Friday, July 01, 2016

11. පදුම බුදුන් වහන්සේ

අනෝමදස්සී බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ බොහෝ කලක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි එක් අන්තර කල්පයකට පසු කාලයෙහි දෙවි මිනිසුන්ට උතුම් වූ ගුණයෙන් අසම වූ, තමාට සමාන පුද්ගලයෙක් නැති, නමින් පදුම නම් ශාස්තෲන් වහන්සේ පහළ වූහ. උන්වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව චම්පක නුවර රජ කුලයෙහි අසම ක්‍ෂත්‍රීය රජතුමාට දාව රූපාදියෙන් අසම වූ අසමා නම් දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් චම්පක උයන්හි දී මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
කුමරු උපන් කල්හි අහසින් මුළු දඹදිව මුහුද හිම් කොට පියුම් වැස්සක් වැස්සේ ය. එහෙයින් කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු නෑයෝ මහාපදුමකුමාර කියා ම නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට උත්තර, වසුත්තර හා යසුත්තර නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තිස් තුන්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු දසදහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ උත්තර ගුණැති උත්තරා නම් දේවියට රම්ම කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක ආජන්‍ය රථයකින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. පැවිදි වූ උන්වහන්සේ අනුව කෙළක් පුරුෂයෝ පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ අටමසක් ප්‍රධන් වීර්‍ය්‍ය කොට වෙසක් පොහෝදින ධඤ්ඤවතී නුවර සුඛඤ්ඤ සිටුහුගේ දියණිය ධඤ්ඤවතී සිටුදූ දුන් පරම මධුර මී කිරිබත් වළඳා මී අඹ උයනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි තිත්‍ථක නම් ආජීවකයන් දුන් කුස තණ මිටි අට ගෙන තොටිල (මහාසෝණ) රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී අටතිස් රියන් පුළුලැති තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමා සමග පැවිදි වූ කෙළක් දෙනාගේ හේතු සම්පත් දැක එකෙණෙහි ම අහසින් වැඩ ධඤ්ඤවතී නුවර අසල ධඤ්ඤයි උයනෙහි බැස ධම්සක් දෙසූහ. එහිදී සියක් කෙළක් දෙනාට ධර්‍මාභිසමය විය.
උන්වහන්සේගේ ද ශීලය අසම ය. සමාධියත් කෙළවරක් නැත. උතුම් සර්‍වඥතාඥානය ද අසංඛ්‍ය ය. විමුක්තිය ද උපමා රහිතය. අසම තෙද ඇති, ඒ පදුම බුදුරදුන්ට රාගාදී කෙලෙස් කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ.
අප මහා බෝසතාණෝ ඒ කාලයෙහි සිංහ රාජයෙක් වී නිරෝධ සමවතට සමවන් ජිනරාජයන් වහන්සේ දැක, පැහැදී බුද්ධාලම්බන ප්‍රීතියෙන් හිසින් සිරිපාදයන් වැඳ පැදකුණු කොට, තෙවිටක් සිංහනාද කොට, සත් දිනක් මුළුල්ලේ ජිනරාජයන් වහන්සේට උපස්ථාන කොට දිවි පුදා බුදුන් වෙත සිටියේ ය. පදුම තථාගත තෙම සත් දිනකින් පසු සමවතින් නැගිට, සිතින් ඉටා කෝටියක් භික්‍ෂූහු කැඳවීය. ඒ කාලයෙහි ද මහාවීර වූ ඒ පදුම බුදුරජ තෙම ඒ භික්‍ෂූන් මැද, “මේ සිංහ තෙම මෙයින් අපමණ කල්පයෙහි ගෞතම නමින් බුදු වන්නේ ය” යි ප්‍රකාශයක් කල සේක.
ඒ පදුම මහා මුණිවරයාණන් හට සාල හා උපසාල දෙනම අගසවුවෝ ය. උපස්ථාඒ පදුම මහා මුණිවරයාණන් හට සාල හා උපසාල දෙනම අගසවුවෝ ය. උපස්ථායක වරුණ නම් භික්‍ෂුව විය. රාධා හා සුරාධා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. භිය්‍ය හා අසම යන දෙදෙන උපස්ථායකයෝ ය. රුචි හා නන්‍දරාමා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය පනස්අට රියන් විය.
නාග තෙමේ දිරාගිය සැව ඉවත් කරන්නාක් මෙන් සියලු සංස්කාරයන් හැර පියා, ගින්න යම්සේ නිවි යයි ද, උන්වහන්සේ අවුරුදු ලක්‍ෂයක් ආයුෂ ගෙවා ධර්‍මාරාමයෙහි පිරිනිවියහ. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිර වීම විය.

මෙ කපින් ඒකාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර වර නම් කල්පයේ දෙවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය චම්පක නුවර
ජාතිය ක්‍ෂත්‍රීය
පියා අසම ක්‍ෂත්‍රීය රජතුම
මව අසමා දේවිය
ප්‍රාසාදත්‍රය 1. උත්තර 2. වසුත්තර 3. යසුත්තර
අග්‍රමහේෂී උත්තරා දේවිය
පුත්‍රයා රම්ම කුමරු
අගාරවාස අවුරුදු දහදහසයි (10,000)
අභිනිෂ්ක්‍රමණය ආජන්‍යරථයකින් නික්මුණහ
ප්‍රධන් වීර්ය දින දහහතරක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු ධඤ්ඤවතී නුවර සුඛඤ්ඤ සිටුහුගේ ධඤ්ඤවතී සිටුදූ
කුස තණ තිත්‍ථක ආජීවක
බෝධිය තොටිල (මහාසෝණ)
ධම්සක් දෙසීම ධඤ්ඤවතී නුවර ධඤ්ඤයි උයනෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් සාල තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් උපසාල තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් රාධා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් සුරාධා තෙරණිය
අග්‍ර උපස්ථායක වරුණ භික්‍ෂුව
උපස්ථායකයෝ භිය්‍ය, අසම
උපස්ථායිකාවෝ රුචි, නන්‍දරාමා
ආයු ප්‍රමාණය අවුරුදු ලක්‍ෂයයි. (100,000)
පරිනිර්වානය ධර්‍මාරාමයෙහි
බෝසතාණෝ සිංහරාජයෙක්ව විවරණ ලැබීය

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment