනෙක්, මේ තුන් ලොවට ම සෙත සලසන මහා මුණිවරයා බව. කෝටි ප්‍රකෝටි ගණනක් සසරින් මුදවන අමෘතය දන් දෙන ශාන්තිනායකයාණන් බව දන්නේ නැහැ. දෙවියන්ට, බඹුන්ට, නාගයන්ට මේ වගේ දානයක් පූජා කර ගන්නට බැරි බව ඔවුන් දන්නේ නැහැ. පිනයි මේ සියල්ල මෙහෙයවන්නේ. තථාගතයන් වහන්සේ ළඟට ගිහින් දණ ගසාගෙන කියනවා අප ඔබ වහන්සේට දානය ගෙනාවා. තථාගතයන් වහන්සේ කල්පනා කරනවා මම මේ දානය මොකට ද ගන්නේ? ඝටීකාර බ්‍රහ්මයා මවා දුන් පාත්තරය කැලයේ තිබෙන්නේ. සුජාතා දුන් රන් තැටිය උඩුගං බලා ගියා. දැන් කෝ පාත්තරයක් කියා සිතන විට ම ඒ මොහොතේ ම බුදු කෙනෙකුට පාත්තරයක් පූජා කිරීමට සංසාරයේ හතර දෙනෙක් ප්‍රාර්ථනා කරලා. ඒ හතරවරම් දෙවිවරු. ඒ හතර දෙනාගේ ම පින සමාන වෙලා. ඒ ක්ෂණයෙන් ම හතර පැත්තෙන් පාත්තර හතර පෙන්නුවා ස්වාමීනි, මේ පාත්තරය පිළිගන්නා සේක්වා කියා. බුදුරජාණන් වහන්සේ පාත්තර හතර පිළිගත්තා. ඒ පාත්තර හතර එක පාත්තරයක් වුනා. අදටත් ඒ පාත්තරයේ ස්තර හතරක් තිබෙනවා කියා සඳහන් වෙනවා. එතැනින් පාත්තර ධාතුන් වහන්සේගේ ආරම්භය වෙනවා.
පාත්‍රා ධාතුන් වහන්සේ
මහා සෑය
මේ පාත්‍රා ධාතුන් වහන්සේගේ විශාල කථාවක් තිබෙනවා. නමුත් හරියටම පාත්‍රා ධාතුන් වහන්සේ තිබෙන තැන දන්නේ නැහැ. උන්වහන්සේ පාත්‍රා කිහිපයක් පාවිච්චි කර තිබෙනවා. නුවර නාථදේවාල සෑයේ පාත්‍රා ධාතුන් වහන්සේ කැබැල්ලක් තිබෙන බව කියවෙනවා. ඉන්දියාවේ සෝපාලා චෛත්‍යයේ පාත්‍රා ධාතුන් වහන්සේගේ කොටස් දහතුනක් තිබෙන බව කියවෙනවා. එයින් කොටස් දෙකක් ලංකාවට එවා තිබෙනවා.
පාත්‍රා ධාතුන් වහන්සේගේ වංශකථාවක් නැති නිසා ඒ පාත්‍රා ධාතුව ගැන විශේෂ සඳහනක් නැහැ. නමුත් අසවල් අසවල් සෑයවල් තුළ පාත්‍රා ධාතුවේ කොටස් වැඩ සිටිනවා කියා සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට සර්වඥ ධාතුන් පුරවා සුමන සාමණේරයන් ලංකාවට වැඩම කළ පසු ඒ පාත්‍රා ධාතුව පසුව මිහින්තලය සෑයේ තැන්පත් කර තිබෙනවා.
ඒ කාලයේ සිටි රජවරු ලංකාවේ දුර්භික්ෂයක් එන විට බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේගේ පැන් පුරවා රතන සූත්‍රය කියමින් රටේ පැන් ඉස තිබෙනවා. රජවරු පත්තිරුවල සෙල්ලිපිවල ලියා තිබෙනවා ඉඩෝර කාලයක් ආවොත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක පාත්තරය තැන්පත් කර ඒ පාත්‍රයට පැන් පුරවා රතන සූත්‍රය කියමින් ඉසින්න කියා.
හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ට ලැබූ පාත්‍රා ධාතුන් වහන්සේ කොටස දැනට තැන්පත් ව තිබෙන්නේ කොළඹ මාළිගාකන්ද විද්‍යොදය පිරිවෙනේ. වළගම්බා රජු සමයේ ධර්මාශෝක රජුගෙන් අපට ලැබුණ පාත්‍රා ධාතුව සොලී රට ආක්‍රමණය කළ අවස්ථාවේ අරගෙන ගිහින් තිබෙනවා. නමුත් වළගම්බා රජු නැවතත් සොලි රටට ගිහින් එම ධාතුන් වහන්සේ වඩමවාගෙන ඇවිත් තිබෙනවා. අද වෙනවිට මිනිසුන්ගේ වන්දනාමාන ලබමින් උතුම් සෑයක් තුළ පාත්‍රා ධාතුන් වහන්සේ වැඩ සිටිනවා. බලන්න බුදුරජාණන් වහන්සේ දානය වැළඳූ පාත්‍රා ධාතුවේ තිබෙන ආනුභාවය. අදට ඒ පාත්‍රය දෙවි මිනිසුන්ගෙන් පිදුම් ලබනවා. එය අද්භූතයි ආශ්චර්යයි.
පාත්‍රා ධාතුව පිළිවඳ වැඩි විස්තර මෙතනින් කියවන්න.
ගිරිහඬු සෑය
ගිරිහඬු සෑය ප්‍රවේශ මාර්ගය ඔස්සේ පෙනෙන අයුරු
ගිරිහඬු සෑය සමීප දර්ශනයක්
තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇතිවුණා. ස්වාමීනි ඔබ වහන්සේගේ මුව මඬල සුන්දරයි. ශාන්තයි. ඔබ වහන්සේ නැවත දකින්නට නොලැබුණොත් අපට දුකක් දැනෙයි. ඔබ වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්නට දෙයක් අපට තිබෙනවා ද? උන්වහන්සේ ශ්‍රී හස්තයට නීලවර්ණයෙන් බැබළෙන රශ්මි දහරා විහිදෙන කේස ධාතුන් ගෙන තපස්සු භල්ලුකට දෙනවා. ඒ අය රන් සළුවකින් එය පිළිගෙන රන් කරඬුවක තැන්පත් කර මිනිසුන් ගැවසෙන්නේ නැති උස කන්දක් මුදුනක තබා මල් වලින් වසා ඔවුන් වෙළදාමේ ගොස් තිබෙනවා. දවසක් එතැනට ඇවිත් කරඬුව ගන්න බලද්දී කරඬුව සොලවන්න බැරිවුණා. ඔවුන් එතැන සෑයක් කර වූවා. එය ගිරිහඬු සෑයයි. ඔවුන්ට නොපෙනෙන ලෙස එතැනට ජයසේන කියා නාගයෙක් ආවා. ඒ නාගයා අර කේස ධාතුන් වහන්සේ අහුරෙන් දෙනමක් හොරෙන් අරගෙන නා ලොවට ගිහින් පුද සත්කාර කළා. අද ඒ කේස ධාතුන් දෙනම සේරුවාවිල මංගල මහා සෑයේ වැඩ ඉන්නේ.
බුදුරජාණන් වහන්සේ ජීවවමාන ව සිටිද්දී බිහිවන තුන්වන සෑය ලෙස කේස ධාතුන් නිධන් කර තිරියායේ ඉදි වූ ගිරිහඬු සෑය බිහිවෙනවා.
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 11 වනදා බදාදා දින බුදුසරණ පත්‍රයේ පල වූ ලිපියක් ඇසුරිණි.

<<< Previous Next >>>

අසිරිමත් ධාතු පුරාණය 2 කොටස

බුද්ධ ශාසනයේ ඉදි වූ පළමු ස්තූප දෙක

තුන්ලෝකාග්‍ර වූ ශාන්ති නායක වූ, සමන්ත භද්‍ර වූ, තුන්ලොව තිලක වූ, මාගේ ගෞතම නම් වූ මහා මුනින්‍ද්‍රයන් වහන්සේගේ ද්‍රෝණ අටක් වූ ශාරීරික ධාතුන් වහන්සේටත්, එසේ ම උද්දේශික ධාතූන් වහන්සේටත් , පාරිභෝගික ධාතුන් වහන්සේටත් නමස්කාරය මෙතුවක් පටන් පැවත එන සැටිය කියන්නා වූ ධාතූන් වහන්සේගේ පරම්පරා කථාව අඳුරු ගුහාවක දල්වන පහනක් සේ චිත්ත සන්තානයේ පහන් සංවේගය පිණිස මෙසේ ගෙන එන්නෙමු.
මුලින් ම ධාතුන් වහන්සේ නමක් ගැන මේ බුද්ධ ශාසන ඉතිහාසයේ කථාවෙන්නේ අපගේ තථාගතයන් වහන්සේ බෝධිසත්ව අවධියේ යි. උන්වහන්සේ මායා මව්කුසේ පිළිසිඳ ගත්විට මේ තුන් ලොව ම සලිත වුණා. මහා පොළොව කම්පා වූහ. අප්‍රමාණ ආලෝකයක් විහිදුණා. ඒ වගේ ම ඒ මායා බිසව ප්‍රකෘතියෙන් ම සීලවන්ත වෙනවා. ඒ බිසව දෙස රාග සිතකින් කිසිදු පුරුෂයෙකුට බලන්න බැරි ව යනවා. ඒ බිසවට තම කුස තුළ සිටින දරුවා දෑසට පෙනෙනවා. ඒ වගේ ම සතරවරම් දෙවියෝ සතර කොනේ සිට මවත්, දරුවාත් ආරක්ෂා කරනවා.
මහා බෝධිසත්වයෝ ලුම්බිණි සල් උයනේ දී වෙසක් පුන් පොහෝදා මහපොළොව කම්පා කරවමින් උපන්නා. උන්වහන්සේගේ පුංචි සිරිපතුල් පිළිගන්න පොළොව දෙදරවා නෙළුම් කුසුමන් පිපුණා. උතුරු දිසාවට පියවර හතක් වැඩම කළා. ඒ දරුවා පළමු පියවර තබද්දී මහා පොළොවේ ඒ සිරිපතුල පිහිටියා. අදටත් ලුම්බිණියේ සටහන් ව ඇති ඒ උතුම් සිරිපා සටහනට අප වන්දනා කරනවා.
සඳක් මෝරනවා වගේයි බෝසතාණන් වහන්සේ ගෘහ ජීවිතයේ වැඩුණේ. උන්වහන්සේ සතර පෙරනිමිති දැක ගෘහ ජීවිතය අත්හැරියා. තමන් වෙනුවෙන් ජීවිතය කැප කරන්න කාලාන්තරයක් සිට පෙරුම් පුරාගෙන ආ යශෝධරා, සිඟිති රහල් කුමරා අත්හැරියා. ඔබ ජාතක කථා කියවා ඇති. ඒ හැම කථාවක ම බිරිඳ යශෝධරා. ඒ බොහෝ කථාවල පුතා වෙලා ඉපදුණේ රාහුලයන්. මෙලෙස සසරේ ආ බැඳීම් අත්හැරියා.
සිළුමිණ සෑ ධාතු කථාව
මහා බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කර පළමු කෙස් වැටිය වම් අතින් අල්වාගෙන දකුණු අතින් මංගල කඩුවෙන් කපා උන්වහන්සේ අධිෂ්ඨාන කරනවා මට ගෘහ ජීවිතයේ තමායි මේ සියලු බැඳුම් තිබෙන්නේ. මාගේ මේ කෙස් වැටිය සිඳී යනවා වගේ ගෘහ බන්ධන සිඳී යනවා නම් එය කොතරම් හොඳ ද? සිතමින් පළමු කෙස් වැටිය කපා දැමූවා. සිද්ධාර්ථ බෝසතාණන් තමාගේ හස්ථයේ තිබෙන නිල්වන් කෙස් දෙස බලමින් කල්පනා කරනවා සසරේ කෙතරම් නම් කෙස් පොළොවට පස් වෙලා යන්න ඇද්ද? මේ පොළොවට පස් එකතු කරන ජීවිතය මෙයින් නතර වෙනවා නම්, මම අදහස් කරන ගමන සඵල වෙනවා නම් මෙම කෙස් කළඹ බිම නො වැටේවා කියා අධිෂ්ඨාන කරමින් ඉහළට විසි කළා. පුළුං රොදක් වගේ රැස් දහරා විහිදවමින් බෝධිසත්වයෙන්ගේ කෙස්රොද ආකාශයේ ඉහළට වැඩියා.
මහා බෝධිසත්වයන් තමාගේ කේස කලාපය මඟුල් කඩුවෙන් සිඳින විට ඒ සෑම කෙස් ගහක් ම අඟල් දෙක ගණනේ හිසේ ඉතිරි වෙන්නයි කැපුණේ. ඒ සියලු ම කෙස් දක්ෂිණාවර්ත ව සිරසේ කැරකුණා. එය පිරිනිවන් පාන තෙක් බුදු සිරසේ තැම්පත් ව තිබුණා. අලුතින් කෙස් වැවීමක් සිදු වුණේ නැහැ. අඟල් දෙකක් දිගට කේස ධාතුන් වහන්සේ කැරකිලා පිහිටියා. චාතුම්මහාරාජික දෙවියන්ගේ දෙව්ලොව ඒකාලෝක කරමින් කෙස් කළඹක් ඉහළට යනවා. තවුතිසාවේ සක් දෙවිඳු බැලුවා කුමක් ද? මේ විහිදෙන නිල්වන් රශ්මි දහරාව දුටුවා.
අභිනිෂ්ක්‍රමණය කළ බෝසතාණන්ගේ කේශ කලාපය යි. ඒ මොහොතේ ම රන් කරඬුවක් මැවුවා. ඒ රන් කරඬුව තුළ නීලවර්ණ කේස ධාතුන් වහන්සේ තැන්පත් කළා. ඉන්පසු යොදුන් තුනක් උස සෑයක් තැනුවා. ඒ සෑය ‘සිළුමිණ සෑයයි’. ඒ සිළුමිණ සෑය දෙවියන්ට පින් පුරන්න මහා වස්තුවක් වුණා. මුළු දෙව්ලොවට ම තිබෙන එක ම සෑය සිළුමිණ සෑයයි. ඒ සෑ රජාණන් වහන්සේට පැරණි අපේ මුතුන් මිත්තන් ගාථා වලින් එය වන්දනා කර තිබෙනවා.
බෝධිතතෝ පුරිමඤ්ඥේච – චූළා දුස්ස මණීරිතේ
තාවතිංස මුනින්දස්ස - තිදසින්දේන පූජිතා
බුදුවීමට පෙර ම තව්තිසා දෙව් ලොව සක් දෙවිඳු විසින් අප මුනිඳුන්ගේ කේශ ධාතුන් වහන්සේ පුදන ලද්දේය.
චූළා තියෝජන අබ්බේ – මණිථූපේ පතිට්ඨිතා
තහිං දක්ඛිණ දාඨා ච – දක්ඛිණක්ඛ කමේවච
තුන් යොදුන් ඒ මැණික් ථූපයෙහි අභ්‍යන්තරයේ දකුණු දළදා වහන්සේ ද, අකු ධාතුන් වහන්සේ ද නිධන් විය. (ඒ ධාතුන් වහන්සේ නිධන් වූයේ තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසුවයි) ඒ උතුම් සිළුමිණ සෑයට මම වන්දනා කරමි.
පරිනිබුබතම්භි සම්බුද්ධේ - නිහිතා ධාතුයෝ දුවේ
තං චූළාමණි චේත්‍යංච - නමාමි සිරසා අහං
ධාතුන් වහන්සේගේ පරම්පරා කථාව මෙසේ සිළුමිණ සෑයෙන් ආරම්භ වෙනවා.
සළුමිණ සෑ ධාතු කථාව
ඒ වගේ ම මහාබෝසතාණන් වහන්සේට වස්ත්‍ර දෙකයි. උතුරු සළුව සහ ජෝතිය ලෙස ඉනට ඇඳපු ඇඳුම. බඹ ලොව වැඩ සිටියා "ඝටීකාර" බ්‍රහ්ම රාජයා. කාශ්‍යප බුද්ධ ශාසනයේ ශ්‍රමණයන් වහන්සේ දැක තිබුණ උත්තමයා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපාසකයා. එදා කාශ්‍යප බුද්ධ ශාසනයේ “ජෝතිපාල” නමින් සිටි ඝටීකාර බ්‍රහ්මයාගේ ප්‍රිය මිත්‍රයා අබිනික්මන් කරනවා. බැලුවා මුණිවරු මොනවද පාවිච්චි කළේ. අඳනය, දෙපට සිවුර, තනිපට සිවුර. ඒ වගේ ම පිණ්ඩපාතයට පාත්‍රයක් ඕන. කෙස් රැවුල් බාන්න උපකරණයක් පාවිච්චි කළා. ඒ වගේ ම සිවුරු මැසීමට ඉදිකටුවයි, නූල් බෝලය යි, පැන් පෙරන්නට පෙරහන් කඩයි, අඳනය තදකර ගැනීමට ඉණ පටිය, එකට එකතු වුනා. මුලින් ම එහි දී අටපිරිකර කියන දේ බිහි වුණා. ඝටීකාර බ්‍රහ්මයායි පළමු ව ශ්‍රමණයෙකුට මේ පිරිකර අට පූජා කළේ. උන්වහන්සේ අඳනය සිරුරට පොරෝ ගත්තා. ගිහිසළු දෙක අතට අරගෙන අධිෂ්ඨාන කළා සසරේ කෙතරම් නම් ගෘහ ඇඳුම් ඇඳ ඇද්ද? ඒ එක ඇඳුමක්වත් මගේ අවසාන ඇඳුම වුණේ නැහැ. මහාබෝධිසත්වයන් අධිෂ්ඨාන කරනවා මගේ මේ හස්තයේ තිබෙන්නේ මේ ජීවිතයේ අවසාන ගෘහ වස්ත්‍ර නම්, මේ වස්ත්‍ර පොළොවට නො වැටේවා කියා ආකාසයට වීසි කළා. සුදු පාට රශ්මි දහරා විහිදවමින් සළුවක් අහසට යනවා. එය නවතාලන්නට චාතුම්මහාරාජික, යාමය, තාවතිංස, තුසිත, නිම්මානරතී, පරනිම්මිතවසවතී, දෙවියන්ටත් බැරිවුණා. දෙව්ලොව අභිබවා ගියා ශ්වේත වර්ණ සිත් ඇති බ්‍රහ්මයන්ගේ ලෝකයට සළුව යනවා. බ්‍රහ්ම කායික දෙවියෝ, බ්‍රහ්ම පුරෝහිත දෙවියෝ, මහා බ්‍රහ්ම දෙවියෝ දෝත නළලේ තබා මුණිවරයෙක්ගේ සළුවක් එනවා කියමින් සාධුකාර දුන්නා. එය බෝසතාණෝ අවසානයට ගෘහජීවිතයේ ඇඳපු සළුව. සහම්පති මහා බ්‍රහ්මයා මැණික් කරඬුවක් මවා ඒ කරඬුවේ සළුව තැන්පත් කරනවා. කරඬුව යොදුන් දොළහක් උස සෑයක් හදලා එහි තැන්පත් කරනවා. ඒ සෑය ‘සළුමිණ සෑය’. ධාතුන් වහන්සේගේ පරම්පරා කථාවේ ඉදිවෙන දෙවන සෑය. පසු කාලයක අකු ධාතුන් වහන්සේ තැන්පත් වුණේ බ්‍රහ්ම ලෝකයේ. අදටත් බ්‍රහ්මයෝ අකු ධාතුන් වහන්සේ වන්දනා කරමින් මහා පින් පුරෝගන්නවා. සියලු ම බ්‍රහ්ම ලෝකවලට තිබෙන එක ම එක සෑය සළුමිණ සෑයයි. ශක්‍ර දෙවියාවත් තවම ඒ සළුමිණ සෑය වන්දනා කර නැහැ. දෙවියන් සිළුමිණ සෑයත්, බ්‍රහ්මයෝ සළුමිණ සෑයත් වන්දනා කරනවා. සියලු ම බ්‍රහ්මයන්ගෙන් වැඳුම් පිඳුම් ලබන සළුමිණ සෑය කෙතරම් ආනුභාව සම්පන්න ද? කොතරම් තේජවන්ත ඇති ද? ඒ උතුම් සළුමිණ සෑයටත් අපගේ නමස්කාරය වේවා.
සළුමිණ සෑ වන්දනා ගාථාව
බ්‍රහ්ම ලොකේ දුස්සවරං - වාම අක්ඛක ධාතුයා
සද්ධං පූජෙන්ති බ්‍රහ්මාණෝ - ථූපේ ද්වාදස යෝජනේ
අහංපිතං නමස්සාමි – දුස්ස චේතිය මුත්තමං
බෝසතුන් මුදාහළ සළුව ද, වම් අකු ධාතුන් වහන්සේ ද නිධන් කොට දොළොස් යොදුන් ස්තූපය බ්‍රහ්මයෝ වන්දනා කරන්නාහු ය. ඒ උතුම් සළුමිණ සෑය මම වන්දනා කරමි.
මේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේගේ පරම්පරා කථාවේ ආරම්භය යි.
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 03 වනදා අඟහරුවාදා දින බුදුසරණ පත්‍රයේ පල වූ ලිපියක් ඇසුරිණි.

<<< Previous Next >>>

අසිරිමත් ධාතු පුරාණය 1 කොටස

සකල සතට පින් රැස්වෙන ධාතූන් වහන්සේ වන්දනාව

ධාතුන් වහන්සේලාගේ පරම්පරා කථාව අපට අසන්නට ලැබෙන්නේ සසරේ පිනකට ම ය. අපේ රටේ ජීවත් වන බොහෝ දෙනෙක් ධාතුන් වහන්සේලාගේ පරම්පරා කථාව දන්නේ ම නැති තරම්. එය හරියට රත්තරං කන්දක් උඩ ඉඳගෙන ඉන්න දුගී මනුස්සයෙක් වගේ. නිධානයක් උඩ ඉඳගෙන ඉන්න දුගී මනුස්සයෙක් වගේ. ඒ වගේ ම මැණික් පර්වතයක් උඩ ඉඳගෙන ඉන්න දුගී මනුස්සයෙක් වගේ වෙනවා ධාතුන් වහන්සේලාගේ විස්තරය දන්නේ නැති මනස.
අපේ මේ පින්බිම වන ශ්‍රී ලංකාවේ කෙනෙක් හිස හැරුණ පැත්තට ගියොත් ඒ ඕනෑම පැත්තක ධාතුන් වහන්සේ වැඩ සිටින සෑයක්, මන්දිරයක් තිබෙනවා. නමුත් මිනිසුන් දන්නේ නැහැ ධාතුන් වහන්සේ ඇසුරු කරගෙන කොහොමද? පින් කරන්නේ කියා. බුදුරජාණන් වහන්සේගේත් රහතන් වහන්සේගේත් ධාතුන් වහන්සේ ඉතිරි වෙන්නේ සකල සතට සෙත පිණිසයි. අමාමහ නිවන පිණිස වහා ධර්මය අවබෝධ වීම පිණිස පින් තිබෙන අය බුදු කෙනෙකුගේ ඇසුරෙන් සසරින් නිදහස් වෙනවා. ඒ වගේ ම ඒ පරම නිකෙලෙස් සිත් ඇති බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ ඇසුරෙන් සුගතියේ ඉපදෙන්න පින් කරගන්න අමා මහ නිවන පිණිස පින් පුරාගන්න පින්වතුන්ට හැකි වෙනවා. ඒ නිසායි තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේ ඉතිරි වෙන්නේ.
ඒ ධාතුන් වහන්සේ කොහොමද බෙදුණේ? ඒ ධාතුන් වහන්සේගේ ස්වභාවය කොහොමද? හඳුනා ගන්නේ කොහොමද? ධාතුන් වහන්සේ ඇසුරෙන් පින් කරන්නේ කොහොමද? ඒ වගේ ම ධාතුන් වහන්සේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන්නේ කොහොමද? මේ ධාතුන් වහන්සේ අතුරුදහන් වෙන්නේ කොහොමද? බුද්ධ ශාසනයේ අවසානය කුමක් ද? කියා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට යම් දැනුමක් තිබිය යුතු වෙනවා. මුල, මැද, අග පිරිසුදු ශාසනය පිළිබඳ ව හැඟීමක් තිබෙන්න ඕන. එවිට ඒ ශ්‍රාවකයා උපේක්ෂාවට පත්වෙනවා. රහතන් වහන්සේගේ යුගය බලා දැන් යුගයට සාප කරනවා නම් ඔහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකු නොවේ. අනිත්‍ය ස්වභාවය වැටහීමෙන් රහතන් වහන්සේගේ යුගය රහතන් වහන්සේගේ යුගය ලෙස දකිමිනුත් පිරිහෙන යුගය පිරිහෙන යුගය ලෙසත් දැකිය යුතු වෙනවා. එවිට විෂම ලෝකයේ සමව හැසිරෙන්න පුළුවන් වෙනවා.
ධාතුන් වහන්සේගේ පරම්පරා කථාවේ ආරම්භය සිදුවෙන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නත් කලින් බෝධිසත්ව කාලයේ දී ම යි. ඉදිරියේ දී අප බුදුරජාණන් වහන්සේගේ පරම්පරා කථාව ආරම්භයේ සිට අවසානය දක්වා ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස දැනුවත් විය යුතු බොහෝ කරුණු “බුදුසරණ” පුවත්පතේ ලිපි පෙළින් කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ කරුණු ඔබට කියවන්නට හැකිවුණොත් ඔබගේ සිතේ බලවත් වූ චිත්තපී‍්‍රතියක් ශ්‍රද්ධාවක් ඇති වේවි.
ඔබට ධාතුන් වහන්සේලා දකින්න, වඳින්න, පුදන්න ලැබෙනවා කියන එක විශාල ලාභයක්. ලෝකයේ ජනගහණයෙන් ඉතාමත් සුළු පිරිසකට තමා ධාතුන් වහන්සේ දකින්න, ඇසුරු කරන්න ලැබෙන්නේ. මැණික් ගලේ පය හැපුනට කණාට එහි වගක් නැහැ වගේ, තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් මිථ්‍යා දෘෂ්ටික සමාජයක ප්‍රදර්ශනය කළත්, මිනිසුන් එහි වටිනාකම තේරුම් ගන්නේ නැහැ. සමහර පිරිස් සිතාගෙන ඉන්නේ ධාතුන් වහන්සේ කියන්නේ රැස් විහිදවමින් දීප්තිමත්ව පවතිනවා කියා. එය වැරදියි. ඒ නිසා අප සිතනවා මේ දහම් ලිපි පෙළ ඔබට නිවැරදි වෙන්න ලොකු අස්වැසිල්ලක් වේවි කියා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ බෙදුණ ආකාරය, ඒ ධාතුන් වහන්සේ හඳුනා ගන්නා ආකාරය, ධාතුන් වහන්සේ වැඩ සිටින ආකාරය, ඍද්‍ධි ප්‍රාතිහාර්ය දක්වන ආකාරය ඔබට දැනගන්න ලැබෙනවා.
ධාතුන් වහන්සේ කොටස් තුනකින් හඳුන්වනවා. ඒ
1. ශාරීරික ධාතු,
2. පාරිභෝගික ධාතු
3. උද්දේශික ධාතු.
ශාරීරික ධාතු
ශාරීරික ධාතු කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ ම තිබෙන කොටස්. ඒ තමයි අස්ථි ධාතුන් වහන්සේ ඒ අස්ථි ධාතූන්ට අයිතියි දන්ත ධාතුන් වහන්සේ හතර නම, ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ දෙනම, ද්‍රෝණ අටක් සර්වඥ ධාතුන් වහන්සේ, රෝම ධාතුන් වහන්සේ, කේශ ධාතුන් වහන්සේ, නඛ (නිය) ධාතුන් වහන්සේ ඒ සියල්ල ශාරීරික ධාතුන් වහන්සේ ලෙසයි අයත් වන්නේ.
පාරිභෝගික ධාතු
ඊළඟට පාරිභෝගික ධාතුන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ පාරිභෝගික කළ දේ. ඒ අතර බැබළෙන පාරිභෝගික ධාතුවක් තමා විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ. උන්වහන්සේගේ වරුණ වෙනම ඉගෙන ගත යුතුයි. එය බෝධින් වහන්සේගේ පරම්පරා කථාවට අයත් වෙනවා. ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අසිරිමත් කථාව ලොමුඩැහැ ගන්වෙන සුළුයි. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පරම්පරා කථාව කෙනෙක් දන්නවා නම් බෝධින් වහන්සේ ළඟින් යන විට නිකම්ම අත් දෙක සිරසට එසවෙනවා. ඒ තරම් අසිරියක් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ තුළ තිබෙනවා. ඒ වගේ ම තථාගතයන් වහන්සේගේ චීවර ධාතුව, පාත්‍රා ධාතුව, ඉන පටිය, අතුරන ඇතිරිල්ල, ඉඳගන්න ඇතුරු ඇතිරිල්ල ඒ සියල්ල ම ගැනත්, ඒ ධාතුන් තැන්පත් වී ඇති ආකාරය ගැනත් පාරිභෝගික ධාතුන් ලෙස ඉදිරියේ දී ඉගෙන ගන්න ඔබට පුළුවන්. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ වැඩිය පුණ්‍ය භූමිත් පාරිභෝගික ධාතුන්. ඒ ධාතුන් වහන්සේ වැඳුම් පිදුම් කිරීමෙන් දෙලොව ම යහපත පිණිස අපමණ පින් රැස් වෙනවා.
උද්දේශික ධාතු
ඊළඟට උද්දේශික ධාතුන් කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන්කළ දේයි. එහි දී ප්‍රතිමා වහන්සේ මුල් තැන ගන්නවා. බෝසතාණන් වහන්සේ මවුකුසින් වෙසක් පුන් පෝ දා බිහිවෙන විට සහම්පති බ්‍රහ්මයා දිව්‍ය සළුවට කුමරුවා පිළිගත්තේ. ඊළඟට සතරවරම් දෙවිවරුන් අතින් පුංචි කුමාරයා මේ මිහිමඬලේ අවසන් ජීවිතයේ පළමු පියවර තබනවා. ඒ පියවර මේ මහ පොළොවේ කිඳා බැස්සා. ඉන්පසු තමයි නෙළුම් මල් පිපුණේ. ඒ පියවර අදටත් ලුම්බිණියේ සටහන් ව තිබෙනවා. උද්දේශික ධාතුවක් ලෙස අදටත් එය වන්දනා කරන්න පුළුවන්. ඒ වගේ ම කෙනෙක් සිරිපා සටහනක් සටහන් කර වඳිනවා නම් එයත් උද්දේශිකයි. ඒ කියන්නේ වෙනුවෙන්. ධර්මය චක්‍රයක් බුදුරජාණන් වහන්සේ ලෙස සටහන් කර වඳිනවා නම් එය උද්දේශික ධාතුන්. ඒ වගේ ම ධාතු තැන්පත් නැති ව කරඬුවක්, සෑයක්, පිළිරුවක් රූප රාමුවක් කෙනෙක් වඳිනවා නම් ඒවා උද්දේශික ධාතු ලෙස හඳුන්වා තිබෙන්නේ. තථාගතයන් වහන්සේ කෙතරම් ආනුභාව සම්පන්නයි ද කියනවානම් උන්වහන්සේගේ ප්‍රතිමාවකට වැන්දත් අපමණ පින් රැස් වෙනවා. උන්වහන්සේගේ ප්‍රතිමාවල පවා භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවය පිහිටා තිබෙනවා.
ඈත අතීතයේ කැලණිතිස්ස රජතුමාගේ කාලයේ මුහුද ගොඩ ගැලු දා ඒ ගොඩගැලීම නවත්වන්න ශ්‍රක්‍ර දේවේන්‍ද්‍රයා ශෛලමය ප්‍රතිමාවක් මවා වෙරළේ තබා තිබෙනවා. එතැනින් මුහුදු රැල්ල නතරවෙලා. දසමාර සේනා භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ සුනු විසුනු වී ගියා වගේ මුහුදු රැල්ල උන්වහන්සේගේ ප්‍රතිමාව අභියස දී විනාශ වුනා කියා සඳහන් වෙනවා. ඒ වගේ ම අවුරුදු පන්දහසක් ගිය කල සියලු ප්‍රතිමා අතුරුදහන් වෙනවා. ඒ නිසා උද්දේශික ධාතුන් ලෙස බුද්ධ ප්‍රතිමා මුල් තැනක් ගන්නවා. එනිසයි සෑම විහාරස්ථානයක ම බුද්ධ ප්‍රතිමා නිර්මාණය වෙන්නේ.
අප මෙලෙස පාරිභෝගික ධාතුන් වහන්සේ ගැනත්, උද්දේශික ධාතුන් වහන්සේ ගැනත් ඔබට යම් තරමකට කියා දුන්නා. මෙයට අමතර විශාල විස්තරයක් ශාරීරික ධාතුන් වහන්සේ සම්බන්ධව තිබෙනවා. අප කථා කරන, පැහැදෙන, වඳින පුදන කඳු ගණන් දානය පූජා කරන බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ අබ ඇටයක් තරම් ධාතුන් වහන්සේ නමකට වඳින්න, පුදන්න ඒ විස්තර අසන්න ලැබෙනවා නම් එය ඉතාමත් අසිරිමත්. තමාගේ ඇස් වලින් ධාතුන් වහන්සේ නමක් දැක්කේ නැතත් මේ කරඬුවේ ධාතුන් වහන්සේ නමක් වැඩ සිටිනවා කියන පණිවිඩය ම ඇති ඔහුගේ සිත පහදවා ගන්න.
එවැනි ශ්‍රද්ධාවක් උපදින්නේ ධාතුන් වහන්සේ ගැන විස්තර දන්නවා නම් පමණයි. ඒ නිසා ඒ ධාතුන් වහන්සේගේ අසිරිමත් පරම්පරා කථාව මෙතැන් සිට ඉදිරියට කියවමින් ඔබේ සිතේ අසිරිමත් ධාතු මන්දිරයක් ගොඩනඟා ගනිත්වා කියා ආශීර්වාද කරනවා.
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2559ක් වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015ක් වූ ඔක්තෝබර් 27 වන දා අඟහරුවාදා දින බුදුසරණ පත්‍රයේ පල වූ ලිපියක් ඇසුරිණි.

Next >>>