Thursday, January 12, 2017

නිරෝගී බවින් අගතැන්පත් බක්කුල මහරහතන් වහන්සේ


නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
"යො පුබ්බෙ කරණීයානි, පච්ඡා සො කාතුමිච්ඡති;
සුඛා සො ධංසතෙ ඨානා, පච්ඡා ච මනුතප්පති.
යඤ්හි කයිරා තඤ්හි වදෙ, යං න කයිරා න තං වදෙ;
අකරොන්තං භාසමානං, පරිජානන්ති පණ්ඩිතා.
සුසුඛං වත නිබ්බානං, සම්මාසම්බුද්ධදෙසිතං;
සොකං විරජං ඛෙමං, යත්‍ථ දුක්‍ඛං නිරුජ්ඣතී"ති.
යමෙක් පළමු ව කළ යුතු දෑ නො කොට පසුවට කල් දමයි ද, හෙතෙම ස්වර්ගයෙන් හා මෝක්‍ෂයෙන් පිරිහෙහි. පසුතැවෙන්නේ ද වෙයි.
යමක් ම කරන්නේ නම් එය ම කියන්නේ ය. යමක් නොකරන්නේ නම් එය නොකියන්නේ ය. එසේ නොකරන්නාහුට නුවණැතියෝ බුහුමන් නොකරත්.
යම් තැනක සසර දුක නිරුද්‍ධ වේ නම් සම්බුදුන් විසින් දෙසන ලද ඒ ශෝක රහිත වූ රාගාදී රජස් රහිත වූ නිරුපද්‍රිත වූ නිවන ඒකාන්තයෙන් ම මනා සුවය වෙයි.
 යනු මේ ගාථාවල සරල අර්ථයයි. මෙය බක්කුල හිමියන් විසින් ප්‍රකාශ කරන ලද ගාථාවන් ය.
මම නිරෝගී පුද්ගලයකු වෙමි. අන් අය රෝග බහුලයෝ ය. මට සෙම්ප්‍රතිශ්‍යාවක් තරම්වත් රෝගයක් නැතැයි ඇති කරගන්නා වූ මානය ආරෝග්‍ය මදය නම් වේ. නිරෝගී බව උතුම් ම ලාභය බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පසේනදී කොසොල් රජතුමා වැනි රාජ්‍ය නායකයකුට ය. සියලු සම්පත් නො අඩු ව තිබුණ ද, ඔහුට නැති වූයේ නිරෝගී සම්පතයි. එය ද සුව කළ නොහැකි අසාධ්‍ය රෝගයක් නොව, පමණට වඩා ආහාර ගැනීම නිසා ඇති වූ මත් බවත්, නිදිමත ගතියක් ආදී වූ අපහසුතාවයන් ය.
නිරෝගී පුද්ගලයකු වීම, ප්‍රතිපත්ති පූරණයේ දී ද ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හේතුවන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. එපමණක් නොව නිරෝගී බව ඇගැයීමට ලක් කළේ එවැනි අයට තනතුරු ද ප්‍රදානය කිරීමෙනි. බක්කුල තෙරුන්ට තනතුරු ප්‍රදානය කිරීම එවන් අවස්ථාවකි. "එතදග‍්ගං භික්‍ඛවෙ මම සාවකානං අප‍්පාබාධානං යදිදං බක‍්කුලො" යනුවෙන් 'මහණෙනි, යම් බක්කුල නම් භික්‍ෂුවක් වේ ද නිරෝගී වූ මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි මේ අග්‍ර යැ’යි අග්‍රස්ථානයේ තැබූ සේක. හුදු ප්‍රාර්ථනාවෙන් පමණක් නිරෝගීකම ලබාගත නොහැකි බව මේ බක්කුල ථෙරාපදානයෙන් පැහැදිලි වෙයි. ඒ සඳහා උපයෝගී වන පින්කම් රාශියක් පෙර භවවල දී බක්කුල හිමියන් විසින් සිදු කොට ඇත.
අනෝමදස්සී බුද්ධ කාලයේ දී බමුණුකුලයක ඉපිද එම බුදුරදුන්ට ඇති වූ උදරාබාධයකට කැලයෙන් බෙහෙත් සොයා ගෙනවිත් දී එම උදරාබාධය සුව කිරීම, නැවත පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී අල්පාබාධ ඇත්තවුන් අතුරෙන් අග තනතුරු ලත් භික්‍ෂුවක් දැක තමන් ද එවැනි ම තනතුරක් ලබාගැනීමට ප්‍රාර්ථනා කර ඇත. විපස්සී බුදුරදුන්ගේ කාලයේ දී ද භික්‍ෂූන්ට හටගත් රෝගයකට බෙහෙත් සපයා දී ඇත. අද බොහෝ දෙනෙක් නොදන්නා, එමෙන් ම ගණන් නොගන්නා සුවිශේෂ වටිනා පින්කමක් ද කාශ්‍යප බුදුරදුන්ගේ කාලයේ දී බක්කුල හිමියන් විසින් සිදු කොට ඇත. එනම් ජරාජීර්ණ ව, විනාශ වෙමින් පැවති එක්තරා විහාරස්ථානයකට උපෝසථාගාර සහිත ආවාස ගෘහයක් කරවා දීම ය. එපමණක් නොව ගරා වැටෙමින් පවතින චෛත්‍යස්ථාන, මාර්ග, ඒදඬු, පාලම්, අම්බලම් වැනි පොදු වස්තු අලුත්වැඩියා කිරීමෙන් ඇතැම් නිදන්ගත රෝගවලින් පවා සුවය ලැබූ අවස්ථා අපට පැරණි පොතපත කියා දෙයි. මෙය ඒ බක්කුල හිමියන්ගේ අනුපිළිවෙළ කතාවයි.
෴◌◌◌◌◌◌◌෴
අනෝමදස්සී බුදුන් වහන්සේගේ කාලයේ කළ පින්කම්
අතීතයේ මෙයින් ඒකාසංඛ්‍යය කල්ප ලක්‍ෂයකට පෙර වර නම් කල්පයේ අනූපම දර්‍ශන ඇති අනෝමදස්සී නම් බුදුන් වහන්සේ සොළොසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරා ලොව පහළ වූ සේක. ඒ කාලයේ එක් බමුණු කුමාරයෙක් වැඩි වියට පැමිණ උගන්නාලද වේද ඇත්තේ ත්‍රිවේදයේ හරයක් නොදැක ‘පරලොව යහපත සඳහා මඟක් සොයන්නෙමි’යි සිතා හිමවතට නුදුරෙහි සෝභිත නම් පර්‍වතයෙහි ඍෂිවරයෙකු මෙන් පැවිදි ව පංච අභිඥා හා අෂ්ට සමාපත්ති උපදවා සුව සේ කල් යැවීය.
ඒ සෝභිත නම් පර්වතයෙහි තම ශිෂ්‍යයන් විසින් මැනවින් කරනලද අසපුවක් විය. එහි විසිතුරු මණ්ඩපයෝ ද බොහෝ වූහ. පිපුණු නික වෘක්‍ෂයෝ ද ජීවජීවක (සපු?) වෘක්‍ෂයෝ ද, දිවුල් වෘක්‍ෂයෝ ද බොහෝ වූහ. ඩෙබර, නෙල්ලි, උගුරැස්ස, ලබු, ආලක, බෙලි, කෙසෙල්, නාරං, උක්, කුඹුක්, පුවඟු, කොහොඹ, සලල (හොර), කොළොම්, නුග ආදී වෘක්‍ෂයෝ ද පිපුණු සුදු නෙළුම් ද එහි බොහෝ ය. එම අසපුව මෙබඳු ය. ශිෂ්‍යයන් සහිතව හෙතෙම එහි විසීය.
එසමයෙහි පස්මරුන් දිනූ ඒ අනෝමදස්සී භාග්‍යවතුන් වහන්සේ රහතන් වහන්සේලා පිරිවරා චාරිකාවේ වඩින සේක් විවේකය පිණිස මෙම අසපුව සමීපයෙහි වූ අරණට එළඹිසේක. තවුස් තෙමේ ද 'බුදුන් පහළ වී ය'යි අසා ශාස්තෘන් වහන්සේ සමීපයට ගොස් දහම් අසා දෙසුම් කෙළවර තිසරණයේ පිහිටියේ ය. තවුස් බව අතහැර පැවිදි වීමට සිත් නොවූ හෙතෙම කලින් කලට ශාස්තෘන් වහන්සේ දැකීමට ද යයි. දහම් ද අසයි.
ඉක්බිති එක් කලෙක විනායක ඒ අනෝමදස්සී තථාගතයන් වහන්සේට වාත රෝගයක් උපන්නේ ය. තවුස් තෙමේ ශාස්තෘන් වහන්සේ දැකීමට පැමිණ 'ශාස්තෘන් වහන්සේ ගිලන් සේක යැ'යි අසා 'ස්වාමීනි, කවර ආබාධයක් දැ'යි අසා උදර වාතයක් යැයි කී කල්හි 'මට පින් කිරීමට මේ කාලය'යි සිතා තම අසපුවට ගොස් ශිෂ්‍යයන් කැටි ව නොයෙක් ආකාරයේ ඖෂධ පිළියෙළ කොට 'මේ බෙහෙත ශාස්තෘන් වහන්සේට එළවුව මැනව'යි උපස්ථායක තෙරුන්ට දුන්නේ ය. බෙහෙත යෙදීමත් සමග ම ආබාධය සංසිඳුණේ ය. තවුස් තෙම පසු ව ශාස්තෘන් වහන්සේ වෙත ගොස් මෙසේ කීය; 'ස්වාමීනි, මගේ බෙහෙතින් තථාගතයන් වහන්සේට යම් මේ පහසුවක් හටගත්තේ ද ඒ පින්කමේ විපාකයෙන් මට උපනුපන් භවයෙහි කිරිදෙව්නා පමණ වූ සුළු කලකට ද ශරීර ව්‍යාධියක් නම් නොවේවා!' යනුවෙනි. එවිට උතුම් වූ ඒ අනෝමදස්සී බුදුහු මෙසේ වදාළ සේක.
"යමෙක් මට බෙහෙත් දුන්නේ ද, මාගේ රෝගය සන්සිඳු වී ද, හෙතෙම මේ හේතුවෙන් කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. එම දෙව්ලොවෙහි තූර්‍ය්‍යයන් වාදනය කරණ කල්හි මෙතෙම හැම විට ම සතුටු වන්නේ ය. මිනිස් ලොව දහස් වරක් සක්විති රජ වන්නේ ය. මින් පනස්පස් වන කල්පයෙහි සිව් මහා දිවයින් හා සිව් සයුරු කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ සත්රුවණින් යුත්, මහත් බලැති අනෝම නම් සක්විති රජෙක් ව, තව්තිසාව ද කලඹා ආධිපත්‍යය කරන්නේ ය. දෙවියෙක් වුව ද මනුෂ්‍යයෙක් වුව ද නිරෝගී කෙනෙක් වන්නේ ය. මතු ගෞතම බුදුන් දවස බක්කුල නමින් මහරහත් බවට පැමිණ නිරෝගී බවින් අගතැන්පත් ව පිරිනිවන් පාන්නේ ය." යනුවෙනි. මෙසේ ඔහු කළ කර්‍මය සරු කෙතක වපුළ බීජ මෙන් විය.
පියුමතුරා බුදුන් වහන්සේගේ කාලයේ කළ පින්කම්
හෙතෙම එයින් චුත ව බඹ ලොව ඉපිද ඒකාසංඛ්‍යය කල්පයක් දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ පුරුෂෝත්තම පදුමුත්තර බුදුන්ගේ කාලයේ හංසවතී නුවර කුල ගෙයක උපන්නේ ය. එකල පස්මරුන් දිනූ ඒ පියුමතුරා බුදුන් වහන්සේ එක් භික්ෂුවක් අල්ප ආබාධ වූවන් අතුරෙන් අගතැන්හි තැබී ය. හෙතෙම මෙය දැක සතුටු ව පින්දහම් කොට ඒ තනතුර පැතීය.
විපස්සී බුදුන් වහන්සේගේ කාලයේ කළ පින්කම්
හෙතෙම දිවි ඇති තෙක් පිංකම් කොට ඉන් චුත ව දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ මෙයින් කල්ප අනූඑකකට මත්තෙන් දෙපා ඇත්තන්ට අග්‍ර වූ විපස්සී බුදුන් පහළ වීමට පෙර දී ම බන්‍ධුමතී නගරයෙහි බමුණු කුලයෙහි උපන්නේ ය. එහි දී ද පෙර සේ ම ඍෂිවරයෙකු මෙන් පැවිදි ව ධ්‍යානලාභී ව පර්වත පාදයක වාසය කරයි. මහර්ෂි වූ විපස්සී බෝසතාණන් වහන්සේ ද අවුරුදු අට දහසක් ගිහිගෙයි වැස සතර පෙර නිමිති දැක මහබිනික්මන් කොට වෙසක් පුන්පොහෝ දින මරබල නසා බුද්ධත්වයට පත් ව හැටඅට දහසක් මහත් භික්‍ෂු සංඝයා සහිත ව බන්‍ධුමතිය ඇසුරු කොට බන්‍ධුමා පියමහරජුට සංග්‍රහ කරමින් ඛේම මිගදායෙහි වාසය කරන සේක.
ඉක්බිති මේ තවුස් තෙමේ නරෝත්තම වූ විපස්සී බුදුන් වහන්සේ ලොව පහළ වූ බව දැන අවුත් ශාස්තෘන් වහන්සේගෙන් ධර්‍මය අසා තිසරණයේ පිහිටියේ ය. තමාගේ තවුස් පැවිද්ද අතහැරීමට අකමැති විය. කලින් කලට ශාස්තෘන් වහන්සේගේ උපස්ථානයට යයි.
එක් කලෙක හිමවතෙහි විෂ වෘක්‍ෂයන්ගේ පිපුණු මල් වලින් හමා එන වාතය පැහැසීමෙන් භික්‍ෂූන්ට මත්‍ථක නම් වූ (පීනස්) රෝගයක් හටගත්තේ ය. එම රෝගය උතුම් වූ ශාස්තෘන් වහන්සේට හා දෑගසව්වන්ට හැර සෙසු සියළු භික්‍ෂූන්ට වැළඳුනහ. දිනක් තවුසා ශාස්තෘ උපස්ථානයට පැමිණ හිසේ පටන් පොරවා වැඩ හිඳිනා භික්‍ෂූන් දැක 'ස්වාමීනි, කිම? භික්‍ෂු සංඝයාට අපහසුවක් දැ'යි විචාළේ ය. 'මත්‍ථක නම් රෝගයක් ය.'යි පැවසූහ. තවුසා මසේ සිතී ය. 'බික්සඟනට උපස්ථාන කොට පින් කිරීමට මේ මට කාලයයි.' මෙසේ සිතා තමන්ගේ ආනුභාවයෙන් නොයෙක් බෙහෙත් සොයා එක් කොට පිළියෙළ කර දුන්නේ ය. සියළු භික්‍ෂූන්ගේ ම රෝගය එකෙණෙහි ම සංසිඳුණේ ය. හෙතෙම දිවි ඇති තෙක් සිට පින්කම් කොට ආයු කෙළවර බඹ ලොව උපන්නේ ය.
කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ කළ පින්කම්
හෙතෙම එයින් චුත ව කල්ප අනූඑකක් දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ නරදෙටු වූ කාශ්‍යප බුදුන්ගේ කාලයේ බරණැස් කුල ගෙයක උපන්නේ ය. වැඩි වියට පැමිණ තමා වසන ගෙය දුබල බැවින් එය පිළිසකර කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය සොයන්නේ වඩුවන් සමග ඈත පිටිසර ප්‍රදේශයකට ගියේ ය. යන අතරමඟ එක් දිරාගිය මහවෙහෙරක් දැක 'මගේ ගෙයි වැඩ තිබියේවා. එය මා සමග පරලොව නොයන්නේ ය. පරලොව පිණිස පින් පිහිට වන්නේ ය. එබැවින් පරලොව පිණිස පින් කළ යුතු ය.'යි සිතා තමා කැටි ව පැමිණි ඒ වඩුවන් ලවා ම ඒ දිරාගිය වෙහෙරෙහි පොහොය ගෙය ද දන් ගෙය ද ගිනිහල් ගෙය ද සක්මන් මළු ද වැසිකිළි-කැසිකිලි හා රෝහලක් ද කර වූයේ ය. භික්‍ෂු සංඝයාට උපභෝග පරිභෝග වන යම්තාක් වස්තු හා බෙහෙත් වෙත් ද ඒ සියල්ල ම පිළියෙළ කොට තැබී ය.
වර්තමාන භවය
හෙතෙම දිවි ඇති තෙක් පින්දහම් කොට එක් බුද්ධාන්තරයක් දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ පසැස් ඇති අපගේ බුදුන් වහන්සේ ලොව පහළ වීමට පෙරාතුව ම කොසඹෑ නුවර සිටු ගෙයක පිළිසිඳ ගත්තේ ය. ඔහු පිළිසිඳගත් දිනයෙහි පටන් ඒ සිටු කුලය ලාභයෙන් යසසින් අගතැන්පත් වූයේ ය. ඉක්බිති ඔහුගේ මව, පුතු වදා මෙසේ සිතුවා ය: ‘මේ දරුවා පින් ඇත්තෙකි. කරනලද ප්‍රාර්ථනා ඇත්තෙකි. යම්තාක් නිරෝගී ව දීර්ඝායුෂ්ක ව සිටී ද එපමණ කලක් අපට යහපතක් වන්නේ ය. උපන් දින ම මහා යමුනා නදියේ නහවන ලද දරුවෝ නිරෝගී වන්නේ ය.’ යි සිතා නැහැවීම සඳහා ඒ දරුවා යැවුවා ය. කිරි මව විසින් දරුවා නාවනු ලබද්දී එක් මත්ස්‍යයෙක් දරුවා දැක ගොදුරක් යැයි සිතා මුව අයාගෙන එළඹියේ ය. කිරි මව බියවී දරුවා අතහැර පළා ගියා ය. මත්ස්‍යයා දරුවා ගිල්ලේ ය. පින්වත් බැවින් දරුවාට අපහසුවක් නොවී ය. යහනක මෙන් මත්ස්‍යයාගේ කුස තුල සිටියේ ය. මත්ස්‍යයා දරුවාගේ තේජසින් රත් වූ තැටියක් ගිල දැවෙන්නෙකු මෙන් වේගයෙන් පිහිනන්නේ තිස් යොදුනක් ගොස් බරණැස් නුවර වැසි කෙවුළකුගේ (ධීවරයකුගේ) දැලට හසු විය. මත්ස්‍යයා දැලෙන් ගොඩ ගනිද්දී ම මළේ ය.
කෙවුළෝ ද මත්ස්‍යයා රැගෙන විකුණනු පිණිස නුවර හැසිරුණේ ය. ඒ නුවර දරුවන් නැති අසූකෙළක් ධනය ඇති සිටු කුලයක් ඇත. ඔවුහු විසින් කහවණුවක් දී මත්ස්‍යයා මිල දී ගන්නා ලද්දේ ය. සිටු බිරිඳ ද අන් දිනයන්හි මසුන් පිසීම සඳහා පිළියෙළ නොකරන්නී ය. ඒ දිනයෙහි වනාහි මත්ස්‍යයා තළියෙහි තබා ඇය ම පැළුවා ය. මසු කුසෙහි රන්වන් දරුවා දැක 'මසු කුසෙන් මට පුතෙක් ලැබිණැ'යි හඬ නගා දරුවා ද රැගෙන සැමියා සමීපයට ගියා ය. සිටු තෙමේ එකෙණෙහි ම බෙර හසුරුවා දරුවා රැගෙන රජු සමීපයට ගොස් 'දේවයිනි, මසු කුසින් මට දරුවෙක් ලැබිණ. කුමක් කෙරෙමි දැ'යි ඇසී ය. 'ඔහු පෝෂණය කරව'යි රජ තෙමේ සිටුහට පැවසී ය.
'බරණැස එක් සිටු කුලයක් මසුකුසින් දරුවෙක් ලැබීය'යි දරුවා විසූ කොසඹෑ නුවර මුල් කුල ගෙයට ද දැනගන්නට ලැබිණ. ඔවුහු බරණැස් නුවරට ගියාහු ය. වැදූ මව දරුවා ඉල්ලීය. හැදූ මව අකමැති විය. දෙදෙනා ම රජු වෙත ගියා ය. කරුණු කාරණා විමසූ රජු ‘දරුවා කුළ දෙකට ම දායාද වන්නේ යැ’යි කීවේ ය. එතැන් පටන් දෙකුලයට ම බෙහෙවින් ලාභයෙන් යසසින් අගපත් වූයේ ය. ඔහු දෙකුලයක් විසින් වඩන ලද බැවින් බක්කුල (ද්ව + කුල -› ද්වක්කුල -› බක්කුල) කුමරුවා යැයි නම් කළාහු ය.
වැඩිවියට පත් වූ ඔහුට නගර දෙකෙහි ම ප්‍රාසාද තුන බැගින් කරවා නළුවන් තැබුවාහු ය. එක් නුවරක සිව් මසක් බැගින් වසයි. එක් නුවරක සිව් මසක් විසූ ඔහුට පහුරු නැව්වල මණ්ඩපයක් කරවා එහි නළුවන් සමග ඔහු නංවා පෙරහැරින් ගඟ දිගේ අනෙක් නුවරට යයි. එක් නුවරක වැසියෝ අඩක් දුර යති. අනෙක් නුවර වැසියෝ අඩක් දුර පෙර ගමන් කර පිළිගෙන තම නුවරට පමුණුවති. සෙසු නළුවෝ ආපසු හැරී තමන්ගේ නුවරට ම යති. එහි සිව්මසක් වැස ඒ අයුරින් ම යළි අනෙක් නගරයට යයි. මෙසේ සැපසම්පත් විඳින ඔහුට අසූවසක් සපිරිණි.
එසමයෙහි අපගේ බෝසතාණෝ බුදුබවට පත් ව පවත්වන ලද උතුම් දම්සක් ඇත්තාහු අනුපිළිවෙළින් චාරිකාවෙහි හැසිරිමින් කොසඹෑ නුවරට පැමිණියහ. බක්කුල සිටු තෙමේ ද බුදුන් වහන්සේ වැඩියහයි අසා බොහෝ සුවඳ මල් ආදිය රැගෙන බුදුන් සමීපයට ගොස් දහම් කතා අසා ලැබූ සැදැහැ ඇත්තේ පැවිදි වූයේ ය. හෙතෙම සත් දිනක් පුහුදුන් කෙනෙක් ව සිට අටවන දිනයෙහි උදෑසන සිව්පිළිසිඹියා සහිත මහරහත් බවට පැමිණියේ ය.
දෙනදෙනුවර ඇසුරු කළ කාන්තාවෝ තමන්ගේ කුළගෙවල්වලට ම අවුත් එහි ම වසමින් සිවුරු කොට යැවුවාහු ය. තෙරණුවෝ එක් අඩ මසක් (සති දෙකක්) කොසඹෑ නුවර වැස්සන් විසින් එවන ලද සිවුරු පරිභෝග කරයි. එක් අඩ මසක් බරණැස් නුවර වැස්සන් විසින් එවන ලද සිවුරු පරිභෝග කරයි. එසේ දෙනුවරෙහි ම යම් යම් උතුම් දෙයක් වේ ද එය තෙරුන්ට ගෙනෙනු ලබයි.
බක්කුල තෙරුන් වහන්සේ තුළ වූ ආශ්චයර්‍වත් අද්භූත කරුණු
එක් කලෙක බක්කුල තෙරණුවෝ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වෙසෙයි. එකල්හි තෙරුන්ගේ පැරණි ගිහි යහළුවෙක් වූ අචේල කාශ්‍යප තෙම තෙරුන් වෙත පැමිණියේ ය. පැමිණ එකත්පස් ව හිඳ තෙරුන්ගෙන් මෙසේ ඇසීය.
කාශ්‍යප : ස්වාමීනි, මහණ වී කොපමණ කාලයක් ගත වී ද?
තෙරණුවෝ : ඇවැත් කාශ්‍යපය, පැවිදි වූ මට අවුරුදු අසූවකි.
කාශ්‍යප : ස්වාමීනි, මේ අසූ වයස් කාලයෙහි ඔබ විසින් කී වරක් කාමයන් සෙවුනා ලද ද?
තෙරණුවෝ : ඇඇවැත් කාශ්‍යපය, මගෙන්, 'ස්වාමීනි, ඔබ විසින් මේ අසූ වයස් පමණ කාලය ඇතුළත කී වරක් කාමයන් සෙවුනා ලද දැ'යි මෙසේ නො ඇසිය යුතු ය. ඇවැත් කාශ්‍යපය, මගෙන් මෙසේ ඇසිය යුතු ය. කෙසේ ද? ‘ස්වාමීනි, මේ අසූ වයස් කාලයෙහි ඔබට කී වරක් කාම සංඥාව (කාමුක සංකල්පනාව) පහළ වූයේ දැ'යි ඇසිය යුතු ය.
කාශ්‍යප : ස්වාමීනි, මේ අසූ වයස් කාලය තුල කී වරක් ඔබට කාම සංඥාව උපන්නේ ද?
තෙරණුවෝ : ඇවැත් කාශ්‍යපය, පැවිදි වූ මට අවුරුදු අසූවකි. ඒ කාලය තුල කාම සංඥාවක් උපන් බවක් නො දනිමි.
කාශ්‍යප : යම් හෙයකින්, නුඹ වහන්සේ වස් අසූවක් කාලය තුල කාම සංඥාවක් උපන් බවක් නොදනී නම්, එය නුඹ වහන්සේගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයක් යැයි අපි දරමු.
මේ තෙරුන් තුළ පැවති එක් ආශ්චර්යවත් අද්භූත කරුණකි. තෙරුන් පැවිදි වූයේ අසූවන වියෙහි දී ය. පැවිදි ව අසූ වර්ෂයක් වැඩ සිටියහ. තෙරුන් එකසිය හැට වසරක් ජීවත් විය. මේ දෙදෙනාගේ සංවාදයෙන් තෙරුන් තුළ වූ තවත් ආශ්චර්යවත් අද්භූත කරුණු රාශියක් දක්වයි. ඒ මෙසේ ය.
01. පැවිද්දෙන් පසු මේ අසූ වස තුළ කිසි ම දිනක කාම සංඥාවක් (කාමුක හැඟීමක්) පහළ වී නොමැත.
02. කිසි ම දිනක ව්‍යාපාද සංඥාවක් (තරහ හැඟීමක්) පහළ වී නොමැත.
03. කිසි ම දිනක විහිංසා සංඥාවක් පහළ වී නොමැත.
04. කාම විතර්කයක් පහළ වී නොමැත.
05. ව්‍යාපාද විතර්කයක් පහළ වී නොමැත.
06. විහිංසා විතර්කයක් පහළ වී නොමැත.
07. ගෘහපති චීවරයක් (වස්සාවාසික චීවරයක්) පොරවා නොමැත.
08. ආයුධයකින් (කතුරකින්) සිවුරක් කපා නොමැත.
09. ඉදිකටුවකින් සිවුරක් මසා නොමැත.
10. සිවුරක් පඬු පොවා නොමැත.
11. කඨින සිවුරක් මසා නොමැත.
මෙසේ ගෘහපති චීවර නොගෙන ඉරුණු තැන් නොමසා කෙසේ නම් තෙරණුවෝ සිවුරු ලැබුවේ ද? කොසඹෑ හා බරණැස් නුවර දෙකෙනි. තෙරුන් වහන්සේ මහත් යසස් ඇත්තාහ. ඔහුගේ දූදරුවෝ මුනුබුරෝ සියුම් සළු වලින් සිවුරු කොට පඬු පොවා කරඬුවල දමා යවති. තෙරුන් ස්නානය කරන කාලයෙහි නාන කොටුවෙහි සිවුරු තබත්. තෙරුන් වහන්සේ ඒවා අඳිති. පොරවති. පරණ සිවුර පැමිණි භික්‍ෂූන්ට දෙති. තෙරුන් වහන්සේ අළුත් සිවුරු ඇඳ පොරවා අළුත් වැඩක් නො කරයි. උත්සහ ද නො කරයි. ඵලසමාපත්තියට සමවැද සිටියි. හාර මාසයක් ගිය කල සම කිලිටි වෙයි. නමුත් සති දෙකින් දෙකට සිවුරු මාරු කරයි.
12. සබ්‍රහ්ම්සරුන් චීවර කර්මයෙහි යොදා නොමැත.
13. කිසි ආරාධනයක් පිළිගෙන නොමැත.
14. කිසිවෙක් මට ආරාධනය කරන්නේ නම් ඉතා යෙහෙකැයි' කියා මෙබඳු සිතක් කිසි දිනක හටගෙන නොමැත.
15. ගම තුළ (නතර වී) හුන් බවක් නොමැත.
16.  ගමෙහි දන් වළඳා නොමැත.
තෙරුන් වහන්සේ නුවර එක් ගෙයකට පැමිණි විට ඔවුහු පාත්‍රය රැගෙන නොයෙක් රස ආහාර වලින් පුරවා දෙති. ලබන ලද තැනින් නවතින තෙරුන් වහන්සේ පිණ්ඩපාතය කරගෙන වළඳනා තැනට පැමිණ වළඳයි.ය කරගෙන වළඳනා තැනට පැමිණ වළඳයි.
17. රූපයෙහි නිමිති ගෙන ස්ත්‍රියක් දෙස බලා නොමැත.
18. ස්ත්‍රියකට යටත් පිරිසෙයින් සතර පද ගාථාවකින් වත් දහම් දෙසා නොමැත.
ස්ත්‍රියකට වචන පහකින් හයකින් බණ කියන්නට වටියි. ප්‍රශ්න කරන්නේ නම් ගාථා දහසක් වුවත් කියන්නට වටින්නේ ම ය. තෙරුන් වහන්සේ මෙය කැප වුව ද නො කළහ. බොහෝ සෙයින් කුලුපග භික්‍ෂූන්ට ම මේ කටයුත්ත පවරයි.
19. භික්‍ෂුණී ආශ්‍රමයකට පැමිණ නොමැත.
භික්‍ෂුණියක් ගිලන් වූ අවස්ථාවක ආදියේ දී භික්‍ෂුණී ආරාමයකට යන්නට කැප ය. තෙරුන් වහන්සේ මෙය ද කැප වුව ද නො කළහ. බොහෝ සෙයින් කුලුපග භික්‍ෂූන්ට ම මේ කටයුත්ත පවරයි.
20. භික්‍ෂුණියකට දහම් දෙසා නොමැත.
21. සික්ඛමානාවකට (පැවිදිවීම සඳහා හික්මෙන්නියකට) දහම් දෙසා නොමැත.
22. සාමණේරියකට දහම් දෙසා නොමැත.
මොවුන්ට ද වචන පහකින් හයකින් බණ කියන්නට වටියි. ප්‍රශ්න කරන්නේ නම් ගාථා දහසක් වුවත් කියන්නට වටින්නේ ම ය. තෙරුන් වහන්සේ මෙය කැප වුව ද නො කළහ. බොහෝ සෙයින් කුලුපග භික්‍ෂූන්ට ම මේ කටයුත්ත පවරයි.
23. කිසි කෙනෙකු පැවිදි කර නොමැත.
24. කිසි භික්‍ෂුවක් උපසම්පදා කර නොමැත.
25. කිසි භික්‍ෂුවකට නිස දී නොමැත.
26. සාමණේරයෙක් ලවා උපස්ථාන කරවා ගෙන නොමැත.
27. ගිනිහල් ගෙයි (උණු දිය) ස්නානය කළ බවක් නොදනියි.
28. ඇඟ ගාන සුනු (සබන්) ගා කිසි දිනක ස්නානය කර නොමැත.
29. සබ්‍රහ්ම්සරුන් (තමා හා සමාන ව පිළිවෙත් පුරන්නන්) අත් පා මෙහෙවරෙහි යොදවා උපස්ථාන කරවා ගෙන නොමැත.
30. අඩු ම තරමින් දෙනකගෙන් කිරි බින්දුවක් දෝනා කලක් පමණවත් ආබාධයක් නොවීය.
31. එසේ ම අරළු කැබැල්ලක් පමණවත් බෙහෙතක් පරිහරණය කර නොමැත.
32. හේත්තු වන පුවරුවක හේත්තු වී නොමැත.
33. සයනය කර නොමැත.
34. ග්‍රාමාන්ත (ගමෙහි වූ) සේනාසනයක වස් වසා නොමැත.
තෙරුන් වහන්සේ නේසජ්ජිකාංගය (නිදිමැරීම) හා ආරණ්‍යකාංගය (ආරණ්‍යයේ ම හිඳීම) යන ධූතාංග උත්කෘෂ්ට ලෙස දැරුවේ ය.
35. කෙලෙස් සහිත ව සත් දවසක් පමණක් රටවැසියාගේ පිණ්ඩපාතය අනුභව කළේ ය. ඉක්බිති අටවෙනිදා අර්‍හත්‍වයට පත්විය.
මේ ආශ්චර්යවත් අද්භූත කරුණු ඇසූ අචේල කාශ්‍යප තෙම, "ස්වාමීනි, මම මේ ශාසනයෙහි පැවිදි වන්නෙමි. උපසම්පදාව ලබන්නෙමි" යි කීය. තෙරුන් වහන්සේ තෙමේ පැවිදි නො කරයි. අනුන් ලවා මෙය කර වූහ.
පසු ව අචේල කාශ්‍යප තෙම මේ ශාසනයෙහි පැවිදි බව ලැබීය. උපසම්පදාව ද ලැබීය. කාශ්‍යප තෙරුන් උපසපන් වී නොබෝ කලකින් ම රහත් බවට පැමිණියේ ය.
ඉක්බිති බක්කුල තෙරණුවෝ අන් කලෙක යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස්, 'ඇවැත්නි, නික්මෙව්. ඇවැත්නි, නික්මෙව්. අද මාගේ පිරිනිවීම වන්නේ යැ'යි කීය.
36. මෙසේ බක්කුල තෙරණුවෝ යතුර ගෙන විහාරයෙන් විහාරයට ගොස් 'අද මාගේ පිරිනිවීම වන්නේ යැ'යි කීයේ ද, මෙය ද බක්කුල තෙරුන්ගේ ආශ්චර්යවත් අද්භූත කරුණක් ය.
37. ඉක්බිති බක්කුල තෙරණුවෝ සංඝයා මැද හිඳගෙන ම පිරිනිවියේ ද, මෙය ද ආයුෂ්මත් බක්කුල තෙරුන්ගේ ආශ්චර්යවත් අද්භූත කරුණක් ය.
'මම වැඩ සිටිනා කාලයේ දී අනෙක් භික්‍ෂුවකට කරදර නො වූයෙමි. පිරිනිවි මාගේ ශරීරය ද භික්‍ෂු සංඝයාට කරදර නොවේවා'යි තේජෝ ධාතුවට සමවැද පිරිනිවියහ. ශරීරයෙන් ගිනි දැලි නැංගේ ය. සම් මස් ලේ ගිතෙල් මෙන් දැවී ක්‍ෂය වූයේ ය. සමන් කැකුළු හා සමාන ධාතු ඉතිරි විය.෴
ධර්මාශෝක රජු කළ පූජා
අශෝක රජු අසූ මහ ශ්‍රාවකයන්ගේ සෑ ප්‍රතිසංස්කරණය කිරීමේ දී දිනක් සැරියුත් හිමියන්ගේ ධාතු ස්තූපය දැක උන්වහන්සේගේ ගුණ කතාව අසා වඩාත් ශ්‍රද්ධාව උපදවා කහවණු ලක්ෂයක් ගෙන සැරියුත් මහරහතන් වහන්සේගේ සෑය ළඟ තබා වැඳ ‘මේ කහවණු වලින් මේ සෑය ප්‍රතිසංස්කරණය කරව’යි උපදෙස් දුන්හ. ඉක්බිති මුගලන් හිමියන්ගේ සෑය ළඟට පැමිණ එසේ ගුණ අසා පැහැදී කහවණු ලක්ෂයක් ගෙන සෑය ළඟ තබා වැඳ ‘මේ කහවණු වලින් මේ සෑය ප්‍රතිසංස්කරණය කරව’යි උපදෙස් දුන්හ. මෙසේ අංගුලිමාල, සරභූ ආදී මහ රහතන් වහන්සේලාගේ සෑයන් අසලට ද පැමිණ එසේ ගුණ අසා පැහැදී කහවණු ලක්ෂයක් බැගින් ගෙන සෑයන් ළඟ තබා වැඳ ‘මේ කහවණු වලින් මේ සෑය ප්‍රතිසංස්කරණය කරව’යි උපදෙස් දුන්හ.
නැවත බක්කුල මහරහතන් වහන්සේගේ සෑය ළඟට පැමිණ ගුණ අසනුයේ ‘මේ සාසනයේ නිරෝගී බවින් අගතැන්පත් මහරහතන් වහන්සේ මුන් වහන්සේ ය. දීර්‍ඝායුෂ ය. නමුත් කිසි දිනක එක ම බණ පදයක් වත් දේශනා කර නොමැත. කිසිවෙකු මහණ උපසම්පදා කොට නොමැත.’යි අසා සිත් පහන් නොවී ය. රජු මෙසේ සිතී ය. ‘මුන් වහන්සේ රහත් බව සැබෑ ය. නමුත් අන් කෙනෙකුට නම් යහපතක් කර නැත්තේ දෝහෝ’යි සිතා ඒ සෑය ළඟින් තුට්ටුවක් තැබී ය. ඒ කාසිය නැවත පෙරළී රජුගේ පා අසලට ම පැමිණියහ. සංවේගයට පත් රජු එම සෑයට ද කහවණු ලක්ෂයක් තබා වැඳ ‘මේ කහවණු වලින් මේ සෑය ප්‍රතිසංස්කරණය කරව’යි උපදෙස් දී සමාව ද අයැද සිටියේ ය.
එබැවින් රහතුන්ගේ ගුණය ප්‍රමාණ කළ නොහැක්කේ ය. උන් වහන්සේ සකල ක්ලේශයන් දුරු කිරීම ම උතුම් වන්නේ ය. පූජනීය වන්නේ ය. අනුත්තර පින් කෙතක් වන්නේ ය.
කර්මයාගේ විපාකය
බක්කුල හිමියන් පෙර සසරෙහි භික්‍ෂූන්ට උපස්ථාන කළේ හුදු පින් බලාපොරොත්තුවෙන් පමණක් ම නොව. භික්‍ෂූන්ගේ සුඛ විහරණය ද බලාපොරොත්තු වෙනි. අන් අයට පිහිට වූයේ යමක් දෙයක් අපේක්‍ෂාවෙන් ම නොව අන් සත්වයාගේ යහපත වෙනුවෙනි. ඔවුන්ගේ සැපය උදෙසා ය. ශ්‍රද්ධාවෙන් යුත්ත ව කරනලද කුඩා පින්කමක් වුව ද මහත්ඵල මහා ආනිසංස ගෙන දෙන්නේ ය.
එකපුප්ඵං චජිත්වාන, අසීතිං වස්සකොටියො;
සග්ගෙසු පරිචාරෙත්‍වා, සෙසකෙනම්හි නිබ්බුතො"ති.
‘එක් සමන් මලක් පුදා අවුරුදු අසූ කෙළක් මුළුල්ලෙහි ස්වර්ගයන්හි සුව විඳ, ඒ කුශලයාගේ ඉතිරි ව සිටි විපාකයෙන් කෙලෙස් පිරිනිවනින් නිවී ගියෙමි.’යි ඛණ්ඩසුමන තෙරුන්ගේ චරිතාපදානයේ දැක්වේ. උන් වහන්සේ කස්සප බුද්ධ කාලයේ සර්වඥ ධාතු නිධන් කළ සෑයට පූජාවක් සිදු කරනු දැක පූජා කිරීමට කිසිවක් නොමැති ව මල් සොයන්නේ මල් ද නොවී ය. සියල්ල ම පූජා කොට ඇති බැවින් එක් පෙති කැඩුණු සමන් මලක් නටුවෙන් ගෙන බොහෝ ශ්‍රද්ධාවෙන් පූජා කළේ ය. මෙය උන් වහන්සේගේ පුණ්‍ය කර්මය විය. ඒකඤ්ජලික තෙරුන් විපස්සී බුදුන් පිඬු පිණිස හැසිරෙනු දැක සොම්නස් ව වැදීමෙන් කල්ප අනූඑකක් දුගතිගාමී නොවූ බව දැක්වේ. බුදුවරයන්ගේ ගුණය නම් සිතිය නො හැක්කාහ. එබැවින්;
"එවං අචින්තියා බුද්ධා, බුද්ධධම්මා අචින්තියා;
අචින්තියෙ පසන්නානං, විපාකො හොති අචින්තියො"
"මෙසේ බුදුවරයෝ චිත්තවිෂයාතික්‍රාන්තයහ. බුද්ධ දේශිත ධර්‍මය චිත්තවිෂයාතික්‍රාන්තයහ. චිත්තවිෂයාතික්‍රාන්ත වූ බුදුන් කෙරෙහි හා ධර්‍මය කෙරෙහි පැහැදුණ වුන්ට ලැබෙන විපාකය ද චිත්තවිෂයාතික්‍රාන්ත වේ. හෙවත් සිතා අවසන් කළ නො හැකි වේ."
දු ක් පත් සතෙක් මුනිඳුන් වෙත සිත පෑදී
එ ක් දාගැබෙක දිය බෙරලිය මලක් පිදී
ස ක් විති සැපත් ඉන් පන්සිය වරෙක ලදී
දු ක් නැත මෙපුද කරතොත් අකුසලින් මිදී
පෙර එක් දුප්පත් කෙනෙක් බුදුන් කෙරෙහි පැහැදුන සිතින් එක්තරා දාගැබකට දියබෙරලිය මලක් පූජා කර එම පිනෙන් සක්විති රජ සැප ආත්ම තිස්පස් වාරයක් ලද්දේ ය. එබැවින් කෙනෙක් අකුසලයෙන් මිදී මල් පහන් පූජා කළ හොත් දුක් නැති වන බව මින් දැක්වේ. එබැවින් සැප කැමැත්තෝ අප්‍රමාදී ව කුසල් කටයුතු ය.
කර්මයාගේ ප්‍රතිභානය
"අත්‍ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි පයොගසම්පත්ති පටිබාළ්හානි න විපච්චන්ති."  යනුවෙන් 'ඇතැම් අකුසල වූ කර්‍ම සමාදානයෝ (එක් රැස්වීම්) ඇද්ද, සම්‍යක් ප්‍රයෝගයෙන් වැළකුණාහු වෙති. විපාක නො දෙත්.' යැයි වදාළ සේක. එනම් ඇතැම් අකුසල්වල විපාක සම්‍යක් ප්‍රයෝගයන් වලින් යටපත් කළ හැකි බවයි. සම්‍යක් ප්‍රයෝග නම් යහපත් ලෙස නිවැරදි ආකාරයෙන් ජීවිතය පැවැත්වීම හෙවත් සම්මා ආජීවය යි. නිවැරදි ආකාරයෙන් සිදුකරන බුද්ධ පූජා, බෝධිපූජා, සෙත් පිරිත්, දානාදී ආමිෂ පූජා මෙන් ම පිදිය යුත්තන් පිදීම, වතාවත් කිරීම, බණ ඇසීම, සිල්වත් ව අර්ථවත් ජීවිතයක් ගත කිරීම ආදී ප්‍රතිපත්ති පූජා කිරීම ද සම්‍යක් ප්‍රයෝගයෙහි ලා සැලකිය හැකි ය. සම්‍යක් ප්‍රයෝගයෙන් අකුසල් යටපත් කළ පුවතක් දම්පිය අටුවාවේ දැක්වේ. එය මෙසේ ය.
මේ සස්නෙහි දිවැස් ඇත්තන් අතරින් අගතැන්පත් අනුරුද්ධ තෙරුන්ගේ රෝහිණී නම් සොහොයුරියක් විය. පෙර කරන ලද කර්මයක විපාකයක් ලෙස ඕ හට චර්ම (සමේ) රෝගයක් විය. තෙරුන් වහන්සේ ඕ කැඳවා මෙසේ පැවසී ය. 'රෝහිණිය, ඔබ ඔබගේ අලංකාරය සඳහා පළඳන භාණ්ඩ විකුණ භික්‍ෂූන් හට ආසන ශාලාවක් කළ මැනව.' යහපතැයි පැවසූ රෝහිණී කුමරිය තෙරුන්ගේ උපදෙස් පරිදි දෙමහල් ආසන ශාලාවක් කර වී ය. ඈ නිතර එහි ගොස් එය ඇමදීම් අසුන් පැනවීම් පැන් ගෙනවිත් තැබීම් ආදිය ද කළා ය. මේ අනුව වත් පිළිවෙත්හි ඈ නිරන්තරයෙන් යෙදෙන්නට වූවා ය. එයින් ම ඇයගේ චර්ම රෝගය සංසිඳුණා ය. පසු ව ඈ බුදුන් ප්‍රමුඛ සංඝයාහට මහත් දානයක් පිළිගැන්වී ය. දන් වළඳා අවසානයේ බුදුහු ඇය කැඳවා 'ඔබට මෙබඳු රෝගයක් හටගැනීමට හේතුව දන්නේ දැ'යි විමසා නොදන්නා බව පැවසූ විට ක්‍රෝධය නිසා යැයි ඉකුත්වත් දක්වා වදාළ සේක.
ඇය පෙර බරණැස් නුවර රජුගේ මෙහෙසිය වී රජුගේ එක් නිළියකට වෛරබැඳ ඇයට දුකක් ඇති කිරීම පිණිස කසඹිලියා වැනි කසන ගෙඩි ගෙන්වාගෙන එම නිළිය ද තමන් වෙත ගෙන්වාගෙන ඇයට නොදැනෙන ලෙස සයනයෙහි ද උතුරු සළුව අතරෙහි ද කසඹිලියා දැම්ම වී ය. සිනහවෙන් ඇගේ සිරුරෙහි ද විසුර වී ය. එකෙනෙහි ම ඇගේ සිරුරේ ගඬු හටගත්තේ ය. සයනයට ගිය විට තවත් දැඩි වේදනා ඇති විය. මෙය රෝහිණිය අතීත භවයේ ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය නිසා කරන ලද අකුසලයයි. එම කර්මයේ විපාකයෙන් මේ අත්බැව්හි දී ඇයට කුෂ්ට රෝගයක් විය. එය යම් ප්‍රමාණයක් යටපත් කරනු වස් අනුරුද්ධ හිමියන් විසින් මගක් පෙන්වන ලදි. එයින් එම කර්මය යටපත් විය.
මෙසේ සමහර කර්මයන් ඊට ප්‍රතිවිරුද්ධ කර්ම මගින් යටපත් වේ. එබැවින් නැණවත් බෞද්ධයා විසින් හැකි සෑම අවස්ථාවක දී ම අකුසලයෙන් වෙන් ව කුසලයේ පිහිටීම මැනවි. කුසල් කිරීමට නොහැකි විට කුසල් කිරීමට කැමැත්තක් හෝ ඇතිකර ගැනීම් මැනවි.
"පින් කරන මිනිසා එය නැවත නැවත ද කළ යුතු ය. පින් කිරීමට කැමති විය යුතු ය. පින් රැස්වීම සැපයට හේතු වේ."
පුඤ්ඤං චෙ පුරිසො කයිරා, කයිරාථෙතං පුනප්පුනං,
තම්හි ඡන්‍දං කයිරාථ, සුඛො පුඤ්ඤස්ස උච්චයො.
෴◌◌◌◌◌◌◌෴

Friday, July 01, 2016

28. ගෞතම බුදුන් වහන්සේ

කාශ්‍යප බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන ද බොහෝ වර්‍ෂ ගණනාවක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි මෙම මහා භද්‍ර කල්පයේ ම සිව්වන අතුරුකප අප භාග්‍යවතුන් වහන්සේ පහළ ලෝ වූහ. එහිලා අප බෝසතාණෝ දීපංකරාදී සූවිසි බුදුන් හමුවෙහි ප්‍රාර්‍ථනා කරමින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පැමිණියේ ය.
එදා දීපංකර බුදුන් හමුවෙහි දී අෂ්ඨසමෝධාන ව විවරණ ලත් බෝසතාණෝ අටළොස් අභව්‍ය ස්ථාන වලින් මිදී සසර නො ඇලී සියලු පාරමී ධර්‍මයන් පුරමින් ලෝකාර්‍ථචර්‍ය්‍යාවෙහි හැසිරෙමින් පැමිණියහ.
එහිදී අප මහා බෝසතාණෝ අකීර්‍ත බ්‍රාහ්මණ කාලයේ ද, සංඛ බ්‍රාහ්මණ කාලයේ ද, ධනංජය රාජ සමයේ ද, මහා සුදර්‍ශන රාජ සමයේ ද, මහා ගෝවින්‍ද කාලයේ ද, නිමි මහ රජුගේ කාලයේ ද, චන්‍ද කුමාර කාලයේ ද, විසය්හ සෙට්ඨි කාලයේ ද, සිවි රජුගේ කාලයේ ද, වෙස්සන්තර රාජ කාලයේ ද සස පණ්ඩිත කාලයේ ද යැයි දාන පාරමිතාව පුරන ලද ආකාරයේ ප්‍රමාණයක් නම් නැත්තේ ය. එබැවින්;
භික‍්ඛාය උපගතං දිස‍්වා, සකත‍්තානං පරිච‍්චජිං;
දානෙන මෙ සමො නත්‍ථි, එසා මෙ දානපාරමීති
චරියාපිටකපාළි\දානපාරමිනිද්දෙසො
“භික්‍ෂාව පිණිස එළඹියහු දැක ස්වකීය ආත්මය පරිත්‍යාග කළෙමි. දාන පාරමිතාවෙන් මා හා සම කෙනෙක් නැත. මෝතොමෝ මාගේ දාන දාන පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක. එසේම සීලව රජ කාලයේ ද, භූරිදත්ත නාග රාජ කාලයේ ද, චම්පෙය්‍ය නාග රාජ කාලයේ ද, චූලබෝධි පරිබ්‍රාජක කාලයේ ද, මහීස රාජ කාලයේ ද, රුරුමිග රාජ කාලයේ ද, මාතංග පණ්ඩිත කාලයේ ද, අලීනසත්තු කුමාර කාලයේ ද යැයි සීල පාරමිතාව පුරන ලද ආකාරයේ ප්‍රමාණයක් නම් නැත්තේ ය. එබැවින් සංඛපාල ජාතකයේ දී;
සඞ‍්ඛපාලස‍්ස මෙ සතො, සබ‍්බකාලම‍්පි ජීවිතං;
යස‍්ස කස‍්සචි නිය්‍යත‍්තං, තස්මා සා සීලපාරමීති
චරියාපිටකපාළි\සීලපාරමිනිද්දෙසො
“මා සංඛපාල ව සිටියදී සියලු කල්හි ම යම් කිසිවෙක්ට ජීවිතය පරිත්‍යාග කරන ලද්දේ ද, එහෙයින් ඕතොමෝ මාගේ ශීල පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක.
තවද සෝමනස්ස කුමාර කාලයේ ද, හත්‍ථිපාල කුමාර කාලයේ ද, අයෝඝර පණ්ඩිත කාලයේ ද, මහ රාජ්‍ය හැරදමා නෙක්ඛම්ම පාරමිතාව පුරන ලද ආත්මවල ප්‍රමාණයක් නැත්තේ ය. එබැවින් චූලසුතසෝම ජාතකයෙහි;
මහාරජ‍්ජං හත්‍ථගතං, ඛෙළපිණ‍්ඩංව ඡඩ‍්ඩයිං;
චජතො න හොති ලග‍්ගනං, එසා මෙ නෙක‍්ඛම‍්මපාරමී
ජාතකඳ්‍ඨකථා
“අතට පත් මහා රාජ්‍ය කෙලපිඬක් මෙන් ඉවත දැමුවෙමි. බිඳකුදු ඇලීමක් නැතිව පරිත්‍යාග කළෙමි. මේ මාගේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක.
ඒ පරිදි ම විධුර පණ්ඩිත කාලයේ ද, මහාගෝවින්‍ද පණ්ඩිත කාලයේ ද, කුද්දාල පණ්ඩිත කාලයේ ද, අරක පණ්ඩිත කාලයේ ද, බෝධි පරිබ්‍රාජක කාලයේ ද, මහෞෂධ පණ්ඩිත කාලයේ ද යැයි ප්‍රඥා පාරමිතාව පුරන ලද ආකාරයේ ප්‍රමාණයක් නම් නැත්තේ ය. එබැවින් සේනක පණ්ඩිත කාලයෙහි;
පඤ‍්ඤාය විචිනන්තොහං, බ්‍රාහ්මණං මොචයිං දුඛා;
පඤ‍්ඤාය මෙ සමො නත්‍ථි, එසා මෙ පඤ‍්ඤාපාරමී
ජාතකඳ්‍ඨකථා
“ප්‍රඥාවෙන් සොයා බලා විසඳූ මම බ්‍රාහ්මණයා දුකෙන් මිදුවෙමි. ප්‍රඥාවෙන් මා හා සමානයෙක් නැත. මේ මාගේ ප්‍රඥා පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක.
එ පරිදි ම විරිය පාරමිතාව ද පුරන ලද ආත්ම ගණනේ ද සීමාවක් නොමැත. එහෙයින් මහජනක ජාතකයෙහි;
අතීරදස‍්සී ජලමජ්ඣෙ, හතා සබ්බෙව මානුසා;
චිත‍්තස‍්ස අඤ‍්ඤථා නත්‍ථි, එසා මෙ වීරියපාරමී
ජාතකඳ්‍ඨකථා
“තෙරක් නො පෙනෙන මහ මුහුද මැද සියලු මිනිසුන් නැසෙද්දී චිත්ත ධෛර්‍ය්‍ය උපදවා වීර්‍ය්‍ය වඩා මුහුදින් එතෙර විමි. මේ මාගේ වීර්‍ය්‍ය පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක. එ පරිදි ම ඛන්ති පාරමිතාව ද පුරන ලද ආත්ම ගණනේ ද සීමාවක් නොමැත. එහෙයින් ක්‍ෂාන්තිවාදී ජාතකයේ දී;
අචෙතනං ව කොට්ටෙන්තෙ, තිණ්හෙන ඵරසුනා මමං;
කාසිරාජෙ න කුප‍්පාමි, එසා මෙ ඛන‍්තිපාරමී
ජාතකඳ්‍ඨකථා
“තියුණු වූ පොරොවකින් චේතනා විරහිත ව මට කොටන කල්හි ද කසී රජු කෙරෙහි නො කිපියෙමි. ඒ මගේ ක්‍ෂාන්ති පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක. එ පරිදි ම සච්ච පාරමිතාව ද පුරන ලද ආත්ම ගණනේ ද සීමාවක් නොමැත. එහෙයින් මහා සුතසෝම ජාතකයේ දී;
සච‍්චවාචං අනුරක‍්ඛන්තො, චජිත්‍වා මම ජීවිතං;
මොචෙසිං එකසතං ඛත‍්තියෙ, එසා මෙ සච‍්චපාරමී
ජාතකඳ්‍ඨකථා
“සත්‍ය වචනය ම රකින්නේ මගේ ජීවිතය හැරදමා එක්සියයක් රජවරුන් මුදවාලීමි. එය මාගේ සත්‍ය පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක. එ පරිදි ම අධිෂ්ඨාන පාරමිතාව ද පුරන ලද ආත්ම ගණනේ ද සීමාවක් නොමැත. එහෙයින් තෙමිය ජාතකයේ දී;
මාතාපිතා න මෙ දෙස‍්සා, නපි දෙස‍්සං මහායසං;
සබ‍්බඤ්ඤුතං පියං මය‍්හං, තස්මා වතමධිඳ්‍ඨහි
චරියාපිටකපාළි\තෙමියචරියං
“මට දෙමව්පියෝ අප්‍රිය නොවේ. මහා කීර්තිය ද අප්‍රිය නොවේ. ඒ සියල්ලට ම වඩා සර්වඥතාඥානය මට ප්‍රිය ය. එහෙයින් ව්‍රතය අධිෂ්ඨාන කළෙමි.” යනුවෙන් වදාළ සේක. එ පරිදි ම මෙත්තා පාරමිතාව ද පුරන ලද ආත්ම ගණනේ ද සීමාවක් නොමැත. එහෙයින් සාම ජාතකයේ දී;
න මං කොචි උත‍්තසති, නපිහං භායාමි කස‍්සචි;
මෙත‍්තාබලෙනුපත්‍ථඳ්‍ධො, රමාමි පවනෙ තදා
චරියාපිටකපාළි\සුවණ‍්ණසාමචරියං
“මා දැක කිසිවෙක් බිය නොවේ. මම ද කිසිවකු දැක බිය නො වෙමි. මෛත්‍රී බලයෙන් ශක්තිමත් වූ මම හැම කල්හි ම මහා වනයෙහි සතුටින් වෙසෙමි.” යනුවෙන් වදාළ සේක. එ පරිදි ම උපෙක්ඛා පාරමිතාව ද පුරන ලද ආත්ම ගණනේ ද සීමාවක් නොමැත. එහෙයින් ලෝමහංස ජාතකයෙහි;
සුසානෙ සෙය්‍යං කප්පෙමි, ඡවඳ්‍ඨිකං උපනිධායහං;
ගාමණ‍්ඩලා උපාගන්ත්‍වා, රූපං දස්සෙන‍්තිනප‍්පක
චරියාපිටකපාළි\මහාලොමහංසචරියා
“මිනී ඇට පොදියක් හිසට කොට්ටයක් සේ තබාගෙන මම සොහොනෙහි සැතපෙමි. ගොපලු දරුවෝ පැමිණ විරූප රූප දක්වති. උසුළු විසුළු කරති.” යනුවෙන් වදාළ සේක.
මහබෝසතාණෝ මෙසේ අනේක ජාති කෝටි සත සහස්‍රයන්හි මහ පොළොව කම්පා කරන්නා වූ මහ පිංකම් කළහ. වෙසතුරු අත්බැව්හි දී, අට වයස් කල්හි දානාඳ්‍ධ්‍යාශය උපන් කල්හි ද, මඟුල් ඇතු දන් දීමෙහි ද, පැවිදි වන කල්හි ද, සප්තශතක මහදන් දෙන කල්හි ද, අඹු දන් දෙන කල්හි ද, වංක පර්‍වතයෙහි ඤාති රැස්වීමෙහි ද, නුවරට වදනා කල්හි රුවන් වැසිවස්නා කල්හි ද යන මෙකී සප්ත ස්ථානයේ දී සත් වරක් පොළොව කම්පා විය. මෙසේ එකම අත්බැව්හි දී මහ පොළොව සත් වරක් කම්පා කොට දන් දී ආයු කෙළවර තුසිත භවනෙහි උපන් සේක. එහි දෙව් සැප විඳිමින් අවුරුදු තුන්කෙළ හැටදහසක් වැස දෙවියන් විසින් අයදිනා ලදුව පස්මහ බැලුම් බලා දෙවියන්ට ප්‍රතිඥා දී තුසිත දෙව් ලොවින් චුත ව දඹදිව මධ්‍ය දේශයෙහි කපිල වස්තු නුවර ක්‍ෂත්‍රීය කුලයෙහි සුද්ධෝදන නම් රජුට දාව රුවින් අගතැන්පත් මායා නම් දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දී ද දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් ලුම්බිණි නම් සාල වනෙහි මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා අග‍්ගොහමස්මි ලොකස‍්ස … ආදී ලෙස සීහනාද කළහ. අප මහ බෝසතාණෝ තුන් භවයක දී මව්කුසින් නික්මුණු කෙනෙහි ම වදන් පිට කළහ. මහෞෂධ අත්බැව්හි, වෙසතුරු අත්බැව්හි හා මෙම අත්බැව්හි ය. සියලු බුදුවරයන්ට නො වෙනස් වන ධර්‍මතා ඇත්තේ ය. එනම්;
සියලු බුදුවරයන්ගේ ධර්‍මතා
  • යම් කලක බෝධිසත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගත් සේක් ද, “ඒ බෝධිසත්වයන් හෝ උන්වහන්සේගේ මව අන් කිසිවෙක් නො පෙළ ව යි” එකල දිව්‍ය පුත්‍රයෝ සතර දෙනෙක් සිව් දිග ආරක්‍ෂාව පිණිස පැමිණෙන්නාහ.
  • යම් කලෙක බෝධිසත්වයන් වහන්සේ මව් කුසට පැමිණියේ වේද, ස්වභාවයෙන් ම බෝධිසත්ව මව් තොමෝ පංච ශීලය රකින ඇත්තියක් වේ.
  • මවට කිසියම් පුරුෂයෙකු කෙරෙහි කාම ගුණ සහිත සිතක් නූපදී.
  • රාග සිත් ඇති කිසියම් පුරුෂයෙකු විසින් උන්වහන්සේගේ මව් තොමෝ ආශ්‍රය නො කළ හැකි වෙයි.
  • බෝධිසත්ව මව් තොමෝ බොහෝ සම්පත් ලබන්නියක් වේ.
  • බෝධිසත්ව මවට කිසියම් ආබාධයක් නූපදී. බෝධිසත්ව මව සැප ඇත්තියක් වේ.
  • බෝධිසත්ව මව් දුර්වල නො වූ ශරීර ඇත්තී කුස තුළ වූ සම්පූර්ණ ඉන්‍ද්‍රියන් ඇති සියලු අඟ පසඟ ඇත්තා වූ බෝධිසත්වයන් දකී.
  • බෝධිසත්වයන් උපන් සත්වන දිනයෙහි බෝධිසත්ව මව පරලොව යන්නී ය. තුසිත දිව්‍ය ලෝකයෙහි උපදී.
  • බෝධිසත්ව මව බෝධිසත්වයන් දසමසක් ම කුසින් උසුලා සිට වදයි.
  • බෝධිසත්ව මව සිටගෙන ම බෝධිසත්වයන් වදයි.
  • යම් කලක බෝධිසත්වයෝ මව්කුසින් බිහි වේ ද, දෙවියෝ පළමු කොට පිළිගනිත්. පසුව මනුෂ්‍යයෝ පිළිගනිත්.
  • යම් කලක බෝධිසත්වයෝ මව් කුසින් නික්මෙත් ද එකල බෝධිසත්වයෝ පොළොවට නො පැමිණියෝ ම වෙත්. දෙවිවරු හතර දෙනෙක් ඒ බෝධිසත්වයන් පිළිගෙන මෑණියන් ඉදිරියේ තබා “දේවියනි, ඔබට මහානුභාව ඇති පුතෙක් උපන්නේ ය, සතුටු වන්න” යැයි කියති.
  • යම් කලක බෝධිසත්වයෝ මව්කුසින් නික්මෙත් ද, එකල පිරිසිදුව නික්මෙති. කිසි කැත කුණකින් නො තැවරෙන ලද්දේ වේ. සුද්ධ වෙයි, පිරිසිදු වෙයි.
  • යම් කලක බෝධිසත්වයෝ මව් කුසින් නික්මෙත් ද එකල බෝධිසත්වයන්ගේ හා මවගේ යම් කටයුත්තක් ජලයෙන් කෙරෙත් ද ඒ සඳහා ජලධාරා දෙකක් අහසින් පහළ වෙත්. එයින් එකක් සීත ජලය වෙයි, එකක් උෂ්ණ ජලය වෙයි. උෂ්ණ ජලය වෙයි.
  • බෝධිසත්වයන් වහන්සේ උපන් කෙනෙහි බ්‍රහ්ම, දේව, මනුෂ්‍යයන්ගේ අතින් පොළොවට බැස සම පාදයන්ගෙන් පොළොවේ පිහිටා උතුරු දිසාවට අභිමුඛ ව ශ්වේතචඡත්‍රය දරමින් සත් පියවරක් ඉදිරියට ගමන් කෙරෙයි. සියලු දිශාවන් ද බලයි, මම ලෝකයට අග්‍ර වෙමි. මම ලෝකයට ප්‍රධාන වෙමි. මම ලෝකයට උතුම් වෙමි. මේ අවසාන ජාතියයි. දැන් මට මෙයින් මතු නැවත උත්පත්තියක් නැතැයි” යන අභීත වචන කියයි. 
  • යම් කලක බෝධිසත්වයෝ මව් කුසින් නික්මෙත් ද, එකල දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි ද මහණ බමුණන් සහිත වූ දෙව් මිනිසුන් සහිත වූ සත්වයන් කෙරෙහි ද දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ප්‍රමාණ නො කළ හැකි මහත් වූ ආලෝකයක් පහළ වේ. 
  • අඳුර ඇත්තා වූ ගණ අඳුර ඇත්තා වූ යම් ලෝකාන්තරික නම් නිරයක් ඇත්තේ ද, ඒ ලෝකාන්තරික නිරයෙහි ද මහත් ආලෝකය පහළ වෙයි. මේ දසදහසක් ලෝක ධාතුව කම්පා වෙයි. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවූ ප්‍රමාණ නො කළ හැකි මහත් ආලෝකයක් පහළ වෙයි. මේවා සියලු බුදුවරයන්ගේ ධර්‍මතාවන් වේ.

ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු “සර්ව ලෝකාර්‍ථ සිද්ධකාරක හෙයින්” සිද්ධත්‍ථ (සිදුහත්) යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි ගෞතම ගෝත්‍රයේ වූහ. උන්වහන්සේට රම්ම, සුරම්ම හා සුභ නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ සතළිස්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු විසිනවයක් ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ භද්දකච්චායනා (යසෝධරා) දේවියට රාහුල කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක කන්ථක නම් වරතුරඟු පිට නැගී අබිනික්මන් කොට සියලු අබරණ මුදා ඡන්න නම් ඇමතියා අතට දී තමන් ම නිල් මානෙල් පතක් හා සමාන අසිපතින් මෞලිය සහිත කෙස් කපා අහසට දැමූ කල්හි දහසක් නෙතැති සක්දෙව් රජ එය රන් කරඬුවෙන් පිළිගෙන තව්තිසා භවනට ගෙන ගොස් සිළුමිණි සෑය නම් සෑයක් කළේ ය. කීසේමය;
ඡෙත්‍වාන මොළිං වරගන්‍ධවාසිතං, වෙහායසං උක්ඛිපි අග‍්ගපුග‍්ගලො;
සහස‍්සනෙත්තො සිරසා පටිග‍්ගහි, සුවණ‍්ණචංකොටවරෙන වාසවො
බුඳ්‍ධවංසඳ්‍ඨකථා\ගොතමබුඳ්‍ධවංසවණ‍්ණනා
ඉක්බිති කාශ්‍යප බුදුන් සමයෙහි පැරණි මිත්‍ර වූ ඝටීකාර මහ බ්‍රහ්ම තෙම ශ්‍රමණ පරිෂ්කාර අට ගෙනවුත් දුන්නේ ය.
තිචීවරඤ‍්ච පත්තො ච, වාසි සූචි ච බන්‍ධනං;
පරිස‍්සාවනඤ‍්ච අඳ්‍ඨෙතෙ, යුත‍්තයොගස‍්ස භික‍්ඛුනො
දීඝනිකායඳ්‍ඨකථා\සාමඤ‍්ඤඵලසුත‍්තවණ‍්ණනා
තුන් සිවුර ද පාත්‍රය ද දැලිපිහිය ද ඉඳිකටුව ද පෙරහන හා පටිය ද යන මේ අට යෝගයෙහි යුක්ත භික්‍ෂුවගේ පිරිකර වේ. බෝසත්වරුන් හට පැවිදි වීමේ දී ලැබෙන්නා වූ මෙම අට පිරිකර ලැබෙනුයේ මෙසේ ය. ලෝකය විනාශ වන විට මහබෝමැඬ හැමට ම පසුව විනාශ වෙයි. නැවත පිහිටන විට පළමු ව පිහිටයි. එහිදී බෝමැඬ පිහිටන ස්ථානයේ මුලින් ම නෙළුම් පඳුරක් පහළ වේ. ඉඳින් එම කල්පයේ බුදුවරු පහළ වන්නේ නම් නෙළුම් මල් හටගනී. එහි පියුම් ගැබ තුල අට පිරිකරක් ද සහිතව පහළ වේ. බුදුවරු පහළ නො වන්නේ නම් මල් නො හටගනී. එසේ මල් හට ගන්නා විට එක බුදුවරයෙක් පහළ වන්නේ නම් එක් මලක් ද බුදුවරු දෙනමක් පහළ වන්නේ නම් මල් දෙකක් ද තෙනමක් නම් මල් තුනක් ද ආදී වශයෙන් බුදුවරු ගණනට සමානව මල් හට ගන්නේ ය. ඒ මල් ද එක් දණ්ඩක කර්ණිකා එකට බැඳී හට ගනී. ඒ කාලයේ ශුඳ්‍ධාවාස වාසී බ්‍රහ්මයෝ මෙම පෙර නිමිති බැලීම සඳහා පැමිණෙනුයේ මල් හට නො ගෙන ඇත්නම් ඒ දැක “ලෝකය වනාහි අඳුරු වන්නේ ය. අපාය පිරෙන්නේ ය. දෙව්ලොව හිස් වන්නේ ය.” යැයි අසතුටු සිත් ඇත්තේ වෙයි. මල් පිපුණු කල්හි ඒ දැක සතුටු සිත් ඇත්තේ එම අට පිරිකර රැගෙන ගොස්, යම් බුදු කෙනෙකුන් පහළ වූ විට දීම පිණිස බඹලොව තබනු ලැබේ. මේ මහා භද්‍රකල්පයෙහි වනාහි නෙළුම් මල් පහක් හටගත්තේ ය. එම නෙළුම් මල් පහ මත අට පිරිකර පහක් ද විය. බඹහු ඒ දැක බඹලොවට රැගෙන ගියේ ය. එක අට පිරිකරක් කකුසඳ බෝසතුන් පැවිදි වූ දිනයේ දී දුන්හ. එකක් කෝණාගමන බෝසතුන් පැවිදි වූ දිනයේ දී දුන්හ. තවත් එක පිරිකරක් කාශ්‍යප බෝසතුන් පැවිදි වූ දිනයේ දී දුන්හ. අප මහ බෝසතුන් පැවිදි වූ දිනයේ දී තවත් එකක් දුන්හ. ඉතිරි පිරිකර අනාගතයේ දී පහළ වන මෛත්‍රී බෝසතුන්ට දීම සඳහාය.
මහපුරිස්‍හු බඹහු දුන් ඒ කසාවත් හැද පැවිදි වූහ. මහබඹහු උන්වහන්සේගේ ගිහි වස්ත්‍ර ගෙන ගොස් බඹලොව සළුමිණි නම් සෑය කළහ. උන්වහන්සේ පස්වග තවුසන් පිරිවරන ලදුයේ සය වසක් ප්‍රධන් වඩා වෙසක් පොහෝදින උරුවෙලාවෙහි සේනානි නියම්ගම සේනානි කෙළඹියාගේ දූ සුජාතා නම් දියණිය දුන් පරම මධුර මී කිරිබත් වළඳා නේරංජරා ගංතෙර සල් වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි සොත්‍ථිය නම් බ්‍රාහ්මණයන් දුන් අටතණමිට ගෙන ඇසතු රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී තුදුස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට සපරිවාර මාර පරාජය කොට ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් දුෂ්කරක්‍රියා සමයෙහි තමන් වහන්සේට බොහෝ උපකාර වූ පස්වග තවුසන්ගේ හේතු සම්පත් දැක පා ගමනින් ම අටළොස් යොදුන් මඟ ගෙවා වැඩ බරණැස ඉසිපතන මිගදායෙහි දී ධම්සක් දෙසූහ. එහිදී අටළොස් කෙළක් දෙනාට ධර්‍මාභිසමය විය.
මහර්ෂි වූ ගෞතම බුදුන්ට සීලාදී ගුණ සොයන ශ්‍රාවකයන්ගේ එක රැස්වීමක් විය. එය එක්දහස් දෙසීය පනහක් පමණ භික්‍ෂූන්ගේ රැස්වීමක් විය.
ඒ ශාක්‍යසිංහ ගෞතම මහා මුණිවරයාණන් හට කෝලිත හා උපතිස්ස දෙනම අගසවුවෝ ය. උපස්ථායක ආනන්‍ද නම් භික්‍ෂුව විය. ඛෙමා හා උප්පලවණ්ණා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. චිත්ත හා හත්‍ථාළවක යන දෙදෙන උපස්ථායකයෝ ය. නන්‍දමාතා හා උත්තරා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය සොළොස් රියන් විය.
බික් සඟන මැද බුදු සිරින් බබළන, රාගාදී කිලුටු නැති ඒ මුනිවර තෙම දෑ රඟ මිණිරුවනක් සේ පතන ලද ලොවී ලොව්තුරු සැප සම්පත් දුන්හ. සිව් මග පල කැමතිවන, භව ආසාව දුරු කරනු කැමැත්ත වුන්ට අනුකම්පා කොට සිව්සස් දෙසූ සේක. දසදහස් දෙනා හට, විසිදහස් දෙනා හට වරින්වර ධර්‍මාවබෝධය විය. එක් අයකුට දෙදෙනෙකුට ධර්‍මාවබෝධය ගණන් අප්‍රමාණ විය. ඒ කාලයේ තෘෂ්ණාව ක්‍ෂය කළ රාගාදී කෙලෙස් පහකළ සන්හුන් සිත් ඇත්තා වූ එකඟ සිත් ඇති නොයෙක් සිය ගණන් බොහෝ භික්‍ෂූහු ඒ ජිනවර තෙම හැම කල්හි ම පිරිවරා සිටියහ.
මෙම බුද්ධවංශ දේශනාව කෙළවර කෙළ ලක්‍ෂයක් දෙවියන්ගේ උපාදාන ආශ්‍රවයන්ගෙන් මිදුණෝ ය. සෙසු මඟඵලවල පිහිටිය වුන්ගේ ගණන අපමණ විය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ කල්ප, නාම ආදී ලෙස බෙදන ලද සියලු බුදු සිරිත් අහසෙහි රුවන් සක්මනෙහි සක්මන් කරමින් ම දේශනා කොට ජනයා වන්දවාගෙන අහසින් බැස පනවන ලද උතුම් බුද්ධාසනයේ වැඩහුන් සේක. ලෝකනාථ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් කල්හි ඤාති සමාගම මස්තකප්‍රාප්ත විය. සියල්ලෝ ම එකඟ සිත් ඇත්තේ වාඩි වූහ. ඉක්බිති පොකුරු වැසි වැස්සේ ය. එහිදී තෙමෙනු කැමැත්තෝ තෙමෙයි. නො තෙමෙනු කැමැත්තෝ ශරීරය බිඳකුදු නො තෙමෙයි. ඒ අසිරිය දැක සියල්ලෝ ම මවිත වූවාහු අහෝ ආශ්චර්‍ය්‍ය ය අද්භූත ය කියා කථාවක් ඉපද වූහ. ඒ අසා ශාස්තෘන් වහන්සේ මගේ ඥාති සමාගමෙහි පොකුරු වැසි වැස්සේ දැන් මතු නො වෙයි පෙරත් වැස්සේ යැයි මේ අර්ත්‍ථෝත්පත්තියෙන් වෙස්සන්තර ජාතකය දෙසූ සේක. ඒ ධර්‍මදේශනය සාර්‍ථක වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අස්නෙන් නැගී විහාරයට වැඩි සේක.
ජිතපංචමාර ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂය මඳ වූයේ සියක් අවුරුද්දක් පවතින්නේ ය. උන්වහන්සේ ඒ තාක් කල් සිටිමින් බොහෝ ජන සමූහයා සසරින් එතෙර කළ සේක. පශ්චිම ජනයාගේ අවබෝධය පිණිස දහම් නමැති දඬුවැටපහන තබා උන්වහන්සේ ද නොබෝ කලකින් ම ශ්‍රාවක සමූහය සමග දර ක්‍ෂය වී යාමෙන් ගින්න මෙන් මෙහි දී ම පිරිනිවන් පෑහ.
ඒ අසම තේජස් ද මේ දසබල ද දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් මේ උතුමා ගුණයෙන් යුත් සිරුර ද යන සියල්ල සවනක් රැසින් යුත් හිරු මෙන් දස දිගින් හොබවා අතුරුදන් වූහ. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද? වෙත් මැයි.
අසමසම වූ ඒ ගෞතම ජිනවර තෙම කුසිනාරා නුවර උපවත්තන නම් සල් වනෙහි පිරිනිවියහ. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිර වී ම විය.

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා මෙම මහා භද්‍ර කල්පයේම හතරවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය කපිලවත්‍ථු (කිඹුල්වත්) නුවර
ගෝත්‍රය ගෞතම
ජාතිය ක්‍ෂත්‍රීය
පියා සුද්ධෝදන ක්‍ෂත්‍රීය රජතුම
මව මහාමායා දේවිය
ප්‍රාසාදත්‍රය 1. රම්ම 2. සුරම්ම 3. සුභ
අග්‍රමහේෂී භද්දකච්චායන (යශෝධරා) දේවිය
පුත්‍රයා රාහුල කුමරු
අගාරවාස අවුරුදු විසිනවයයි (29)
අභිනිෂ්ක්‍රමණය කන්ථක අසුපිටින් නික්මුණහ
ප්‍රධන් වීර්ය අවුරුදු හයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු සේනානි නියම්ගමෙහි සේනානි සිටුදූ සුජාතා
කුස තණ සොත්‍ථිය බමුණා
බෝධිය ඇසතු
ශරීර රශ්මිය සොළොස් රියනක් පමණ පැතිර සිටියේය
ධම්සක් දෙසීම බරණැස් නුවර ඉසිපතන මිගදායෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත එකක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් සැරියුත් තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් මුගලන් තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් ඛේමා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් උප්පලවණ්ණා තෙරණිය
අග්‍ර උපස්ථායක ආනන්‍ද භික්‍ෂුව
උපස්ථායකයෝ චිත්ත, හත්‍ථාලක
උපස්ථායිකාවෝ නන්‍දමාතා, උත්තරා
ආයු ප්‍රමාණය අවුරුදු අසූවයි. (80)
පරිනිර්වානය කුසිනාරා නුවර උපවත්තන සාලවනයෙහි

<<< Previous

27 කස්සප බුදුන් වහන්සේ

කෝණාගමන බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි මෙම මහා භද්‍ර කල්පයේ ම තුන්වන අන්තර කල්පයේ සිව්සස් අවබෝධ කළ, දෙපා ඇති සතුන්ට උතුම් වූ, බැබළීම් ඇති කරණ, නමින් කාශ්‍යප නම් වූ දම්රද තෙම පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ අටාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව බරණැස් නුවර බ්‍රාහ්මදත්ත බමුණාට දාව මනා ගුණැති ධනවතී බැමිණියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් ඉසිපතන මිගදායෙහි මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු ගෝත්‍ර වශයෙන් කාශ්‍යප යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණ කුලයෙහි වූහ. උන්වහන්සේට හංස, යස, සිරිනන්‍දා නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ හතළිස් අටදහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු දෙදහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ සුනන්‍දා දේවියට විජිතසේන කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක ප්‍රාසාදයෙන් ම අභිනිෂ්ක්‍රමණය කොට පිරිවර සහිත ව ම පැවිදි වූහ. දින හතක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින සුනන්‍දා බැමිණිය දුන් පරම මධුර මී කිරිබත් වළඳා කිහිරි වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි සෝම නම් ගවපාලකයා දුන් කුස තණ මිටි අට ගෙන නිග්‍රෝධ (නුග) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පහළොස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් වහන්සේ සමග පැවිදි වූ පිරිසගේ හේතු සම්පත් දැක අහසින් වැඩ බරණැස් නුවර ඉසිපතන මිගදායෙහි ධම්සක් දෙසූහ. එහිදී විසි කෙළ දහසක් දෙනා හට ධර්‍මාභිසමය විය.
මහර්ෂි වූ කස්සප බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් එකක් වූහ. ඒ කාලයෙහි දී ලැජ්ජා සීලාදී ගුණයෙන් එක බඳු, රාගාදී කෙලෙස් ඇතියන් ඉක්මවූ විසිදහසක් භික්‍ෂූන්ගේ රැස්වීමක් විය.
ඒ කාලයෙහි අප මහා බෝසතාණෝ සිප්සතර උගන්වන ඉගෙනගත් මන්ත්‍ර දරණ තුන් වේදයෙහි පරතෙරට ගිය මහපුරිස් ලකුණු දැනීමෙහි ද ඉතිහාසයෙහි ද සිය බමුණු දහමෙහි ද පරතෙරට පැමිණි පොළොව හා අහස පිළිබඳ තතු දැනීමෙහි බුහුටි වූ කළ පුරුද්ද ඇති දැනුමෙන් නො අඩු ජොතිපාල නම් මානවකයෙක් විය. කසුප් බුදුරදුන්ගේ ගෞරව සහිත වූ යටහත් පැවතුම් ඇති අනාගාමී ඵලයෙන් කෙලෙස් නිවූ ඝටීකාර නම් උපස්ථායකයෙක් වී ය. එම ඝටීකාර තෙම ජෝතිපාල තරුණයා ව ගෙන කසුප් මුනිඳු වෙත එළඹ දහම් ඇසීමට සැලසූහ. හෙතෙම දහම් අසා පැහැදී කසුප් බුදුන් වෙත පැවිදි විය. උන්වහන්සේ ආරබ්ධවීර්ය ව තෙවළා දහම් ඉගෙන වත්පිළිවෙතින් බුදු සසුන හෙබවූහ. උන්වහන්සේට ඒ කසුප් බුදුන් වහන්සේ ද විවරණ දුන් සේක.
උන්වහන්සේට තිස්ස හා භාරද්වාජ දෙනම අගසවුවෝ ය. උපස්ථායක සබ්බමිත්ත නම් භික්‍ෂුව විය. අනුලා හා උරුවෙලා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. සුමංගල හා ඝටීකාර යන දෙදෙන උපස්ථායකයෝ ය. විජිතසේනා හා භද්දා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය විසි රියන් විය.
මහර්ෂි වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂය අවුරුදු විසි දහසකි. ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ දෙනා බව සයුරෙන් එතෙර කළ සේක. ත්‍රිවිද්‍යා නමැති පළඳනාවක් ද, සිව් මග පල නමැති මුදුන් මල් කඩක් ද, ෂඩ් අභිඥා නමැති අලංකාර කරණ අබරණ ද, නව ලොව්තුරු දහම් නමැති පළඳන මල් දමක් ද දී, අකුසල් නමැති අව්ව වැළැක්වීම් කරන සදහම් නමැති සේසතක් ද දී, අභයපුර යයි කියන ලද නිවනට පමුණුවන අරි අටඟි මග නමැති මල් අතුළ මගක් ඇති කොට ඒ කසුප් බුදුරජ තෙම ශ්‍රාවකයන් සහිතව පිරිනිවී සේක.
අපමණ ගුණැති, සතුරන් විසින් නො ළංවිය හැකි, ඒ බුදුරුවන ද, යහපත් ව දෙසන ලද එව බලව යි කීමට සුදුසු ඒ දම්රුවන ද, උතුම් වූ සුපිළිපන් ඒ සඟරුවන ද යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?
ශාස්තෘ වූ මහ කසුප් ජිනරාජ තෙම කසීරට ස්වේතව්‍ය නම් ආරාමයේ දී පිරිනිවී සේක. එහි ම උන්වහන්සේගේ ජිනථූපය යොදුනක් උසට ගොඩ නගන ලද්දේ ය.

මෙම මහා භද්‍ර කල්පයේම තුන්වන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය බාරාණසී (බරනැස්) නුවර
ගෝත්‍රය කාශ්‍යප
ජාතිය බ්‍රහ්මණ
පියා බ්‍රාහ්මදත්ත බමුණු
මව ධනවතී බැමිණිය
ප්‍රාසාදත්‍රය 1. හංස 2. යස 3. සිරිනන්‍දා
අග්‍රමහේෂී සුනන්‍දා දේවිය
පුත්‍රයා විජිතසේන කුමරු
අගාරවාස අවුරුදු දෙදහසයි (2,000)
අභිනිෂ්ක්‍රමණය ප්‍රාසාදයෙන්ම නික්මුණහ
ප්‍රධන් වීර්ය දින හතක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු සුනන්‍දා බැමිණිය
කුස තණ සෝම ගවපාලක
බෝධිය නිග්‍රෝධ (නුග)
ධම්සක් දෙසීම බරණැස් නුවර ඉසිපතන මිගදායෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත එකක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් තිස්ස තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් භාරද්වාජ තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් අනුලා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් උරුවෙලා තෙරණිය
අග්‍ර උපස්ථායක සබ්බමිත්ත භික්‍ෂුව
උපස්ථායකයෝ සුමංගල, ඝටීකාර
උපස්ථායිකාවෝ විජිතසේනා,
ආයු ප්‍රමාණය අවුරුදු විසිදහසයි. (20,000)
පරිනිර්වානය කිසීරට සේතව්‍ය නුවර සේතව්‍යාරාමයෙහි
බෝසතාණෝ ජෝතිපාල නම් මානවකව විවරණ ලැබීය

<<< Previous Next >>>

26. කෝණාගමන බුදුන් වහන්සේ

කකුසඳ බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි මෙම මහා භද්‍ර කල්පයේ ම දෙවන අන්තර කල්පයේ දෙපා ඇති සතුන්ට උතුම් වූ, ලොවට උසස් වූ, නරදෙටු කෝණාගමන නම් ජිනරාජ තෙම පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව සෝභවතී නුවර බමුණු කුලයෙහි යඤ්ඤදත්ත බමුණාට දාව රූපාදී ගුණයෙන් අනුත්තර උත්තරා බැමිණියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් සුභගවතී උයන්හි දී මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු “උපදිද්දී මුළු දඹදිවට ම රන් වරුසාවක් වැස්සේ ය. එබැවින් උන්වහන්සේට රන් වැසි ආ කරුණින්” කණකාගමන හෙවත් කෝණාගමන යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණ කුලයෙහි වූහ. උන්වහන්සේට තුසිත, සන්තුසිත, සන්තුට්ඨ නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ සොළොස්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු තුන්දහසක් ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ රුචිගත්තා දේවියට සත්‍ථවාහ කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක ඇත් යානයකින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. තිස්දහසක් පුරුෂයෝ උන්වහන්සේ අනුව පැවිදි වූහ. සමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින අග්ගිසෝණ බ්‍රාහ්මණයාගේ දියණිය දුන් පරම මධුර මී කිරිබත් වළඳා කිහිරි වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි තින්‍දුක නම් යවපාලකයන් දුන් කුස තණ මිටි අට ගෙන පුණ්ඩරික (උදුම්බර/ දිඹුල්) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී විස්ස රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් වහන්සේ සමග පැවිදි වූ භික්‍ෂූන්ගේ හේතු සම්පත් දැක අහසින් වැඩ සුදස්සන නුවර ඉසිපතන මිගදායෙහි ධම්සක් දෙසූහ. එහිදී තිස් කෙළ දහසකට ධර්‍මාභිසමය විය.
දෙවියන්ට දෙවි වූ ඒ කෝණාගමන බුදුරදුන්ට ද බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් එකක් වූහ. ඒ කාලයෙහි චතුරෝඝයන් ඉක්මවූ, මරණය බිඳ දැමූ, රහත් වූ තිස්දහසක් භික්‍ෂූන්ගේ එම සමාගමෙහි විය.
එකල අප මහා බෝසතාණෝ මිථිලා නුවර පබ්බත නම් රජ වූහ. සරණාගත සියලු සතුන්ගේ ආගමන ඇති කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ මිථිලා නුවරට වැඩි බව අසා පිරිවර සහිත රජ පෙරගමන් කොට දසබලයන් වහන්සේට ආරාධනා කොට දන් පුදා එහි භාග්‍යවතුන් වහන්සේට වස් විසීම පිණිස අයැද තෙමසක් බික්සඟන සහිත ශාස්තෘන් වහන්සේට උවටැන් කොට මාහැඟි සිනිඳු වස්ත්‍ර රන් මිරිවැඩි ද අනෙකුත් බොහෝ පිරිකර පිදූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ද එතුමාට මේ භද්‍ර කල්පයේ ම ගෞතම නමින් බුදු වන්නේ යැයි විවරණ දුන් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ විවරණ අසා මහ බෝසතාණෝ මහා රාජ්‍යය පරිත්‍යාග කොට උන්වහන්සේ වෙත පැවිදි වූහ.
උන්වහන්සේට භීයස හා උත්තර දෙනම අගසවුවෝ ය. උපස්ථායක සොත්‍ථිජ නම් භික්‍ෂුව විය. සමුද්දා හා උත්තරා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. උග්ග හා සෝමදේව යන දෙදෙන උපස්ථායකයෝ ය. සීවලා හා සාමා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය තිහ රියන් විය.
ඒ කාලයෙහි කෝණාගමන බුදුරදුන්ගේ ආයුෂය අවුරුදු තිස් දහසකි. ඒ තාක් කල් උන්වහන්සේ වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතෙර කළ සේක. ධර්‍ම නමැති සෑයක් ගොඩනගා, සිව්සස් නමැති ධජ පතාකයෙන් හොබවා, දහම් නමැති මල් ගුළාවක් කොට, ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුරජ තෙම පිරිනිවී සේක. උන්වහන්සේගේ ලොව්තුරා දහම් පැවසූ මහා විලාසය ද, ශ්‍රාවක ජන සමූහයා ද යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?
කෝණාගමන බුදුරජ තෙම පබ්බතාරාමයේ දී පිරිනිවී සේක. ඒ ඒ පෙදෙස්වල උන්වහන්සේගේ ධාතු පැතිරීම වී ය.

මෙම මහා භද්‍ර කල්පයේම දෙවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය සෝභවතී නුවර
ගෝත්‍රය කාශ්‍යප
ජාතිය බ්‍රහ්මණ
පියා යඤ්ඤදත්ත බමුණු
මව උත්හරා බැමිණිය
ප්‍රාසාදත්‍රය 1. තුසිත 2. සන්තුසිත 3. සන්තුට්ඨ
අග්‍රමහේෂී රුචිගත්තා දේවිය
පුත්‍රයා සත්‍ථවාහ කුමරු
අගාරවාස අවුරුදු තුන්දහසයි (3,000)
අභිනිෂ්ක්‍රමණය ඇත් යානයකින් නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස හයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු අග්ගිසෝණ බ්‍රාහ්මණයාගේ දු
කුස තණ තින්දුක යවපාලක
බෝධිය පුණ්ඩරික (උදුම්බර/ දිඹුල්)
ධම්සක් දෙසීම සුදස්සන නුවර ඉසිපතන මිගදායෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත එකක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් භිය්‍යස තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් උත්තර තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් සමුද්දා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් උත්තරා තෙරණිය
අග්‍ර උපස්ථායක සොත්‍ථිජ භික්‍ෂුව
උපස්ථායකයෝ උග්ග සෝමදේව
උපස්ථායිකාවෝ සීවලා, සාමා
වැඩ විසූ විහාර සිරිවනයෙහි විසූහ
ආයු ප්‍රමාණය අවුරුදු තිස්දහසයි. (30,000)
පරිනිර්වානය පබ්බතාරාමයෙහි
බෝසතාණෝ පබ්බත නම් රජව විවරණ ලැබීය

<<< Previous Next >>>

25. කකුසන්ධ බුදුන් වහන්සේ

ස්වයම්භූ වෙස්සභූ බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. ඒ කල්පය ද ඉකුත් කල එකුන්තිස් (29) කපක් ජිනසූර්‍ය්‍යයෝ නූපන්හ. මෙම මහා භද්‍ර කල්පයේ සිවුබුදු කෙනෙක් උපන්හ. කවර සතර නමක් ද? කකුසඳ කෝණාගමන කාශ්‍යප යන තුන් නම සහ අප බුදුරජාණෝ ය. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මතු උපදනාහ. මෙසේ මෙම කල්පය පස් බුදු කෙනෙකුගෙන් යුක්ත බැවින් මහා භද්‍රකල්පය යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. එහි පළමුවන අන්තර කල්පයේ දෙපා ඇති දෙවි මිනිසුන්ට උතුම් වූ, අපමණ ගුණැති, සතුරන්ට ළංවිය නො හැකි, නමින් කකුසඳ නම් වූ බුදුරජ තෙම පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව ඛේමවතී නුවර ඛේමංකර නම් රජුගේ අර්‍ථධර්‍මානුශාසක අග්ගිදත්ත නම් පුරෝහිත බමුණාට දාව විසාඛා බැමිණියගේ කුස පිළිසිඳ ගත්හ. යම් කලෙක රජවරු බමුණන්ට සත්කාර කරත් ද ගරුකාර කරත් ද මානන කරත් ද පූජා කරත් ද එකල බෝසත්වරු බමුණු කුලයේ උපදිති. යම් කලෙක බමුණෝ ක්‍ෂත්‍රීයයන්ට සත්කාර ගරුකාර මානන පූජා කරත් ද එකල බෝසත්වරු රජ කුලයේ උපදිති. එකල්හි වනාහි බමුණෝ ක්‍ෂත්‍රීයයන් විසින් සත්කාර ගරුකාර මානන පූජා කරන ලද්දෝ වූහ. එහෙයි සත්‍යසන්ධ වූ කකුසන්ධ මහ බෝසත්හු විභවශ්‍රී සම්පතින් ආකූල නිරාකූල බ්‍රාහ්මණ කුලයෙහි දසසහශ්‍රී ලෝකධාතු ව නාද කරවමින් පහළ වූහ.
උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් ඛේම උයන්හි මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු කකුසන්ධ යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණ කුලයෙහි වූහ. උන්වහන්සේට සුචි, සුරුචි, රතිවඩ්ඪන නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තිස්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු හතරදහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ විරෝචමානා (රෝහිණී) දේවියට උත්තර කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක මැනවින් සෑදූ අජානීය රථයකින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. සතළිස්දහසක් දෙනා උන්වහන්සේ අනුව පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ අටමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින සුචිරින්‍ද නිගමෙහි වජිරින්ධ බ්‍රාහ්මණයාගේ දූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා කිහිරි වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි සුභද්ද නම් යවපාලකයන් දුන් කුස තණ මිටි අට ගෙන මහරි රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී තිස්තුන රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් වහන්සේ සමග එකට පැවිදි වූ සතළිස්දහසක් භික්‍ෂූන්ගේ හේතු සම්පත් දැක එක් දවසින් ම මිථිලා නුවර ඉසිපතන මිගදායට වැඩ ඔවුන් පිරිවරා ධම්සක් දෙසූහ. එහිදී සතළිස් කෙළ ලක්‍ෂයක් දෙනාට ධර්‍මාභිසමය විය.
මහර්ෂි වූ කකුසන්ධ බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් එකක් වූහ. ආස්‍රව ආදී සතුරු සමූහයා නැති කිරීමෙන් දැමුනු බවට පැමිණි සතළිස්දහසක් භික්‍ෂූන්ගේ රැස්වීම විය.
අප මහා බෝසතාණෝ ඒ කාලයෙහි ඛේම නම් රජෙක් ව තථාගතයන් වහන්සේට ද ජින පුත්‍රයන්ට ද බොහෝ වූ දන් දී, පාත්‍රයක් ද, සිවුරක් ද, අඳුන් ද, වැල්මී ද, යන ආදී දෑ පුදා කැමතිවන ලද ඒ මේ උතුම් සියල්ල ද පිළියෙළ කොට දුන්හ. උන්වහන්සේගෙන් බණ අසා පහන් සිතැති ව බුදුන් වෙත පැවිදි විය. ඒ කකුසඳ ශාස්තෘන් වහන්සේ ද මෙතෙම මේ කල්පයේ ම බුදු වන්නේ යැයි විවරණ දුන් සේක.
කකුසඳ ශාස්තෘන් වහන්සේට විධුර හා සංජීව දෙනම අගසවුවෝ ය. උපස්ථායක බුද්ධිජ නම් භික්‍ෂුව විය. සාමා හා චම්පා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. අච්චුත හා සුමන යන දෙදෙන උපස්ථායකයෝ ය. නන්‍දා හා සුනන්‍දා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය හතළිහ රියන් විය.
මහර්ෂි වූ ඒ කකුසඳ බුදුරදුන්ගේ ආයුෂය අවුරුදු සතළිස් දහසකි. උන්වහන්සේ ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතෙර කළ සේක. දෙවියන් සහිත ලෝකයෙහි ස්ත්‍රී පුරුෂයන්ට දහම් නමැති සල්පිලක් ඇර තබා, සිංහ නාද කොට ශ්‍රාවකයින් සහිතව පිරිනිවී සේක. අටඟ හඬින් යුත් වචන ඇති කකුසඳ බුදුරජ තෙමේ ද නිතර සිදුරු නැති සීලයෙන් යුත් අගසවු ආදී සියල්ලෝ ම අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?
කකුසඳ ජිනරාජ තෙම ඛේම නම් ආරාමයේ දී පිරිනිවී සේක. එහි ම උන්වහන්සේගේ උතුම් සෑය ගව්වක් අහසට උස්ව නැංගේ ය.

මෙම මහා භද්‍ර කල්පයේම පළමුවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය ඛේමවතී නුවර
ගෝත්‍රය කාශ්‍යප
ජාතිය බ්‍රහ්මණ
පියා අග්ගිදත්ත බමුණු
මව විසාඛා බැමිණිය
ප්‍රාසාදත්‍රය 1. සුචි 2. සුරුචි 3. රතිවද්ධන
අග්‍රමහේෂී විරෝචමානා (රෝහිණී) දේවිය
පුත්‍රයා උත්තර කුමරු
අගාරවාස අවුරුදු හතරදහසයි (4,000)
අභිනිෂ්ක්‍රමණය ආජඤ්ඤ රථයකින් නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස දහයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු සුචිරින්‍ද නිගමෙහි වජිරින්‍ධ ඹ්‍රහ්මණයාගේ දූ
කුස තණ සුභද්ද යවපාලක
බෝධිය පාටලි (මාර)
ශරීර රශ්මිය දස යොදුනක් පමණ පැතිර සිටියේය
ධම්සක් දෙසීම මිථිලා නුවර ඉසිපතන මිගදායෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත එකක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් විධුර තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් සඤ්ජීව තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් සාමා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් චම්පා තෙරණිය
අග්‍ර උපස්ථායක බුද්‍ධිජ භික්‍ෂුව
උපස්ථායකයෝ අච්චුත, සුමන
උපස්ථායිකාවෝ නන්‍දා, සුනන්‍දා
ආයු ප්‍රමාණය අවුරුදු හතළිස්දහසයි. (40,000)
පරිනිර්වානය ඛේමාරාමයෙහි
බෝසතාණෝ ඛේම නම් රජව විවරණ ලැබීය

<<< Previous Next >>>

24. වෙස්සභූ බුදුන් වහන්සේ

සිඛී බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි දෙවන අන්තර කල්පයේ අසම වූ දිනූ අදහස් ඇති ලොව දිනූ වෙස්සභූ නම් ලෝනා සමිඳු පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව අනූපම නුවර රජ කුලයෙහි මනා ප්‍රීතියට පත් සුප්පතීත නම් ක්‍ෂත්‍රීය රජතුමාට දාව සිල්වත් වූ යසවතී නම් දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් අනූපම උයන්හි මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු “උපදිද්දී ම ජනයා සතුටු කොට ඍෂභ නාද කළහ. එහෙයින් වසභ නාද හේතුවෙන්” වෙස්සභූ යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට සුචී, සුරුචී, රතිවඩ්ඪන නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තිස්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු හයදහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ සුචිත්තා දේවියට සුප්පබුද්ධ කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක සිවිකා යානයකින් (රන්සිවිගෙයකින්) උයන දැකීමට ගොස් දෙවියන් දුන් කසාවත් ගෙන පැවිදි වූහ. සැත්තෑදහසක් උන්වහන්සේ අනුව පැවිදි වූහ. සමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින සුචිත්ත නියම්ගම දෘෂ්‍යමාන කයින් සිරිවඩ්ඪනාව දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි නරින්‍ද නම් නා රජු දුන් කුස තණ මිටි අට ගෙන සාල (සල්) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී හතළිහ රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් සිය බාල සොහොයුරු සෝණ කුමරුගේ ද උත්තර කුමරුගේ ද හේත් සම්පත් දැක අහසින් වැඩ අනූපම නගර සමීපයෙහි අරුණ උයන්හි බැස දෙකුමරුවන් කැඳවා පිරිවර මැද දම්සක් පැවැත්වූහ. එහිදී අසූ කෙළ දහසකට ධර්‍මාභිසමය විය.
මහර්ෂි වූ වෙස්සභූ බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ. අසූදහසක් භික්‍ෂූන්ගේ පළමුවන රැස්වීම විය. සැත්තෑදහසක් භික්‍ෂූන්ගේ දෙවන රැස්වීම විය. ජරා මරණ ආදී භය නැති කළ හැටදහසක් භික්‍ෂූන්ගේ තුන්වන රැස්වීම විය.
එකල අප මහා බෝසතාණෝ සරභවතී නුවර පරම ප්‍රියදර්‍ශණ වූ සුදර්‍ශණ නම් රජව වෙස්සභූ ලෝකනායකයන් වහන්සේ සරභ නගරයට වඩින කල්හි උන්වහන්සේගේ බණ අසා පහන් හදින් දෑත් එක් කොට, බබළන ජලජ නිමල අවිකල මානෙල් කැකුළක් වන් දෑඟිලි හිස තබා බුදුපාමොක් මහසඟනට මහා චීවර දානයක් දී එහි ම භාග්‍යවතුන් වහන්සේගේ වාසය පිණිස ගඳකිළියක් කොට එය වට කොට විහාර දහසක් කරවා සියලු සම්පත් බුද්ධ ශාසනයට පුද කොට වෙස්සභූ බුදුන් වෙත මහණ ව ආචාර ගුණ සම්පන්න ව තෙළෙස් ධූත ගුණයෙහි නිරත ව බෝධිසම්භාර පිරික්සීම සඳහා ඇඳුණෝ බුද්ධශාසනාභිරත ව විසූහ. ඒ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ ද මෙතෙම මෙයින් කල්ප තිස් එකකට මත්තෙහි ගෞතම නමින් බුදුවන බවට විවරණ දුන් සේක.
ඒ වෙස්සභූ සර්‍වඥයන් වහන්සේට සෝණ හා උත්තර දෙනම අගසවුවෝ ය. උපස්ථායක උපසන්ත නම් භික්‍ෂුව විය. දාමා හා සමාලා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. සොත්‍ථික හා රම්ම යන දෙදෙන උපස්ථායකයෝ ය. ගෝතමී හා සිරිමා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය හැට රියන් විය.
ඒ කාලයෙහි අවුරුදු හැටදහසක් ආයුෂ ඇත්තේ ය. ඒ තාක් කල් වැඩ සිටිමින් උන්වහන්සේ බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතෙර කළ සේක. ධර්‍මය පැතිර වීම කොට, මහජනයාට බෙදා, දහම් නමැති නැව තබා, ශ්‍රාවකයින් සහිතව ඒ බුදුරජ තෙම පිරිනිවී සේක. දැක්ක යුතු සියලු පිරිවර සහිත බුදුරජ තෙමේ ද, විහාරය ද, ඉරියව් ද යන සියල්ල අතුරුදන් වී. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?
ශාස්තෘ වූ ඒ වෙස්සභූ ජිනරාජ තෙම ඛේම නම් ආරාමයේ දී පිරිනිවී සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරීම වී ය.

මෙ කපින් කල්ප තිස්එකකට පෙර මණ්ඩ නම් කල්පයේ දෙවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය අනූපම නුවර
ගෝත්‍රය කොණ්ඩඤ්ඤ
ජාතිය ක්‍ෂත්‍රීය
පියා සුප්පතීක ක්‍ෂත්‍රීය රජතුම
මව යසවතී දේවිය
ප්‍රාසාදත්‍රය 1. සුචී 2. සුරුචී 3. රතිවඩ්ඪන
අග්‍රමහේෂී සුචිත්තා දේවිය
පුත්‍රයා සුප්පබුද්ධ කුමරු
අගාරවාස අවුරුදු හයදහසයි (6,000)
අභිනිෂ්ක්‍රමණය සිවිකා යානය (රන්සිවිගෙය) කින් නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස හයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු සුචිත්ත නියම්ගම සිරිවඩ්ඪනාව
කුස තණ නරින්‍ද නාරජු
බෝධිය සාල (සල්)
ධම්සක් දෙසීම අරුණ ආරාමයෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් සෝණ තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් උත්තර තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් දාමා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් සමාලා තෙරණිය
අග්‍ර උපස්ථායක උපසන්තා භික්‍ෂුව
උපස්ථායකයෝ සොත්‍ථිත, රම්ම
උපස්ථායිකාවෝ ගෝතමී, සිරිමා
ආයු ප්‍රමාණය අවුරුදු හැටදහසයි. (60,000)
පරිනිර්වානය උසභවතී නුවර ඛේමාරාමයෙහි
බෝසතාණෝ සුදර්ශන නම් රජව විවරණ ලැබීය

<<< Previous Next >>>

23. සිඛී බුදුන් වහන්සේ

විපස්සී බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි මෙම කල්පයට කල්ප තිස්එකකට පෙර මණ්ඩ නම් කල්පයේ සම්බුදු වූ දෙපා ඇති සතුන්ට උතුම් වූ අසම වූ සිඛී, වෙස්සභූ යයි ජිනරාජවරු දෙනමක් වූහ. එහි සිඛී නම් ශාස්තෘන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව අරුණවතී නුවර රජ කුලයෙහි පරම ගුණයෙන් යුත් අරුණවා ක්‍ෂත්‍රීය රජතුමාට දාව පරම රුසිරු රන්පැහැ ඇති ප්‍රභාවතී දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් නිපක උයන්හි දී මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු “සිඛාවක් මෙන් උන්හීසය උඩනැගි හෙයින්” සිඛී යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට සුචන්‍ද, ගිරි, වසභ නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ සූවිසිදහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු හත්දහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ සබ්බකාමා දේවියට ගුණගණයෙන් ආතුල අතුල නම් කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක ඇත් යානයකින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. සැත්තෑ ලක්‍ෂයක් දෙනා උන්වහන්සේ අනුව පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ අටමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින සුදස්සන නියම්ගමෙහි පියදස්සී සිටුහුගේ දූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා තරුණ කිණිහිරි වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි අනෝමදස්සී නම් තවුසා දුන් කුස තණ මිටි අට ගෙන පුණ්ඩරික (ඇටඹ/ සුදු අඹ) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී විස්ස රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් වහන්සේ සමග එකට පැවිදි වූ සැත්තෑ ලක්‍ෂයක් පිරිසගේ හේතු සම්පත් දැක අහසින් වැඩ මිගාචීර උයනෙහි ඔවුන් පිරිවරන ලද්දේ ධම්සක් දෙසූහ. එහිදී කෙළ ලක්‍ෂයක් දෙනාට ධර්‍මාභිසමය විය.
මහර්ෂි වූ සිඛී බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ. ලක්‍ෂයක් භික්‍ෂූන්ගේ පළමු රැස්වීම විය. අසූ ලක්‍ෂයක් භික්‍ෂූන්ගේ දෙවන රැස්වීම විය. දියෙහි හටගෙන දියෙහි වැඩුණු දිය හා නො ගැටුණු පියුමක් මෙන් වූ සැත්තෑදහසක් භික්‍ෂූන්ගේ තුන්වන සමාගම විය.
එකල්හි අප මහා බෝසතාණෝ කිසිතැනක නො ඇලුණාහු පරිභුත්ත නුවර අරින්‍දම නම් රජව සිඛී ශාස්තෘන් වහන්සේ පරිභුත්ත නුවරට වැඩි කල්හි සපිරිවරින් රාජ භවනයෙන් පෙර ගමන් කොට පා පියුම් යුගලයෙහි පිරිස් සහිතව සිරසින් නැමැද දසබලයන් වහන්සේට ආරාධනා කොට සතියක් ඓශ්චර්ය කුල සම්පත් ශ්‍රද්ධාවට අනුරූප මහ දන් දී සළු ගබඩා හැර බුදුපාමොක් බික්සඟන මහඟු සළු පිදූහ. තමන්ගේ බල රූප ලක්‍ෂණ ජව සම්පන්න රන්දැල් මාලාදියෙන් සරසන ලද නවරන් සොඳුරු දළකොපු චාමර යුග්මයෙන් බබළන මහත් මෘදු කන් ඇති සඳ රේඛා මෙන් බබළන මුවශෝභා යුත් එරවණ ඇතු මෙන් සතුරන් වළකන මඟුලැතු පුදා ඇත් ප්‍රමාණයෙන් කැප බඩු ද පූජා කලහ. ඒ සිඛී ශාස්තෘන් වහන්සේ ද මෙයින් කල්ප තිස් එකකින් මතු මෙතෙම ගෞතම නමින් බුදු වන්නේ යැයි විවරණ දුන් සේක.
මහාවීර වූ නරෝත්තම වූ සිඛී නම් ලෝකාග්‍ර නායකයන් වහන්සේ හට අභිභූ හා සම්භව දෙනම අගසවුවෝ ය. උපස්ථායක ඛේමංකර නම් භික්‍ෂුව විය. මඛිලා හා පදුමා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. සිරිවඩ්ඪ හා නන්‍ද යන දෙදෙන උපස්ථායකයෝ ය. චිත්ත හා සුගුත්ත යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය හැත්තෑව රියන් විය.
මහර්ෂි වූ ඒ සිඛී බුදුරදුන්ට අවුරුදු සැත්තෑදහසක් ආයුෂ වී ය. උන්වහන්සේ ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතෙර කළ සේක. දහම් වැසි වස්වා, දෙවියන් සහිත ලෝ වැසියන් තෙමා, ඒ නිවනට පමුණුවා, ශ්‍රාවකයන් සහිත වූ උන්වහන්සේ පිරිනිවී සේක. අසූ අනූ ව්‍යඤ්ජනයෙන් යුත්, දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?
සිව්සස් අවබෝධ කළ සිඛී මුනිසඳු සීලවතී නුවර දුස්සාරාමයෙහි පිරිනිවී සේක. එහි ම උන්වහන්සේගේ උතුම් සෑය තුන් යොදුනක් උසට බදින ලදි.

මෙ කපින් කල්ප තිස්එකකට පෙර මණ්ඩ නම් කල්පයේ පළමුවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය අරුණවතී නුවර
ගෝත්‍රය කොණ්ඩඤ්ඤ
ජාතිය ක්‍ෂත්‍රීය
පියා අරුණවා ක්‍ෂත්‍රීය රජතුම
මව ප්‍රභවතී දේවිය
ප්‍රාසාදත්‍රය 1. සුචන්‍ද 2. ගිරි 3. වසභ
අග්‍රමහේෂී සබ්බකාමා දේවිය
පුත්‍රයා අතුල කුමරු
අගාරවාස අවුරුදු හත්දහසයි (7,000)
අභිනිෂ්ක්‍රමණය ඇත් යානයකින් නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස අටක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු සුදස්සන නියම්ගමෙහි පියදස්සී සිටුගේ දූ
කුස තණ අනෝමදස්සී තවුසා
බෝධිය පුණ්ඩරික (ඇටඹ/ සුදු අඹ)
ශරීර රශ්මිය තුන් යොදුනක් පමණ පැතිර සිටියේය
ධම්සක් දෙසීම මිගාචීර උයනෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් අභිභූ තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් සම්භව තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් මඛිලා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් පදුමා තෙරණිය
අග්‍ර උපස්ථායක ඛේමංකර භික්‍ෂුව
උපස්ථායකයෝ සිරිවඩ්ඪ, නන්‍ද
උපස්ථායිකාවෝ චිත්ත, සුගුත්ත
ආයු ප්‍රමාණය අවුරුදු හැත්තැදහසයි. (70,000)
පරිනිර්වානය සීලවතී නුවර අස්සාරාමයෙහි
බෝසතාණෝ අරින්‍දම නම් රජව විවරණ ලැබීය

<<< Previous Next >>>