Friday, July 01, 2016

17. අත්ථදස්සී බුදුන් වහන්සේ

පියදස්සී බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි දෙවන අතුරුකප පරමාදර්ශී අත්‍ථදස්සී නම් නරදෙටු තෙම මහත් වූ මොහඳුර නසා උතුම් බුදුබවට පැමිණි සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන් විසින් අයදින ලද්දේ දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව පරම සෝබන ශෝභන නම් නුවර රජ කුලයෙහි සාගර ක්‍ෂත්‍රීය රජතුමාට දාව සුදස්සනා දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් සුචින්ධන උයනෙහි මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු “බොහෝ කල් සැඟවී ගිය කුල පරම්පරාහි මහනිධන්හි ධන හිමිත්වය ලැබූ හෙයින්” අත්‍ථදස්සී යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට අමරගිරි, සුරගිරි හා ගිරිවාහන නම් සිත් ගන්නා රමණීය තුන් පහයක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ තිස් තුන්දහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු දසදහස ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ විශඛා දේවියට සේල කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක සුදස්සන අසු පිටින් අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වූහ. උන්වහන්සේ අනුව නව කෝටියක් පුරුෂයෝ මහණ වූහ. ඔවුන් පිරිවැරූ උන්වහන්සේ අටමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින සුචින්‍දර නම් නාගිනියට පිදීම පිණිස මහජනයා විසින් ගෙනෙන ලද රන් පාත්‍රය සහිත වූ පරම මධුර ක්‍ෂීරපායාසය වළඳා සිය ගණන් තරුණතරුයෙන් සමලංකෘත තරුණ සාල වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි ධම්මරුචි නම් නාගයා දුන් කුස තණ මිටි අට ගෙන සපු රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී තෙපනස් රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට සපරිවාර මාර මථනය කොට ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් වහන්සේ සමග එකට පැවිදි වූ නව කෙළක් පිරිසගේ ධර්‍මාවබෝධයට හේතු සම්පත් දැක අහසින් වැඩ අනෝම නුවර ළඟ අනෝම උයනෙහි බැස ධම්සක් දෙසූහ. එහිදී කෙළ ලක්‍ෂයක් දෙනා හට ධර්‍මාභිසමය විය.
ජිනෝත්තම වූ අත්‍ථදස්සී බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ.
එකල අප මහ බෝසතාණෝ චම්පක නුවර සුසීම නම් ලෝ සම්මත මහාසාල බ්‍රාහ්මණයෙක් විය. උන්වහන්සේ සියලු සම්පත් දීන අනාථ දුගී මගී ආදීන්ට දන්දී හිමවත සමීපයට ගොස් තවුස් පැවිද්දෙන් පැවිදි ව පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා මහත් ඍද්ධි ආනුභාව ඇතිව මහජනයාට කසලාකුසල ධර්‍මයන්ගේ නිරවද්‍ය සාවද්‍ය බව දක්වා බුද්ධෝත්පාදය බලාපොරොත්තු වෙමින් සිටියේ ය. එවිට පසු කලෙක මහමුනි වූ ඒ අත්‍ථදස්සී ලෝනාහිමි ලොව ඉපිද සුදස්සන මහාවිහාරයෙහි අට පිරිස් මැද ධර්‍මාමෘත වර්‍ෂාව වස්වන කල්හි උන්වහන්සේගේ බණ අසා දෙව් ලොවට ගොස් දිව්‍යමය මඳාරා පරසතු මල් ගෙනවුත් සිය ආනුභාවය දක්වමින් දෘෂ්‍යමාන ශරීරයෙන් සතර දිශාවෙහි චාතුර්ද්වීපික මහා මේඝයක් මෙන් පුෂ්ප වර්‍ෂා වස්වා හාත්පස පුෂ්පමය මණ්ඩපයක් කොට මඳාරා මල් කුඩයකින් දසබලයන් වහන්සේට පූජා කළහ. ඒ භාග්‍යවතුන් වහන්සේ එතුමාට අනාගතයෙහි ගෞතම නමින් බුදු වන්නේ ය කියා විවරණ දුන්හ.
අත්‍ථදස්සී සම්බුදුනට ශාන්ත හා උපශාන්ත දෙනම අගසවුවෝ ය. උපස්ථායක අභය නම් භික්‍ෂුව විය. ධම්මා හා සුධම්මා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. නකුල හා නිසභ යන දෙදෙන උපස්ථායකයෝ ය. මකිලා හා සුනන්‍දා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය අසූව රියන් විය.
ඒ බුදුරජුන්ගේ නොයෙක් කෝටි සිය ගණන් රශ්මීහු උඩ ද යට ද දස දිශාවල යොදුනක් තැන් ඒ කාලයෙහි පැතිරෙත්. නරදෙටු, සියලු සත්වයන්ට උතුම් වූ නුවණින් යුත්, පසැස් ඇති ඒ අත්‍ථදස්සී බුදුරජ ද අවුරුදු ලක්‍ෂයක් ලෝකයෙහි වැඩ සිටි සේක. ඒ බුදුරජ ද අසම වූ ආලෝකයක් දක්වා දෙවියන් සහිත ලෝකයන් බබළවා, උපාදානයන්ගේ ගෙවී යාමෙන් ගින්නක් මෙන් නිවී අනිත්‍ය බවට පැමිණි සේක. සියලු සංස්කාරයෝ හිස් වූවාහු නො වෙත් ද?
ඒ අත්‍ථදස්සී මුනිවර තෙම අවුරුදු ලක්‍ෂයක් ආයුෂ ගෙවා අනූපම නුවර අනෝමාරාමයෙහි පිරිනිවියහ. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරීම විය.

මෙ කපින් කල්ප එක්දහස් අටසීයයකට පෙර වර නම් කල්පයේ දෙවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය සෝභන නුවර
ජාතිය ක්‍ෂත්‍රීය
පියා සාගර ක්‍ෂත්‍රීය රජතුම
මව සුදස්සනා දේවිය
ප්‍රාසාදත්‍රය 1. අමරගිරි 2. සුරගිරි 3. ගිරිවාහන
අග්‍රමහේෂී විශඛා දේවිය
පුත්‍රයා සේල කුමරු
අගාරවාස අවුරුදු දහදහසයි (10,000)
අභිනිෂ්ක්‍රමණය සුදස්සන අසු පිටින් නික්මුණහ
ප්‍රධන් වීර්ය දින දහහතරක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු මහජනයා
කුස තණ ධම්මරුචී නාගයා
බෝධිය සපු
ශරීර රශ්මිය යොදුනක් පමණ පැතිර සිටියේය
ධම්සක් දෙසීම අනෝම නුවර ළඝ අනෝම උයනෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් සාන්ත තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් උපසාන්ත තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් ධම්මා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් සුධම්මා තෙරණිය
අග්‍ර උපස්ථායක අභය භික්‍ෂුව
උපස්ථායකයෝ නකුල, නිසභ
උපස්ථායිකාවෝ මකිලා, සුනන්දා
ආයු ප්‍රමාණය අවුරුදු ලක්‍ෂයයි. (100,000)
පරිනිර්වානය අනූපම නුවර අනෝමාරාමයෙහි
බෝසතාණෝ සුසීම නම් ජටිලව විවරණ ලැබීය

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment