Sunday, January 24, 2016

අසිරිමත් ධාතු පුරාණය 7 කොටස

රජවරුන්ගේ යුද්ධය සංසිඳවීමට ද්‍රෝණ බමුණා ඉදිරියට එයි

තථාගත පරිනිර්වාණයෙන් පසු ධාතුන් වහන්සේ අත්පත් කර ගැනීමට රජවරු අට දෙනෙක් යුද්ධයකට සැරසුණා. ඒ යුද්ධය සංසිඳවීම පිණිස ඒ රජවරුන්ගේ ගුරුවරයා ඉදිරිපත් වුනා. ඔහු නමින් "ද්‍රෝණ බමුණා" යි.
ඒ ද්‍රෝණ බමුණා උස් තැනකට ගොස් හඬනගා කියනවා "රජදරුවනි, ඝෝෂා කරන්න එපා. බුදුරජාණන් වහන්සේ ශාන්තිවාදීන් වහන්සේ නමක්. යුද්ධය ප්‍රතික්ෂේප කළ උත්තමයෙක් ආදි ගුණ කියමින් බණවරක් කියා සිටියා. ඒ බණවර ගාථාවට අකුරු අටදහසක් අයත් වුනා. සාමාන්‍යයෙන් පැය එකහමාරක් පමණ ඒ බණවරයට කාලය ගතවෙනවා. කෙතරම් කියා සිටියත් එක් රජෙකුවත් එයට කන යොමු කළේ නැහැ. යුද්ධයක් සඳහා ම සූදානම් වුනා. බමුණා නැවත දෙවන බණවරය කියා සිටියා. දැන් පැය තුනක් පමණ ගතවෙලා. එයට කියනවා "ද්‍රෝණ ගර්ජනාව" කියා. ඒ දෙවැනි බණවරයේ අවසාන අකුර කියන විට එක රජ දරුවෙකුට ඇසුණා. ඔහු කියා සිටියා රජවරුනි, නිහඬ වෙන්න, අපේ ආචාර්යන් වහන්සේ කථා කරනවා කියා. එය කටින් කටට ගියා. රජදරුවන් ටික වෙලාවකින් නිහඬ වුනා.
දැන් ද්‍රෝණ බමුණා කියනවා "රජදරුවෙනි, අපගේ ශාස්තෘන් වහන්සේ අනුකම්පා සහගත යි. යුද්ධයට කැමැති නැහැ. ඒ නිසා යුද්ධ කරන්න එපා. ඔබලා අට දෙනෙක් ඉන්නවා. අප මේ සියලු ම ධාතුන් වහන්සේ අටකට බෙදමු" කියා යෝජනා කළා. රන්දෙණ ඇරියා. ධාතුන් වහන්සේ දුටු කළ රජවරු අඬා වැටුණා. ද්‍රෝණ බමුණා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සුදුපාට රැස් විහිදවමින් දකුණු දළදා වහන්සේ වැඩ සිටින අයුරු දැක ඔහු ඒ දළදා වහන්සේ ගෙන කෙස් වැටියේ සඟවා ගත්තා. රජවරු තවමත් අඬා වැටෙනවා. ඒ ක්ෂණයෙන් තවත් දන්ත ධාතුන් වහන්සේ නමක් ගෙන ඉනේ ගසා ගත්තා. තවත් දන්ත ධාතුන් වහන්සේ නමක් බිම දමා පය අසල තබා ගත්තා.
දැන් රජවරුන්ට සම සේ ද්‍රෝණ අට බැගින් ධාතුන් වහන්සේ බෙදුවා. ශක්‍රයා බැලුවා ද්‍රෝණ බමුණාගේ හිසෙන් සුදුරැස් විහිදෙනවා. ඔහු දිවැසින් දැක්කා ඒ දන්ත ධාතුන් වහන්සේ බව. දිව්‍ය ඍද්‍ධියෙන් ධාතුන් වහන්සේ ගෙන සිළුමිණ සෑයේ තැන්පත් කළා.
දන්ත ධාතුන් වහන්සේ නමක් ළඟ තබාගෙන වැදුම් පිදුම් කරන්න සසරේ පින් කළ ගාන්ධාරයේ මනුස්සයෙක් එතැන සිටියා. ඔහුට ද්‍රෝණ බමුණාගේ ඉනේ තිබෙන ධාතුන් වහන්සේ පෙනෙනවා. ඔහු සෙමින් ඉණට අත දාලා ඒ ධාතුන් වහන්සේ ගත්තා. ජයසේන කියා නා රජෙක් එතැනට ඇවිත් සිටියා. ඔහු දැක්කා පොළොවෙන් රැස් විහිදෙනවා. පොළොව ඇතුළෙන් ඇවිත් බිම තිබූ ඒ ධාතුන් වහන්සේ රැගෙන ගියා. ධාතුන් වහන්සේ බෙදා අවසානයේ ද්‍රෝණ බමුණා බැලුවා තමන් සඟවා ගත් ධාතුන් වහන්සේ. එක නමක් වත් වැඩ සිටියේ නැහැ. ඔහු කියනවා ‘රජදරුවනි මේ ධාතුන් වහන්සේ බෙදපු භාජනය මට ලබා දෙන්න කියා අවසර ඉල්ලා සිටියා.
දකුණු දළදා වහන්සේ
කළිඟු රටට ගෙන ගිය ධාතුන් වහන්සේ ඝෝෂීය කියන රජතුමා නිරන්තරයෙන් වන්දනා කළා. එහි සිටි නිගණ්ඨයන්ට එය මහත් අවමානයක් වුනා. "පඬි" කියන රජතුමාට ගිහින් කියනවා "ඔබ වහන්සේගේ රටෙන් යැපෙන අර රජතුමා දෙවියන්ට, බ්‍රහ්මයන්ට, ගින්දරට වඳිනවා. ඒ වගේ ම තවත් අදෘශ්‍ය දෙයකට වන්දනාමාන කරනවා. ඒ වගේ ම ඔබතුමාට බණිනවා කියා කිව්වා. පඬි රජතුමාට තරහ ගියා. ඇමතිවරයෙක් යැවුවා ගිහින් අර අදෘශ්‍යමාන දේත් ඒ රජතුමාත් කැඳවාගෙන එන්න කියා. ඒ ඇමතිට ඝෝෂීය රජතුමා කියනවා "ඔබ දකින්නට ආවේ මේ ලෝකයේ තිබෙන උතුම් දෙයක්. වන්දනා කරමින් පින් රැස්කර ගන්න’’ කියමින් ධාතුන් වහන්සේගේ ගුණත් තථාගතයන් වහන්සේගේ ගුණත් කියනවා.
මෙසේ බුදුගුණ කියන විට අර ඇමතිට මහත් ශ්‍රද්ධාවක් ඇතිවුනා. ධාතු මන්දිරයට යන විට කරඬුව දෙබෑ වලා දන්ත ධාතුන් වහන්සේ ආකාශයට පැන නඟලා සුදු රැස් විහිදුවමින් ආකාශයේ වැඩ ඉන්නවා. ඒ දළදා ප්‍රාතිහාර්ය යි. දැන් අර ඇමතියාට බොහෝම සතුටුයි. වන්දනා කළා. රාජ අණට කීකරු ව කරඬුව ඔළුව උඩ තබාගෙන පෙරහරකින් පඬි රජතුමා ළඟට ගෙන ගියා. නිගණ්ඨයන් කියනවා රජතුමනි, මෙය නම් මාලිගාවට ගන්න එපා. එහෙනම් මොකක්ද කරන්නේ? කුණුවලකට විසීකරන්න. දන්ත ධාතුන් වහන්සේ කුණු වලකට දැම්මා. ඒ කුණුවල මැදින් නෙළුම් මලක් පිපුණා. ඒ නෙළුම් මලේ ධාතුන් වහන්සේ වැඩ සිටියා. නුවර දළදා මාලිගාවේ වැඩ ඉන්නේ ඒ ප්‍රාතිහාර්ය පාපු ධාතුන් වහන්සේ යි. ඔබ දළදා මාලිගාවට ගියා ම කල්පනා කරන්න මේ ධාතුන් වහන්සේ අසිරිමත් ලෙස ප්‍රාතිහාර්ය පාලා තිබෙනවා. මේ වන්දනාව කෙතරම් පූජනීය ද කියා සිතමින් වන්දනා කරන්න. ඒ ඉදිරියේ සිටගෙන බුදුගුණ කියන්න ලැබීම ගැනත් සතුටු වෙන්න.
ඊළඟට අර රජතුමා ඒ නෙළුමෙන් ධාතුන් වහන්සේ ගෙන අසුචි වලකට දැම්මා. ඒ වලෙන් පස්පියුම් පිපුණා. නිගණ්ඨයන් දැන් ලැජ්ජයි. ඔවුන් කියනවා රජතුමනි, මේක තළලා දාන්න කියා යෝජනා කළා. කිණිහිරෙන් තැළුවා. කිණහිර ඇතුළට ධාතුන් වහන්සේ කිඳා බැස්සා. දැන් නිගණ්ඨයන්ටත් පුදුමයි. ඔවුන් කියනවා රජතුමනි, ඒකාන්තයෙන් ම මේ අපේ පිරිනිවන් පාපු නිගණ්ඨයන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක්. ඒකයි මේ ප්‍රාතිහාර්ය. රජතුමා කියනවා එහෙනම් අරගන්න. නිගණ්ඨයන් පුද පූජා කරමින් කියනවා ධාතුන් වහන්ස වඩින සේක්වා. ඔබ වහන්සේ තනි කකුලෙන් හිටියා, ඇඳුම් නැතිව සිටියා, තණකොළ ගොඩේ පමණයි නිදා ගත්තේ ආදි ගුණ කියමින් ඔබගේ දන්ත ධාතුන් වහන්සේ වඩින සේක්වා කියා කියනවා. ධාතුන් වහන්සේ වැඩියේ නැහැ.
සසරේ ස්වභාවය කෙතරම් ද කියනවා නම් එතැන සිටියා අනේපිඬු සිටුතුමාගේ මුණුපුරා වන "සුදත්ත කුමරු". ඔහු කියනවා රජතුමනි, මේ අපේ ශාස්තෘන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ නමක් . එහෙනම් ගන්න කිව්වා. සසරේ පෙරුම් පුරපු හැටි, සත්ත්වයන්ට කරුණාව මෛත්‍රිය දක්වපු හැටි, විස්තර ආකාරයට කියමින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අපට අනුකම්පා සහගතයි, වඩින සේක්වා කියා ආරාධනා කළා. එවිට ධාතුන් වහන්සේ කිණිහිරෙන් ගිලිහිලා ආකාශයේ සුදුරැස් විහිදවමින් වැඩ සිටියා.
නිගණ්ඨයන් කිව්වා අපට පෙනෙන්නට ඔහොම කිව්වට ඔය මනුස්සයා මන්තරයක් මේ මැතුරුවේ. මේ ධාතුන් වහන්සේ නමක් නොවේ කිව්වා. ඒ මිථ්‍යාදෘෂ්ටික රජතුමාට නැවත සැකයක් ඉපදුණා. අණ කළා කුණුවලකට දාන්න. කුණු වලේ නැවත පස්පියුම් පිපුණා. ඒ පස්පියුම් මත බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා වගේ පියුමෙන් පියුමට වඩිනවා. සුදු නෙළුමින් රතු නෙළුමට, රතු නෙළුමෙන් මානෙල් මලට, මානෙල් මලෙන් ඕලුමලටත් ඕලුමලින් කුමුදු මලටත් වඩිනවා. සියල්ලට ම පුදුමයි. ඇමතිවරු පඬි රජතුමා නැවත නැවතත් කියනවා රජතුමනි, මෙය ආනුභාව සම්පන්න දෙයක්. සුදුසු පිළිවෙත් කරන්න කියා. නමුත් රජුගේ හිත නැමුණේ නැහැ. අනේපිඬු සිටුතුමාගේ මුනුබුරා නැවත නැවත ධර්මය කියන්න ගත්තා. එවිට රජුට පැහැදීමක් ඇතිවුනා. අණ කළා ධාතුන් වහන්සේ වඩම්මවන ලෙස. ඇමතිවරයා වැඳ කියනවා අපේ රජතුමා පැහැදුණා ඔබ වහන්සේ වඩින සේක්වා කියා. ඒ ඇමති උරමඬලේ රන් ආභරණ දෙකක් පළදාගෙන හිටියා. ඔහුගේ දක්ෂිණ උරයේ රන් ආභරණය තුළ සුදු රැස් විහිදවමින් ධාතුන් වහන්සේ වැඩ සිටියා. පුදුම සතුටක්. දැන් රජතුමාට හරි සතුටුයි. වන්දනා කළා. කියා සිටියා "භාග්‍යවතුන් වහන්ස, මට සමාව දෙනවා නම් මගේ සිරසේ ධාතුන් වහන්සේ පිහිටත්වා කියා අධිෂ්ඨාන කළා. ධාතුන් වහන්සේ ඔටුන්නේ උඩ තිබෙන චූඩා මාණික්‍යයේ පිහිටියා. රජතුමා බුදුගුණ කියමින් ඔටුන්න මුළු රටේ ම ප්‍රදක්ෂිණා කර තිබෙනවා. සත්කාර සම්මාන කරලා ඝෝෂිය රජතුමාට නැවත ධාතුන් වහන්සේ ලබා දුන්නා.
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඉල් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ දෙසැම්බර් 10 වනදා බ්‍රහස්පතින්දා දින බුදුසරණ පත්‍රයේ පල වූ ලිපියක් ඇසුරිණි.

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment