පවුලකට සිදු වූ විපත හා සැපත

පෙර ලක්දිව අරමක සිල්වත් භික්ෂූන් වහන්සේ කෙනෙක් විසූහ. උන්වහන්සේට සහෝදරයෙක් ද සහෝදරියක් ද සිටියාහ. භික්ෂූන් වහන්සේ ගේ මව්පියෝ දහමට ප්‍රිය කළ අය නො වූහ. කල්යෑමේ දී මව්පියෝ මහලු වී මළහ. දියණිය ද අසනීපයෙන් මළේ ය. ගෙදර ඉතිරි වූයේ එක් පුතෙක් පමණකි. හේ සතුන් දඩයම් කරමින් ජීවත් විය.
පියා මැරෙන මොහොතේ දී ඉඩකඩම් ආදියට ආසාව ඇති කර ගත් නිසා මිය ගොස් ඌරෙක් ව උපන්නේ ය. මව ගෙදර කෙරෙහි ආසාවෙන් මැරුණ නිසා ගැරඬියෙක් ව උපන්නා ය. දියණිය මැරෙන මොහොතේ දී පොකුණ කෙරෙහි ආසාව ඇතිකර ගත් නිසා මිය ගොස් ඒ අසල පොකුණක ගෙම්ඹියක් ව උපන්නාය.
දිනක් ගැරඬියා ගොදුරු සොයමින් යන අතර පොකුණ ළඟට අවුත් මීට පෙර ජාතියේ තමාගේ දියණිය වූ මැඬිදෙන අල්ලා ගෙන ගිල්ලේ ය. ඌරා ගොදුරු සොයා යන විට පෙර ජාතියේ තමාගේ භාර්‍ය්‍යාව වූ ගැරඬියා දැක අල්ලා ගෙන ගිල්ලේ ය. දඩයම් කිරීමට පුරුදු වී සිටි පුතා දඩයම සඳහා වනයට ගොස් පෙර ජාතියේ තමාගේ පියා වූ ඌරා මැරුවේ ය.
හේ ඌරා මස් කරනු සඳහා ගෙදරට ගෙනවිත් තබා තමාගේ මහණ වී සිටින සහෝදර අයියාටත් මස් දන් දෙනු කැමැති ව අරමට ගොස් භික්ෂූන් වහන්සේට ආරාධනා කළේ ය. ඒ භික්ෂූන් වහන්සේ රහත් නමක් වූ හෙයින් කුමන හේතුවක් නිසා ආරාධනා කරන්නේ දැයි දිවැසින් බලා යට කී සියලු කාරණා දැක මා ගෙදරට වඩිනා තෙක් ඌරා මස් කරන්න එපා යයි කියා මල්ලී ගෙදර පිටත් කර යවා පසු දා උන්වහන්සේ ගෙදරට වැඩි සේක.
ගෙදර වැඩි ඒ රහතන් වහන්සේ මල්ලීට කථා කොට මේ ඌරාගේ කුස තුළ ගැරඬියෙක් ඇත. ඒ ගැරඬියාගේ කුස තුළ මැඬිදෙනක් ඇතැයි කී සේක. මල්ලී ඒ ඌරාගේ කුස පලා ගැරඬියා සිටිනවා දැක ඒ ගැරඬියාගේ කුස තුළ මැඬියාත් සිටිනවා දැක රහතන් වහන්සේගේ කීමට පුදුම විය.
එවිට රහතන් වහන්සේ සහෝදරයාට කතා කොට මල්ලියේ මේ අය අන් කිසිවෙක් නොව, මිය ගිය අපගේ මවුපිය දෙදෙනාත්, නංගීත් යැයි කියා, තාත්තා පව් කොට ඉඩකඩම්වලට තණ්හාවෙන් ඌරකු ව උපන් බවත් අම්මා ගෙදරට ආසාවෙන් මිය ගොස් ගැරඬියකු වී උපන් බවත්, නංගී පොකුණට ආසාවෙන් මැඬිදෙනක වී උපන් බවත් හෙළි කළ සේක. මල්ලී එය අසා බලවත් සංවේගයට පැමිණ සසර කලකිරී මහණ වී වැඩ සාදා ගත්තේ ය.

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment