අධම්මිකරාජ සූත්‍රය

මහණෙනි, යම් කලෙක රජවරු අධාර්මික වෙත් ද, ඒ කාලයෙහි රාජ කාර්‍යයෙහි නියුක්ත පුරුෂයෝ ද අධාර්මික වන්නේ ය. මහණෙනි, ඒ රාජ කාර්‍යයන්හි නියුක්ත පුරුෂයන් අධාර්මික වූ කල්හි, බමුණු ගැහැවියෝ ද අධාර්මික වන්නේ ය. බමුණු ගැහැවියන් අධාර්මික වූ කල්හි, නියම්ගම් දනව් වාසීහු ද, අධාර්මික වන්නේ ය. නියම්ගම් දනව් වැසියන් අධාර්මික වූ කල්හි චන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ විෂම ව ගමන් කරන්නේ ය. චන්‍ද්‍ර සූර්‍ය්‍යයන් විෂම ව ගමන් කරන කල්හි නැකත් හා තරු විෂම ව ගමන් කරන්නේ ය. නැකත් හා තරු විෂම ව යන කල්හි රෑ දහවල් විෂම වන්නේ ය. රෑ දහවල් විෂම වන කල්හි මාස අර්‍ධ මාසයෝ විෂම වන්නේ ය. මාස අර්‍ධ මාස විෂම වූ කල්හි ඍතු සංවත්සර විෂම වන්නේ ය. ඍතු සංවත්සර විෂම වූ කල්හි වාතයෝ විෂම ව හමන්නේ ය. (නියම) මාර්ගයේ නොහමත්. විෂම මාර්‍ගයන්හි විෂම වාතයන් හමන කල්හි දෙවියෝ කිපෙන්නේ ය. දෙවියන් කුපිත වූ කල්හි වළාකුළු මනාව ධාරා නොහෙළන්නේ ය. වළාකුළු මනාව ධාරා නොහෙළන කළ විෂම ව පැසෙන ශස්‍යයෝ වන්නේ ය. මහණෙනි, විෂම ව පැසෙන ශස්‍ය අනුභව කරණ මනුෂ්‍යයෝ අල්පායුෂ්ක වූවාහු, දුර්‍වර්‍ණ වූවාහු, දුර්‍වල වූවාහු, බොහෝ ලෙඩ ඇත්තාහු වන්නේ ය.
මහණෙනි, යම් කාලයක රජවරු ධාර්මික වෙත් ද ඒ කාලයෙහි රාජ කාර්‍යයෙහි නියුක්තයෝ ද ධාර්මික වන්නේ ය. රාජ කාර්‍ය්‍යයන්හි නියුක්තයන් ධාර්මික කල්හි බමුණු ගැහැවියන් ද ධාර්මික වන්නේ ය. බමුණු ගැහැවියන් ධාර්මික කල්හි නියම්ගම් දනව් වැස්සෝ ඒ කාලයෙහි ධාර්මික වන්නේ ය. නියම්ගම් දනව් වැසියන් ධාර්මික කල්හි චන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ සම ව ගමන් කරන්නේ ය. චන්‍ද්‍ර සූර්‍ය්‍යයන් සම ව ගමන් කරණ කල නැකත් තාරකා සම ව ගමන් කරන්නේ ය. නැකත් තාරකා සම ව ගමන් කරණ කල රෑ දහවල් සම ව සිටින්නේ ය. රෑ දහවල් සම ව සිටි කල්හි මාස අර්‍ධ මාසයෝ සම ව යන්නේ ය. මාස අර්‍ධ මාස සම වූ කල්හි ඍතු සංවත්සර සම වන්නේ ය. ඍතු සංවත්සර සම වූ කල්හි සම ව නියම මාර්‍ගයෙහි වාතය හමන්නේ ය. සම ව නියම මාර්‍ගයෙහි වාතය හමන කල දෙවියෝ ප්‍රීති වන්නේ ය. දෙවියෝ නොකිපි කල්හි වළාකුළු මනාකොට ධාරා හෙලන්නේ ය. වළාකුළු මනාකොට ධාරා හෙලන කල ශස්‍යයෝ සමව පැසෙන්නේ ය. මහණෙනි, සමාන ව පැසුණු ශස්‍ය අනුභව කරණ මනුෂ්‍යයෝ දීර්‍ඝායුෂ ඇත්තාහු ද, වර්‍ණවත් ද, ශක්තිමත් වූවාහු ද, නිරෝගී වූවාහු ද වන්නේ ය.
‘‘ගුන්නං චෙ තරමානානං, ජිම්හං ගච්ඡති පුඞ්ගවො;
සබ්බා තා ජිම්හං ගච්ඡන්ති, නෙත්තෙ ජිම්හං ගතෙ සති.
“ගවයන් එතරවන කල්හි ප්‍රධාන ගවයා ඇදට යයි ද, නෙතෘවරයා (නායකයා) ඇද වූ කල්හි සියල්ලෝ ඇදට යත්.”
‘‘එවමෙවං මනුස්සෙසු, යො හොති සෙට්ඨසම්මතො;
සො චෙ අධම්මං චරති, පගෙව ඉතරා පජා;
සබ්බං රට්ඨං දුක්ඛං සෙති, රාජා චෙ හොති අධම්මිකො.
“එසේ ම මනුෂ්‍යයන් අතරෙහි යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත ද, හෙතෙම ඉදින් අධර්මයෙහි හැසිරෙයි ද, සෙසු ජනයා ගැන කියනුම කවරේ ද? ඉදින් රජ අධාර්මික වුවහොත් මුළු රට ම අධාර්මික වේ.”
‘‘ගුන්නං චෙ තරමානානං, උජුං ගච්ඡති පුඞ්ගවො;
සබ්බා තා උජුං ගච්ඡන්ති, නෙත්තෙ උජුං ගතෙ සති.
“ගවයන් එතරවන කල්හි ප්‍රධාන ගවයා ඍජු ව යයි ද, ප්‍රධානියා ඍජු වූ කල්හි ඒ සියල්ලෝ ඍජු වෙත්.”
‘‘එවමෙවං මනුස්සෙසු, යො හොති සෙට්ඨසම්මතො;
සො චෙ ධම්මං චරති, පගෙව ඉතරා පජා;
සබ්බං රට්ඨං සුඛං සෙති, රාජා චෙ හොති ධම්මිකො’’ති
“එසේ ම මනුෂ්‍යයන් අතරෙහි යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත ද, හෙතෙම ධර්මයෙහි හැසිරෙයි ද, අනික් ජනයා ගැන කියනුම කවරේ ද, ඉදින් රජ තෙම ධාර්මික ද, සියලු රට ම සැප සේ හොබී.”
අං.නි.\චතුක්ක නිපාතය\7. පත්ත කම්ම වර්‍ගය.\10. අධම්මිකරාජ සූත්‍රය.

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment