Friday, October 23, 2015

ලෝක විනාශය


ලෝක විනාශවීම පිළිබඳ බුදු දහමෙහි ඉතා දීර්ඝ විස්තර ඇතුළත් වෙයි. එහි දී
  1. සත්ව විනාශ වීම හෙවත් අන්තර් කල්පය විනාශ වීම
  2. ලෝකය විනාශ වීම හෙවත් මහා කල්පය විනාශ වීම ලෙස විනාශ වීම් දෙපරිදි වේ.

මහා කල්පයක් කොටස් 4කි යුත්ත වේ. ඉන් කොටස් 3 ක ම මිහිපිට සත්ව වාසයක් නොමැත. එක් කොටසක පමණක් සත්වයන්ගේ වාසයක් ඇත. ඒ එක කොටසක කාලයට අසංඛ්‍ය කල්පයක් ලෙස හැඳින්වේ. එක් අසංඛ්‍ය කල්පයක් නැවත කොටස් 64 කට බෙදේ. එම එක් කොටසක් අන්තර් කල්පයක් ලෙස හැඳින්වේ. අන්තර් කල්පය තුල මනුෂ්‍යයන්ගේ පරමායුෂ (ජීවත් විය හැකි උපරිම කාලය) දස වර්ෂයේ සිට වර්ෂ අසංඛ්‍යය දක්වා වැඩි වී නැවත දස වර්ෂයට ම අඩු වේ.

සෑම අන්තර කල්පයක් අවසානයේ දී ම සත්ව විනාශයක් සිදු වේ. එය අන්තර් කල්ප විනාශය ලෙස හැඳින්වේ. ලෝකය විනාශ නොවේ. මෙවැනි අන්තර් කල්ප 64ක් ගිය පසු අසංඛ්‍ය කල්පය අවසන් වේ. ලෝක විනාශයක් සිදු වේ.

විවට්ට ස්ථායි කියන ලද ලොව ඇතිවී පවතිනා කාලය තුල මනුෂ්‍යයන්ගේ ආයු ක්‍රමානුකූල උච්චාවචනය වීමක් තිබුණ ද සංවට්ට, සංවට්ට ස්ථායි හා විවට්ට යන අසංඛ්‍ය කල්ප වල සත්වයන් නොමැති බැවින් මනුෂ්‍යයන්ගේ ආයු උච්චාවචනයක් දැක්විය නො හැක. නමුත් එම කාල වල ප්‍රමාණ දැන ගැනීමට එම කාල අන්තර් කල්ප වලින් දක්වයි. එම සෑම අසංඛ්‍ය කල්පයකට ම අන්තර් කල්ප 64 බැගින් දීර්ඝ කාලයක් ඈත. එවිට මහා කල්පයකට අන්තර් කල්ප 256ක් ඇත. (එක් අසංඛ්‍ය කල්පයකට අන්තර් කල්ප 20 ඇතැයි ද කියනු ලැබේ. එවිට මහා කල්පයකට අන්තර් කල්ප 80ක් ඇත.) මෙම කරුණු පිළිබඳ වෙන වෙන ම සලකා බලමු.
1. ලෝකය විනාශ වීම හෙවත් මහා කල්පය විනාශ වීම
 කල්ප විනාශය යනුවෙන් දැක්වෙනුයේ මනුෂ්‍ය ලෝකය පමණක් නොව දිව්‍ය, (ඇතැම්) බ්‍රහ්ම ලෝක පමණක් ද නොව මේ සක්වළත් සමග කෝටි ලක්‍ෂයක් සක්වළවල් විනාශ වන්නේ ය. ලොව විනාශ වන්නා වූ ආකාර 3ක් ඇත.
  1. තේජෝ සංවට්ටය. (ගින්නෙන් කල්පය විනාශ වීම)
  2. ආපෝ සංවට්ටය. (ජලයෙන් කල්පය විනාශ වීම)
  3. වායෝ සංවට්ටය. (සුළඟින් කල්පය විනාශ වීම) යනුවෙනි.
 තවද සංවට්ට සීමා හෙවත් එක් ලෝක ධාතුවක විනාශ වන ප්‍රමාණ ද තුනක් ඇත. ගින්නෙන් කල්පය විනාශ වන කල්හි ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පහළ ද ජලයෙන් කල්පය විනාශ වන කල්හි සුභකිණ්ණක බ්‍රහ්ම ලෝකයෙන් පහළ ද සුළඟින් කල්පය විනාශ වන කල්හි වේහප්පල බ්‍රහ්ම ලෝකයෙන් පහළ ද විනාශ වේ.
 I. තේජෝ සංවට්ටය. (ගින්නෙන් කල්පය විනාශ වීම)
ගින්නෙන් කල්පය විනාශ වන කල්හි කල්ප විනාශකර මහා වැසි කෝටි ලක්‍ෂයක් සක්වළ එක විට ම වසී. එය කල්ප විනාශ මහා මේඝය ලෙස හැඳින්වේ. එවිට මනුෂ්‍යයෝ සතුටු ව ගොවිතැන් බත් ආදිය කරති. නමුත් එම පැල මසක් දෙකක් පමණ වැඩෙන විට වැසි පොදක් වත් නොමැති ව අහසේ ගෙරවීම් විදිලි කෙටීම් පමණක් ඇති වන්නේ ය. මෙසේ නතර වූ වැස්ස එම කල්පයේ අවසාන වැස්ස ද වන්නේ ය. එ කල්හි වැස්සෙන් දිවි පවත්වන සත්වයෝ මිය ගොස් දෙව් ලොව ආදියෙහි ඉපිද ධ්‍යාන වඩා බ්‍රහ්ම ලෝක වල උපදින්නේ ය. මෙසේ වැසි නැති වීමෙන් ජලය ද වියළී ගොස් මත්ස්‍ය ආදී ජලජ ජීවීන් ද මිය ගොස් දෙව් ලොව ආදියෙහි ඉපිද ධ්‍යාන වඩා බ්‍රහ්ම ලෝක වල උපදින්නේ ය. (මෙය අපරාපරීය කර්ම නිසා සිදු වේ. පෙර සසර අපරාපරීය කර්ම නොකළ සත්වයන් නැති බව ද දැක්වේ.)
එකල්හි ලෝකබ්‍යූහ නම් කාමාවචර දෙවියෝ කෙස් මුදා විසුරුවා ගෙන හඬා වැලපෙමින් මිනිස් ලොව හැසිරෙමින් "අවුරුදු ලක්‍ෂයකින් කල්ප විනාශය වන්නේ ය. එබැවින් පින් දහම් කරව්." යනාදිය පවසමින් කල්ප විනාශය වන බව දන්වන්නේ ය. මෙය කප්ප කෝලාහලය ලෙස ද හැඳින්වේ. එබස් අසා මනුෂ්‍යයෝ ද බූමාටු දෙවියෝ ද පිංකම් කොට දෙව් ලොව ඉපිද එහි දී කසින භාවනා වඩා බ්‍රහ්ම ලෝකයේ උපදිති. අන්‍යයෝ අපරාපර්ය වේදනීය කුසල කර්ම බලයෙන් දෙව් ලොව ඉපිද ධ්‍යාන වඩා බ්‍රහ්ම ලෝකයේ උපදිති.
 මෙසේ වැසි නැවතී බොහෝ කලක් ගතවීමෙන් දෙවන සූර්යයෙක් පහළ වන්නේ ය. එවිට රෑ දහවල් වෙනසක් නො පෙනෙයි. එක් ඉරක් බැස යන කල්හි අනෙක් ඉර නැගෙන්නේ ය. මේ සූර්යයන් දෙදෙනාගේ හිරු කිරණ හේතුවෙන් හිමාලයෙන් ගලා බස්නා ගංගා, යමුනා, අචිරවතී, සරභූ හා මහී යන පංච මහා ගංගාවන් හැර සෙසු සියලු ම ගංගා, ඇල, දොල ආදිය වියළෙන්නේ ය. මෙසේ බොහෝ කාලයක් ගතවීමෙන් පසු ව තුන් වන සූර්යයෙක් පහළ වන්නේ ය. එයින් පංච මහා ගංගාවෝ ද වියළෙන්නේ ය. එයට ද බොහෝ කාලයක් ගතවීමෙන් පසු ව සිව් වන සූර්යයෙක් පහළ වන්නේ ය. එයින් හිමවත පංච මහා ගංගාවන් හට ගන්නා වූ සීහපපාතය, හංසපාතය, කණ්ණමුණ්ඩකය, රථකාරය, අනොතත්තය, ඡද්දන්තය හා කුණාලය යන සප්ත මහා විල් සම්පූර්ණයෙන් ම වියළේ. එයට ද බොහෝ කාලයක් ගතවීමෙන් පසු ව පස් වන සූර්යයෙක් පහළ වීමෙන් මහා සාගර ජලය ද වියළේ. එයට ද දීර්ඝ කාලයක් ගතවීමෙන් පසු ව සය වන සූර්යයෙක් පහළ වන්නේ ය. එයින් කෝටි ලක්‍ෂයක් සක්වළ වියළී දුම් දමමින් දුමින් පිරී යන්නේ ය. එයට ද බොහෝ කාලයක් ගතවීමෙන් පසු ව හත් වන සූර්යයෙක් පහළ වන්නේ ය. එයින් කෝටි ලක්‍ෂයක් සක්වළවල් එක ම ගිනි ජාලාවක් වන්නේ ය. මහ පොළොව දැවී සදිව්‍ය ලෝක ද දැවෙන්නේ ය. මෙසේ ක්‍රමයෙන් ගින්න පැතිර ගොස් ප්‍රථම ධ්‍යාන තලය ද විනාශ වන්නේ ය. මෙසේ පැතිර පවත්නා ගින්න ආභස්සර බඹ ලොවට පහළින් ඇති සියළු බ්‍රහ්ම ලෝක ද කාමාවචර භූමි ද විනාශ කරන්නේ ය. සියළු ම ද්‍රව්‍ය අලු පමණක් වත් ඉතිරි නොකොට දැවී ගිය පසු ක්‍රමයෙන් ගින්න නිවී යයි. මේ විනාශයට ගත වන කාලය සංවට්ට අසංඛ්‍ය කල්පය යැයි කියනු ලැබේ.
 මෙසේ ප්‍රථම ධ්‍යාන භූමිය හා කාමාවචර භූමීන් නොමැතිව හිස් ව ඉතා දීර්ඝ කාලයක් පවතින්නේ ය. (නමුත් ආභස්සර බඹ ලොව හා ඊට ඉහළින් පිහිටි බ්‍රහ්ම ලෝක විනාශ නොවේ.) මෙසේ හිස් ව පවතින්නා වූ කාලය සංවට්ට ස්ථායි අසංඛ්‍ය කල්පය ලෙස හැඳින්වේ. එය ද අන්තර් කල්ප 64ක් පමණ දීර්ඝ වේ.
 මෙසේ පහළ පිහිටි භූමීන් හිස් ව ඇති විට ඉහළින් සිටින්නා වූ බ්‍රහ්මයන් හට "නැවත ලොව හට ගන්නේ නම් හොඳ ය." යැයි සිතේ. එම බ්‍රහ්මයන්ගේ සිත ප්‍රත්‍ය කොට ගෙන හිස් අවකාශය තුල සියුම් ජල බින්දු හට ගන්නේ ය. මෙසේ ජල බින්දු එක් වී මහා වර්ෂාවක් ඇති වන්නේ ය. මෙම වර්ෂාව කෝටි ලක්‍ෂයක් සක්වළ පුරා වහින්නේ ය. එය සම්පත්තිකර මහා මේඝය ලෙස හැඳින්වේ. හිස් අවකාශය තුල එම ජලය එකතු වී මහත් ජල ප්‍රදේශයක් හට ගන්නේ ය. වාතය මගින් මෙම ජලස්කන්ධය ඝන වී නො විසිර පවත්ව ගන්නේ ය. මෙසේ ඝන වී සංකෝචනය වන ජලස්කන්ධය නිසා පෙර තිබූ ප්‍රථම ධ්‍යාන තලය තිබූ තැන එය හට ගන්නේ ය. එයට යටින් දිව්‍ය ලෝක සය හා මනුෂ්‍ය ලෝක ද පිළිවෙළින් පිහිටන්නේ ය. මනුෂ්‍ය ලෝකය හට ගන්නා කල්හි බලවත් වායු දහරාවක් ජල පොළොව වට පිහිටයි. මිහිරි වූ ඒ ජලය ක්‍රමයෙන් ක්‍ෂය වෙමින් යොදයක් මෙන් රස පොළොව හට ගන්නේ ය. මෙසේ කාලයක් ගතවීමෙන් හිරු සඳු පහළ වන්නේ ය. සම්පත්තිකර මහා මේඝයේ පටන් හිරු සඳු පහළ වීම දක්වා වූ කාලය විවට්ට අසංඛ්‍ය කල්පය ලෙස හැඳින්වේ. එය ද අන්තර් කල්ප 64ක් පමණ දීර්ඝ වේ.
මෙසේ ඇති කල්හි, ආභස්සර බඹ ලොව ආයු අවසන් වූ බ්‍රහ්මයෙක් එයින් චුත වී මේ පොළොවේ ඕපපාතික ව පහළ වේ. මෙසේ කල් යත් ම තවත් බ්‍රහ්මයන් ඕපපාතික ව පහළ වේ. ඔවුන් ප්‍රීතිය ආහාර කොට ඇත්තේ ය. ශරීරාලෝකයෙන් බැබළෙන්නේ ය. අහසෙහි හැසිරෙන්නේ ය. සතුටින් යුතු ව දීර්ඝ කාලයක් සිටිති. හිරු සඳු ආදිය පහළ වුව ද නො පෙනේ. (ලොව වටා දුමාරයක් පවතියි.) එබැවින් රෑ දහවලක් නො පෙනෙයි.
එකල්හි ආසාව අධික එක් සත්වයෙක් 'මේ කුමක් දැ'යි බැලීමට රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බලයි. ආසාව වැඩි වී ගියේ ය. අනෙක් සත්වයෝ ද රස බලා ආසාව වැඩී ගිය කල්හි රස පොළොව ගුලි කර (ගුලි සාදා) අනුභව කරන්නට පටන් ගත්තේ ය. මේ හේතුවෙන් ඔවුන්ගේ ශරීරාලෝකය නැති වී ගියේ ය. එවිට කෙමින් කෙමින් අන්ධකාරය පැතිරෙන්නට විය. අන්ධකාරය නිසා ඔවුහු බියපත් වන්නට විය. මෙසේ කාලයක් ගත වී යෑමෙන් අහස වටා වූ ධූලි මැකී ගොස් හිරු සඳු ආදිය දිස් වන්නට විය.
මේ ඕපපාතික ව පහළ වූ සත්වයන්ගේ ආයුෂ වර්ෂ අසංඛ්‍යයක් පමණ අති දීර්ඝ වේ. ඉතා සියුම් ශරීර විය. බොහෝ රූප සම්පන්න විය. නමුත් අකුසල දහම් ටිකින් ටික වැඩි වීම හේතුවෙන් ඔවුන්ගේ ආයු, වර්ණ, සැප, බල හා ප්‍රඥාව ක්‍රමක්‍රමයෙන් පිරිහෙන්නට විය. (මේ පිළිබඳ විස්තර අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වේ.)
මෙසේ ආයුෂ පිරිහී ගොස් පරමායුෂ වර්ෂ 10ක් තරම් අඩු වන්නේ ය. එවිට සත්ව විනාශයක් වන්නේ ය. එය අන්තර් කල්ප විනාශය ලෙස හැඳින්වේ. එම සත්ව විනාශයෙන් බේරුණු සත්වයෝ නැවත කුසල ධර්‍මයන් වර්ධනය කිරීම නිසා ආයු වැඩෙන්නේ ය. එසේ වැඩී ගොස් පරමායුෂ වර්ෂ අසංඛ්‍යය දක්වා වැඩි වන්නේ ය. එහි දී නැවත අකුසල දහම් උත්සන්න වී ආයු පිරිහෙන්නේ ය. මෙසේ මෙය චක්‍රයක් ලෙස සිදු වන්නේ ය. අවසානයේ දී නැවත විපත්තිකර මහා මේඝය නිසා කල්ප විනාශය ආරම්භ වන්නේ ය. හිරු සඳු පහළ වීමේ පටන් විපත්තිකර මහා මේඝය දක්වා වූ කාලය විවට්ට ස්ථායි අසංඛ්‍ය කල්පය ලෙස හැඳින්වේ. එය ද අන්තර් කල්ප 64ක් පමණ දීර්ඝ වේ.
II. ආපෝ සංවට්ටය. (ජලයෙන් කල්පය විනාශ වීම)
ජලයෙන් කල්පය විනාශ වන කල්හි ද පළමුවෙන් ම විපත්තිකර මහා මේඝය වසියි. මෙම වර්ෂාව ක්‍රමක්‍රමයෙන් වැඩි වී ගොස් කෝටි ලක්‍ෂයක් සක්වළ පුරා වසියි. මෙයින් මහ පොළොව, දිව්‍ය ලෝක ආදිය දිය වී ගොස් දුතිය ධ්‍යාන තලයෙහි සුභකිණ්ණක බඹ ලොව දක්වා ම දිය වී යන්නේ ය. සියල්ල දිය වූ පසු ජලය වියළී යයි. මෙතෙක් කාලය සංවට්ට අසංඛ්‍ය කල්පය ලෙස හැඳින්වේ. අනෙක් අසංඛ්‍යය කල්ප පෙර පරිදි ම ය.
III. වායෝ සංවට්ටය. (සුළඟින් කල්පය විනාශ වීම)
වාතයෙන් කල්පය විනාශ වන කල්හි ද පළමුවෙන් ම විපත්තිකර මහා මේඝය වසියි. පසු ව වර්ෂාව නතර වී කල්ප විනාශය පිණිස වාතය හට ගනියි. පළමු ව සියුම් ධූලි, සියුම් වැලි, මහ වැලි, මහ ගල් ආදිය ඉහළට නංවයි. එසේ ම මහා වෘක්‍ෂ, පර්වත ආදිය ද ඉහළට නංවයි. ඒවා අහසෙහි ම සුනුවිසුනු වී යයි. අනතුරු ව පොළොව ද බිඳී අහසට ගොස් සුනුවිසුනු වී යයි. මෙසේ මහ පොළොව ද භූමස්ථ ආකාශස්ථ විමන් ද සදිව්‍ය ලෝක ද බ්‍රහ්ම ලෝක ද සුනුවිසුනු වී ගොස් වේහප්පල බඹ ලොවෙන් පහළ සියල්ල විනාශ වී යන්නේ ය. කෝටි ලක්‍ෂයක් සක්වළ මෙසේ සුළඟින් විනාශ වී යයි. කල්ප විපත්තිකර මහා මේඝයේ පටන් කල්ප විනාශකර මහා වාතය නැවතීම තෙක් කාලය සංවට්ට අසංඛ්‍ය කල්පය ලෙස හැඳින්වේ. අනෙක් අසංඛ්‍යය කල්ප පෙර පරිදි ම ය.
මෙසේ කල්ප විනාශය වන්නේ අකුසල් මූල හේතුවෙන් බව දැක්වේ. එහි දී රාගය අධික වූ කල්හි ගින්නෙන් ද ද්වේශය අධික වූ කල්හි ජලයෙන් ද මෝහය අධික වූ කල්හි වාතයෙන් ද විනාශ වේ.
මෙසේ සක්වළවල් විනාශ වන යම් රටා වක් ද දැක්වේ. එනම් සත් වරක් ගින්නෙන් ද අට වන වර ජලයෙන් ද විනාශ වේ. මෙසේ සත් වරක් ජලයෙන් විනාශ වූ විට අට වන වර වාතයෙන් විනාශ වේ. එනම් 64 වතාවක දී ගින්නෙන් 56 වතාවක් ද ජලයෙන් 7 වතාවක් ද විනාශ වූ විට වාතයෙන් එක් වරක් විනාශ වේ.
2. සත්ව විනාශ වීම හෙවත් අන්තර් කල්පය විනාශ වීම
ඉහත විවට්ට ස්ථායි අසංඛ්‍ය කල්පය පිළිබඳ කරුණු දැක්වීමේ දී සත්ව විනාශ වීම පිළිබඳ (ලෝක විනාශය නොව) සැකෙවින් දක්වන ලදි. විස්තර වශයෙන් මෙසේ ය. අන්තර් කල්පය විනාශ වන ආකාර 3ක් ඇත. ද්වේශය බලවත් වීමෙන් ආයුධ වලින් සත්ව විනාශයක් සිදු වේ. එය සත්ථ (ආයුධ) අන්තර් කල්පයයි. ලෝභය බලවත් වීමෙන් දුර්භික්ෂයෙන් සත්ව විනාශයක් සිදු වේ. එය දුර්භික්‍ෂ අන්තර් කල්පයයි. මෝහය බලවත් වීමෙන් රෝගයෙන් සත්ව විනාශයක් සිදු වේ. එය රෝග අන්තර් කල්පයයි.
 මිනිස් ලොව පරමායුෂ වර්ෂ 10 ට පමණ අඩු වී ගිය විට, අවුරුදු 5ක් පමණ වූ දැරියක් විවාහ කර දීමට සුදුසු වන්නේ ය. එ කල්හි ගිතෙල්, වෙඬරු, තල තෙල්, මී, හකුරු, ලුණු යන මේ රස නැති වී යන්නේ ය. කුද්‍රැසක (කුරක්කන්) නම් ධ්‍යානය ප්‍රියතම භෝජනය වන්නේ ය. දශ අකුසල කර්මපථයෝ අතිශයින් පැතිරෙන්නා හ. ප්‍රාණඝාතය කරන්නන්, සොරකම් කරන්නන්, දෙමාපියන් ඝාතකයින්, දෙමාපියන්ට නොසළකන්නන් කිසි ගුණ ධර්මයක් නැත්තවුන් ඉතා ඉහළ වැජඹෙන්නේ ය. එකල්හි කුසලය, යහපත යන වචන වත් අසන්නට නො ලැබේ. ඒ සත්වයන් තුළ ඔවුනොවුන් කෙරෙහි දැඩි කෝපය, දැඩි ව්‍යාපාදය, දැඩි ද්වේෂය, දැඩි වධක චිත්තය (මැරීමේ ආශාව) ඇති වන්නේ ය. සිත දූෂ්‍ය නිසා එකිනෙකා මෘගයන් ලෙස පෙනෙන්නේ ය. (මෘග සඤ්ඤාව/ මිගසඤ්‌ඤං) එ කල්හි සත් දවසක් මුළුල්ලෙහි ආයුධ වලින් ඇන කොටා ගෙන විනාශ වන කාලය වන්නේ ය.
මේ ගැන කලින් අසා දැන ගෙන ස්වල්පයක් දෙනා, එයින් මිදෙනු කැමති ව ගල් ගුහා, ගිරිදරක්, ගංගා මැද දූපත් ආදියෙහි සැඟවී වනයෙහි වූ අල, මුල් ආදිය ආහාරයට ගෙන සතියක් පමණ කාලයක් නිරුපද්‍රිත ව වාසය කරයි. අන් සියල්ලෝ ම ඇන කොටා ගෙන මරණයට පත් වන්නේ ය. සැඟව සිටි පිරිස සතියක් ඇවෑමෙන් නැවත තම ගම් බිම් වලට පැමිණ තම ඥාතීන්ට සිදු වී ඇති විපත දැක බොහෝ සේ කම්පාවට පත් වන්නේ ය. මෙසේ විශාල විනාශයක් සිදු වූයේ ප්‍රාණඝාතාදී අකුසල් නිසා බව වටහා ගත් ඔවුහු ප්‍රාණඝාතයෙන් ඈත් වන්නේ ය. එවිට බොහෝ කාලයක් ගත වීමෙන් මනුෂ්‍යයන්ගේ පරමායුෂ වර්ෂ 20ක් දක්වා වැඩි වන්නේ ය. මනුෂ්‍යයෝ සොරකම් කිරීමෙන් වළකින්නේ ය. බොහෝ කාලයක් ගත වීමෙන් මනුෂ්‍යයන්ගේ පරමායුෂ වර්ෂ 40ක් දක්වා වැඩි වන්නේ ය. මනුෂ්‍යයෝ කාම මිච්ඡාචාරයෙන් වළකින්නේ ය. බොහෝ කාලයක් ගත වීමෙන් මනුෂ්‍යයන්ගේ පරමායුෂ වර්ෂ 80ක් දක්වා වැඩි වන්නේ ය. මනුෂ්‍යයෝ බොරු කීමෙන් වළකින්නේ ය. බොහෝ කාලයක් ගත වීමෙන් මනුෂ්‍යයන්ගේ පරමායුෂ වර්ෂ 160ක් දක්වා වැඩි වන්නේ ය. කේලම් කීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 320ක් දක්වා වැඩි වන්නේ ය. පරුෂ වචන කීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 640ක් දක්වා වැඩි වන්නේ ය. හිස් වචන කීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 2 000ක් දක්වා වැඩි වන්නේ ය. දැඩි ලෝබකම් කිරීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 4 000ක් දක්වා වැඩි වන්නේ ය. දැඩි ද්වේෂකම් කිරීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 8 000ක් දක්වා වැඩි වන්නේ ය. මිසදිටු ගැනීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 20 000ක් දක්වා වැඩි වන්නේ ය. මනුෂ්‍යයෝ අධර්ම රාග (මව, සුළු මව ආදීන් කෙරෙහි වැරදි ලෙස හැසිරීම), විෂම ලෝභ (පරිභෝග කළ යුතු වස්තූන්ගේ කෙරෙහි ද දැඩි ව ලෝභ කිරීම), මිථ්‍යා ධර්ම (පිරිමින් පිරිමින් කෙරෙහිත් ස්ත්‍රීන් ස්ත්‍රීන් කෙරෙහිත් රාගය ඉපදවීම) වලින් වළකින්නේ ය. ඔවුන්ගේ පරමායුෂ වර්ෂ 40 000ක් දක්වා වැඩි වන්නේ ය. මවට සත්කාර කිරීම, පියාට සත්කාර කිරීම, මහණ හට සත්කාර කිරීම, බමුණන් හට සත්කාර කිරීම, කුලයේ වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම යන ගුණ ධර්ම රකින්නේ ය. ඔවුන්ගේ පරමායුෂ වර්ෂ 80 000ක් දක්වා වැඩි වන්නේ ය. පරමායුෂ වර්ෂ 80 000ක් වන විට මිනිසුන්ට රෝග 3ක් පමණක් වැළඳේ. එනම් ආහාරයට ඇති කැමැත්ත, ආහාර ගත් විට ක්ලාන්ත වීම (බත් මතය) හා වයසට යන විට වයස් ගත ලකුණු පහල වීම යන ආබාධ තුනයි.
මෙසේ ආයුෂය වැඩෙන්නේ ක්‍ෂේත්‍ර විශුද්ධිය නිසා ය. එනම් මාපියෝ සිල්වත් ය. සිල් ඇති ව දරු ගැබ් වැඩේ. එයින් දීර්‍ඝායුෂ වේ. ඔවුන් කලුරිය කර නැවත උපදින විට සීලය නිසා දීර්‍ඝායුෂ වේ. මෙසේ අකුසල් අත් හැර කුසල සමාදානය නිසා ක්‍රමයෙන් ආයු වැඩි වී ගොස් පරම ආයුෂ වර්ෂ අසංඛ්‍යය දක්වා ම වැඩි වන්නේ ය. ඒ කාලයේ මිහිපිට දෙව් ලොව මෙන් සශ්‍රීක වන්නේ ය. සත්වයෙකු මිය යෑම ඉතා දීර්ඝ කාලයකින් සිදු වන්නේ ය. එබැවින් ඔවුන්ට 'අපි නිත්‍ය වූ ආයුෂ ඇත්තෝ වෙමු.' යැයි සිතේ. මෙසේ ක්‍රමයෙන් තණ්හා හා මාන ආදී අකුසල් කෙමින් වර්ධනය වීමට පටන් ගනී. එවිට ක්‍රමයෙන් ආයු පිරිහෙන්නට වන්නේ ය. (මේ පිළිබඳ විස්තර චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේ දැක්වේ.)
මෙසේ අකුසල් වර්ධනය වී සතුන් මැරීම, සොරකම් කිරීම, ... ආදිය ක්‍රමයෙන් වර්ධනය වන්නේ ය. ආයුෂ ද පිරිහෙන්නේ ය. එසේ පිරිහෙන්නා වූ ආයුෂ වර්ෂ 10 දක්වා ම අඩු වන්නේ ය. එවිට සත්ව විනාශයක් වන්නේ ය. එය අන්තර් කල්ප විනාශයයි. මෙසේ මිනිසුන්ගේ පරමායුෂ වර්ෂ 10 සිට ක්‍රමයෙන් වැඩි වී ගොස් අසංඛ්‍ය දක්වා වැඩි වී නැවතත් 10 වර්ෂය දක්වා අඩු වීමට ගත වන කාලය අන්තර් කල්පයක් ලෙස හැදින්වේ.

රතු පාට වක්‍රයෙන් ආයු පිරිහීම ද නිල් පාට වක්‍රයෙන් ආයු වර්ධනය ද දැක්වේ. එහි ආයුෂ වැඩෙන කාලයේ බුදුවරු පහල නො වෙති. ආයු පිරිහෙන කාලයෙහි උපදිති. එහි දී පරමායුෂ වර්ෂ ලක්‍ෂයට වඩා වැඩි නම් බුදුවරු ලොව පහල නො වෙති. හේතුව එකල සත්වයන්ගේ ඉපදීම, වයසට යෑම, ලෙඩ වීම, මිය යෑම අප්‍රකට ය. බුදුවරුන්ගේ දහම ත්‍රිලක්‍ෂණයෙන් යුක්ත ය. ජාති, ජරා, මරණ යැයි දේශනා කරන ඔවුන්ට මේ කුමක් දැයි ඇසිය යුත්තක් කොට නො සිතයි. එසේ විට සසුන ප්‍රයෝජනවත් නොවේ. එබැවින් එකල බුදුවරු නූපදියි. එසේ ම පරමායුෂ වර්ෂ 100ට වඩා අඩු ද එකල ද බුදුවරු ලොව පහළ නොවේ. හේතුව එකල සත්වයෝ උත්සන්න කෙලෙස් ඇත්තෝ වෙයි. උත්සන්න කෙලෙස් ඇත්ත වුන්ට දුන් අවවාදය අවවාද ස්ථානයෙහි නො සිටියි. දියෙහි ඇඳි රේඛාව මෙන් වහා මැකී යයි. එබැවින් එය ද අකාලයයි. පරමායුෂ වර්ෂ 100හි පටන් වර්ෂ ලක්‍ෂය දක්වා කාලය අතර තුරු බුදුවරු ලොව පහළ වේ. පඤ්ච විලෝකනය (පස්මහ බැලුම් බැලීමේ) දී මෙය කාලය ලෙස හැඳින්වේ.
එසේම ගුණවතුන්ගේ පහල වීම් වශයෙන් කල්පය දෙපරිදි ය. ශුන්‍ය කල්පය හා අශුන්‍ය කල්පය කියායි. එහි ශුන්‍ය කල්පයෙහි බුදු, පසේබුදු, සක්විත්තෝ නූපදිති. එහෙයින් ගුණවත් පුද්ගලයන්ගේ ශුන්‍ය බැවින් ශුන්‍ය කල්පයයි කියනු ලැබේ. අශුන්‍ය කල්පය සාරකල්පය මණ්ඩකල්පය වරකල්පය සාරමණ්ඩකල්පය භද්‍රකල්පය යැයි පස් ආකාර වෙයි. එහි එක් සම්මා සම්බුදු කෙනෙකුන්ගේ පහල වීමෙන් සාරකල්පය නම් වෙයි. යම් කල්පයක ලෝක නායකයන් වහන්සේලා දෙනමක් උපදිත් ද එය මණ්ඩකල්පය යැයි කියනු ලැබේ. යම් කපක තුන්බුදු කෙනෙකුන් උපදිත් ද වරකල්පය යැයි කියනු ලැබේ. යම් කල්පයක සිවුබුදු කෙනෙක් උපදිත් ද එය පෙර කල්පයට වඩා විශිෂ්ටතර හෙයින් සාරමණ්ඩකල්පය යැයි කියනු ලැබේ. යම් කල්පයක පස්බුදු කෙනෙක් උපදිත් ද එය භද්‍රකල්පය යැයි කියනු ලැබේ. එය අති දුර්ලභ ය. ඒ කප බොහෝ සෙයින් සත්වයෝ කලණ සැප බහුල වෙති. බෙහෙවින් ත්‍රිහේතුකයෝ ක්ලේශක්‍ෂය කරති. දුහේතුකයෝ සුගතිගාමී වෙති. අහේතුකයෝ හේතු ලබති. එහෙයින් ඒ කල්පය භද්‍රකල්පය යැයි කියනු ලැබේ.
  • යම් මහාකල්පයක බුදුවරු නූපදී නම් එය ශුන්‍ය කල්පයක් ලෙස හැඳින්වේ.
  • යම් මහාකල්පයක බුදුවරු එක් නමක් පහළ වේ නම් එය සාරකල්පයක්  ලෙස හැඳින්වේ. මහාකල්පයේ පළමු අන්තර් කල්පයේ ආයු පිරිහෙන කාලයෙහි, පරමායුෂ වර්ෂ ලක්‍ෂයත් සියයත් අතර එක් බුදු කෙනෙකු ම උපදිති.(කොණ්ඩඤ්ඤ බුදුන්‌ පහල වූ කල්පය ද පදුමුත්තර බුදුන්‌ පහල වූ කල්පය ද සිද්‍ධත්‍ථ බුදුන්‌ පහල වූ කල්පය ද විපස්සී බුදුන්‌ පහල වූ කල්පය ද සාරකල්පයකි)
  • යම් මහාකල්පයක බුදුවරු දෙනමක් පහළ වේ නම් එය මණ්ඩකල්පයක්  ලෙස හැඳින්වේ. මහාකල්පයේ පිළිවෙළින් පළමු හා දෙවන අන්තර් කල්ප වල ආයු පිරිහෙන කාලයෙහි, පරමායුෂ වර්ෂ ලක්‍ෂයත් සියයත් අතර උපදිති.(සුමේධ, සුජාත යන බුදුවරුන්‌ දෙනම පහල වූ කල්පය ද තිස්ස, ඵුස්ස යන බුදුවරුන්‌ දෙනම පහල වූ කල්පය ද සිඛි, වෙස්සභූ යන බුදුවරුන්‌ දෙනම පහල වූ කල්පය ද මණ්ඩකල්පයකි)
  • යම් මහාකල්පයක බුදුවරු තුන් නමක් පහල වේ නම් එය වරකල්පයක්  ලෙස හැඳින්වේ. මහාකල්පයේ පිළිවෙළින් පළමු, දෙවන හා තෙවන අන්තර් කල්ප වල ආයු පිරිහෙන කාලයෙහි, පරමායුෂ වර්ෂ ලක්‍ෂයත් සියයත් අතර උපදිති.(අනෝමදස්සී, පදුම, නාරද යන තුන්‌බුදුවරුන්‌ පහල වූ කල්පය ද පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සී යන තුන්‌බුදුවරුන්‌ පහල වූ කල්පය ද වරකල්‌පයකි)
  • යම් මහාකල්පයක බුදුවරු සිවුනමක් පහල වේ නම් එය සාරමණ්ඩකල්පයක්  ලෙස හැඳින්වේ. මහාකල්පයේ පිළිවෙළින් පළමු, දෙවන, තෙවන හා සිව්වන අන්තර් කල්ප වල ආයු පිරිහෙන කාලයෙහි, පරමායුෂ වර්ෂ ලක්‍ෂයත් සියයත් අතර උපදිති. (තණ්හංකර, මේධංකර, සරණංකර, දීපංකර යන සිව්බුදුවරුන්‌ පහල වූ කල්පය ද මංගල ,සුමන, රේවත, සෝභිත යන සිව්බුදුවරුන්‌ පහල වූ කල්පය ද සාරමණ්ඩකල්පයකි)
  • යම් මහාකල්පයක බුදුවරු පස්නමක් පහල වේ නම් එය භද්‍රකල්පයක් ලෙස හැඳින්වේ. මහාකල්පයේ පිළිවෙළින් පළමු, දෙවන, තෙවන, සිව්වන හා පස්වන අන්තර් කල්ප වල ආයු පිරිහෙන කාලයෙහි, පරමායුෂ වර්ෂ ලක්‍ෂයත් සියයත් අතර උපදිති. (කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන පස්බුදුවරුන්‌ පහල වූ කල්පය භද්‍රකල්‌පයකි)

සක්වළ (ලෝක ධාතු)

බුදු දහමට අනුව එක් සක්වළකට මනුෂ්‍ය ලෝක එකකුත් දිව්‍ය ලෝක සයකුත් බ්‍රහ්ම ලෝක 20ක් හා අපාය භූමි සතරක් යනුවෙන් සත්වයන් උපදිනා ස්ථාන 31ක් දැක්වේ. මේවා තිස්එක් භූමි තල ලෙස ද හැඳින්වේ. මනුෂ්‍ය ලෝකයත් දිව්‍ය ලෝක සයත් හා අපාය සතරත් යන 11 කාමාවචර භූමි ලෙස හැදින්වෙන අතර බ්‍රහ්ම ලෝක 20න් 16ක් රූපාවචර වන අතර ඉතිරි බ්‍රහ්ම ලෝක 4 අරූපාවචර වේ.
මනුෂ්‍ය ලෝකය
 මිනිසුන් ජීවත්වන මෙම මහ පොළොව මනුෂ්‍ය භූමිය හෙවත් මනුෂ්‍ය ලෝකයයි. මිනිසුන්ගේ ආයු ප්‍රමාණය නියතයක් නොවේ. එක් කලෙක මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ක් තරම් අල්ප වේ. තවත් කලෙක ආයුෂ අවුරුදු අසංඛ්‍යය තරම් දීර්ඝ වේ. බුදු, පසේ බුදු, අග්‍රශ්‍රාවකයන් යන උතුමෝ මෙම මනුෂ්‍ය ලෝකයේ ම පමණක් පහළ වේ. මනුෂ්‍යයන්ගේ ඒ ඒ කාලවල ඇති ආයුෂය 'ආයුෂ් කල්පය' ලෙස හැඳින්වේ.
සදිව්‍ය ලෝක
 චාතුම්මහාරාජික දෙව්ලොව, තාවතිංස දෙව්ලොව, යාම දෙව්ලොව, තුසිත දෙව්ලොව, නිම්මානරති දෙව්ලොව හා පරනිම්මිතවසවත්ති දෙව්ලොව යනුවෙන් දිව්‍ය ලෝක 6ක් වෙති. මනුෂ්‍ය ලෝකයේ සිට පැරණි මිම්මෙන් යොදුන් 42 000ක් ඉහළින් පළමු දිව්‍ය ලෝකය වන චාතුර්මහා රාජිකය පිහිටා ඇත. එතැන් සිට යොදුන් 42 000 බැගින් දුරකින් අනෙක් දිව්‍ය ලෝක පිළිවෙළින් ඉහළට පිහිටා ඇත.
මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක් චාතුම්මහාරාජික දෙව්ලොවට එක් දිනයකි. එම දින 30ක් මාස එකකි. එවැනි මාස 12ක් එහි දිව්‍ය වර්ෂ 1ක් වේ. එවැනි දිව්‍ය වර්ෂ 500ක් චාතුමහාරාජික දෙවියන්ට ආයුෂ වේ. එය මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ 90 00 000 (අනූ ලක්‍ෂය) කි. (50 x 30 x 12 x 500 = 90 00 000)
මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100ක් තාවතිංස දෙව්ලොවට එක් දිනයකි. එම දින 30ක් මාස එකකි. එවැනි මාස 12ක් එහි දිව්‍ය වර්ෂ 1ක් වේ. එවැනි දිව්‍ය වර්ෂ 1 000ක් චාතුමහාරාජික දෙවියන්ට ආයුෂ වේ. එය මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ 3 60 00 000 කි. (100 x 30 x 12 x 1000 = 3 60 00 000)
එය චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයුෂ මෙන් 4 ගුණයකි. (90 00 000 x 4 = 3 60 00 000) මෙසේ ඉහළ දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය ඊට පහළ දිව්‍ය ලෝකයේ ආයුෂය මෙන් 4 ගුණයක් වේ. එවිට දිව්‍ය ලෝකවල ආයුෂ ප්‍රමාණය පහත පරිදි වේ.
දෙව්ලොව දිව්‍ය වර්ෂ මනුෂ්‍ය වර්ෂ
චාතුම්මහාරාජිකය 500 90 00 000 අනූ ලක්‍ෂයයි
තාවතිංසය 1 000 3 60 00 000 තුන්කෝටි හැට ලක්‍ෂයයි
යාමය 2 000 14 40 00 000 දාහතරකෝටි හතළිස් ලක්‍ෂයයි
තුසිතය 4 000 57 60 00 000 පණස්හත්කෝටි හැට ලක්‍ෂයයි
නිම්‌මානරතිය 8 000 230 40 00 000 දෙසියතිස්කෝටි හතළිස් ලක්‍ෂයයි
පරනිම්‌මිතවසවත්‌තිය 16 000 921 60 00 000 නවසියවිසිඑක්කෝටි හැට ලක්‍ෂයයි
බ්‍රහ්ම ලෝක
 බ්‍රහ්ම ලෝක 20ක් ඇත. ඉන් 16ක් රූපාවචර බ්‍රහ්ම ලෝක වන අතර 4ක් අරූපාවචර බ්‍රහ්ම ලෝක වේ.
බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරොහිතය, මහාබ්‍රහ්ම බ්‍රහ්ම ලෝකය යන තුන ප්‍රථම ධ්‍යාන භූමිය ලෙස ද පරිත්තාභය, අප්පමාණාභය, ආභස්සර බ්‍රහ්ම ලෝකය යන තුන ද්විතීය ධ්‍යාන භූමිය ලෙස ද පරිත්තසුභය, අප්පමාණසුභය, සුභකිණ්හ බ්‍රහ්ම ලෝකය යන තුන තෘතීය ධ්‍යාන භූමිය ලෙස ද වෙහප්ඵලය, අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකය යන දෙක චතුර්ථ ධ්‍යාන භූමිය ලෙස ද අවිහය, අතප්‌පය, සුදස්‌සය, සුදස්‌සීය, අකනිට්‌ඨ යන පහ පඤ්ච සුද්‍ධාවාස ලෙස ද හැඳින්වේ. සුද්‍ධාවාස චතුර්ථ ධ්‍යාන භූමියට ම අයත් වේ. මේ බ්‍රහ්ම ලෝක 16 රූපාවචර බ්‍රහ්ම ලෝක වෙයි.
 ආකාසානඤ්‌චායතනය, විඤ්‌ඤාණඤ්‌චායතනය, ආකිඤ්‌චඤ්‌ඤායතනය, නෙවසඤ්‌ඤානාසඤ්‌ඤායතනය යන බ්‍රහ්ම ලෝක හතර අරූපාවචර බ්‍රහ්ම ලෝක ලෙස හැඳින්වේ.
 අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකයේ සත්වයන්ට කය පවතී නමුත් සිත නොපවතියි. ඔවුන්ට රූපය ම ප්‍රතිසන්ධිය වෙයි. අරූපාවචර බ්‍රහ්ම ලෝක සතරෙහි බ්‍රහ්මයන්ට කයක් නැත. සිත පවතියි.
 පරනිම්‌මිතවසවත්‌ති දිව්‍ය ලෝකයේ සිට පැරණි මිම්මෙන් යොදුන් 55 08 000ක් ඉහළින් ප්‍රථම ධ්‍යාන තලය පිහිටා ඇත. එතැන් සිට එපමණ දුරකින් ද්විතීය ධ්‍යාන තලය ද එතැන් සිට එපමණ දුරකින් තෘතීය ධ්‍යාන තලය ද එතැන් සිට එපමණ දුරකින් චතුර්ථ ධ්‍යාන තලය ද පිළිවෙළින් ඉහළට පිහිටා ඇත. එතැන් සිට එපමණ දුර ප්‍රමාණ බැගින් අවිහය, අතප්‌පය, සුදස්‌සය, සුදස්‌සීය, අකනිට්‌ඨ යන පඤ්ච සුද්‍ධාවාස පිළිවෙළින් ඉහළට පිහිටා ඇත. එතැන් සිට එපමණ දුර ප්‍රමාණ බැගින් ආකිඤ්‌චඤ්‌ඤායතනය, නෙවසඤ්‌ඤානාසඤ්‌ඤායතනය යන බ්‍රහ්ම ලෝක හතර පිළිවෙළින් ඉහළට පිහිටා ඇත.
මෙම බ්‍රහ්ම මෙම බ්‍රහ්ම ලෝකයන්හි ආයු ප්‍රමාණය මහා කල්ප වලින් දැක්වේ. එය පහත පරිදි වේ.
බ්‍රහ්ම ලෝකය ආයු ප්‍රමාණය (මහා කල්ප)
බ්‍රහ්මපාරිසජ්ජය 1/3
බ්‍රහ්මපුරොහිතය 1/2
පරිත්තාභය 1
මහාබ්‍රහ්මය 2
අප්පමාණාභය 4
ආභස්සරය 8
පරිත්තසුභය 16
අප්පමාණසුභය 32
සුභකිණ්හය 64
වෙහප්ඵලය 500
අසඤ්ඤසත්තය 500
අවිහය 1 000
අතප්‌පය 2 000
සුදස්‌සය 4 000
සුදස්‌සීය 8 000
අකනිට්‌ඨය 16 000
ආකාසානඤ්‌චායතනය 20 000
විඤ්‌ඤාණඤ්‌චායතනය 40 000
ආකිඤ්‌චඤ්‌ඤායතනය 60 000
නෙවසඤ්‌ඤානාසඤ්‌ඤායතනය 84 000

සතර අපාය
 නිරය, තිරිසන්, ප්‍රේත හා අසුර යන භූමි සතර සතර අපාය ලෙස හැඳින්වේ. අපාය යනු සැපයෙන් තොර වූ ස්ථානය යන්නයි. අතරක් නැති ව දුක් විසින්නට සිදුවන බැවින් අපාය නම් වේ.
 නිරයයන් 8ක් ඇත. එනම් සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය හා අවීචිය යන අටයි. මනුෂ්‍ය ලෝකයේ සිට පැරණි මිම්මෙන් යොදුන් 1 500ක් පහළින් පළමු නිරය වන සංජීවය පිහිටා ඇත. එතැන් සිට යොදුන් 1 500 බැගින් දුරකින් අනෙක් නිරයන් පිළිවෙළින් පහළට පිහිටා ඇත.
මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 90 00 000 (අනූ ලක්‍ෂය) ක් සංජීව නිරයට එක් දිනයකි. එම දින 30ක් මාස එකකි. එවැනි මාස 12ක් එහි නිරය වර්ෂ 1ක් වේ. එවැනි නිරය වර්ෂ 500ක් සංජීව නිරයේ ට සත්වයන්ට ආයුෂ වේ. එය මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ 1 620 000 000 000 කි. (90 00 000 x 30 x 12 x 500 = 1 620 000 000 000) එසේ ම;
නිරය නිරය වර්ෂ මනුෂ්‍ය වර්ෂ
සංජීවය 500 1 620 000 000 000
කාලසූත්‍රය 1 000 12 960 000 000 000
සංඝාතය 2 000 103 680 000 000 000
රෞරවය 4 000 829 440 000 000 000
මහා රෞරවය 8 000 6 635 520 000 000 000
තාපය 16 000 53 084 160 000 000 000
ප්‍රතාපය අන්තර කල්ප බාගයකි
අවීචිය මහා කල්ප එකකි
 
තිරිසන්, ප්‍රේත හා අසුරයන්ගේ ආයු මෙතෙකැයි නියම නැත.
එක් සක්වළක ප්‍රතිසන්ධි තල 31 පහත ලෙස දැක්විය හැකි ය.

ඉහල ම බ්‍රහ්ම ලෝකය වන නෙවසඤ්‌ඤානාසඤ්‌ඤායතනයේ සිට මහත් විශාල ගල් පර්වතයක් පහතට හෙළන්නේ නම් එම ගල් පර්වතය දිනකට යොදුන් 48 000ක වේගයෙන් පහතට වැටෙන්නේ ය. එය මනුෂ්‍ය ලෝකය වෙත පැමිණීමට දින 1497ක් හෙවත් වර්ෂ 4 යි මාස 1 යි දින 27ක් ගත වන්නේ ය.
ප්‍රථම ධ්‍යාන තලයේ සිට මහත් විශාල ගල් පර්වතයක් පහතට හෙළන්නේ නම් එම ගල් පර්වතය දිනකට යොදුන් 48 000ක වේගයෙන් පහතට වැටෙන්නේ ය. එය මනුෂ්‍ය ලෝකය වෙත පැමිණීමට දින 120ක් හෙවත් මාස 4ක් ගත වන්නේ ය.
විශ්වයේ ස්වභාවය
 සත්වයන් උපදිනා ස්ථාන 31කින් යුත් කොටසක් එක් සක්වළක් ලෙස හැඳින්වෙන බව ඉහත දැක්විය. එය ලෝක ධාතුවක් ලෙස ද හැදින්වේ. විශ්වය තුල මෙවැනි සක්වළ අනන්ත ප්‍රමාණයක් ඇත. නමුත් ඒ සියලු ම සක්වළවල් අතරින් අප වසන සක්වළ විශේෂ වේ. ඊට හේතුව සම්මා සම්බුදුවරු, පසේබුදුවරු, අග්‍රශ්‍රාවකයෝ, සක්විති රජවරුන් යන උතුමන් මෙම සක්වළෙහි පමණක් පහළවන බැවිනි. එබැවින් මෙම සක්වළ මංගල සක්වළ ලෙස හැඳින්වේ.
මෙම විශ්මෙම විශ්වය තුල අනන්ත අපරිමාණ සක්වළවල් හෙවත් ලෝකධාතු නොයෙක් ලෙස වර්ග කෙරෙයි. සහස්සී චූළනිකා ලෝකධාතුව, ද්විසහස්සී මජ්ඣිමිකා ලෝකධාතුව, ත්‍රීසහස්සී මහාසහස්සී ලෝකධාතුව, දසසහස්සී ලෝකධාතුව ඒ වර්ග කිරීම අතර ප්‍රධාන වේ.
එක් ලෝකධාතුවකට එක් ඉරක්, එක් සඳක්, එක් චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයක්, එක් තාවතිංස දිව්‍ය ලෝකයක්, ... ආදී ලෙස ඇත. මංගල සක්වළත් සමග ලෝකධාතු 1 000ක් ගත් විට එය සහස්සී ලෝකධාතුව ලෙස හැඳින්වේ. එම සහස්සී ලෝකධාතුවෙහි හිරු දහසක් ඇත. සඳු දහසක් ඇත. චාතුම්මහාරාජික දිව්‍ය ලෝක දහසක් ඇත. තාවතිංස දිව්‍ය ලෝක දහසක් ඇත. ... මෙය බුද්ධ ශ්‍රාවකයන්ට විෂය වේ.
මංගල සක්මංගල සක්වළත් සමග ලෝකධාතු 1 000 000ක් ගත් විට එය ද්විසහස්සී ලෝකධාතුව ලෙස හැඳින්වේ. එම සහස්සී ලෝකධාතුවෙහි හිරු 1 000 000ක් ඇත. සඳු 1 000 000ක් ඇත. චාතුම්මහාරාජික දිව්‍ය ලෝක 1 000 000ක් ඇත. තාවතිංස දිව්‍ය ලෝක 1 000 000ක් ඇත. ... මෙය ද බුද්ධ ශ්‍රාවකයන්ට අවිෂය වේ. බුදුන්ට ම විෂය වේ.
මංගල සක්වළත් සමග ලෝකධාතු 1 000 000 000ක් ගත් විට එය ත්‍රීසහස්සී ලෝකධාතුව ලෙස හැඳින්වේ. එම සහස්සී ලෝකධාතුවෙහි හිරු 1 000 000 000ක් ඇත. සඳු 1 000 000 000ක් ඇත. චාතුම්මහාරාජික දිව්‍ය ලෝක 1 000 000 000ක් ඇත. තාවතිංස දිව්‍ය ලෝක 1 000 000 000ක් ඇත. ... මෙය ද බුද්ධ ශ්‍රාවකයන්ට අවිෂය වේ. බුදුන්ට ම විෂය වේ.
මංගල සක්වළත් සමග ලෝකධාතු 10 000ක් ගත් විට එය දසසහස්සී ලෝකධාතුව ලෙස හැඳින්වේ. බුදුවරයකුගේ ඉපදීම ආදියේ දී කම්පා වන බැවින් මෙය ජාතික්‍ෂේත්‍රය ලෙස ද හැදින්වේ. මෙය ද බුද්ධ ශ්‍රාවකයන්ට අවිෂය වේ. බුදුන්ට ම විෂය වේ. 
මංගල සක්වළත් සමග ලෝකධාතු 1 000 000 000 000ක් (කෙළලක්‍ෂයක්/ කෝටිලක්‍ෂයක්) ගත් විට එය කෙළලක්‍ෂයක් ලෝකධාතුව ලෙස හැඳින්වේ. එහි හිරු  කෙළලක්‍ෂයක් ඇත. සඳු කෙළලක්‍ෂයක් ඇත. චාතුම්මහාරාජික දිව්‍ය ලෝක කෙළලක්‍ෂයක් ඇත. තාවතිංස දිව්‍ය ලෝක කෙළලක්‍ෂයක් ඇත. ... රතන සූත්‍රය, කඳ පිරිත, ධජග්ග සූත්‍රය, ආටානාටිය සූත්‍රය, මෝර පිරිත ආදියෙහි ආනුභාවය මෙම කෙළ ලක්‍ෂ ලෝකධාතුව තුල පැතිර පවතියි. එබැවින් මෙය ආඥා ක්‍ෂේත්‍රය ලෙස ද හැඳින්වේ. මෙය ද බුද්ධ ශ්‍රාවකයන්ට අවිෂය වේ. බුදුන්ට ම විෂය වේ. 

Thursday, October 08, 2015

බුදු දහමේ එන කල්පය පිළිබඳ සංකල්පය

කාලය දැක්වීමේ දී වර්තමානයේ දී තත්පර, මිනිත්තු, පැය, දින, සති, පක්‍ෂ, මාස, අවුරුදු, දසක, විංශති, ෂස්ටි, ශත වර්‍ෂ, සහස්‍ර වර්‍ෂ, … ආදී ඒකක භාවිතා කරයි. සහස්‍ර වර්‍ෂයක් යනු අවුරුදු 1000 ක කාල පරාසයක් වේ. ඊටත් වඩා වැඩී විශාල කාලයන් මැනීම සඳහා වර්‍ෂ ආදිය භාවිතා කිරීම දුෂ්කර වේ. එබැවින් ඉතා දීර්ඝ කාල පරාස දැක්වීමට යුග, කල්ප ආදිය භාවිතා කරයි.
ඉතාමත් ම දීර්ඝ කාල මැනීමේ දී කල්පය ඉතා වැදගත් වේ. කල්ප වනාහි සතර වැදෑරුම්‌ වේ.
  1. මහාකල්පය
  2. අසංඛ්‍යකල්පය
  3. අන්තර්කල්පය
  4. ආයුකල්පය
1. මහාකල්පය:
 මහාකල්පය ඉතා දීර්ඝ කාලයකි. එය සිතා ගැනීමටත් දුෂ්කර ය. ලොව නිර්‍මාණය වීම හා නැවත විනාශ වීම චක්‍රයක් ලෙස සිදු වේ. මෙසේ ලෝකය විනාශ වී නැවත ඇතිවී විනාශ වීමට ගත වන කාලය මහා කල්පයක් ලෙස හැඳින්වේ. එබැවින් තථාගතයන් වහන්සේ මහාකල්පය විවිධ උපමාවලින් දක්වා ඇත. දිනක් එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේ ය. එක් පැත්තක හුන්නා වූ ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියේ ය.
භික්‍ෂුව : ස්වාමීනි, කල්පය වනාහි කෙතරම් දීර්ඝ වේ ද?.
බුදුහු : “මහණෙනි, කල්පය වනාහි දීර්‍ඝ ය. එය මෙතෙක්‌ අවුරුදු කියා හෝ මෙතෙක්‌ අවුරුදු සියයක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු දහසක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු ලක්‍ෂයක් ය කියා හෝ ගණන්‌ කිරීමට පහසු නොවේ.”
භික්‍ෂුව : “ස්වාමීනි, උපමාවක්‌ දේශනා කිරීමට හැකි ද?
බුදුහු : “මහණ, හැකියි.”, “මහණ යම්සේ වනාහි දිගින්‌ යොදුනක්‌ ඇති පළලින්‌ යොදුනක්‌ ඇති පලුදු රහිත වූ සිදුරු රහිත වූ ඒක ඝන වූ මහා ගල්‌ පර්‍වතයක්‌ වේද ඒ ගල්‌ පර්‍වතය පුරුෂයෙක්‌ අවුරුදු සීයකට වරක්‌ කසී සළුවකින්‌ පිරිමදින්නේ වේ ද මහණ මේ ආකාරයෙන්‌ ඒ මහා ගල්‌ පර්‍වතය ගෙවීමට කෙළවර වීමට යන්නේ ය. කල්පය කෙළවර නො වන්නේ ය.
සංයුත්ත නිකායො\අනමතග්ගසංයුත්තං\1.තිණකට්ඨවග්ගො\5.පබ්බතසුත්තං
භික්‍ෂූන් වහන්සේ නමක් විසින් තවත් අවස්ථාවක දී කල්පය පිළිබඳ කරන ලද විමසීමක දී දෙන ලද පිළිතුර මෙසේ ය.
භික්‍ෂුව : ස්වාමීනි කල්පය වනාහි කෙතරම් දීර්‍ඝ වේ ද?.
බුදුහු : “මහණෙනි, කල්පය වනාහි දීර්‍ඝ ය. එය මෙතෙක්‌ අවුරුදු කියා හෝ මෙතෙක්‌ අවුරුදු සියයක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු දහසක් ය කියා හෝ මෙතෙක්‌ අවුරුදු ලක්‍ෂයක් ය හෝ කියා හෝ ගණන්‌ කිරීමට පහසු නොවේ.”
භික්‍ෂුව : “ස්වාමීනි, උපමාවක්‌ දේශනා කිරීමට හැකි ද?
බුදුහු : “මහණ, හැකිය.” මහණ යම්සේ වනාහි දිගින් යොදුනක් ඇත්තා වූ පළලින් යොදුනක් ඇත්තා වූ උසින් යොදුනක් ඇත්තා වූ අබ පිර වූ මුදුන් කරන ලද්දා වූ යකඩයෙන් කරන ලද ප්‍රාකාරයෙන් යුක්ත වූ නගරයක් වේ ද ඉක්බිති පුරුෂයෙක් අවුරුදු සීයකට වරක් එක් එක් අබ ඇටය පිටතට දමන්නේ වේ ද මහණ, මේ ක්‍රමයෙන් ඒ මහා අබ ගොඩ වහා කෙළවර වීමට අවසාන වීමට යන්නේ ය. කල්පය කෙළවර නො වන්නේ ම ය.
සංයුත්ත නිකායො\අනමතග්ගසංයුත්තං\1.තිණකට්ඨවග්ගො\6.සාසපසුත්තං
මේ අනුව සලකා බැලීමේ දී මහාකල්පය යනු ඉතා දීර්‍ඝ කාලයක් වේ.
 2. අසංඛ්‍යකල්පය:
 මහා කල්පය සමාන කොටස් සතරකට බෙදූ විට එක් කොටසක් 'අසංඛ්‍යකල්පයක්' ලෙස හැඳින්වේ. මෙලොව සෑම දින ම මෙසේ නො පවතින්නාහ. මන්ද යත් අනිත්‍යය හෙයිනි. යම් කලක දී මේ ලෝකය වැනසෙන්නේ ය. එහිදී සතර අපායත්, මනුෂ්‍ය ලෝකයත්, දිව්‍ය ලෝක සයත්, ප්‍රථම ධ්‍යාන තලයේ බ්‍රහ්ම ලෝකත් නැසෙන්නේ ය. ගින්නෙන්, ජලයෙන් හෝ සුළඟින් මෙසේ ලෝක ධාතුව නැසෙන්නේ ය. ගින්නෙන් වැනසෙන විට එය තේජෝ සංවට්ටය ලෙසත්, ජලයෙන් වැනසෙන විට ආපෝ සංවට්ටය ලෙසත්, සුළඟින් වැනසෙන විට වායෝ සංවට්ටය ලෙසත් හැඳින්වේ. මෙම ක්‍රම තුනෙන් එක් ක්‍රමයකින් ලෝකය විනාශ වීමට ගත වන කාලය අසංඛ්‍යකල්පයකි.
මෙසේ ලෝකය විනාශ වෙමින් පවතිනා කාලය සංවට්ට අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ.
මෙසේ විනාශ වූ ලොව හිස් අවකාශයක් ලෙස තවත් අසංඛ්‍යකල්පයක් ම පවතී. මෙය සංවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ.
මෙසේ විනාශ වූ ලොව නැවත ගොඩනැගේ. එසේ නැවත ලොව ගොඩනැගීමට ද තවත් අසංඛ්‍යකල්පයක් ම ගත වේ. මෙසේ ලොව ගොඩනැගෙමින් පවතිනා කාලය විවට්ට අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ.
එලෙස සම්පූර්‍ණ ලෙස ගොඩනැගුණු ලොව තවත් අසංඛ්‍යකල්පයක් ම පවතී. මෙම කාලය තුල දී සත්වයා විද්‍යාමාන වේ. මෙසේ ලොව පවතිනා කාලය විවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය ලෙස ද හැඳින්වේ. එබැවින් තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
"මහණෙනි, කල්පයාගේ මේ අසංඛ්‍ය සතරක් වෙත්. කවර සතරක් ද යත්. මහණෙනි, යම් කාලයක දී කල්පය නැසෙන්නේ වේද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
මහණෙනි, යම් කාලයක දී කල්පය නැසී සිටී ද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
 මහණෙනි, යම් කාලයක දී කල්පය ඇති වේ ද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
 මහණෙනි, යම් කාලයක දී කල්පය ඇතිවී පවතී ද, එය මෙපමණ වර්‍ෂයැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙපමණ වර්‍ෂ ලක්ෂයකැයි කියා හෝ සංඛ්‍යා කරන්නට නො හැකි ය.
මහණෙනි, මේ සතර, කල්පයාගේ අසංඛ්‍යයයෝ ය.”
අ.නි.\4.චතුක්කනිපාත\4.චතුත්ථපණ්ණාසකං\1.ඉන්ද්‍රියවග්ගො\6.අසංඛ්‍යෙසුත්තං
 මේ අනුව අසංඛ්‍ය කල්ප 4ක් ඇත. එනම්;
  1. සංවට්ට අසංඛ්‍යකල්පය (ලොව විනාශ වෙමින් පවතිනා කාලය.)
  2. සංවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය (ලොව විනාශ වී පවතිනා කාලය.)
  3. විවට්ට අසංඛ්‍යකල්පය (ලොව නැවත ඇතිවෙමින් පවතිනා කාලය.)
  4. විවට්ටට්ඨායී අසංඛ්‍යකල්පය (ලොව ඇතිවී පවතිනා කාලය.) 
මෙම අසංඛ්‍යකල්ප සතර ම එක් වූ විට මහාකල්පය ලෙස හැඳින්වේ.

3. අන්තර කල්පය (අතුරු කප):
 අසංඛ්‍යකල්පයක් සමාන කොටස් 64කට (ඇතමෙක් 20කට යැයි ද කියනු ලැබේ) බෙදූ විට එක් කොටසක් අන්තර කල්පයක් ලෙස හැඳින්වේ. සංවට්ට කල්පයට නො පැමිණ (ලෝකය විනාශ නො වී), අතරතුර ලෝක විනාශය හෙවත් සත්ව විනාශ වීම් සිදු වේ. මෙසේ එක් සත්ව විනාශයක සිට ඊළඟ සත්ව විනාශයට ගත වන කාලය අන්තර කල්පයක් ලෙස හැඳින්වේ. 
කාලයාගේ ඇවෑමෙන් මිනිසුන්ගේ පරමායුෂ දස වර්‍ෂයට අඩු වන්නේ ය. එහි දී සත්වයන්ගේ විනාශයක් වන්නේ ය. එහිදී සත්ව විනාශ ආකාර තුනකින් සිදු වේ. එහි ලෝභය උත්සන්න වූ ප්‍රජාව දුර්භීක්ෂයෙන් විනාශවේ. එය දුර්භික්ෂ අන්තර කල්පය වේ. මෝහය උත්සන්න වූ ප්‍රජාව රෝග හේතුවෙන් විනාශවේ. එය රෝග අන්තර කල්පය වේ. ද්වේශය උත්සන්න වූ ප්‍රජාව ආයුධ හේතුවෙන් විනාශවේ. එය ශස්ත්‍ර (ආයුධ) අන්තර කල්පය වේ. එහි දුර්භික්ෂ අන්තර කල්පයෙහි විනාශ වූවෝ බොහෝ සෙයින් ප්‍රේත විෂයයෙහි උපදිති. ආහාර ආශාව බලවත් බැවිනි. රෝග අන්තර් කල්පයෙහි විනාශ වූවෝ බොහෝ සෙයින් ස්වර්ගයෙහි උපදිති. කුමක් හෙයින් ද? ඔවුන්ට වනාහි අනේ අනිත් සත්වයන්ට මෙබඳු රෝගයක් නො වේවායි මෙත් සිත උපදී. ආයුධ අන්තර කල්පයේ නැසුණෝ බොහෝ සෙයින් නිරයේ උපදිත් කුමක් නිසා ද? ඔවුනොවුන් බලවත් ඝාතනයෙන් යුක්ත නිසා.
 දීඝනිකායට්ඨකථා\චක්කවත්තිසුත්තවණ්ණනා
 අකුසලය උත්සන්න වීම නිසා මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් දස වර්‍ෂය දක්වා අඩුවේ. නැවත කුසල් දහම් සමාදානය නිසා මිනිසුන්ගේ ආයුෂ වර්‍ෂ අසංඛ්‍යය දක්වා වැඩෙන්නේ ය. නමුත් මාන ආදී අකුසල් දහම් නැවත බෝවීම නිසා මිනිසුන්ගේ ආයුෂ වර්‍ෂ අසංඛ්‍යය සිට පිරිහී ගොස් දස වර්‍ෂය දක්වා අඩු වන්නේ ය. මෙසේ මිනිසුන්ගේ ආයුෂ දස වර්‍ෂයේ සිට අසංඛ්‍යය දක්වා වැඩි වී නැවත දස වර්‍ෂය දක්වා පිරිහීමට ගත වන කාලය අන්තර කල්පයක් ලෙස හැඳින්වේ. (සංවට්ට විවට්ට ආදී) එක් අසංඛ්‍යය කල්පයකට අන්තර කල්ප 64ක් ඇත. ඇතමෙක් 20ක් යැයි ද කියනු ලැබේ. මේ අනුව;
අන්තර කල්ප 64 = අසංඛ්‍ය කල්ප 01
අසංඛ්‍ය කල්ප 04 = මහා කල්ප 01

විවට්ටට්‍ඨායී අසංඛ්‍යකල්පය තුල ආයු පිරිහීම හා වැඩීම


 මෙම අන්තර කල්ප තුල වුව ද මනුෂ්‍යයන්ගේ ආයුෂ වැඩෙන කාල වල දී බුදුවරු පහළ නො වෙති. ආයු පිරිහෙන කාලයෙහි උපදිති. එහි ද මනුෂ්‍යයන්ගේ ආයුෂ වර්‍ෂ ලක්ෂයකින් වැඩි වූ විට බුදුවරු පහල වන කාලය නම් නො වෙයි. කුමක් නිසා ද යත්? එකල සත්වයන්ගේ ජාති ජරා මරණ ප්‍රකට නො වෙයි. බුදුවරුන්ගේ ධර්‍මදේශනා තිලකුණෙන් මිදුණේ නම් නො වෙයි. අනිච්චං දුක්ඛං අනත්තං යැයි කියන ඔවුන්ට මේ කුමක් නම් කියන්නේ දැයි ඇසිය යුත්තක් කොට ඇදහිය යුත්තක් කොට නො හඟිති. එසේ ඇති කල සසුන අනෛර්‍යාණික වෙයි. එබැවින් එය අකාලයයි. වසර සියයෙන් අඩු ආයු කාලය ද බුදුවරු පහල වන කාලය නො වෙයි. කුමක් නිසා ද යත්? එකල සත්වයෝ උත්සන්න කෙලෙස් ඇත්තෝ වෙයි. උත්සන්න කෙලෙස් ඇත්ත වුන්ට දුන් අවවාදය අවවාද ස්ථානයෙහි නො සිටී. දියෙහි ඇඳි රේඛාව මෙන් වහා මැකී යයි. එබැවින් එය ද අකාලයයි. වර්‍ෂ සියයත් ලක්‍ෂයත් අතර ආයු කාලය තුළ පමණක් බුදුවරු පහල වේ. එසේ ම මනුෂ්‍ය ආයුෂ වර්‍ෂ සියයත් ලක්ෂයත් අතර කාලවල දී පමණක් බුදු පසේබුදු අග්‍රශ්‍රාවකයෝ පහළ වෙති.
4. ආයුකල්පය:
 ඒ ඒ කාලවල මිනිසුන්ගේ යම් ආයු ප්‍රමාණයක් වේද, එය ආයුකල්පය යි. කලක දී අකුසලය උත්සන්න වීම නිසා මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් දස වර්‍ෂය දක්වා අඩුවේ. නැවත කුසල් දහම් සමාදානය නිසා මිනිසුන්ගේ ආයුෂ වර්‍ෂ අසංඛ්‍යය දක්වා වැඩෙන්නේ ය. මෙකල මිනිසුන්ගේ පරමායුෂ වර්‍ෂ 100ක් යැයි සැලකුව හොත් ආයුකල්පය වර්‍ෂ 100ක් වේ.
මේ නයින් මහාකල්පය, අසංඛ්‍යකල්පය, අන්තර කල්පය හා ආයුකල්පය දත යුතු ය.