Friday, July 01, 2016

12. නාරද බුදුන් වහන්සේ

පදුම බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන බොහෝ වර්‍ෂ ගණනක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි එක් අන්තර කල්පයක් ඉක්ම ගිය පසු දෙපා ඇති සතුන්ට උතුම් වූ, අසම වූ, නමින් නාරද නම් වූ නරසත්‍වෝත්තමයෝ පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව ධඤ්ඤවතී රජ කුලයෙහි ස්වකීය වීර්‍යයෙන් දිනන ලද වාසුදේවයන් බඳු සුදේව නම් ක්‍ෂත්‍රීය රජතුමාට දාව අගමෙහෙසි නිරූපම වූ අනෝම නම් දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් ධනඤ්ජය උයනෙහි දී මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
නම් තබන දිනයෙහි නම් තබන කල්හි “සියලු දඹදිව වැසියන්ට පරිබෝගයට ප්‍රමාණවත් අනුරූප ආභරණ අහසින් කල්පවෘක්‍ෂාදියෙන් පතිත විය. එහෙයින් උන්වහන්සේට මිනිසුන්ට සුදුසු ආභරණ දුන්නාහ” නියා නාරද යැයි නම් කළහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට ජිත, විජිත හා විජිතාභිරාම නම් රමණීය ප්‍රසාද තුනක් විය. නාරද කුමාරයා හට කුල සීල ආචාර රූප සම්පන්න මනෝකුල වූ විජිතසේනා නම් අතිශයින් පිංවත් කැත් කුමරිය අගමෙහෙසිය කළා ය. ඒ කුමරිය ප්‍රධාන විසි දහසකට අධික ස්ත්‍රීහු ලක්‍ෂයක් වූහ.
උන්වහන්සේ අවුරුදු නවදහසක් ගිහිගෙයි වැස අගමෙහෙසිය වූ විජිතසේනා දේවියට සකල ලෝක නද කර නන්‍දුත්තර කුමරු උපන් කල්හි සතර පෙර නිමිති දැක සිවුරඟසෙන් පිරිවරා නන්පැහැ වතින් සැරසූ සිරුරු ඇතිව පැලඳගත් මුතුහර මිණිකොඬොල් ඇතිව උතුම් කේයූර මකුට කටකධාරී ව පරම සුගන්ධවත් ගඳමලින් සැරසී පා ගමනින් ම අබිනික්මන් කොට සියලු අබරණ මුදා භාණ්ඩාගාරික අතට දී තමන් ම නිල් මානෙල් පතක් හා සමාන අසිපතින් මෞලිය සහිත කෙස් කපා අහසට දැමූ කල්හි සක්දෙව් රජ එය රන් කරඬුවෙන් පිළිගෙන තව්තිසා භවනට ගෙන ගොස් සිනේරුව මුදුනෙහි තුන් යොදුන් උස සත්රුවන්මුවා සෑයක් කළේ ය. මහපුරිස්‍හු දෙවියන් දුන් කසාවත් හැද පැවිදි වූහ. උන්වහන්සේ අනුව දහස්ගණන් දෙනා පැවිදි වූහ. දින හතක් ප්‍රධන් වීර්‍යය කොට වෙසක් පොහෝදින විජිතසේනා අගමෙහෙසිය දුන් පරම මධුර මී කිරිබත් වළඳා එම උයන්හි ම දිවා විහරණය කොට සවස් කාලයෙහි සුදස්සන නම් උයන්පල්ලා දුන් අටතණමිට ගෙන තොටිල (මහාසෝණ) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී පනස්හත් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන්වහන්සේ සමඟ පැවිදි වූ ලක්‍ෂයක් දෙනා දැක ධනඤ්ජය උයනෙහි ධම්සක් දෙසූහ. එහිදී කෙළ ලක්‍ෂයකට ධර්‍මාභිසමය විය.
මහර්ෂි වූ නාරද බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ.
අප මහා බෝසතාණෝ ඒ කාලයෙහි පංචාභිඥාවන්හි පරතෙරට පැමිණි, අහසෙහි ගමන් කරන ජටාධර තවුසෙක් විය. එකල එතුමන්ට අනුකම්පා පිණිස නාරද බුදුහු රහතන් වහන්සේලා අසූ කෙළක් ද අනාගාමී උපාසකවරු දසදහසක් ද පිරිවරා ඒ තවුසාගේ අසපුවට වැඩියහ. තාපස තෙම බුදුන් දැක ප්‍රමුදිත සිත් ඇත්තේ බුදුන් සහිත භික්‍ෂු සංඝයාට වාසය පිණිස අසපුවක් මවා වඩා හිඳුවා මුළු රැය ම දහම් ඇසීය. දෙවන දින උතුරුකුරු දිවයිනට ගොස් අහර ගෙනවුත් සපිරිවර බුදුන් හට පිදීය. මෙසේ සතියක් මහ දන් දී හිමවතින් අනගි රත්සඳුන් ගෙනවුත් එයින් බුදුන් පිදීය. එවිට දසබලයන් වහන්සේ දෙව්මිනිසුන් පිරිවරා දහම් දෙසා එතුමන්ට “මෙතෙම අනාගතයේ ගෞතම නමින් බුදු වන්නේ ය” යැයි ප්‍රකාශ කළ සේක.
පස්මරුන් දිනූ ඒ නාරද බුදුන් හට භද්දසාල හා ජිතමිත්ත දෙනම අගසවුවෝ ය. උපස්ථායක වාසෙට්ඨ නම් භික්‍ෂුව විය. උත්තරා හා ඵග්ගුනී දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. උග්ගරින්‍ද හා වසභ යන දෙදෙන උපස්ථායකයෝ ය. ඉන්‍දීවරී හා ඉන්‍දී යන දෙදෙන උපස්ථායිකාවෝ ය.
අසූඅට රියන් උස් වූ, රන් පහන් කණුවක් බඳු නාරද බුදුරදුන්ගේ ශරීරයෙන් බඹයක් පමණ වූ ආලෝකය හාත්පස නිතර විහිදුණේ ය. ඒ කාලයෙහි අවුරුදු අනූදහසක් ආයුෂ විය. ඒ නාරද බුදුරජ තෙම ඒ තාක් කල් වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා බව සයුරෙන් එතෙර කළ සේක.
යම්සේ තරු සමූහයන් කරණකොට ගෙන අහස විසිතුරු ව හොබනේ ද, එපරිද්දෙන් ම උන්වහන්සේගේ ශාසනය රහතුන් කරණකොට ගෙන ශෝභාමත් විය. ඒ නරදෙටු නාරද බුදුරජ තෙම ලෝකයා හට සංසාර නමැති සැඩපහරින් එතෙර කිරීම පිණිස මාර්‍ග නැමති දහම්හෙය දැඩි කොට තබා පිරිනිවියහ. අසමසම වූ ඒ බුදුරජ තෙමේ ද අසමාන තෙද ඇති ඒ රහත්හු ද යන සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?
ඒ නාරද මහාමුණිවර තෙම අවුරුදු අනූදහසක් ආයුෂ ගෙවා සුදස්සන නුවර පිරිනිවියහ. ඒ නුවරෙහි ම ජිනථූපය තුන් යොදුනක් උසට බැන්දේ ය.

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී පුරා මෙ කපින් ඒකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර වර නම් කල්පයේ තුන්වන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය ධඤ්ඤවතී
ජාතිය ක්‍ෂත්‍රීය
පියා සුදේව ක්‍ෂත්‍රීය රජතුම
මව අනෝම දේවිය
ප්‍රාසාදත්‍රය 1. ජිත 2. විජිත 3. විජිතාභිරාම
අග්‍රමහේෂී විජිතසේනා දේවිය
පුත්‍රයා නන්දුත්තර කුමරු
අගාරවාස අවුරුදු නවදහසයි (9,000)
අභිනිෂ්ක්‍රමණය පා ගමනුන්ම නික්මුණහ
ප්‍රධන් වීර්ය දින හතක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු විජිතසේනා අගමෙහෙසිය
කුස තණ සුදස්සන උයන්පාලක
බෝධිය තොටිල (මහාසෝණ)
ශරීර රශ්මිය යොදුනක් පමණ පැතිර සිටියේය
ධම්සක් දෙසීම ධනඤ්ජය උයනෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් භද්දසාල තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් ජිතමිත්ත තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් උත්තරා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් ඵග්ගුනී තෙරණිය
අග්‍ර උපස්ථායක වාසෙට්ඨ භික්‍ෂුව
උපස්ථායකයෝ උග්ගරින්‍ද, වසභ
උපස්ථායිකාවෝ ඉන්‍දීවරී, ඉන්දී
ආයු ප්‍රමාණය අවුරුදු අනූදහසයි. (90,000)
පරිනිර්වානය සුදස්සන නුවර
බෝසතාණෝ අටිල තාපසව විවරණ ලැබීය

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment