Friday, July 01, 2016

05. කොණ්ඩඤ්ඤ බුදුන් වහන්සේ

දීපංකර බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි එක් අසංඛ්‍යයක් ගෙවී මෙම කල්පයට තුන් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සාර නම් කල්පයේ පළමුවැනි අන්තර කල්පයේ කෙළවරක් නැති තෙද ඇති, අපමණ පිරිස් ඇති, පමණ කළ නො හැකි ගුණැති, ළංවිය නො හැකි කොණ්ඩඤ්ඤ නම් ශාස්තෲන් වහන්සේ පහළ වූහ. උන්වහන්සේ ක්‍ෂාන්තියෙන් පොළොවට බඳු උපමා ඇත්තේ ය. සීලයෙන් සාගරයට බඳු උපමා ඇත්තේ ය. සමාධියෙන් මහමෙරට බඳු උපමා ඇත්තේ ය. නුවණින් අහසට බඳු උපමා ඇත්තේ ය. ඒ බුදුරදහු හැම කල්හි සියලු සතුන්ට හිත පිණිස ඉන්‍ද්‍රිය බල බොජ්ඣංග මග්ග සච්ච යන මොවුන් ප්‍රකාශ වන දහම් දෙසති.
ඒ භාග්‍යවතුන් වහන්සේ සොළොසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව රම්මවතී නුවර රජ කුලයෙහි සුනන්‍ද ක්‍ෂත්‍රීය රජතුමාට දාව සුජාතා දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු කොණ්ඩඤ්ඤ යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ කොණ්ඩඤ්ඤ ගෝත්‍රයෙහි වූහ. උන්වහන්සේට සුචි, සුරුචි හා සුභ නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තුන්ලක්‍ෂයක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු දසදහසක් ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ රුචිදේවි නම් දේවියට විජිතසේන කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක අජානීය රථයකින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. උන්වහන්සේ අනුව දස කෙළක් දෙනා පැවිදි වූහ. දසමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින සුනන්‍දගම සොඳුරු පියොවුරු ඇති යසෝධරා නම් සිටුදූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි පිරිස අතහැර සුනන්‍ද නම් ආජීවකයන් දුන් කුස තණ මිටි අට ගෙන සල්කලණ රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පනස්හත් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින්;
“අනෙකජාතිසංසාරං, සන්‍ධාවිස‍්සං අනිබ්බිසං;
ගහකාරං ගවෙසන‍්තො, දුක‍්ඛා ජාති පුනප‍්පුනං.
“ගහකාරක දිඳ්‍ඨොසි, පුන ගෙහං න කාහසි;
සබ‍්බා තෙ ඵාසුකා භග‍්ගා, ගහකූටං විසඞ‍්ඛතං;
විසඞ‍්ඛාරගතං චිත‍්තං, තණ‍්හානං ඛයමජ‍්ඣගා”ති
ධම‍්මපදපාළි\11. ජරාවග්ගො
යනුවෙන් “නැවත නැවතත් උත්පත්තිය දුකක් බව දැන ආත්මය නැමති ගෙය සාදන තෘෂ්ණාව නැමති වඩුවා සොයන්නා වූ මම නොයෙක් ජාති යයි කියූ සසරෙහි සැරිසරා ඇවිද්දෙමි. එම්භා වඩුව, තෝ මා විසින් දක්නා ලදි. නැවත මට ආත්මය නැමති ගෙයක් නො සාදන්නේ ය. තාගේ සියලු කෙලෙස් නැමති පරාල බිද දමන ලදි. කැණිමඩල කඩා විසුරුවන ලදි. මාගේ සිත නිවනට ගියේ ය. තෘෂ්ණාක්‍ෂයට පැමිණියෙමි.” උදන් අනා සත් සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමා සමඟ පැවිදි වූ දස කෙළක් භික්‍ෂූන් දැක අටළොස් යොදුනක් එපිට අමරවති නුවර දේව වනයෙහි ධම්සක් දෙසනුයේ කෙළ ලක්‍ෂයක් දෙවි මිනිසුන්ට අමා පැන් පෙවූහ.
තිලෝගුරු කොණ්ඩඤ්ඤ බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් හෙවත් ශ්‍රාවක සන්නිපාත තුනක් විය. වූහ. කොණ්ඩඤ්ඤ ශාස්තෲන් වහන්සේ බුදුබවට පත් ව පළමු වස චන්‍දවතී නුවර ළඟ චන්‍ද්‍රාරාමයෙහි විසූහ. එහි සුචින්‍දර නම් මහාසාල බමුණාගේ පුත් චන්‍ද මානවක නම් කීර්තිමත් බමුණු පුත් සුභද්ද නම් තරුණයා ද කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේ වෙතින් බණ අසා පහන් සිතින් තරුණයන් දසදහසක් සමඟ පැවිදි ව රහත් වූහ. ඉක්බිති කොණ්ඩඤ්ඤ බුදුහු පොසොන් පොහෝදින සුභද්ද තෙරුන් ප්‍රමුඛ කෙළ ලක්‍ෂයක් පිරිවරා පාමොක් උදෙසූහ. එය පළමු සන්නිපාතයයි. ඉන් මෑත කොණ්ඩඤ්ඤ බුදු පුත් විජිත කුමරුන් රහත් වූ කල උන්වහන්සේ ප්‍රමුඛ කෙළ ලක්‍ෂයක් මැද භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එය දෙවන සන්නිපාතයයි. පසු කලෙක විනායක කොණ්ඩඤ්ඤ බුදුරජ තෙම ජනපද චාරිකා කරන සේක් අනූ කෙළක් පිරිවර ඇති උදේන නම් රජු පැවිදි කර වූහ. ඒ පිරිස සමඟ ඔහු ප්‍රධාන කොට ඇති අනූ කෙළක් සමඟ භාග්‍යවතුන් වහන්සේ පාමොක් දෙසූහ. එය තෙවැනි සන්නිපාතයයි.
එකල අප මහා බෝසතාණෝ විජිතාවී නම් සක්විති රජව ඉපිද, අපමණ වූ බුදුන් ප්‍රමුඛ සංඝයාට දන් දුන්හ. ශාස්තෲන් වහන්සේ බෝසතුන් මතු ගෞතම නමින් බුදු වන්නේ යැයි විවරණ දුන් සේක. හෙතෙම බුදුන්ගෙන් බණ අසා රාජ්‍ය පවරා දී පැවිදි ව ධ්‍යාන උපදවා නො පිරිහුණු ධ්‍යානයෙන් බඹලොව උපන්නේ ය.
සුගතිඳු කොණ්ඩඤ්ඤ ශාස්තෲන් වහන්සේට භද්‍ර හා සුභද්‍ර දෙනම අගසවුවෝ ය. උපස්ථායක අනුරුද්ධ නම් භික්‍ෂුව විය. තිස්සා හා උපතිස්සා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. සෝණ හා උපසෝණ යන දෙදෙන උපස්ථායකයෝ ය. නන්‍දා හා සිරිමා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය අසූඅට රියන් විය. අවුරුදු ලක්‍ෂයක් ආයුෂ ගෙවා චන්‍ද්‍රාමයෙහි පිරිනිවියහ. එහි ම විසිතුරු සෑය සත් යොදුන් කොට බඳින ලද්දේ ය. ඒ ශාස්තෲන් වහන්සේගේ ධාතු නො විසිරුණෝ ය. ඒකඝනව ම රන් පිළිමයක් මෙන් පැවතියේ ය.

සොළසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා මෙ කපින් තුන්අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සාර නම් කල්පයේ පළමුවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය රම්මවතී නුවර
ගෝත්‍රය කොණ්ඩඤ්ඤ
ජාතිය ක්‍ෂත්‍රීය
පියා සුනන්‍ද ක්‍ෂත්‍රීය රජතුමා
මව සුජාතා දේවිය
ප්‍රාසාදත්‍රය 1. සුචි 2. සුරුචි 3. සුභ
අග්‍රමහේෂී රුචිදේවි දේවිය
පුත්‍රයා විජිතසේන කුමරු
අගාරවාස අවුරුදු දහදහසයි (10,000)
අභිනිෂ්ක්‍රමණය ආජඤ්ඤ රථයකින් නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස දහයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු යසෝධරා සිටුදූ
කුස තණ සුනන්‍ද ආජීවක
බෝධිය සල්කලණ
ධම්සක් දෙසීම අමරවති නුවර දේව වනයෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් භද්‍ර තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් සුභද්‍ර තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් තිස්සා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් උපතිස්සා තෙරණිය
අග්‍ර උපස්ථායක අනුරුද්ධ භික්‍ෂුව
උපස්ථායකයෝ සෝන, උපසෝන
උපස්ථායිකාවෝ නන්‍දා, සිරිමා
ආයු ප්‍රමාණය අවුරුදු ලක්‍ෂයයි. (100,000)
පරිනිර්වානය චද්‍රාමයෙහි
බෝසතාණෝ විජිතාවි නම් සක්විති රජව විවරණ ලැබීය

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment