Sunday, January 24, 2016

අසිරිමත් ධාතු පුරාණය 6 කොටස

පිරිනිවුණ සම්බුදු සිරුරේ උතුම් ගුණ කඳ දසත පැතිරේ

තථාගතයන් වහන්සේගේ පිරිනිවීමට කලින් ආනන්ද ස්වාමීන් වහන්සේ විමසා සිටියා ස්වාමීනි, තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසුව ආදාහන කටයුතු කරන්නේ කෙසේ ද? ආනන්ද එය රජවරුන් විසින් කරයි. ස්වාමීනි, රජවරුන් එය කරන්නේ කොහොමද? ආනන්ද, තථාගතයන් වහන්සේගේ ශරීරය රත්තරන් සළුවකින් ඔතන්න. ඒ සළුවට උඩින් සියුම් පුළුන් පටලයකින් ඔතන්න. ආනන්ද එයට උඩින් තවත් රත්තරන් සළුවකින් ඔතන්න. ඊට උඩින් තවත් පුළුන් රොදකින් ඔතන්න. ඒ ආකාරයට රත්තරන් සළු පන්සිය යයි, පුළුන් පටල පන්සියයකින් ඔතන්න ඕන. ආනන්ද ඉන්පසු රන් දෙණක තැන්පත් කළ යුතු යැයි වදාළා.
ඒ ආකාරයට තථාගතයන් වහන්සේගේ සිරුර රන් දෙණක තැන්පත් කොට සුවඳ තෙල් පිර වූවා. දෙවියන් මඳාරා මල් වරුසා වැස්ස වූවා. ඒ මල් කෙතෙක් ද කියනවානම් කෙනෙකුගේ දණහිසක් දක්වා ගොඩගැසී තිබුණා. මිනිසුන් තමන්ගේ නිවෙස්වලට ඒ මඳාරා මල් ගෙන ගියා.
ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ බොහෝ සෙයින් දෙවියන්ට ප්‍රිය වුනා. දෙවිවරු ඒ පිරිස අතර කස්සපයන් වහන්සේ සොයමින් සිටියේ. උන්වහන්සේ ඒ වන විට මහ වනයේ ධුතාංගධාරී ව යි වැඩ සිටියේ.
ශ්‍රී දේහයට මල්ල රජ දරුවෝ දවස් හතක් පූජා පවත්වා සත්වැනි දින ‘මකුටබන්ධන’ නම් චෛත්‍යයේ උතුම් බුදු සිරුර තැන්පත් කර පෙර කී පරිදි රන්සළු හා කපු පුළුන් පන්සියයකින් සිරුර වෙළුවා. ඉන්පසු රනින් කරන ලද තෙල් දෙරණක තැන්පත් කර තවත් රන් දෙරණකින් සිරුර වසා නොයෙක් සුවඳ දර වලින් කරන ලද චිතකයේ රන්දෙණේ තැන්පත් කළා. ඉන්පසු රජවරු චිතකයට ගිනි දල්වන්නට උත්සාහ කළත් ගිනි දැල්වුණේ නැහැ. රජවරු අනුරුද්ධ මහා රහතන් වහන්සේගෙන් අසනවා “ස්වාමීනි, ඇයි මේ ශ්‍රී දේහය ගිනි නො ගන්නේ”. උන්වහන්සේ වදාළා “රජතුමනි මෙය දෙවිවරුන් විසින් කරන ලද දෙයක්.” ‘ඒ ඇයි ස්වාමීනි?’ “රජතුමනි, මහකස්සපයන් වහන්සේ වඩින තුරු ශ්‍රී දේහය ගිනි නොගනී”. මිනිසුන් බැලුවා ශ්‍රාවකයෙක් වඩින තුරු ශාස්තෘන් වහන්සේගේ දේහය දැල්වෙන්නේ නැතිනම් ඒ ශ්‍රාවකයා කොයි වගේ කෙනෙක් ද? කියා පාර දෙපැත්තට වෙලා මැද ඉඩ තියාගෙන බලා සිටියා.
මේ දින හතේ කස්සපයන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලයි සිටියේ. ඉන් නැගිට්ට දවසේ උන්වහන්සේ දුටුවා එක් මිනිසෙක් කුඩයක් වගේ විසිතුරු මලක් අරගෙන යනවා. පින්වත ඔබ කොහේ සිට ද එන්නේ? අපේ ශාස්තෘන් වහන්සේ සනීපෙන් ද? අනේ ස්වාමීනි උන්වහන්සේ මීට දින හතකට පෙර පිරිනිවන් පෑවා. මේ එතැනින් ලැබුණ මඳාරා මලක්. එය ඇසූ භික්ෂු සංඝයා හඬන්නට පටන් ගත්තා. ප්‍රිය විප්පයෝගයෙන්, ශාස්තෘ සම්පත්තිය අහිමි වීමෙන් වීතරාගි නොවූ සංඝයා විලාප දුන්නා. තුන් ලෝකයට අග්‍ර පරමේශ්වර බුදුරජාණන් වහන්සේ පිරිනිවීමට සැමට විශාල ශෝකයක් වුනා.
මහාකස්සප මහ රහතන් වහන්සේ සඟ පිරිස සමඟ වැඩියා. චිතකය වටා තුන් වරක් පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපතුල් පිහිටි පෙදෙසෙහි සිටගත්තා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දකිනු පිණිස මෙයින් කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා නම් ශාස්තෘන් වහන්සේගේ පාද මූලයෙහි විවරණ ලද තැන් පටන් ඔබ වහන්සේ අත්නොහැර පැමිණියා. දැන් මාගේ අවසාන දැක්ම වෙයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අවසාන වතාවට ඔබ වහන්සේගේ සිරිපතුල වන්දනා කරන්න, චක්‍ර ලකුණින් සමන්විත නිකෙලෙස් සිරිපා කමල දැකගන්න මම කැමතියි කියා අධිෂ්ඨාන කළා. ශ්‍රී දේහය ඔතා තිබූ පන්සියයක් සළු, පන්සියයක් පුළුන්, සඳුන් දර ඈත්වෙලා උතුම් සිරිපාකමල මතුවුණා. කස්සප හිමියන්ගේ නළල්තලේ බුදුරජාණන් වහන්සේගේ සිරිපාකමල පිහිටියා. සියලු ම ස්වාමීන් වහන්සේලා බුදුසිරිපා කමල ස්පර්ශ කරමින් වන්දනා කළා. ඉන්පසු නැවතත් සිරිපාකමල තිබූ පරිදි ම දෙණේ තැන්පත් වුනා. රන්සළු තිබූ ආකාරයට පිහිටියා. සඳුන් දර එසේ ම පිහිටියා. ඉබේම ගිනිජාලා මතුවෙලා ශ්‍රී දේහය දැවී ගියා. දැල්වෙන තෙලක් නොපෙනී යන ලෙස බුදුරජුන්ගේ සිරුර දැවෙන කල්හි අළු හෝ දැලි දකින්නට නො ලැබුණා. මේ ආකාරයට යි ශ්‍රී දේහය ආදාහනය වුණේ.
සමන්ත බුද්ධකිච්චෝ සෝ - කුසිනාරාය නිබ්බුතෝ
ධාතුභෝදමහෙදංච - අධිටිඨාය මහාදයෝ
සියලු බුදුකිස නිම කළ භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවී සේක. මහාකාරුණිකයන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි ධාතුන් වහන්සේලාගේ බෙදීම සිදුවිය.
සරභූ, කච්චායන, ඛේම මහරහතන් වහන්සේ බුදු සිරුරේ ධාතු බෙදීයන ආකාරය දිවැසින් බලා සිටියා. අකු ධාතුන් වහන්සේ දෙනම, දන්ත ධාතුන් හතර නම, ලලාට ධාතුන් වහන්සේ, බෙදුණේ නැහැ. අනෙක් ධාතුන් අබ ඇට, මුංඇට පියලි ප්‍රමාණයට බෙදුණා. ශරීරයේ සම, මස, නහර දැවී ගියා. එහෙත් එහි අළු නැහැ. දේහය ඔතා තිබූ පළමු හා පන්සිය වැනි රන්සළුව ඉතිරිවෙන්න අනෙක් සියලු සළු දැවුනා. මෙසේ ධාතු බෙදී බෙදී යනවිට සරභූ මහරහතන් වහන්සේ මහා ගිනිජාලාව ඇතුළට වැඩම කොට ග්‍රීවා ධාතුන් වහන්සේ රන් සළුවකට වඩම්මවාගෙන ඒ මොහොතේ ම මහරහතන් වහන්සේ පිරිසක් සමඟ ලක්දෙරණට වැඩම කොට මහියංගණ චෛත්‍යයේ තැන්පත් කළා. මේ දැල්වෙන චිතකයට ඛේම රහතන් වහන්සේත් ඇතුල්වුණා. වම් දළදා වහන්සේ රැගෙන කළිඟු පුරේ ශ්‍රද්ධාවන්ත රජකුට රන් කරඬුවක් මවා ධාතුන් වහන්සේ තැන්පත් කර පූජා පවත්වන ලෙස වදාළා. ඒ අතර සිවුරු හතක් මවලා කච්චායන මහ රහතන් වහන්සේත් අස්ථි ධාතුන් වහන්සේ දෙනමක් රැගෙන මහ වනයේ ගල් ගුහාවක කරඬුවක් මත තැන්පත් කළා. ‘සුජාත’ නම් ඇති කුමරුවෙකුට ඒ ධාතුන් වහන්සේ ලබා දී බුදු කෙනෙකුට මෙන් වන්දනාමාන කරන ලෙස දන්වා සිටියා. ශ්‍රී දේහය විවෘත කරන්න කලින් ම මෙසේ ධාතුන් වහන්සේ කිහිප නමක් ගෙන ගොස් තිබුණා. අහසින් සුවඳ පැන් කඩා වැටී ශ්‍රී දේහය නිවී ගියා. ඉන්පසු රන් දෙරණ විවෘත කළ පසු ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේ වැඩ සිටියා. නමුත් රජවරු දන්නේ නැහැ කොපමණ ප්‍රමාණයක් ධාතුන් වහන්සේ රන් දෙණේ වැඩ තිබෙනවා ද කියා.
"බුද්ධ පරිනිර්වාණය ඇසූ අජාසත් මහරජු මම ද ක්ෂත්‍රියයෙක්. භාග්‍යවතුන් වහන්සේත් ක්ෂත්‍රියෙක්. ශාස්තෘන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා උදෙසා ස්තූපයක් ද කර මහා පූජාවන් ද කරමි" යි මල්ල රජවරුන්ට හසුනක් යැව්වා. ඒ අයුරින් විසල්පුර ලිච්ඡවි රජවරුන් ද, කපිලවස්තුවෙහි ශාක්‍ය රජවරුන් ද, අල්ලකප්පයෙහි රජදරුවන් ද, රාම ගමෙහි කෝලියයෝ ද, වේඨදීපක රජදරුවන් ද, පාවා නුවර පාවෙය්‍යක රජවරු ද හසුන් එවා ධාතුන් වහන්සේ තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීම් කළා. මේ රාජධානි අටේ ම රජදරුවන් එක් වී කුසිනාරාවෙහි රජදරුවන් සමඟ යුද්ධ පිණිස විවාදයක් පටන් ගත්තා. එහෙත් මල්ල රජදරුවන් පවසා සිටියේ අප තථාගතයන් වහන්සේට ආරාධනා කළේ නැහැ අපේ රටේ පිරිනිවන් පානා ලෙසට. උන්වහන්සේ මෙහි පිරිනිවන් පෑවේ අපට උරුමයක් තිබෙන නිසායි. ඒ නිසා මේ ධාතුන් වහන්සේ කිසිවෙකුට දෙන්නේ නැහැ කියා ඔවුන් ඝෝෂා කළා. යුද්ධයකට සූදානම් වුනා.
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2559ක් වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015ක් වූ ඔක්තෝබර් 27 වන දා අඟහරුවාදා දින බුදුසරණ පත්‍රයේ පල වූ ලිපියක් ඇසුරිණි.

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment