Sunday, January 24, 2016

අසිරිමත් ධාතු පුරාණය 4 කොටස

සර්වඥ ධාතු නිදන් වූ මහියංගණ මහා සෑය

අනුත්තර පුරිසදම්ම සාරථි වූ අපගේ තථාගත සර්වඥයන් වහන්සේ බුද්ධත්වයෙන් නවවැනි මාසයේ දී තුන්බෑ ජටිලයන් දමනය කිරීමෙහි ලා යෙදී වාසය කළා. මේ පිරිස දමනය කිරීමට උන්වහන්සේ ඍද්‍ධි ප්‍රාතිහාර්ය තුන්දහස් තුන්සිය තිස් ගණනක් දක්වා තිබෙනවා.
උන්වහන්සේ මහා කරුණාවෙන්, ඉවසීමෙන්, උපේක්ෂාවෙන් එසේ කර තිබෙනවා. උරුවෙල් කාශ්‍යප දමනයට ඍද්‍ධි පාමින් සිටිද්දී එක් දිනක් කාශ්‍යප සිතනවා, අද අපට මිනිසුන් දානය ගෙනෙන දවස. ශ්‍රමණයා ඇවිත් කුමක් හෝ ප්‍රාතිහාර්යයක් පෑවොත් මිනිසුන් උන්වහන්සේට පැහැදේවි. එනිසා අද වැඩියේ නැත්නම් හොඳ යි කියා සිතුවා. බුදුරජාණන් වහන්සේ ඒ සිත දැක උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය වැඩ අනෝතත්ත විල සමීපයේ විවේක ව වැඩ සිටිද්දී දිවැසින් දුටුවා බොහෝ කල් බුදු දහම පවතින්නේ ලංකා ධරණි තලයේ බව. ඒ වන විට ලංකා ධරණි තලයේ විශාල යක්ෂ බලයක් ක්‍රියාත්මක වුනා. ඒ යක්ෂ බලය ඉවත් කර බුද්ධානුභාවය පිහිට වූයේ නැතිනම් ඉදිරියේ දී ධරණි තලයේ බුද්ධ ශාසනය පිහිට වන්නට බාධා පැමිණෙනවා. මේ වන විට පින් ඇති දෙවියන්ගේ පින මෝරා තිබෙනවා. උන්වහන්සේ දුරුතු පුන් පොහෝ දා මහියංගණයට වැඩම කරනවා.
මහියංගණ ස්තූපය ඉදිවීම
එදා මහා යක්ෂ සමාජයක් එකට එකතු වෙලා සිටියා. තථාගතයන් වහන්සේ ආකාශයේ සිට තද ඝන අන්ධකාරයක් මැවුවා. ඒ අන්ධකාරයට යක්ෂයෝ බය වුනා. ඒ අය ඍද්‍ධියෙන් තම තමන්ගේ ආලෝක පතුරවන්නට බැලුවත් නොහැකි වුනා. ඒ අන්ධකාරය මැදින් භාග්‍යවතුන් වහන්සේ රශ්මි දහරා විහිදුවමින් ආකාශයේ වැඩ සිටියා. දැන් සියලු දෙනාට පෙනෙන්නේ උන් වහන්සේ පමණයි. කෑ ගසා කියනවා “අපට අභය දෙන්න, අපට අභය දෙන්න” කියා. එවිට උන්වහන්සේ වදාළා ඔබලාට අභය දෙන්නම් මට අසුන් ගන්න තැනක් දෙන්න කියා. “ස්වාමීනි මෙතැන වැඩ සිටින සේක්වා යි” ආරාධනා කළා. භාග්‍යවතුන් වහන්සේගේ ආකාශයේ සිට පත්කඩය වැඩම කර බිම ඇතිරුවා. උන් වහන්සේ පත්කඩයේ වැඩ සිටියා. මුලින් ම තථාගතයන් වහන්සේ බුද්ධ භූමිය කරගත්තේ මහියංගණය බිමයි. හරියට ම අද චෛත්‍යය ගොඩනැඟුන තැනයි වැඩ සිටියේ. උන්වහන්සේ එතැන වැඩ සිටිමින් තමන්ගේ ආනුභාවය ටික ටික පතුරුවා. එසේ පතුරන විට ගිනි ජාලාවක් ලෙස එය පැතිරි ගියා. යක්ෂයන් බියෙන් පිටු පසට, පිටුපසට ගියා. කෙතරම් ගියා ද කියතත් සියලු දෙනා මුහුද ආසන්නයේ නැවතුණා.
ලංකා ධරණි තලයට පෙනෙන්නේ වත් නැති කිට්ටු වත් නැති කඳු තිබෙන දිවයිනක් තිබුණා “ගිරී” කියා. භාග්‍යවතුන් වහන්සේ ඍද්‍ධියෙන් අර යක්ෂයන්ට පේන්න ඒ දූපත ඉදිරියට ගෙනාවා. ලංකාව වටේ සිටි යක්ෂයන්ට ඉදිරියේ පෙනෙන ඒ දිවයිනට ගියා. ඒ සියලු දෙනා සමඟ භාග්‍යවතුන් වහන්සේ නැවතත් ඍද්‍ධියෙන් ඒ දිවයින තිබූ තැන ම තැබුවා. උන් වහන්සේට මෙවැනි ආනුභාවයන් තිබෙනවා. දුරුතු පුන් පෝදා මුළු ලංකාවේ ම බුද්ධ ආනුභාවය පැතිරී ගියා. දෙවිවරු ආකාශයේ බැබළී-බැබළී සාදුකාර දෙමින් මල්වරුසා වැස්සුවා. ඒ දෙවියන් අතර බැබළී-බැබළී සමන් මලක් වන් සුමන සමන් දෙවියන් සිටියා. තථාගතයන් වහන්සේ සුමන සමන් දෙවියා ඉලක්ක කර ගනිමින් දෙවියන්ට දහම් දෙසුවා. අසූ හාරදාහක් දෙවිවරු මහියංගණ සෑ මළුවේ දී ධර්මය අවබෝධ කළා. මහියංගණ චෛත්‍යයේ ඒ ආනුභාවය අදටත් තිබෙනවා. සැදැහැ සිත් ඇත්තන්ට ඒ ආනුභාවය දකින්න පුළුවන්. හුදකලාවේ ආකාශයට එස වූ තේජාන්විත ආනුභාවය පැතිරෙන සෑයක් තමා මහියංගණය චෛත්‍යය කියන්නේ. ලංකාවේ ප්‍රථම වරට බුද්ධානුභාවය පැතිරුණු තැනයි ඒ.
සුමන සමන් දෙවියා සෝතාපන්න වුනා. දෙවියා කියනවා “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වැඩිය පසු අප වඳින්නේ පුදන්නේ කාට ද?” බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් කේශ ධාතු අහුරක් ගෙන සුමන සමන් දෙවියන්ට දෙනවා. රත්තරං සළුවකින් එය පිළිගන්නවා. රන් සළුවේ කේශ ධාතූන්ගේ රැස් විහිදෙනවා. ශාසන ඉතිහාසයේ බුදුරජාණන් වහන්සේ කේශ ධාතුන් වහන්සේ දුන් අවස්ථා දෙකයි. තපස්සු භල්ලික වෙළෙඳ දෙබෑයන්ටත්, සුමන සමන් දෙවි රජුන්ටත්.
සුමන සමන් දෙවියන් තථාගතයන් වහන්සේ වැඩ සිටිය ස්ථානයේ ම ඒ කේශ ධාතු තැන්පත්කරු පරම පූජනීය ශාස්තෘන් වහන්සේ වැඩහුන් තැන තවත් කෙනෙකුට නො පෑගේවායි සිතා එතැන රියන් හතක් උස ඉන්‍ද්‍රනීල මාණික්‍යයෙන් සෑයක් මවා කේශ ධාතු එහි තැන්පත් කළා. තථාගතයන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිද්දී ඉදි වූ හතරවන සෑය මහියංගණ සෑ රජුන්. ඒ සෑ රජාණන් වහන්සේ දෙවියන්ගෙන්, බ්‍රහ්මයන්ගෙන්, මිනිසුන්ගෙන්, නාගයන්ගෙන් වැඳුම් පිදුම් ලබනවා.
ග්‍රීවා ධාතුන් වහන්සේ
තථාගත පරිනිර්වාණයෙන් පසුව ඒ සෑයේ තව ධාතුන් වහන්සේ නමක් නිදන් වුනා. ඒ පිටකොන්දේ අවසාන කශේරුකා වන ග්‍රීවා ධාතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේගේ දැල්වෙන චිතකයෙන් ග්‍රීවා ධාතුන් වහන්සේ වඩම්මවා සරභූ මහරහතන් වහන්සේ පන්සියයක් රහතන් වහන්සේ සමඟ මහියංගණ සෑයට වැඩමකර ඉන්‍ද්‍රනීල මාණික්‍ය සෑය තමන්ගේ ශ්‍රී හස්තයෙන් ඔසවා කේශ ධාතුන් සමීපයේ ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කර රියන් දහතුනක් උසට මේධ වර්ණ පාෂාණයේ සෑයක් මැවුවා. සෑයක් වටකොට සෑයක් හැදීමට කියනවා කඤ්චුක සෑය කියලා. පැරණි පොත්පත් වල ඒ බව මෙසේ සඳහන් වෙනවා.
බෝධිතෝ නවමේ මාසේ- ලංකං පඨම මාගතෝ
බුද්ධෝ සුමන දේවස්ස - කේසධාතුවරං අදා
බුද්ධත්වයට පත්වෙලා අපේ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් සුමන සමන් දෙවියන්ට දුන්නා.
නිදභිත්ථාන තං දේවෝ - සත්තරතන මුච්චකං
ඉන්දනීලමණිමයං - ථූපං සද්ධාය කාරයි
ඒ දෙවිරජ සත්රුවන් සහිතව කේශ ධාතුන් වහන්සේලා නිදන් කොට සත් රියන් ඉඳුනිල් මිණි සෑයක් සැදැහැයෙන් කර වූයේ ය.
ගීවට්ඨිධාතුං බුද්ධස්ස - ආනෙත්වා ජම්බුදීපතෝ
නිධාය සරභුත්ථේරෝ - මේදවණ්ණ සීලායතං
සරභූ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ දඹදිව සිට රැගෙන විත් මේ උතුම් සෑයේ නිදන් කොට මේධ වර්ණ පාෂාණයෙන් තවත් කඤ්චුක සෑයක් කර වූයේ ය.
කාරේසි ද්වාදසහත්ථ – මුච්චකං චේතියං තහිං
දේවානම්පියතිස්සස්ස - රඤ්ඤාභාතු කුමාරකෝ
එහි කළ ඒ සෑය දොළොස් රියන් වූයේ ය. එහි ම කාලයක් ගිය පසු දෙවියන්ට ප්‍රිය වූ දේවානම්පියතිස්ස රජුගේ සහෝදර චූලාභය කුමරු සෑයක් කරවීය.
උද්ධ චූළාභයෝ තිංස - හත්ථුච්චක මකාසිතං
දුට්ඨගාමිණි භුමින්දෝ - සාසනෝදය කාමකෝ
චූලාභය කුමරු කළ ඒ සෑය තිස් රියන් උස කඤ්චුක සෑයයි. සසුන් වැඩ කැමැති දුටුගැමුණු රජතුමා ද එහි ම සෑයක් කරවීය.
අසීතිරතනුබ්බේධං - තස්ස කඤ්චුක චේතියං
කාරෙසිතං නමස්සාමි –මහියංගණ සුවිස්සුතං
දුටුගැමුණු රජු විසින් කරන ලද ඒ කඤ්චුක සෑය අසූ රියන් උස වූයේ ය. මහියංගණය නමින් ප්‍රකට ඒ උතුම් සෑය මම වන්දනා කරමි.
ලංකාය යත්ථ පඨමං සුගතෝ නිසජ්ජ
යක්ඛේ දමේසි නිජ සාසන පාලනාය
ඨානෙ තහිං නහිත කුන්තල ගීවධාතුං
වන්දාමි සාධු මහියංගණ ථූපරාජං
සුගතයන් වහන්සේ ස්වකීය ශාසනය ආරක්ෂා වනු පිණිස පළමුවෙන් ලක්දිවට වැඩ යම් තැනක වැඩහිඳ යකුන් දමනය කළ සේක් ද, ඒ උතුම් ස්ථානයේ කේශ ධාතුන් වහන්සේ හා ග්‍රීවා ධාතුන් වහන්සේ නිදන් කොට කරවන ලද මහියංගණ සෑ රජුන් වන්දනා කරමි.
මේ ආකාරයට අපටත් ඒ ගුණ සිහිකරමින් සෑයන් වඳින්න ඇත්නම් කෙතරම් පිනක් රැස්වෙනවා ද? ඔබ ආනුභාව සම්පන්න සෑයන් වන්දනා කරන විට පිනට හානිකර ගන්න එපා. ඒ වගේ ම ජීවමාන ස්තූප හතරට ම එකවර මෙසේ වන්දනා කරන්න.
සම්බුද්ධේ ධරමානම්භි – ථූපා ඒතේ පතිට්ඨිතා
කේස දුස්සෙභි ධාතුහි – චත්තාරෝ තේ නමාමහං
බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ ම කරන ලද කේශ ධාතු සෑ දෙනමත් (ගිරිහඬු සෑය සහ මහියංගණ සෑය) සළුමිණි සෑයත්, සිළුමිණ සෑයත් යන සතර ස්තූපයෝ මම ආදරයෙන් වන්දනා කරමි.
සෑ වන්දනාවෙන් ඔබට අනන්ත පින් රැස්වෙනවා. සෑ වන්දනාවෙන් පසුව මගෙන් දෝසයක් වුණි නම් සමාවන්න කියා ඔබ සමාව ගන්න. හිතේ රැඳුණ පින සසරට එකතු වෙනවා. මේ සෑ රජාණන් වහන්සේ සැදැහැ සිතින් වන්දනා කරන්නට ඔබ අධිෂ්ඨානයක් ඇතිකර ගන්න.
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2559ක් වූ ඉල් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015ක් වූ නොවැම්බර් 19 වන දා බ්‍රහස්පතින්දා දින බුදුසරණ පත්‍රයේ පල වූ ලිපියක් ඇසුරිණි.

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment