අතිශය දුලබ බුදුඋපත


“මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වව්. ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභ ය. මිනිසත් බව ලැබීම දුර්ලභ ය. ක්‍ෂණ සම්පත්තිය දුර්ලභ ය. ප්‍රව්‍රජ්ජාව දුර්ලභ ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය.” බුදු හිමියන් එසේ දේශනා කළ අවවාදයෙහි පිහිටා ධර්මයෙන් ලැබිය හැකි ප්‍රයෝජනය අප නොඅඩු ව ලබාගත යුතු ය. එය මෙලොවටත්, පරලොවටත්, සැප පිණිස වන්නේ ය.
ලොවෙහි බොහෝ දෙනකු දුර්ලභ ව ලැබිය හැකි දේ වශයෙන් සිතා සිටින්නේ භෞතික සම්පත්, එනම් එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන ඉඩකඩම්, ගේදොර, යානවාහන ආදි දේ ය. විඳිනවා යනුවෙන් සිදු කරන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීමයි. ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්‍ධ,රස, ස්පර්ශ තුළින් නිරන්තරයෙන් සුඛ හෝ දුක්ඛ ලබනු ඇත. එසේ නම් මෙම පංචේන්‍ද්‍රියන්ට ගැටෙන අරමුණු සඳහා අවශ්‍ය වන්නේ අප වඩාත් පිනවීමට, සතුටට පත්කරවන දේ යැයි පෘථග්ජන පුද්ගලයාට වැටහී යනු ඇත.
එසේ වුව ද බුදු ඇසින් බලන කල භෞතික සම්පත් වලට එහා ගිය දුර්ලභ ව ලැබිය හැකි කරුණු කිහිපයක් පිළිබඳ ව සඳහන් වේ. ඒවා අද සමාජයේ ඇතැම් පුද්ගලයන් එතරම් ගණන් නොගත්ත ද එහි ගැඹුරු බව බුදු ඇසින් ම දැක දේශනා කොට වදාළ සේක. දුර්ලභ ව ලැබෙන එබඳු වටිනා දේ ගැන නොතකන කාම භෝගි සත්වයා සසරින් නොමිදී තව තවත් දුක මත ම ජීවත් වන්නේ මුළාව නිසාය.
ඒ අනුව, බුදු හිමියන් දේශනා කළ එම කරුණු පිළිබඳ ව අවධානය යොමු කිරීම අද සමාජයට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.
“භික්ඛවේ අප්පමාදෙන සම්පාදෙථ
දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං
දුල්ලභො මනුස්සත්ත පටිලාභො
දුල්ලභා ඛණසම්පත්ති
දුල්ලභා පබ්බජ්ජා
දුල්ලභං සද්ධම්ම සවණං”
“මහණෙනි, අප්‍රමාදයෙන් යුක්ත වව්. ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභ ය. මිනිසත් බව ලැබීම දුර්ලභ ය. ක්‍ෂණ සම්පත්තිය දුර්ලභ ය. ප්‍රව්‍රජ්ජාව දුර්ලභ ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය.”
බුදු හිමියන්ගේ දේශනය අනුව, කරුණු 5 ක් දුර්ලභ ව ලැබිය යුතු බව පැහැදිලි වේ. පළමු වැනි කරුණ වන්නේ බුදු උපතයි. බුදු උපතක් යනු අතිශය දුලබ සිදුවීමකි.
“කිච්ඡො බුද්ධානං උප්පාදො” (ධම්ම පදය- බුද්ධ වග්ගය)
“කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ” (ලෝ වැඩ සඟරාව - 19)
මේ ආදි වශයෙන් ධම්ම පදය හා ලෝවැඩ සඟරාව තුළ ඒ බව පැහැදිලි වේ. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ දස පාරමිතා, දස උපපාරමිතා හා දස පරමත්ත පාරමිතා සම්පූර්ණ කරගත් මහබෝසත් උතුමෙක් ම බුද්ධත්වය ලබන්නේ ය. එම පරිත්‍යාගය සාමාන්‍ය කෙනකුට කළ නොහැකි ය. සාගරය පරදා රුධිරය ද මහ පොළොව පරදා මස් ද, අහසේ තරු පරදා ඇස් ද මහ මේරුව පරදා හිස් ද දන් දී එතැනින් නොනැවතී තමන් සතු අඹුදරුවන් හා සියලු භෞතික සම්පත් ද දන් දීම බුදු බව පතන උතුමන්ගේ ලක්‍ෂණයයි. මොන තරම් සසර එම පාරමිතා සම්පූර්ණ කළේ ද යන්න මහා ඓශ්චර්‍යමත් කරුණකි. එබැවින් බුදුවරයෙකුගේ චරිතය තුළ ඇති ගුණ කදම්භය දැන හඳුනාගෙන ඒවා අපගේ ජීවිතවලට ද සම්බන්ධ කොට ගෙන ජීවිතය යහපත් කර ගැනීම වටින්නේ ය.
දෙවැනි දුර්ලභ කරුණ ලෙස බුදු හිමි පෙන්වා වදාළේ මිනිසත් බව ලැබීමයි. එය ද බොහෝ කාලයකින් සිදුවන්නකි.
“කිච්ඡො මනුස්ස පටිලාභෝ” (ධම්මපදය – බුද්ධ වග්ගය)
“දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ” (ලෝවැඩ සඟරාව – 19)
බුදුරජාණන් වහන්සේ, මිනිසත් බව ලැබුම දුර්ලභ බව මැදුම් සඟියේ බාල පණ්ඩිත සූත්‍රය තුළින් සවිස්තරාත්මක ව දේශනා කළ සේක. මිනිසත් බව දුර්ලභ වන්නේ සත්වයා කල්ප ගණන් අපායන්හි දුක් විඳින බැවිනි. ඒ බව මෙලෙස දේශනා කළ සේක.
“මහණෙනි, පුරුෂයෙක් එක් සිදුරක් ඇති විය දඬු කඩක් මහ මුහුදට දමන්නේ ය. සමුද්‍රගත වූ විය දඬුව නැගෙනහිරින් එන සුළඟින් බස්නාහිරට ගෙන යයි. බස්නාහිරින් එන සුළඟින් නැඟෙනහිරට ගෙන යයි. උතුරෙන් එන සුළඟින් දකුණට ගෙන යයි. දකුණින් එන සුළඟින් උතුරට ගෙන යයි. සමුද්‍රයෙහි වෙසෙන කණ කැස්බෑවෙක් ද වර්ෂ සියයකට වරක් මුහුදු දිය මතු පිටට පැමිණ අහසට හිස දිගු කරයි. මහණෙනි කිමෙක් ද? ඒ කණ කැස්බෑවාගේ හිස විය දඬු සිදුරට සමීප වී කැස්බෑවාට පෙනීම ඇති එක් ඇසෙන් අහස දැකිය හැකිවේ ද?”
මෙසේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගෙන් විචාළ සේක. එකල්හි භික්‍ෂූහු, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස දීර්ඝ කාලයක් ගත වන කල්හි එය සිදුවන්නට ද ඉඩ තිබේ යැයි සැල කළෝ ය. එකල භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක් “මහණෙනි, කණ කැස්බෑවාගේ හිස ඉක්මනින් විය සිදුරට ඇතුළු වන්නේ ය. පව්කම් කොට වරක් අපායට ගිය බාලයා හට මිනිස් ලොවට පැමිණීම එයට වඩා දුර්ලභ වන්නේ ය” මිනිසත් බවෙහි දුර්ලභත්වය එයින් ම පැහැදිලි වේ.
“දුල්ලභං ච මනුස්සත්තං” යනුවෙන් ද එය පැහැදිලි වේ. මිනිසකු පමණකි බුදුවන්නේ. එසේ ම දෙවි වන්නේ ද ප්‍රේත, භූත වන්නේ ද තමන් රැස්කළ කුසලාකුසල කර්ම අනුව ය. එබැවින් මිනිස් භවය සියල්ල තීරණය කළ හැකි මධ්‍යස්ථානයයි. උසස් මනැසක් ඇත්තේ මිනිසාට ය. එබැවින් හැකිතාක් දුරට පින් දහම් කළ යුතු වන්නේ ය. එතැනින් නොනැවතී ජාති ජරා දුක්වලින් එතෙර ව ලැබිය හැකි උතුම් සුවය ලැබීමට ද අද අද ම වෙහෙසිය යුතු ය. ඒ බවට වටහා ගැනීමට හැකි ශක්තියක් මිනිසාට ඇති බැවින් “අද අද එයි මරු පින්කර ගන්නේ” යි කී ආකාරයට මාරයාගෙන් ගැලවීමට උත්සාහ කළ යුතු ය.
තෙවැනි දුර්ලභ කාරණය වන්නේ ක්ෂණ සම්පත්තිය ලැබීමයි. ක්ෂණ යනු පින් කිරීමට දුෂ්කර අවස්ථා අටෙන් අනන්‍ය වූ අවස්ථාවට ය. පින් කිරීමට දුෂ්කර අවස්ථා අට මෙසේයි.
1. නරකයට වැටී සිටින කාලය
2. තිරිසන්ව සිටින කාලය
3. ප්‍රේත ව සිටින කාලය
4. සිත නැති, කය පමණක් ඇති අසංඥභාවයට පැමිණ සිටින කාලය
5. බුදුවරයන්, බුද්ධශ්‍රාවකයන් නොවඩින ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ඉපිද සිටින කාලය
6. මිථ්‍යා දෘෂ්ටිය ගෙන සිටින කාලය
7. හොඳ, නරක තේරුම් ගත නොහැකි මෝඩයකු වී සිටින කාලය
8. අබුද්ධෝත්පාද කාලය
මේ අවස්ථා අට ම පින් කිරීමට අපහසු කාලයන් ය. ඒ අවස්ථා අට මග හැරුණ ඇසිල්ලක් බඳු කාලය ඉතා වටනේ ය. එබැවින් ලද අවස්ථාවෙන් පින් කර ගත යුතු ය. ‘පුඤ්ඤං තෙ පුරිසො කයිරා...” යනාදී ගාථාවෙන් සඳහන් පරිදි, දැන් පින් කළා ඇතැයි නොසිතා නැවත නැවත පින් කරගත යුතු ය.
සිව්වැනි දුර්ලභ කාරණය වන්නේ ප්‍රව්‍රජ්ජාව ලැබීමයි. බුදුසසුනෙහි පැවිද්ද ලැබිය හැක්කේ බුද්ධෝත්පාද කාලයක මිනිසත් බව ලැබීමෙන් පමණකි. පැවිදි වීම ද හැම කෙනකුට ම සිදු කළ නොහැකි ය. පැවිද්දට සිත අවදි වන්නේ සසර පිළිබඳ අවබෝධයක් ඇති, එසේ ම සසරින් මිදීමට අවශ්‍ය බව හැඟෙන කෙනකුට පමණි. බොහෝ දෙනෙක් රාගයෙන් රත් ව ද්වේෂයෙන් දූෂිත ව මෝහයෙන් මුළාව කල් ගෙවති. එවැනි සමාජයක කෙනෙකු පැවිදි වනවා යනු ඉතා වටිනා දුර්ලභ කරුණක් වන්නේ ය.
පස්වැනි දුර්ලභ ව ලැබිය හැකි කාරණය වන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීමයි. “සද්ධම්මො පරම දුල්ලභො” යනුවෙන් දේශනා කළේ එබැවිනි. එයට හේතුව වන්නේ ධර්මයක් අසන්නට ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයක ම මිස අන් කාලයක නොවන බැවිනි. මිනිසකු වූ පමණින් ධර්මය අසන්නට නො ලැබේ. අද වුව ද ඇමර්සන් වැනි වනාන්තරවල ගෝත්‍රික ව වසන්නන්ට හෝ එවැනි සමාජයන්ට සමාන ආකාරයෙන් ජීවත් වන අයට ධර්මය අසන්නට භාග්‍යයක් නැති බව පෙනේ.
දහම් සොඬ කතා පුවත තුළින් පැහැදිලි වන්නේ ධර්මය අසන්නට නොලැබී, බෝසතුන් ජීවිතය හෝ දී ධර්මය අසනු වස් රාක්ෂයෙකුගේ කටට පනින්නට කටයුතු කළ ආකාරයයි. ධර්මය අසන්නට ලැබුණත් එය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් හා අවබෝධයෙන් අසන්නේ සීමිත පිරිසකි. ධර්මයෙන් ප්‍රයෝජන ගන්නේ ඉතා සීමිත පිරිසකි. ධර්මයෙන් සිදු කරන තරම් යහපතක් මවට හෝ පියාටවත් කළ නොහැකි ය. “ධම්මං විනා නත්‍ථි පිතාච මාතා” යන්නෙන් ඒ බව පැහැදිලි වේ.
මේ ආදි වශයෙන් ඉහතින් සඳහන් කළ කරුණු පසම දුර්ලභව ලැබිය හැකි දේය. ඒ පිළිබඳ අප දැඩි අවධානයකින් පසුවිය යුතු ය. එයට හේතුව දුල්ලභ ව ලැබිය හැකි මිනිසත් බවක් අප ලබා සිටීමයි. නැවත කවදා එය ලැබේ දැයි යනු අවිශ්වාසය. ඒ නිසා ලද මිනිසත් බවෙන් උපරිම ඵල නෙළා ගත යුතු ය.
අප්පකා තෙ මනුස්සෙසු – යෙ ජනා පාරගාමිනො
අථායං ඉතරා පජා – තීරමෙවානුධාවති
යෙච ඛො සම්ම දක්ඛාතෙ – ධම්මෙ ධම්මානුවත්තිනො
තෙ ජනා පාරමෙස්සන්ති – මච්චු ධෙය්‍යං සුදුත්තරං
(ධම්ම පදය - පණ්ඩිත වග්ගය)
“මිනිසුන් අතුරෙන් නිවන් පරතෙරට යන්නෝ ඉතා ස්වල්ප දෙනෙක් වෙති. ඉතිරි වූ අනෙක් සත්ව සමූහයා මෙගොඩ ම ඔබ මොබ දුවන්නෝ ය. යම් කෙනෙක් මනා කොට දේශනා කරන ලද ධර්මයට අනුව හැසිරෙත් ද ඔවුහු ඉතා අමාරුවෙන් තරණය කළ යුතු වූ සසර සයුරින් පරතෙරට පැමිණෙන්නෝ ය.”
ධම්ම පදයේ ඉහත සඳහන් පණ්ඩිත වග්ගයේ ගාථා යුගලය තුළින් ද සද්ධර්මයේ ඇති වටිනාකම අවබෝධ වේ. එබැවින් අද අද ම අප ධර්මයෙන් ලැබිය හැකි ප්‍රයෝජනය නොඅඩු ව ලබාගත යුතු ය. එය මෙලොවටත්, පරලොවටත්, සැප පිණිස වන්නේ ය. එතැනින් නොනැවතී සසර දුකින් නිදහස් ව ලැබිය හැකි උතුම් නිවන් සැපත සඳහා ද වෙහෙසිය යුතු ය.
මාස්පොත, ශ්‍රී ගංගාරාම විහාරවාසී
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය

ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ වප් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ නොවැම්බර් 3 වනදා ඉරිදා දින බුදුසරණ පත්‍රයේ පල වූ ලිපියක් ඇසුරිණි.

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment