Friday, November 27, 2015

දීපංකරාදී බුදුවරුන්ගෙන් ලත් විවරණ

මාතුපෝසක කුමාරයා
මෙම මහා භද්‍ර කල්පයට විසි අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි දඹදිව ගන්ධාර පෙදෙසේ සිය මව රැක බලා ගනිමින් ජීවත් වූ එක් දිළිඳු තරුණයෙක් වනයේ දර කපා වෙහෙසට පත් ව, දිය කඳුරකින් පැන් බී, අසල නුග සෙවණේ සිට කල්පනා කරනුයේ “දැන් මා තරුණ හෙයින් දුක ඉවසිය හැක්කේය. වයසට ගිය කල, රෝගී වූ කල කෙසේ කළ හැකි ද? එහෙයින් මම ස්වර්ණ භූමියට ගොස් රුවන් සපයා ගෙනවිත් මවට උපස්ථාන කරමි” යි තීරණය කළේ ය. නැව් හිමි ගේ කරුණාව මත මව ද සමග නැව් නැග යමින් සිටියදී රුදුරු කුණාටුවකින් නැව ගිලෙන්නට විය. පිරිස මුහුද ගිලගනිද්දී මහා රළ අතර පිහිනන මොහුට මෑණියන් සිහිපත් විය. ඇය පාවෙන දඬු කඳක එල්ලී ගෙන සිටිනු දැක වහා සිය මව කර තබා ගත් තරුණයා පරතෙරක් නොපෙනෙන, ගොඩබිමක් නොපෙනෙන ගැඹුරු මහා සාගරයේ පීනන්නට වූයේ ය.
උපතින්ම සීලවන්ත වූ තරුණයා මව කර මත තබා පීනනුයේ වෙසක් පුණු පොහොය දිනක් වූ එදින අහස් දෙස බලා පුන් පොහොය දිනක් බැව් දැන සිල් ඉටා ගත්තේය.
රැයෙහි දැඩි ගනඳුර හා ශීතල ද දහවල් දැඩි හිරු රැසින් ද වෙළාගත් තරුණ තෙම සත් දිනක් සිත්පිත් නැති ජල කඳක් සමග පොර බදමින් පිහිනනුයේ සුද්ධාවාස වාසී අර්හන්ත බ්‍රහ්මයෙක් අවුරුදු ලක්‍ෂ ගණනකට පසු නිරෝධ සමවතින් නැගිට ලොව බලනුයේ බඹලෝ දෙව්ලෝ හිස් වූවා දැන මනුලොව බලනුයේ ඉතා දීර්‍ඝ කලකින් සම්මා සම්බුදුවරයෙක් පහලවී නැතිබව දැන කුමක් හෙයින් දැයි බලනුයේ බෝසත්වරයෝ පාරමි සපුරන බැව් දැක එතකුදු වුවත් මම ද සම්බුදු බව පිණිස කෙනෙකු යොමු කළ යුතු යැයි සිතා පුණ්‍යවන්තයකු පිරික්සනුයේ සත් දිනක් තෙරක් නොපෙනෙන මහ සයුරේ පිහිනන තරුණයා දැක “මෙවන් පුරුෂයන් තනිව නිවනට වැදීම නුසුදුසුය. ලෝකයා ද නිවන්පුර පමුණුවාලීමට මෙවැන්නන්ට හැර කාහට නම් හැකිවේදැ”යි මෙත්සිත් පතුරුවා ගොඩබිම සමීපකර සිටියේය.
මුහුදින් ගොඩවූ තරුණයාගේ හිස මෙත් කුලුණින් අතගෑ මෑණියෝ “ම පුත නුඹ මතු බුදු වෙම්වා”යි පැතූ පැතුමින් සම මස් නහර ඇට ඇටමිදුලු දක්වා කිඳාබසිනුයේ;
"බුඳ්‍ධොහං බොධයිස‍්සාමි, මුත්තොහං මෝචයේ පරෙ;
තිණ්ණොහං තාරයිස‍්සාමි, සංසරොඝා මහබ‍්භයා"
“මම බුදුව අනුනට ද සත්‍යය අවබෝධ කරවන්නෙමි. මම දුකින් මිදී අනුන් ද දුකින් මුදවන්නෙමි. මහත් බිය ගෙන දෙන සංසාර ඕඝයෙන් එතෙර වී අනුන් ද සසරෙන් එතෙර කරවන්නෙමි” යි අදිටන් කළහ.
බ්‍රහ්මදේව බුදුන් වහන්සේ
ඉන්පසු හෙතෙම මෙම මහාභද්‍රකල්පයට විසි අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර නන්‍ද නම් අසංඛ්‍යයෙහි ලෝ පහළ වූ බ්‍රහ්මදේව නම් බුදුන් දවස කාරකණ්ටක නම් නුවර අතිදේව නම් රජව ඉපිද රජ සැප වළඳනා කල්හි බුදුන් දුටු කෙනෙහි හටගත් ප්‍රීතියෙන් මත්ව මතු මහල් තලයෙන් බිමට බැස සුව සේ බුදුන් වෙත එළඹ විසිතුරු මහ පියුම් තුනක් හා නොයෙක් රුවනින් පූජා සත්කාර කොට පසඟ පිහිටුවා වැඳ ලොව්තුරා බුදුවෙම්වයි සිතින් පතා එතැන් පටන් මනෝප්‍රණිධිය (සිතින් බුදුබව පැතීම) පිරීමෙන් සප්තාසංඛ්‍යය ඇතුළත ලොව පහළ වූ එක් ලක්‍ෂ පස්විසිදහසක් බුදුවරයන් දැක මනෝප්‍රණිධානය මස්තකප්‍රාප්ත කළසේක. (මෙහි දී බුදුබව සිතින් පතන්නා වූ බෝසත්වරයකු හට නියත විවරණ නොලැබේ. මන්ද යත් හෙතෙම බුදුවීමට ස්ථිර ව පිහිටි පුද්ගලයෙක් නොවන බැවිනි. උත්සාහවත් වුවහොත් බුද්ධත්වයට පත් විය හැකි බව බුදුන් වහන්සේ වදාරණ සේක. එය අනියත විවරණය ලෙස හැඳින් වේ.)
(* මෙම මහා භද්‍ර කල්පයේ සිට අසංඛ්‍ය ගණන දැක්වේ.)
අසංඛ්‍ය පිළිබඳ විස්තර මෙතැනින් බලන්න.
* අසංඛ්‍යයෙහි නම පහළ වූ
බුදුවරු ගණන
20. නන්‍ද 5 000
19. සුනන්‍ද 9 000
18. පෘථිවි 10 000
17. මණ්ඩ 11 000
16. ධරණි 20 000
15. සාගර 30 000
14. පුණ්ඩරික 40 000
එකතුව 1 25 000
ශ්‍රි සද්ධර්‍ම කෝෂය
පුරාණ ගෞතම බුදුන් වහන්සේ
ඉන් අනතුරුව මේ කල්පයට තෙළෙසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සර්‍වභද්‍ර නම් අසංඛ්‍යකල්පයෙහි ධඤ්ඤවතී නම් නුවර සාගරන නම් සක්විති රජව රත්සඳුන් හරින් ප්‍රාසාද ලක්‍ෂයක් කරවා පුරාණ ගෞතම නම් බුදුන්ට පිළිගන්වා "ස්වාමීනී මම ද නුඹ වහන්සේ මෙන් ශාක්‍ය රාජ වංශයෙහි ඉපිද ගෞතම නමින් බුදුව සූවිසි අසංඛ්‍යයක් සත්වයන් භව බන්ධනයෙන් මුදවන්නෙමි" යැයි වචනයෙන් කියා ප්‍රාර්‍ථනාකොට එතැන් පටන් නව අසංඛ්‍යයක් ඇතුළත ලෝ පහළ වූ තුන්ලක්‍ෂ සත් අසූදහසක් බුදුවරයන් දැක මහදන් පවත්වා වාක්ප්‍රණිධාන (වචනයෙන් බුදුබව පැතීම) මුදුන් පත් කළ සේක. (මෙහි දී ද අනියත විවරණ ලැබේ.)
* අසංඛ්‍යයෙහි නම පහළ වූ
බුදුවරු ගණන
13. සර්‍වභද්‍ර 50 000
12. සර්‍වපුල්ල 80 000
11. සර්‍වරතන 90 000
10. උෂභස්කන්‍ධ 70 000
09. මාණිභද්ද 60 000
08. පදුම 20 000
07. උසභ 10 000
06. ස්කන්‍ධත්‍ව 5 000
05. සර්‍වශෛල 2 000
එකතුව 3 87 000
ශ්‍රි සද්ධර්‍ම කෝෂය
දීපංකර බුදුන් වහන්සේ
මෙසේ මනෝවාක්ප්‍රණිධීන් පිරීමෙන් සොළොසාසංඛ්‍ය ඇතුළත ලෝ පහළ වූ පන්ලක්‍ෂ දොළොස්දහසක් (1 25 000 + 3 87 000 = 5 12 000) බුදුවරයන්ට මහ දන් පවත්වා මහබෝසතාණෝ මීට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සාරමණ්ඩ නම් කල්පයෙහි දෙවියන්ගේ අමරවතී නම් රාජධානියෙහි සුමේධ නම් තාපස ව උපන් සේක. එම ආත්ම භාවයේ දී දිවකුරු බුදුන් වෙත දිවි පුදා බුදුබව ප්‍රාර්‍ත්ථනා කළේ ය. එහි දී දිවකුරු බුදුහු සුමේධ තාපසයන් හට නියත විවරණ දුන් සේක.

* පහළ වූ බුදුවරු
 ගණන
04. 4 තණ්‌හං‌කර, මෙධං‌කර, සරණං‌කර, දීපං‌කර යන සිවුබුදුවරුන්
03. 1 කොණ්‌ඩඤ්‌ඤ බුදුන්‌
02. 4 මං‌ගල, සුමන, රෙවත, සොභිත යන සිවුබුදුවරුන්
01. 3 අනොමදස්‌සී, පදුම, නාරද යන තුන්‌බුදුවරුන්‌
එකතුව 12
මීට කල්ප ලක්‍ෂයකට පෙර පදුමුත්තර බුදුන්ගේ පටන් ගෞතම බුදුන් දක්වා බුදුවරු 16 නමක් පහල විය. එවිට; 
කාලය (කල්ප) පහළ වූ
බුදුවරු ගණන
 ලක්‍ෂයකට පෙර 16
සාර අසංඛ්‍යයක් හා ලක්‍ෂයකට පෙර
(සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර)
28
තෙළෙස් අසංඛ්‍යයක් හා ලක්‍ෂයකට පෙර
(තෙළෙසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර)
3 87 028
විසි අසංඛ්‍යයක් හා ලක්‍ෂයකට පෙර
(විසි අසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර)
5 12 028
මෙම කල්පයට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර එක් කල්පයක තණ්‌හං‌කර, මෙධං‌කර, සරණං‌කර, දීපං‌කරයන බුදුවරු සිව්නමක් පහල විය. නමුත් තණ්‌හං‌කර, මෙධං‌කර, සරණං‌කර යන තුන් බුදුවරුන් ගෙන් ද අප මහ බෝසතාණෝ වචනයෙන් ම බුදු බව පැතූහ. එබැවින් එම බුදුවරු තෙනම ද වාක්ප්‍රණිධියට අයත් වේ. (අනියත විවරණ දුන් සේක.) දීපංකර බුදුන් වහන්සේ නියත විවරණ දුන් සේක. දීපංකර බුදුන් පටන් කාශ්‍යප බුදුන් දක්වා බුදුවරු 24 නමක් ලොව පහළ විය. ඒ සෑම බුදුවරයෙක් හමුවෙහි ම අප මහ බෝසතාණෝ නියත විවරණ ලැබූ සේක. ඒ මසේ ය.

මුලින් සඳහන් තණ්‌හං‌කර, මෙධං‌කර, සරණං‌කර යන බුදුවරු තෙනම ද අප ගෞතම බුදුන් වහන්සේ ද සූවිසි බුදුන් වහන්සේලා ද යන 28ක් වූ බුදුවරු අටවිසි බුදුවරු ලෙස හැඳින්වේ.