Friday, July 01, 2016

14 සුමේධ බුදුන් වහන්සේ

පදුමුත්තර බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ගණනක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. ඉන්පසු කල්ප හැත්තෑදහසක් ම බුද්ධ ශුන්‍ය විය. පදුමුත්තර බුදුන්ට අපරභාගයෙහි කල්ප හැත්තෑදහසක් ගෙවී මෙයින් කල්ප තිස්දහසකට පෙර මණ්ඩ නම් කල්පයේ සුමේධ, සුජාත නම් බුදුවරු දෙනමක් ලෝ පහළ වූහ. එහි නො ගැටිය හැකි, උසස් තෙදැති, සියලු ලෝකයාට උතුම් වූ, සියල්ල දත් සුමේධ ලෝනා සමිඳු සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව සුදස්සන නුවර රජ කුලයෙහි සුදත්ත ක්‍ෂත්‍රීය රජතුමාට දාව සුදත්තා දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් සුදසුන් උයනෙහි වලා විවරගත තරුණ හිරු මෙන් මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු සුමේධ යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට සුචන්‍ද, කොඤ්චන හා සිරිවඩ්ඪ නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ හතළිස් අටදහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු නවදහසක් ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ සුමනා දේවියට පුනබ්බසුමිත්ත කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක ඇත් යානයකින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. උන්වහන්සේ අනුව සිය කෙළක් මිනිස්සු පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ අටමසක් ප්‍රධන් වඩා වෙසක් පොහෝදින නකුල නිගමෙහි නකුල සිටුදූ දුන් පරම මධුර ක්‍ෂීරපායාසය වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි සිරිවඩ්ඪ නම් ආජීවකයන් දුන් කුස තණ මිටි අට ගෙන මිදෙල්ල (කොළොම්) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී විසි රියන් පුළුලැති තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි භව්‍ය පුද්ගලයන් බලන සේක් තම බාල සොහොයුරු සරණ කුමරු ද සච්චකාල කුමරු ද ඇතුළු තමන් සමග පැවිදි වූ කෙළ සියයක් පිරිස ද දැක අහසින් වැඩ සුදස්සන උයනෙහි ධම්සක් දෙසූහ. එහිදී කෙළ ලක්‍ෂයක සත්වයන්ට ධර්‍මාභිසමය විය.
සියලු සතහට හිතැති සුමේධ බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ. අප මහා බෝසතාණෝ ඒ කාලයෙහි නමින් උත්තර නම් මානවකයෙක් ව අසූ කෙළක් ධනය වියදම් කොට බුදුන් ප්‍රමුඛ සංඝයාට මහ දන් දුන්හ. දන් දී, දහම් අසා සරණ සීලයේ පිහිටා නික්ම ගොස් පැවිදි විය. හෙතෙම අනාගතයේ ගෞතම නමින් බුදුවන බවට උන්වහන්සේ විවරණ දුන් සේක.
සරණ හා සබ්බකාම දෙනම සුමේධ බුදුන්ගේ අගසවුවෝ ය. උපසසරණ හා සබ්බකාම දෙනම සුමේධ බුදුන්ගේ අගසවුවෝ ය. උපස්ථායක සාගර නම් භික්‍ෂුව විය. රාමා හා සුරාමා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. උරුවෙල හා යසව යන දෙදෙන උපස්ථායකයෝ ය. යසෝධරා හා සිරිමා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය අසූඅට රියන් විය.
ඒ කාලයෙහි අවුරුදු අනූදහසක් ආයුෂ පවතී. උන්වහන්සේ ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතෙර කළ සේක. මහා යසස් ඇති උන්වහන්සේ ඤාණාලෝකය දක්වා පිරිනිවියහ. සිව්සස් අවබෝධ කළ සුමේධ ජිනවර තෙම මෙධාරාමයේ දී පිරිනිවියහ. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරීම විය.

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා මෙ කපින් කල්ප තිස්දහසකට පෙර මණ්ඩ නම් කල්පයේ පළමුවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය සුදස්සන නුවර
ජාතිය ක්‍ෂත්‍රීය
පියා සුදත්ත ක්‍ෂත්‍රීය රජතුම
මව සුදත්තා දේවිය
ප්‍රාසාදත්‍රය 1. සුචන්‍ද 2. කොඤ්චන 3. සිරිවඩ්ඪ
අග්‍රමහේෂී සුමනා දේවිය
පුත්‍රයා පුනබ්බසුමිත්ත කුමරු
අගාරවාස අවුරුදු නවදහසයි (9,000)
අභිනිෂ්ක්‍රමණය ඇත් යානයකින් නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස අටක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු නකුල නිගමෙහි නකුල සිටුදූ
කුස තණ සිරිවඩ්ඪ ආජීවක
බෝධිය මිදෙල්ල (කොළොම්)
ශරීර රශ්මිය යොදුනක් පමණ
ධම්සක් දෙසීම සුදස්සන උයනෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් සරණ තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් සබ්බකාම තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් රාමා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් සුරාමා තෙරණිය
අග්‍ර උපස්ථායක සාගර භික්‍ෂුව
උපස්ථායකයෝ උරුවෙල, යසව්
උපස්ථායිකාවෝ යසෝධරා, සිරිමා
ආයු ප්‍රමාණය අවුරුදු අනූදහසයි. (90,000)
පරිනිර්වානය මේධාරාමයෙහි
බෝසතාණෝ උත්තර නම් මානවකව විවරණ ලැබීය

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment