Friday, July 01, 2016

06. මංගල බුදුන් වහන්සේ

කොණ්ඩඤ්ඤ බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි එක් අසංඛ්‍යයක් ගෙවී මෙම කල්පයට දෙයාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සාරමණ්ඩ නම් කල්පයේ මංගල, සුමන, රේවත හා සෝභිත යන බුදුවරු සතර නමක් ලෝකයෙහි මෝහ නමැති අඳුර නැති කොට දහම් නමැති දඬුවැටපහන දැරූ සේක. එහි නරදම්සැරි මංගල භාග්‍යවතුන් වහන්සේ සොළොසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස;
කාලොයං තෙ මහාවීර, උප‍්පජ‍්ජ මාතුකුච‍්ඡියං;
සදෙවකං තාරයන‍්තො, බුජ‍්ඣස‍්සු අමතං පද”න‍්ති
බුඳ්‍ධවංසපාළි/රතනචඞ‍්කමනකණ‍්ඩං
දෙවියන් විසින් අයදිනා ලදුව දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව හැම නුවරට ම උත්තම උත්තර නුවර රජ කුලයෙහි අනුත්තර වූ උත්තර නම් ක්‍ෂත්‍රීය රජතුමාට දාව සියලු ගුණයෙන් නිරුත්තර වූ උත්තරා නම් දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් උත්තරමධුර උයනෙහි මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු “සියලු මඟුල් සම්පත් හට ගත්තේ යැයි” මංගල කුමරු යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට යසවා, සුචිමා හා සිරිමා නම් රමණීය ප්‍රසාදත්‍රයක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තිස්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු නවදහස ගිහිගෙයි වැස අගමෙහෙසිය වූ යසවතී දේවියට සීලව කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක පඪේර අසු පිටින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. පැවිදි වූ උන්වහන්සේ අනුව මිනිස්සු තුන් කෙළක් පැවිදි වූහ. අට මසක් වීර්යය කොට වෙසක් පොහෝදින උත්තරගම උත්තර සිටුහුගේ දුව වූ උත්තරා සිටුදූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි උත්තර නම් ආජීවක දුන් කුස තණ මිටි අට ගෙන නා රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පනස්හත් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමා වහන්සේ සමග පැවිදි වූ තුන් කෙළක් පිරිස දැක පා සිවුරු ගෙන හංස රාජයකු මෙන් අහසින් වැඩ සිරිවඩ්ඪන නුවර ලඟ සිරිවනගහණයෙහි බැස ධම්සක් දෙසූහ. එහිදී තිස් කෙළක් දෙනාට ධර්‍මාභිසමය විය.
මොකැදුරු මංගල බුදුන් හට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ.
මංගල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශරීර ප්‍රභාව වනාහි සෙසු ජිනරාජයන්ට වඩා අධිකතර විය. අන් බුදුවරයන්ගේ ශරීර ප්‍රභාව අසූ රියන් හෝ බඹයක් පමණ වේ. මංගල බුදුන් වහන්සේගේ ශරීර ප්‍රභාව දසදහසක් ලෝක ධාතුවෙහි පැතිර සිටියේ ය. උන්වහන්සේගේ ආයුෂය අවුරුදු අනූ ලක්‍ෂයක් විය. එතෙක් කල් ලෝකයට රාත්‍රියක් උදා නො වී ය. සැමදා දහවල මෙන් විය. බුද්ධාලෝකයෙන් සියලු සත්වයෝ දිවා රාත්‍රි වැඩ කළහ. සවස පිපෙන මල් වලින් ද උදය කුරුල්ලන්ගේ නාදයෙන් ද දැනගත්හ. මංගල බුදුන්ගේ ශරීර ප්‍රභාව මෙතෙක් අධික වීමට හේතු කවරේ ද යත් උන්වහන්සේ පාරමී පුරන කළ වෙස්සන්තර ආත්ම භාවයකට සමාන ආත්ම භාවයක දී දරු දෙදෙන දන් දුන්හ. එකල එම දරු දෙදෙනා ව ලැබීමට පැමිණියේ සකල ජන හිංසක මිනී කන ඛරදාටික නම් යකෙකි. ඒ යක්‍ෂ තෙම මංගල බෝසතුන්ගේ දානාධ්‍යාසය දැන බමුණු වෙසින් පැමිණ දරු දෙදෙනා ඉල්ල වී ය. බෝසතාණෝ තුටුපහටු ව මහ පොළොව කම්පා කොට දරු දෙදෙනා ඒ බමුණු වෙසින් ආ යක්‍ෂයාට දුන්හ. ඉක්බිති යක්‍ෂයා බෝසතුන් බලා සිටිය දී ම බමුණු වෙස් හැරදමා ගිනිදැල් බඳු ඇස් ඇතිව විසම විරූපී නාසා ඇතිව තඹරළු කෙස් ඇතිව තල් කඳක් වන් සිරුරු ඇති යක්‍ෂ වෙස් ඇත්තේ ඒ දරුවන් දෙදෙන නෙළුම් මිටියක් සේ ගෙන කෑවේ ය. මහපුරිස්‍හු ඒ ලේ වැගිරෙමින් අනුභව කරන යක්‍ෂයා දැක අල්පමාත්‍රයකුදු දොම්නස් නො ඉපදූහ. මා විසින් මනා දානයක් දෙන ලදැයි සතුටු වූහ. උන්වහන්සේ මේ කුසල විපාකයෙන් “අනාගතයෙහි මේ අයුරින් ම රැස් නික්මෙම්වා”යි! පැතූහ. උන්වහන්සේගේ ඒ පැතුම පරිදි බුදු වී දසදහසක් සක්වළ රශ්මිය පැතිරුණේ ය. තවද උන්වහන්සේ පෙර එක් බුදු කෙනෙකුන්ගේ ධාතු චෛත්‍යයක් දැක එයට ජීවිත පරිත්‍යාගයක් කළ යුතු යැයි සිතා මුළු සිරුර වෙලා ලක්‍ෂයක් පමණ වටිනා රන් බඳුනක පහන් වැටි දහසක් දල්වා එය හිස මත තබා මුළු සිරුර ද දල්වා සෑය පැදකුණු කරමින් මුළු රැය ම පහන් කලහ. උන්වහන්සේගේ රෝමයකට වත් හානි නො වී ය. එබැවින් අප භාග්‍යවතුන් වහන්සේ;
“ධම්මො හවෙ රක‍්ඛති ධම‍්මචාරිං, ධම්මො සුචිණ්ණො සුඛමාවහාති;
එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ, න දුග‍්ගතිං ගච‍්ඡති ධම‍්මචාරී”ති
 ථෙරගාථාපාළි\චතුක‍්කනිපාතො\ධම්මිකත්‍ථෙරගාථා
යැයි “ධර්‍මය ඒකාන්තයෙන් ධර්‍මචාරියා ආරක්‍ෂා කරයි. ප්‍රගුණ කළ ධර්‍මය සුව ගෙන දෙයි. පුරුදු කළ ධර්‍මයේ ආනිසංසය මෙය යි. ධර්‍මචාරී තෙම දුගතියට නො යයි.” යැයි වදාළ සේක. මේ කර්‍මයේ විපාකයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ප්‍රභාව දසදහසක් සක්වළ පැතිය සිටියේ ය.
අප මහා බෝසතාණෝ ඒ කාලයෙහි මන්ත්‍ර උගන්වන්නා වූ, සිප්සතර ඉගෙනගන්නා වූ තුන් වේදයෙහි පරතෙරට පැමිණි සුරුචි නම් බමුණෙකි. හෙතෙම ඒ මංගල බුදුරදුන් කරා එළඹ බුදුරදුන්ගේ සරණ ගොස් බුදුපාමොක් සඟන සුවඳ මලින් පුදා මහා දානයක් දුන්නේ ය. ශාස්තෲන් වහන්සේ බෝසතුන් මතු බුදු වන්නේ යැයි විවරණ දුන් සේක. හෙතෙම බුදුන්ගෙන් බණ අසා සියලු ධනය පවරා දී පැවිදි ව ධ්‍යාන උපදවා නො පිරිහුණු ධ්‍යානයෙන් බඹලොව උපන්නේ ය.
ඒ භාග්‍යවතුන් වහන්සේට සුදේව හා ධම්මසේන දෙනම අගසවුවෝ ය. උපස්ථායක පාලිත නම් භික්‍ෂුව විය. සීවලා හා අශෝකා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. නන්‍ද හා විසාඛ යන දෙදෙන උපස්ථායකයෝ ය. අනුලා හා සුතනා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය අසූඅට රියන් විය. අවුරුදු අනූදහසක් ආයුෂ ගෙවා මහත් පිරිවර ඇති ඒ මංගල බුදුරජහු දහම් නමැති ගිනිහුල දරා, මහජනයා සසර සයුරෙන් එතෙර කොට ගින්නක් මෙන් දැල්වී පිරිනිවී සේක. දෙවි මිනිසුන් විෂයයෙහි සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාව දක්වා, ගිනි කඳක් මෙන් දිලිහී, හිරු මෙන් අස්තයට ගිය සේක. සියලු සංස්කාරයෝ හිස් වූවා නො වේ ද?
මංගල බුදුරජහු වෙස්සර නම් උයනෙහි දී පිරිනිවී සේක. එහි ම උන්වහන්සේගේ ජිනථූපය තිස් යොදුනක් උස් විය.

සොළසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා මෙ කපින් දෙයාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සාරමණ්ඩ නම් කල්පයේ පළමුවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය උත්තර නුවර
ජාතිය ක්‍ෂත්‍රීය
පියා උත්තර ක්‍ෂත්‍රීය රජතුමා
මව උත්තරා දේවිය
ප්‍රාසාදත්‍රය 1. යසවා 2. සුචිමා 3. සිරිමා
අග්‍රමහේෂී යසවතී දේවිය
පුත්‍රයා සීලව කුමරු
අගාරවාස අවුරුදු නවදහසයි (9,000)
අභිනිෂ්ක්‍රමණය පඪෙර අසු පිටින් නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස අටක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු උත්තරා සිටුදූ
කුස තණ උත්තර ආඊවක
බෝධිය නා
ශරීර රශ්මිය දසදහසක් සක්වළ පැතිර සිටියේය
ධම්සක් දෙසීම සිරිවඩ්ද්න නුවර ලඟ සිරිවනගහණයෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් සුදේව තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් ධම්මසේන තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් සීවලා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් අසෝකා තෙරණිය
අග්‍ර උපස්ථායක පාලිත භික්‍ෂුව
උපස්ථායකයෝ නන්‍ද, විසාඛා
උපස්ථායිකාවෝ අනුලා, සුතනා
වැඩ විසූ විහාර උත්තරාරමයෙහි විසූහ
ආයු ප්‍රමාණය අවුරුදු අනූදහසයි. (90,000)
පරිනිර්වානය වෙස්සර උයනෙහි
බෝසතාණෝ සුරුචී නම් බ්‍රහ්මණව විවරණ ලැබීය

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment