Friday, July 01, 2016

15. සුජාත බුදුන් වහන්සේ

සුමේධ බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ගණනාවක් පැවතිණි. උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් වීමෙන් අනතුරුව එම අන්තර කල්පය ගෙවී ගිය පසු සිංහයෙකුගේ හනුවකට බඳු හනුවක් ඇති, වෘෂභයකුගේ කඳට බඳු වට වූ කඳ ඇති, අපමණ තෙදැති, නො ගැටිය හැකි සුජාත නම් ශාස්තෘන් වහන්සේ පහළ වූහ. සඳ මෙන් නිමල වූ, හිරු මෙන් ප්‍රතාප ඇති, බුදු සිරින් හැම කල දිලිසෙන ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව සුමංගල නුවර රජ කුලයෙහි උග්ගත ක්‍ෂත්‍රීය රජතුමාට දාව ප්‍රභාමත් වූ ප්‍රභාවතී නම් දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු “මුළු දඹදිව සැම සත්නට සැප ගෙන දෙමින් උපන්නේ” යැයි සුජාත කියා ම නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට සිරි, උපසිරි හා නන්‍ද නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තිස්දෙදහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු නවදහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ සිරිනන්‍දා දේවියට උපසේන කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක හංසවහ නම් වරතුරඟු නැග අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. උන්වහන්සේ අනුව කෙළක් දෙනා පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ නවමසක් ප්‍රධන් වඩා වෙසක් පොහෝදින සිරිනන්‍දන නුවර සිරිනන්‍දන සිටුදූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි සුනන්‍දා නම් ආජීවක දුන් කුස තණ මිටි අට ගෙන හුණ (උණ) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී තෙතිස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් සිය බාල සොහොයුරු සුදසුන් කුමරු සහ පුරෝහිත පුත් දේව කුමරු ද සිව්සස් අවබෝධ කිරීමට සුදුසු බව දැන අහසින් වැඩ සුමංගල නුවර සමීපයෙහි සුමංගල උයනෙහි ධම්සක් දෙසා අසූකෙළක් සත්වයෝ භව බන්ධනයෙන් මුදා අමාමහ නිවන් පුර පැමිණ වූ සේක.
මහර්ෂි වූ සුජාත බුදුරදුන්ට රාගාදී කමහර්ෂි වූ සුජාත බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ. අප මහා බෝසතාණෝ ඒ කාලයෙහි සතර මහ දිවයිනෙහි අධිපති වූ, සක්රුවන පෙරට කොට අහසෙහි හැසිරෙන, මහ බලැති සක්විති රජෙක් විය. බුදුන් උපන්නේ යැයි අසා, එළඹ බණ අසා බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට සක්රුවන සමග සතර මහද්වීපවල රාජ්‍ය පවරා දී ශාස්තෘන් සමීපයෙහි පැවිදි විය. ඒ සුජාත බුදුන් ද මෙතෙම අනාගතයේ ගෞතම නමින් බුදු වන්නේ යැයි විවරණ දුන් සේක.
සුදස්සන හා දේව දෙනම ඒ බුදුන් හට අගසවුවෝ ය. උපස්ථායක නාරද නම් භික්‍ෂුව විය. නාගා හා නාගසමාලා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. සුදත්ත හා චිත්ත යන දෙදෙන උපස්ථායකයෝ ය. සුභද්දා හා පදුමා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය පනස්රියන් විය. ඒ කාලයෙහි අනූදහසක් අවුරුදු ආයුෂ පවතී. ඒ සුජාත බුදුරජ තෙම ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා සසර සයුරෙන් එතෙර කළ සේක. ඒ සුජාත බුදුරජ තෙම අසම සමය. ඒ බුදු ගුණය පමණ කළ නො හැක්කාහ. සියල්ල අතුරුදන් විය සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද? සිව්සස් අවබෝධ කළ ඒ සුජාත ජිනවර තෙම චන්‍දවතී නුවර සීලාරාමයෙහි පිරිනිවී සේක. එහි ම ඒ බුදු රජුන්ගේ සෑය දාගැබ තුන් ගව්වක් උස් වී ය.

මෙ කපින් කල්ප තිස්දහසකට පෙර මණ්ඩ නම් කල්පයේ දෙවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය සුමංගල නුවර
ජාතිය ක්‍ෂත්‍රීය
පියා උග්ගත ක්‍ෂත්‍රීය රජතුම
මව ප්‍රභාවතී දේවිය
ප්‍රාසාදත්‍රය 1. සිරි 2. උපසිරි 3. නන්‍ද
අග්‍රමහේෂී සිරිනන්‍දා දේවිය
පුත්‍රයා උපසේන කුමරු
අගාරවාස අවුරුදු නවදහසයි (9,000)
අභිනිෂ්ක්‍රමණය අස් යානයකින් නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස දහයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු සිරිනන්‍දන නුවර සිරිනන්‍දන සිටුදූ
කුස තණ සුනන්‍දා ආජීවක
බෝධිය හුණ
ධම්සක් දෙසීම සුමංගල උයනෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් සුදස්සන තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් දේව තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් නාගා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් නාගසමාලා තෙරණිය
අග්‍ර උපස්ථායක නාරද භික්‍ෂුව
උපස්ථායකයෝ සුදත්ත, චිත්ත
උපස්ථායිකාවෝ සුභද්දා, පදුමා
ආයු ප්‍රමාණය අවුරුදු අනූදහසයි. (90,000)
පරිනිර්වානය චන්‍දවතී නුවර සීලාරාමයෙහි
බෝසතාණෝ සක්විති රජව විවරණ ලැබීය

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment