සසර දිගයි ... දිවිය කෙටියි ...

අනමතග්ගොයං භික්‍ඛවෙ, සංසාරො, පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්‍ධාවතං සංසරතං.
අනමතග්ගසංයුත්තය
“මහණෙනි, මේ සසර ප්‍රමාණ කළ නො හැක, එහෙයින් අවිද්‍යාවෙන් වැසී තණ්හාවෙන් බැඳී දුවන සැරිසරන සත්වයන්ගේ පූර්ව කෙළවර දැක්විය නො හැක.”
සත්වයන්ගේ ජීවිත කාලයේ ඇති අල්ප බව වැටහෙනු යේ ඔවුන් කළ හා නොකළ දෑ පිළිබඳ සිතන විට ය. සත්වයා මුළු දිවිය ම ඔහුගේ බලාපොරොත්තු මුදුන් පමුණුවා ගැනීම සඳහා වෙහෙස වේ. නමුත් ඒ බලාපොරොත්තු ඉටු වීම සිහිනයක් බඳු ය. මෙලොව එළිය දකින කුඩා දරුවා එතැන් පටන් ඔහුගේ පැවැත්ම පිණිස ක්‍රියා වලියක යෙදෙයි. එය යුතුකම්, වගකීම හා නොයෙක් අවශ්‍යතා වලින් පොහොසත් ය. ඒ සඳහා හේ විශාල තරගයක නියැළේ. ඉන් දිනන්නෝ ද ඇත. පරදින්නෝ ද ඇත. නමුත් ඒ බව ඔවුහු නො දනිති. වගකීම්, යුතුකම් හා බලාපොරොත්තු ඉතිරි ව තිබිය දී හෙතෙම මිය යයි. සැබෑ ලෙස ම ජීවිතයෙන් තෘප්තිමත් ව සැහැල්ලුවෙන් සමුගැනීම හැකිවනුයේ කීයෙන් කීදෙනෙකුට පමණ ද? කෙනෙක් දුක්ඛිත ව දුක සේ ජීවත් ව වික්‍ෂිප්ත ව මිය පරලොව යති. තවත් අයෙක් සුඛිත ව සුව සේ ජීවත් ව අතෘප්තිමත් ව මිය පරලොව යති. මෙය අන්ත දෙකක් ලෙස බුදු දහමේ බැහැර කෙරෙයි.
සත්වයා කොතෙක් සැප සම්පත් වින්ඳනය කළ ද ඉන් කිසි දිනක තෘප්තිමත් නොවන බව මහා මන්ධාතු ජාතකයේ එයි. පෙර මහාමන්ධාතු නම් රජ කෙනෙක් විය. ඒ රජ හට සප්ත රත්නයන් පහළ විය. මුළු පොළොව ම තම ආඥාවෙන් පාලනය කළහ. ඒ රජුගේ පුණ්‍ය මහිමය කෙසේ ද යත් වමත හකුළුවා දකුණතින් අත්පොලොසන් ගසනා විට සත්රුවන් වැසි වසින්නේ ය. රජුගේ ආයුෂ කෙසේ ද යත් ළමා කාලය අවුරුදු 84 000 කි. එපමණ ම කල් යුවරජ තනතුර දැරී ය. එපමණ ම කල් චක්‍රවර්ති ව රජය කරවිය.
නමුත් ඒ රාජ සම්පත් වලින් තෘප්තිමත් නොවූ රජ ඊට වඩා සම්පත් ඇති තැනක් විචාළේ ය. අමාත්‍යයෝ ඒ බව අසා 'මීට වඩා චාතුම්මහාරාජික දෙව් ලොව සැප සම්පත් ඇත.' යැයි පැවසූහ. එවිට රජු යහපතැ’යි කියා චක්‍රරත්නයට පැන් ඉස නැගී අමාත්‍ය මණ්ඩලය පිරිවරා වාතුම්මහාරාජකයට ගියහ.
රජු එහි කලක් වාසය කොට ඒ සම්පත් වලින් ද තෘප්තියක් නොවීය. රජු මීට වඩා සැප සම්පත් ඇති තැනක් සතර වරම් රජවරුන් ගෙන් විමසීය. ශක්‍ර දේවේන්‍ද්‍රයන් වසන තව්තිසා දිව්‍යලෝකයෙහි සම්පත්තීන් හා පංචකාමයන් වැඩියයි කීහ. මහාමන්ධාතු රජු ඒ අසා චක්‍රරත්නයෙහි පැන් ඉස සප්තරත්නය සමග තව්තිසා දිව්‍ය ලෝකයට ගියහ. එහි ශක්‍රයා සමග තව්තිසාව දෙකට බෙදා පාලනය කළේ ය. එහි ශක්‍රයන් 36 දෙනෙකුගේ ආයුෂ යනතුරු එහි සැප සම්පත් අනුභව කළහ. නමුත් රජුගේ තෘෂ්ණාව නිම නොවීය. ශක්‍රයා මරා තනි ව දිව්‍ය සැප සම්පත් විඳීමට සිත් විය. ඒ ක්‍ෂණයෙහි ම කයත් වයෝවෘද්ධ ව දිව්‍යාත්මභාවය නැති වී මනුෂ්‍යාත්මභාවය පහළ විය. එවිට මහාමන්ධාතු රජු දිව්‍යලෝකයෙන් බැස තමන්ගේ මඟුල් උයනට බැසීය. රජු අවසන් වර මෙසේ ප්‍රකාශ කළහ. “මහාමන්ධාතු රජු මේ මහ පොළොවේ සක්විති රාජ්‍ය කර, දීර්ඝ කාලයක් වාතුම්හාරාජිකයේ ද රාජ්‍ය කර, ශක්‍රයන් 36 දෙනෙකුගේ ආයුෂ දෙව් ලොව වළඳා තෘෂ්ණාවේ තෘප්තියකට නො පැමිණ මිය ගියේ ය.” යනුවෙනි.
මෙමගින් දැක්වෙනුයේ කොතරම් දේ ලැබූ ව ද ආසාවේ තෘප්තිමත් වීමක් නොමැති බවයි. හාත්පස දස දිසාවේ ම රුවන් වැසි වස්ස ද සත්වයන්ට කාමයන්ගේ තෘප්තියට පත්වීමක් නැත. සත්වයෝ තෘප්තියට පත් නොවී ම මිය පරලොව යන්නාහ. එබැවින් කාමයෝ වෘක්‍ෂ ඵල වලට, මස් පිඬු වලට, සිහිනයක් මෙන්, ඉල්ලා ගත් දෙයක් ලෙස, ආයුධ ලෙස, රෝගයක් ලෙස දක්වා ඇත. මේ කාමයෝ දුක පිණිස ම පවතියි.
එක් කල්පයක සසර සැරිසරන සත්වයකු විසින් හැඬූ කඳුළු මහා සාගරයේ ජලයට වඩා අධික වන්නේ ය. බී මව් කිරි ද වැගිර ගිය රුධිරය ද මහා සාගරයේ ජලයට වඩා අධික වන්නේ ය. එසේම එක් කල්පයක් තුළ සත්වයෙක් උපන් ආත්ම වල ශරීරයේ ඇට කටු ප්‍රමාණය වේපුල්ල නම් පර්වතයට වඩා වැඩි ය. දඹදිව ඇති සියළු ම ලී දඬු කපා එක් ගොඩක් ගසා ඒ දඬු අඟල් 4 බැගින් වන ලෙස කපා ඒ එක් එක් කැබැල්ල ගෙන “මේ මගේ මව ය. මේ මවගේ මව ය.” ලෙස තැබූ ව ද මව් පස පරම්පරාව කෙළවර නොවන්නේ ය. දඹදිව මුළු පොළොව ම ඩෙබර ගෙඩි කොට ඒ එක් එක් ගුළියක් ගෙන “මේ මගේ පියා ය. මේ පියාගේ පියා ය.” ලෙස තැබූ ව ද පිය පස පරම්පරාව කෙළවර නොවන්නේ ය. සසර මෙපමණ දීර්ඝ වන්නේ ය.

වියගහ හෙවත් වියදණ්ඩ කියන්නේ ගොවියන් කුඹුරු සීසාන විට හරකුන් දෙදෙනකු එකට ගැට ගැසීමට උපයෝගී කර ගන්නා ලී දණ්ඩක්. මේ දණ්ඩ දෙපැත්තේ ම ගොනුන් ගැට ගැසීමට ලණුව දමන සිදුරු ඇත. මෙන්න මෙවැනි වියදණ්ඩක් ගඟක් දිගේ හෝ දොලක් දිගේ හෝ පාවී ගොස් මුහුදට වැටෙන්නේ ය. කණ කැස්බෑවෙක් මුහුදු පතුලේ සිටියි. ඌ අවුරුදු 100 කට වතාවක් දිය මතු පිටට පැමිණෙයි. ඒ කණ කැස්බෑවා යම් දිනක අහස බලයි ද එවිට වියසිදුර තුලින් අහස පෙනෙයි ද යන මේ ක්‍රියාවලිය සිදුවීම ඉතා කලාතුරකින් සිදු වන්නේ ය. මන්ද යත් වියදණ්ඩ පාවී මුහුදට පැමිණිය යුතු ය. එය ඉතා කලාතුරකින් සිදු වේ. කැස්බෑවා ද එම අවස්ථාවේ ම දිය මතු පිටට පැමිණිය යුතු ය. ඌට පෙනෙනුයේ එක් ඇසක් පමණි. පෙනෙන ඇසින් බැලිය යුතු ය. මේ උපමාවෙන් දැක්වෙනුයේ මිනිසත් බව ලැබීම ද මෙතරම් දුර්ලභ බවයි.
මේ පිළිබඳ විමසිලිමත් වීමේ දී පෙනෙනුයේ වර්තමානයේ ජනග්‍රහනය වැඩි වන බවත් මිනිසත් බව දුර්ලභ නොවන බවත් ය. නමුත් මිනිසත් බව යනු මනුෂ්‍යයෙකු වී ඉපදීම ම පමණක් නො වේ. මනුෂ්‍ය වුවත් ඇතමෙක් අංග විකල ය. ඇතමෙක් උන්මත්තක ය. අංග විකලයන් කායික රෝගීන් ය. උන්මත්තකයෝ මානසික රෝගීන් ය. ඇතමෙක් අන්ධ වී බිහිරි වී අංග විකල ව දිවි ගෙවන්නේ ය. තවත් කෙනෙක් ඇස් කන් නාසාදිය විකල නොවූ ව ද වැරදි ක්‍රමෝපායන් වල නිරත ව නොයෙක් අදහස් වලින් යුත්ත ව දිවි ගෙවන්නේ ය. මොවුහු කයින් මනුෂ්‍යයන් වුවත් සිතින් මනුෂ්‍යයන් නො වේ. එබැවින් ඔවුහු හට මනුසත්බව නම් දුර්ලභ නොවේ ම ය.
එබැවින් සුදුසු ප්‍රදේශයක වාසය කිරීම, පෙර කළ පිං ඇති බව, ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා සුත ආදී ගුණයන්හි පිහිටීම යන කරුණු මංගල කරුණු ලෙස දක්වා ඇත. සුදුසු ප්‍රදේශය යනු බුද්ධාදී ආර්යයන් වෙසෙන ප්‍රදේශයයි. එනම් කල්‍යාණ මිත්‍රයා ය. කල්‍යාණ මිත්‍රයා ඇසුරු කිරීමෙන් සද්ධර්මය අසන්නට ලැබේ. එමගින් නුවණින් යමක් සලකා බැලීමට හැකි වේ. එය යෝනිසෝමනසිකාරයයි. ඉන් වැරැද්ද දැක නිවැරදි මග අනුගමනය කළ හැක. එය ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. මෙම කරුණු 4 සෝතාපන්න අංග ලෙස හැදින්වේ.
එබැවින් නැණවතා විසින් ලැබූ මිනිසත් බව දුර්ලභ කර ගැනීමට වෙහෙස විය යුතු ය.

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment