Friday, July 01, 2016

28. ගෞතම බුදුන් වහන්සේ

කාශ්‍යප බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන ද බොහෝ වර්‍ෂ ගණනාවක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි මෙම මහා භද්‍ර කල්පයේ ම සිව්වන අතුරුකප අප භාග්‍යවතුන් වහන්සේ පහළ ලෝ වූහ. එහිලා අප බෝසතාණෝ දීපංකරාදී සූවිසි බුදුන් හමුවෙහි ප්‍රාර්‍ථනා කරමින් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පැමිණියේ ය.
එදා දීපංකර බුදුන් හමුවෙහි දී අෂ්ඨසමෝධාන ව විවරණ ලත් බෝසතාණෝ අටළොස් අභව්‍ය ස්ථාන වලින් මිදී සසර නො ඇලී සියලු පාරමී ධර්‍මයන් පුරමින් ලෝකාර්‍ථචර්‍ය්‍යාවෙහි හැසිරෙමින් පැමිණියහ.
එහිදී අප මහා බෝසතාණෝ අකීර්‍ත බ්‍රාහ්මණ කාලයේ ද, සංඛ බ්‍රාහ්මණ කාලයේ ද, ධනංජය රාජ සමයේ ද, මහා සුදර්‍ශන රාජ සමයේ ද, මහා ගෝවින්‍ද කාලයේ ද, නිමි මහ රජුගේ කාලයේ ද, චන්‍ද කුමාර කාලයේ ද, විසය්හ සෙට්ඨි කාලයේ ද, සිවි රජුගේ කාලයේ ද, වෙස්සන්තර රාජ කාලයේ ද සස පණ්ඩිත කාලයේ ද යැයි දාන පාරමිතාව පුරන ලද ආකාරයේ ප්‍රමාණයක් නම් නැත්තේ ය. එබැවින්;
භික‍්ඛාය උපගතං දිස‍්වා, සකත‍්තානං පරිච‍්චජිං;
දානෙන මෙ සමො නත්‍ථි, එසා මෙ දානපාරමීති
චරියාපිටකපාළි\දානපාරමිනිද්දෙසො
“භික්‍ෂාව පිණිස එළඹියහු දැක ස්වකීය ආත්මය පරිත්‍යාග කළෙමි. දාන පාරමිතාවෙන් මා හා සම කෙනෙක් නැත. මෝතොමෝ මාගේ දාන දාන පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක. එසේම සීලව රජ කාලයේ ද, භූරිදත්ත නාග රාජ කාලයේ ද, චම්පෙය්‍ය නාග රාජ කාලයේ ද, චූලබෝධි පරිබ්‍රාජක කාලයේ ද, මහීස රාජ කාලයේ ද, රුරුමිග රාජ කාලයේ ද, මාතංග පණ්ඩිත කාලයේ ද, අලීනසත්තු කුමාර කාලයේ ද යැයි සීල පාරමිතාව පුරන ලද ආකාරයේ ප්‍රමාණයක් නම් නැත්තේ ය. එබැවින් සංඛපාල ජාතකයේ දී;
සඞ‍්ඛපාලස‍්ස මෙ සතො, සබ‍්බකාලම‍්පි ජීවිතං;
යස‍්ස කස‍්සචි නිය්‍යත‍්තං, තස්මා සා සීලපාරමීති
චරියාපිටකපාළි\සීලපාරමිනිද්දෙසො
“මා සංඛපාල ව සිටියදී සියලු කල්හි ම යම් කිසිවෙක්ට ජීවිතය පරිත්‍යාග කරන ලද්දේ ද, එහෙයින් ඕතොමෝ මාගේ ශීල පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක.
තවද සෝමනස්ස කුමාර කාලයේ ද, හත්‍ථිපාල කුමාර කාලයේ ද, අයෝඝර පණ්ඩිත කාලයේ ද, මහ රාජ්‍ය හැරදමා නෙක්ඛම්ම පාරමිතාව පුරන ලද ආත්මවල ප්‍රමාණයක් නැත්තේ ය. එබැවින් චූලසුතසෝම ජාතකයෙහි;
මහාරජ‍්ජං හත්‍ථගතං, ඛෙළපිණ‍්ඩංව ඡඩ‍්ඩයිං;
චජතො න හොති ලග‍්ගනං, එසා මෙ නෙක‍්ඛම‍්මපාරමී
ජාතකඳ්‍ඨකථා
“අතට පත් මහා රාජ්‍ය කෙලපිඬක් මෙන් ඉවත දැමුවෙමි. බිඳකුදු ඇලීමක් නැතිව පරිත්‍යාග කළෙමි. මේ මාගේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක.
ඒ පරිදි ම විධුර පණ්ඩිත කාලයේ ද, මහාගෝවින්‍ද පණ්ඩිත කාලයේ ද, කුද්දාල පණ්ඩිත කාලයේ ද, අරක පණ්ඩිත කාලයේ ද, බෝධි පරිබ්‍රාජක කාලයේ ද, මහෞෂධ පණ්ඩිත කාලයේ ද යැයි ප්‍රඥා පාරමිතාව පුරන ලද ආකාරයේ ප්‍රමාණයක් නම් නැත්තේ ය. එබැවින් සේනක පණ්ඩිත කාලයෙහි;
පඤ‍්ඤාය විචිනන්තොහං, බ්‍රාහ්මණං මොචයිං දුඛා;
පඤ‍්ඤාය මෙ සමො නත්‍ථි, එසා මෙ පඤ‍්ඤාපාරමී
ජාතකඳ්‍ඨකථා
“ප්‍රඥාවෙන් සොයා බලා විසඳූ මම බ්‍රාහ්මණයා දුකෙන් මිදුවෙමි. ප්‍රඥාවෙන් මා හා සමානයෙක් නැත. මේ මාගේ ප්‍රඥා පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක.
එ පරිදි ම විරිය පාරමිතාව ද පුරන ලද ආත්ම ගණනේ ද සීමාවක් නොමැත. එහෙයින් මහජනක ජාතකයෙහි;
අතීරදස‍්සී ජලමජ්ඣෙ, හතා සබ්බෙව මානුසා;
චිත‍්තස‍්ස අඤ‍්ඤථා නත්‍ථි, එසා මෙ වීරියපාරමී
ජාතකඳ්‍ඨකථා
“තෙරක් නො පෙනෙන මහ මුහුද මැද සියලු මිනිසුන් නැසෙද්දී චිත්ත ධෛර්‍ය්‍ය උපදවා වීර්‍ය්‍ය වඩා මුහුදින් එතෙර විමි. මේ මාගේ වීර්‍ය්‍ය පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක. එ පරිදි ම ඛන්ති පාරමිතාව ද පුරන ලද ආත්ම ගණනේ ද සීමාවක් නොමැත. එහෙයින් ක්‍ෂාන්තිවාදී ජාතකයේ දී;
අචෙතනං ව කොට්ටෙන්තෙ, තිණ්හෙන ඵරසුනා මමං;
කාසිරාජෙ න කුප‍්පාමි, එසා මෙ ඛන‍්තිපාරමී
ජාතකඳ්‍ඨකථා
“තියුණු වූ පොරොවකින් චේතනා විරහිත ව මට කොටන කල්හි ද කසී රජු කෙරෙහි නො කිපියෙමි. ඒ මගේ ක්‍ෂාන්ති පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක. එ පරිදි ම සච්ච පාරමිතාව ද පුරන ලද ආත්ම ගණනේ ද සීමාවක් නොමැත. එහෙයින් මහා සුතසෝම ජාතකයේ දී;
සච‍්චවාචං අනුරක‍්ඛන්තො, චජිත්‍වා මම ජීවිතං;
මොචෙසිං එකසතං ඛත‍්තියෙ, එසා මෙ සච‍්චපාරමී
ජාතකඳ්‍ඨකථා
“සත්‍ය වචනය ම රකින්නේ මගේ ජීවිතය හැරදමා එක්සියයක් රජවරුන් මුදවාලීමි. එය මාගේ සත්‍ය පාරමිතාවයි.” යනුවෙන් වදාළ සේක. එ පරිදි ම අධිෂ්ඨාන පාරමිතාව ද පුරන ලද ආත්ම ගණනේ ද සීමාවක් නොමැත. එහෙයින් තෙමිය ජාතකයේ දී;
මාතාපිතා න මෙ දෙස‍්සා, නපි දෙස‍්සං මහායසං;
සබ‍්බඤ්ඤුතං පියං මය‍්හං, තස්මා වතමධිඳ්‍ඨහි
චරියාපිටකපාළි\තෙමියචරියං
“මට දෙමව්පියෝ අප්‍රිය නොවේ. මහා කීර්තිය ද අප්‍රිය නොවේ. ඒ සියල්ලට ම වඩා සර්වඥතාඥානය මට ප්‍රිය ය. එහෙයින් ව්‍රතය අධිෂ්ඨාන කළෙමි.” යනුවෙන් වදාළ සේක. එ පරිදි ම මෙත්තා පාරමිතාව ද පුරන ලද ආත්ම ගණනේ ද සීමාවක් නොමැත. එහෙයින් සාම ජාතකයේ දී;
න මං කොචි උත‍්තසති, නපිහං භායාමි කස‍්සචි;
මෙත‍්තාබලෙනුපත්‍ථඳ්‍ධො, රමාමි පවනෙ තදා
චරියාපිටකපාළි\සුවණ‍්ණසාමචරියං
“මා දැක කිසිවෙක් බිය නොවේ. මම ද කිසිවකු දැක බිය නො වෙමි. මෛත්‍රී බලයෙන් ශක්තිමත් වූ මම හැම කල්හි ම මහා වනයෙහි සතුටින් වෙසෙමි.” යනුවෙන් වදාළ සේක. එ පරිදි ම උපෙක්ඛා පාරමිතාව ද පුරන ලද ආත්ම ගණනේ ද සීමාවක් නොමැත. එහෙයින් ලෝමහංස ජාතකයෙහි;
සුසානෙ සෙය්‍යං කප්පෙමි, ඡවඳ්‍ඨිකං උපනිධායහං;
ගාමණ‍්ඩලා උපාගන්ත්‍වා, රූපං දස්සෙන‍්තිනප‍්පක
චරියාපිටකපාළි\මහාලොමහංසචරියා
“මිනී ඇට පොදියක් හිසට කොට්ටයක් සේ තබාගෙන මම සොහොනෙහි සැතපෙමි. ගොපලු දරුවෝ පැමිණ විරූප රූප දක්වති. උසුළු විසුළු කරති.” යනුවෙන් වදාළ සේක.
මහබෝසතාණෝ මෙසේ අනේක ජාති කෝටි සත සහස්‍රයන්හි මහ පොළොව කම්පා කරන්නා වූ මහ පිංකම් කළහ. වෙසතුරු අත්බැව්හි දී, අට වයස් කල්හි දානාඳ්‍ධ්‍යාශය උපන් කල්හි ද, මඟුල් ඇතු දන් දීමෙහි ද, පැවිදි වන කල්හි ද, සප්තශතක මහදන් දෙන කල්හි ද, අඹු දන් දෙන කල්හි ද, වංක පර්‍වතයෙහි ඤාති රැස්වීමෙහි ද, නුවරට වදනා කල්හි රුවන් වැසිවස්නා කල්හි ද යන මෙකී සප්ත ස්ථානයේ දී සත් වරක් පොළොව කම්පා විය. මෙසේ එකම අත්බැව්හි දී මහ පොළොව සත් වරක් කම්පා කොට දන් දී ආයු කෙළවර තුසිත භවනෙහි උපන් සේක. එහි දෙව් සැප විඳිමින් අවුරුදු තුන්කෙළ හැටදහසක් වැස දෙවියන් විසින් අයදිනා ලදුව පස්මහ බැලුම් බලා දෙවියන්ට ප්‍රතිඥා දී තුසිත දෙව් ලොවින් චුත ව දඹදිව මධ්‍ය දේශයෙහි කපිල වස්තු නුවර ක්‍ෂත්‍රීය කුලයෙහි සුද්ධෝදන නම් රජුට දාව රුවින් අගතැන්පත් මායා නම් දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දී ද දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් ලුම්බිණි නම් සාල වනෙහි මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා අග‍්ගොහමස්මි ලොකස‍්ස … ආදී ලෙස සීහනාද කළහ. අප මහ බෝසතාණෝ තුන් භවයක දී මව්කුසින් නික්මුණු කෙනෙහි ම වදන් පිට කළහ. මහෞෂධ අත්බැව්හි, වෙසතුරු අත්බැව්හි හා මෙම අත්බැව්හි ය. සියලු බුදුවරයන්ට නො වෙනස් වන ධර්‍මතා ඇත්තේ ය. එනම්;
සියලු බුදුවරයන්ගේ ධර්‍මතා
  • යම් කලක බෝධිසත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගත් සේක් ද, “ඒ බෝධිසත්වයන් හෝ උන්වහන්සේගේ මව අන් කිසිවෙක් නො පෙළ ව යි” එකල දිව්‍ය පුත්‍රයෝ සතර දෙනෙක් සිව් දිග ආරක්‍ෂාව පිණිස පැමිණෙන්නාහ.
  • යම් කලෙක බෝධිසත්වයන් වහන්සේ මව් කුසට පැමිණියේ වේද, ස්වභාවයෙන් ම බෝධිසත්ව මව් තොමෝ පංච ශීලය රකින ඇත්තියක් වේ.
  • මවට කිසියම් පුරුෂයෙකු කෙරෙහි කාම ගුණ සහිත සිතක් නූපදී.
  • රාග සිත් ඇති කිසියම් පුරුෂයෙකු විසින් උන්වහන්සේගේ මව් තොමෝ ආශ්‍රය නො කළ හැකි වෙයි.
  • බෝධිසත්ව මව් තොමෝ බොහෝ සම්පත් ලබන්නියක් වේ.
  • බෝධිසත්ව මවට කිසියම් ආබාධයක් නූපදී. බෝධිසත්ව මව සැප ඇත්තියක් වේ.
  • බෝධිසත්ව මව් දුර්වල නො වූ ශරීර ඇත්තී කුස තුළ වූ සම්පූර්ණ ඉන්‍ද්‍රියන් ඇති සියලු අඟ පසඟ ඇත්තා වූ බෝධිසත්වයන් දකී.
  • බෝධිසත්වයන් උපන් සත්වන දිනයෙහි බෝධිසත්ව මව පරලොව යන්නී ය. තුසිත දිව්‍ය ලෝකයෙහි උපදී.
  • බෝධිසත්ව මව බෝධිසත්වයන් දසමසක් ම කුසින් උසුලා සිට වදයි.
  • බෝධිසත්ව මව සිටගෙන ම බෝධිසත්වයන් වදයි.
  • යම් කලක බෝධිසත්වයෝ මව්කුසින් බිහි වේ ද, දෙවියෝ පළමු කොට පිළිගනිත්. පසුව මනුෂ්‍යයෝ පිළිගනිත්.
  • යම් කලක බෝධිසත්වයෝ මව් කුසින් නික්මෙත් ද එකල බෝධිසත්වයෝ පොළොවට නො පැමිණියෝ ම වෙත්. දෙවිවරු හතර දෙනෙක් ඒ බෝධිසත්වයන් පිළිගෙන මෑණියන් ඉදිරියේ තබා “දේවියනි, ඔබට මහානුභාව ඇති පුතෙක් උපන්නේ ය, සතුටු වන්න” යැයි කියති.
  • යම් කලක බෝධිසත්වයෝ මව්කුසින් නික්මෙත් ද, එකල පිරිසිදුව නික්මෙති. කිසි කැත කුණකින් නො තැවරෙන ලද්දේ වේ. සුද්ධ වෙයි, පිරිසිදු වෙයි.
  • යම් කලක බෝධිසත්වයෝ මව් කුසින් නික්මෙත් ද එකල බෝධිසත්වයන්ගේ හා මවගේ යම් කටයුත්තක් ජලයෙන් කෙරෙත් ද ඒ සඳහා ජලධාරා දෙකක් අහසින් පහළ වෙත්. එයින් එකක් සීත ජලය වෙයි, එකක් උෂ්ණ ජලය වෙයි. උෂ්ණ ජලය වෙයි.
  • බෝධිසත්වයන් වහන්සේ උපන් කෙනෙහි බ්‍රහ්ම, දේව, මනුෂ්‍යයන්ගේ අතින් පොළොවට බැස සම පාදයන්ගෙන් පොළොවේ පිහිටා උතුරු දිසාවට අභිමුඛ ව ශ්වේතචඡත්‍රය දරමින් සත් පියවරක් ඉදිරියට ගමන් කෙරෙයි. සියලු දිශාවන් ද බලයි, මම ලෝකයට අග්‍ර වෙමි. මම ලෝකයට ප්‍රධාන වෙමි. මම ලෝකයට උතුම් වෙමි. මේ අවසාන ජාතියයි. දැන් මට මෙයින් මතු නැවත උත්පත්තියක් නැතැයි” යන අභීත වචන කියයි. 
  • යම් කලක බෝධිසත්වයෝ මව් කුසින් නික්මෙත් ද, එකල දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි ද මහණ බමුණන් සහිත වූ දෙව් මිනිසුන් සහිත වූ සත්වයන් කෙරෙහි ද දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ප්‍රමාණ නො කළ හැකි මහත් වූ ආලෝකයක් පහළ වේ. 
  • අඳුර ඇත්තා වූ ගණ අඳුර ඇත්තා වූ යම් ලෝකාන්තරික නම් නිරයක් ඇත්තේ ද, ඒ ලෝකාන්තරික නිරයෙහි ද මහත් ආලෝකය පහළ වෙයි. මේ දසදහසක් ලෝක ධාතුව කම්පා වෙයි. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවූ ප්‍රමාණ නො කළ හැකි මහත් ආලෝකයක් පහළ වෙයි. මේවා සියලු බුදුවරයන්ගේ ධර්‍මතාවන් වේ.

ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු “සර්ව ලෝකාර්‍ථ සිද්ධකාරක හෙයින්” සිද්ධත්‍ථ (සිදුහත්) යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි ගෞතම ගෝත්‍රයේ වූහ. උන්වහන්සේට රම්ම, සුරම්ම හා සුභ නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ සතළිස්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු විසිනවයක් ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ භද්දකච්චායනා (යසෝධරා) දේවියට රාහුල කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක කන්ථක නම් වරතුරඟු පිට නැගී අබිනික්මන් කොට සියලු අබරණ මුදා ඡන්න නම් ඇමතියා අතට දී තමන් ම නිල් මානෙල් පතක් හා සමාන අසිපතින් මෞලිය සහිත කෙස් කපා අහසට දැමූ කල්හි දහසක් නෙතැති සක්දෙව් රජ එය රන් කරඬුවෙන් පිළිගෙන තව්තිසා භවනට ගෙන ගොස් සිළුමිණි සෑය නම් සෑයක් කළේ ය. කීසේමය;
ඡෙත්‍වාන මොළිං වරගන්‍ධවාසිතං, වෙහායසං උක්ඛිපි අග‍්ගපුග‍්ගලො;
සහස‍්සනෙත්තො සිරසා පටිග‍්ගහි, සුවණ‍්ණචංකොටවරෙන වාසවො
බුඳ්‍ධවංසඳ්‍ඨකථා\ගොතමබුඳ්‍ධවංසවණ‍්ණනා
ඉක්බිති කාශ්‍යප බුදුන් සමයෙහි පැරණි මිත්‍ර වූ ඝටීකාර මහ බ්‍රහ්ම තෙම ශ්‍රමණ පරිෂ්කාර අට ගෙනවුත් දුන්නේ ය.
තිචීවරඤ‍්ච පත්තො ච, වාසි සූචි ච බන්‍ධනං;
පරිස‍්සාවනඤ‍්ච අඳ්‍ඨෙතෙ, යුත‍්තයොගස‍්ස භික‍්ඛුනො
දීඝනිකායඳ්‍ඨකථා\සාමඤ‍්ඤඵලසුත‍්තවණ‍්ණනා
තුන් සිවුර ද පාත්‍රය ද දැලිපිහිය ද ඉඳිකටුව ද පෙරහන හා පටිය ද යන මේ අට යෝගයෙහි යුක්ත භික්‍ෂුවගේ පිරිකර වේ. බෝසත්වරුන් හට පැවිදි වීමේ දී ලැබෙන්නා වූ මෙම අට පිරිකර ලැබෙනුයේ මෙසේ ය. ලෝකය විනාශ වන විට මහබෝමැඬ හැමට ම පසුව විනාශ වෙයි. නැවත පිහිටන විට පළමු ව පිහිටයි. එහිදී බෝමැඬ පිහිටන ස්ථානයේ මුලින් ම නෙළුම් පඳුරක් පහළ වේ. ඉඳින් එම කල්පයේ බුදුවරු පහළ වන්නේ නම් නෙළුම් මල් හටගනී. එහි පියුම් ගැබ තුල අට පිරිකරක් ද සහිතව පහළ වේ. බුදුවරු පහළ නො වන්නේ නම් මල් නො හටගනී. එසේ මල් හට ගන්නා විට එක බුදුවරයෙක් පහළ වන්නේ නම් එක් මලක් ද බුදුවරු දෙනමක් පහළ වන්නේ නම් මල් දෙකක් ද තෙනමක් නම් මල් තුනක් ද ආදී වශයෙන් බුදුවරු ගණනට සමානව මල් හට ගන්නේ ය. ඒ මල් ද එක් දණ්ඩක කර්ණිකා එකට බැඳී හට ගනී. ඒ කාලයේ ශුඳ්‍ධාවාස වාසී බ්‍රහ්මයෝ මෙම පෙර නිමිති බැලීම සඳහා පැමිණෙනුයේ මල් හට නො ගෙන ඇත්නම් ඒ දැක “ලෝකය වනාහි අඳුරු වන්නේ ය. අපාය පිරෙන්නේ ය. දෙව්ලොව හිස් වන්නේ ය.” යැයි අසතුටු සිත් ඇත්තේ වෙයි. මල් පිපුණු කල්හි ඒ දැක සතුටු සිත් ඇත්තේ එම අට පිරිකර රැගෙන ගොස්, යම් බුදු කෙනෙකුන් පහළ වූ විට දීම පිණිස බඹලොව තබනු ලැබේ. මේ මහා භද්‍රකල්පයෙහි වනාහි නෙළුම් මල් පහක් හටගත්තේ ය. එම නෙළුම් මල් පහ මත අට පිරිකර පහක් ද විය. බඹහු ඒ දැක බඹලොවට රැගෙන ගියේ ය. එක අට පිරිකරක් කකුසඳ බෝසතුන් පැවිදි වූ දිනයේ දී දුන්හ. එකක් කෝණාගමන බෝසතුන් පැවිදි වූ දිනයේ දී දුන්හ. තවත් එක පිරිකරක් කාශ්‍යප බෝසතුන් පැවිදි වූ දිනයේ දී දුන්හ. අප මහ බෝසතුන් පැවිදි වූ දිනයේ දී තවත් එකක් දුන්හ. ඉතිරි පිරිකර අනාගතයේ දී පහළ වන මෛත්‍රී බෝසතුන්ට දීම සඳහාය.
මහපුරිස්‍හු බඹහු දුන් ඒ කසාවත් හැද පැවිදි වූහ. මහබඹහු උන්වහන්සේගේ ගිහි වස්ත්‍ර ගෙන ගොස් බඹලොව සළුමිණි නම් සෑය කළහ. උන්වහන්සේ පස්වග තවුසන් පිරිවරන ලදුයේ සය වසක් ප්‍රධන් වඩා වෙසක් පොහෝදින උරුවෙලාවෙහි සේනානි නියම්ගම සේනානි කෙළඹියාගේ දූ සුජාතා නම් දියණිය දුන් පරම මධුර මී කිරිබත් වළඳා නේරංජරා ගංතෙර සල් වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි සොත්‍ථිය නම් බ්‍රාහ්මණයන් දුන් අටතණමිට ගෙන ඇසතු රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී තුදුස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට සපරිවාර මාර පරාජය කොට ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල්ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් දුෂ්කරක්‍රියා සමයෙහි තමන් වහන්සේට බොහෝ උපකාර වූ පස්වග තවුසන්ගේ හේතු සම්පත් දැක පා ගමනින් ම අටළොස් යොදුන් මඟ ගෙවා වැඩ බරණැස ඉසිපතන මිගදායෙහි දී ධම්සක් දෙසූහ. එහිදී අටළොස් කෙළක් දෙනාට ධර්‍මාභිසමය විය.
මහර්ෂි වූ ගෞතම බුදුන්ට සීලාදී ගුණ සොයන ශ්‍රාවකයන්ගේ එක රැස්වීමක් විය. එය එක්දහස් දෙසීය පනහක් පමණ භික්‍ෂූන්ගේ රැස්වීමක් විය.
ඒ ශාක්‍යසිංහ ගෞතම මහා මුණිවරයාණන් හට කෝලිත හා උපතිස්ස දෙනම අගසවුවෝ ය. උපස්ථායක ආනන්‍ද නම් භික්‍ෂුව විය. ඛෙමා හා උප්පලවණ්ණා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. චිත්ත හා හත්‍ථාළවක යන දෙදෙන උපස්ථායකයෝ ය. නන්‍දමාතා හා උත්තරා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය සොළොස් රියන් විය.
බික් සඟන මැද බුදු සිරින් බබළන, රාගාදී කිලුටු නැති ඒ මුනිවර තෙම දෑ රඟ මිණිරුවනක් සේ පතන ලද ලොවී ලොව්තුරු සැප සම්පත් දුන්හ. සිව් මග පල කැමතිවන, භව ආසාව දුරු කරනු කැමැත්ත වුන්ට අනුකම්පා කොට සිව්සස් දෙසූ සේක. දසදහස් දෙනා හට, විසිදහස් දෙනා හට වරින්වර ධර්‍මාවබෝධය විය. එක් අයකුට දෙදෙනෙකුට ධර්‍මාවබෝධය ගණන් අප්‍රමාණ විය. ඒ කාලයේ තෘෂ්ණාව ක්‍ෂය කළ රාගාදී කෙලෙස් පහකළ සන්හුන් සිත් ඇත්තා වූ එකඟ සිත් ඇති නොයෙක් සිය ගණන් බොහෝ භික්‍ෂූහු ඒ ජිනවර තෙම හැම කල්හි ම පිරිවරා සිටියහ.
මෙම බුද්ධවංශ දේශනාව කෙළවර කෙළ ලක්‍ෂයක් දෙවියන්ගේ උපාදාන ආශ්‍රවයන්ගෙන් මිදුණෝ ය. සෙසු මඟඵලවල පිහිටිය වුන්ගේ ගණන අපමණ විය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ කල්ප, නාම ආදී ලෙස බෙදන ලද සියලු බුදු සිරිත් අහසෙහි රුවන් සක්මනෙහි සක්මන් කරමින් ම දේශනා කොට ජනයා වන්දවාගෙන අහසින් බැස පනවන ලද උතුම් බුද්ධාසනයේ වැඩහුන් සේක. ලෝකනාථ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් කල්හි ඤාති සමාගම මස්තකප්‍රාප්ත විය. සියල්ලෝ ම එකඟ සිත් ඇත්තේ වාඩි වූහ. ඉක්බිති පොකුරු වැසි වැස්සේ ය. එහිදී තෙමෙනු කැමැත්තෝ තෙමෙයි. නො තෙමෙනු කැමැත්තෝ ශරීරය බිඳකුදු නො තෙමෙයි. ඒ අසිරිය දැක සියල්ලෝ ම මවිත වූවාහු අහෝ ආශ්චර්‍ය්‍ය ය අද්භූත ය කියා කථාවක් ඉපද වූහ. ඒ අසා ශාස්තෘන් වහන්සේ මගේ ඥාති සමාගමෙහි පොකුරු වැසි වැස්සේ දැන් මතු නො වෙයි පෙරත් වැස්සේ යැයි මේ අර්ත්‍ථෝත්පත්තියෙන් වෙස්සන්තර ජාතකය දෙසූ සේක. ඒ ධර්‍මදේශනය සාර්‍ථක වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අස්නෙන් නැගී විහාරයට වැඩි සේක.
ජිතපංචමාර ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂය මඳ වූයේ සියක් අවුරුද්දක් පවතින්නේ ය. උන්වහන්සේ ඒ තාක් කල් සිටිමින් බොහෝ ජන සමූහයා සසරින් එතෙර කළ සේක. පශ්චිම ජනයාගේ අවබෝධය පිණිස දහම් නමැති දඬුවැටපහන තබා උන්වහන්සේ ද නොබෝ කලකින් ම ශ්‍රාවක සමූහය සමග දර ක්‍ෂය වී යාමෙන් ගින්න මෙන් මෙහි දී ම පිරිනිවන් පෑහ.
ඒ අසම තේජස් ද මේ දසබල ද දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් මේ උතුමා ගුණයෙන් යුත් සිරුර ද යන සියල්ල සවනක් රැසින් යුත් හිරු මෙන් දස දිගින් හොබවා අතුරුදන් වූහ. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද? වෙත් මැයි.
අසමසම වූ ඒ ගෞතම ජිනවර තෙම කුසිනාරා නුවර උපවත්තන නම් සල් වනෙහි පිරිනිවියහ. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිර වී ම විය.

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා මෙම මහා භද්‍ර කල්පයේම හතරවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය කපිලවත්‍ථු (කිඹුල්වත්) නුවර
ගෝත්‍රය ගෞතම
ජාතිය ක්‍ෂත්‍රීය
පියා සුද්ධෝදන ක්‍ෂත්‍රීය රජතුම
මව මහාමායා දේවිය
ප්‍රාසාදත්‍රය 1. රම්ම 2. සුරම්ම 3. සුභ
අග්‍රමහේෂී භද්දකච්චායන (යශෝධරා) දේවිය
පුත්‍රයා රාහුල කුමරු
අගාරවාස අවුරුදු විසිනවයයි (29)
අභිනිෂ්ක්‍රමණය කන්ථක අසුපිටින් නික්මුණහ
ප්‍රධන් වීර්ය අවුරුදු හයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු සේනානි නියම්ගමෙහි සේනානි සිටුදූ සුජාතා
කුස තණ සොත්‍ථිය බමුණා
බෝධිය ඇසතු
ශරීර රශ්මිය සොළොස් රියනක් පමණ පැතිර සිටියේය
ධම්සක් දෙසීම බරණැස් නුවර ඉසිපතන මිගදායෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත එකක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් සැරියුත් තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් මුගලන් තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් ඛේමා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් උප්පලවණ්ණා තෙරණිය
අග්‍ර උපස්ථායක ආනන්‍ද භික්‍ෂුව
උපස්ථායකයෝ චිත්ත, හත්‍ථාලක
උපස්ථායිකාවෝ නන්‍දමාතා, උත්තරා
ආයු ප්‍රමාණය අවුරුදු අසූවයි. (80)
පරිනිර්වානය කුසිනාරා නුවර උපවත්තන සාලවනයෙහි

<<< Previous

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment