Friday, July 01, 2016

19. සිද්ධත්ථ (සිදුහත්) බුදුන් වහන්සේ

ධම්මදස්සි බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. ඉන්පසු කල්ප සූවිස්සක් ම ජිනසූර්‍ය්‍යයෝ නූපන්හ. ලොව දිනූ ධම්මදස්සී බුදුන්ට අපරභාගයෙහි කල්ප සූවිස්සක් ගෙවී මෙම කල්පයට කල්ප අනූහතරකට පෙර සාර නම් කල්පයේ පළමු අතුරුකප සිද්ධත්‍ථ (සිදුහත්) නම් ලෝ නාහිමි තෙම සියලු අඳුර නසා අහසට නැගී හිරු යම්සේ ද, එසේ ලෝ පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින් සැව තුසීපුරයෙහි ඉපද එහි ආයුතාක් වැස දෙවියන්ට ප්‍රතිඥා දී තුසීපුරෙන් චුත ව වේහාර නුවර රජ කුලයෙහි උදේන (ජයසේන) ක්‍ෂත්‍රීය රජතුමාට දාව සුඵස්සා දේවියගේ කුස පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ පිළිසිඳගැනීමෙහි දීපංකර බුද්ධ වංශයෙහි කියූ පරිදි දෙතිස් පෙළහර ඇතිවිය. දෙවියන් විසින් කරන ලද ආරක්‍ෂා ඇතිව දස මස් ඇවෑමෙන් විරිය උයන්හි දී මව් කුසින් නික්ම සත්‍වෝත්තමයෝ උතුරු දිශාභිමුඛ ව සත් පියවරින් ගොස් සියලු දික් බලා සීහනාද කළහ.
ඉක්බිති කුමාරයාට නම් තබන දිනෙහි නම් කරන්නාහු “සියල්ලන්ගේ පටන් ගත් කර්‍මාන්ත ද ප්‍රාර්‍ථනා කළ කටයුතු ද සම්පූර්‍ණ වූ හෙයින්” සිද්ධත්‍ථ යැයි නම් තැබූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ක්‍ෂත්‍රීය කුලයෙහි වූහ. උන්වහන්සේට කෝකා, උප්පල, පදුම නම් රමණීය ප්‍රසාද තුනක් විය. එහි නැටුම් ගැයුම් වැයුම් හි දක්‍ෂ හතළිස් අටදහසක් පරිවාර ස්ත්‍රීන්ගේ උවටැන් හැමදා විය. උන්වහන්සේ අවුරුදු දසදහසක් ගිහිගෙයි විසූහ. අගමෙහෙසිය වූ සෝමනස්ස දේවියට අනූපම කුමරු උපන් කල්හි බෝසතාණෝ සතර පෙර නිමිති දැක ඇසළ පුණුපොහෝ දා සිවිකා යානයකින් (රන්සිවිගෙයකින්) අභිනිෂ්ක්‍රමණය කොට විරිය උයන්හි දී පැවිදි වූහ. ලෙළ ලක්‍ෂයක් මිනිස්සු උන්වහන්සේ අනුව පැවිදි වූහ. දසමසක් දුෂ්කරක්‍රියා කොට වෙසක් පොහෝදින අසදිස බමුණුගම සුනෙත්තා නම් බ්‍රාහ්මණ කුමරිය දුන් පරම මධුර මී කිරිබත් වළඳා ඩෙබර වනෙහි දිවා විහරණය කොට සවස් කාලයෙහි වරුණ නම් යවපාලකයා දුන් කුසතණ අට මිටක් අට ගෙන කිණිහිරි රුක තෙවරක් පැදකුණු කොට පෙරදිග බලා බෝරුකට පිට දී හතළිහ රියන් තණ ඇතිරි අතුරා පර්යංකය වැළඳ චතුරංග වීර්ය්‍යාධිෂ්ඨාන කොට මරබල පරදා ත්‍රිවිද්‍යාව උපදවා සර්‍වඥතාඥාන ප්‍රතිවේධයෙන් උතුම් බුදු බවට පැමිණ බෝමුල වැඩ හිඳිමින් උදන් අනා සත්සතියක් බෝමුල සමවත් සුවයෙන් කල් ගෙවා අටවන සතියේ බ්‍රහ්ම ආරාධනයෙන් කාහට පළමු ව දහම් දෙසන්නේ දැයි සලකන සේක් තමන් වහන්සේ සමග පැවිදි වූ කෙළ ලක්‍ෂයක් පිරිසගේ හේතු සම්පත් දැක අහසින් ගොස් ගයා මිගදායෙහි ධම්සක් දෙසූහ. එහිදී කෙළ ලක්‍ෂයක් ප්‍රාණීන්ට ධර්‍මාභිසමය විය.
ද්විපදෝත්තම වූ ඒ සිද්ධත්‍ථ බුදුරදුන් කෙරෙහි දු විමල වූ රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණැති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ.
එකල අප මහා බෝසතාණෝ සූරසේන නගරයෙහි මංගල නම් බමුණු ව වේද වේදාංගයන්හි පරතෙරට පත් ව නොයෙක් කෙළ ගණන් ධන සමූහය දීන අනාථයන්ට දන්දී විවේකී වනු කැමති ව තවුස් පැවිද්දෙන් පැවිදි ව ධ්‍යාන අභිඥා උපදවා වසන්නාහු ‘සිද්ධත්‍ථ නම් භාග්‍යවතුන් වහන්සේ ලොව උපන්හ.’යි අසා උන්වහන්සේ වත ගොස් බණ අසා යම් දඹගසකින් මේ දඹදිව ප්‍රකට ද ඒ දඹගස කරා ගොස් එයින් ගෙඩි ගෙනවුත් අනූකෝටියක් භික්‍ෂු පිරිවර ඇති සිද්ධාර්‍ත්ථ සර්වඥයන් වහන්සේ සූරසේන විහාරයෙහි වඩා හිඳුවා දඹපලින් සැතැප්ප වූහ. ඉක්බිති ශාස්තෲන් වහන්සේ පල වළඳා මෙයින් සිවුඅනූ කපකින් මතු ගෞතම නමින් බුදු වන්නේ යැයි විවරණ දුන් සේක.
මහර්ෂි වූ සිද්ධාර්‍ත්ථ නම් සර්වඥයන් වහන්සේට සම්බල හා සුමිත්ත දෙනම අගසවුවෝ ය. උපස්ථායක රේවත නම් භික්‍ෂුව විය. සීවලා හා සුරාමා දෙනම අග්‍රශ්‍රාවිකාවෝ ය. සුප්පිය හා සමුද්ද යන දෙදෙන උපස්ථායකයෝ ය. රම්මා හා සුරම්මා යන දෙදෙන උපස්ථායිකාවෝ ය. ශරීරය හැට රියන් විය.
පසැස් ඇති ඒ බුදුරජ ද අවුරුදු ලක්‍ෂයක් ලෝකයෙහි වැඩ සිටි සේක. පිරිසිදු ආලෝකයක් දක්වා, සව්වන් පුබුදු කරවා, සමවතින් බබුළුවා, ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුරජ තෙම පිරිනිවී සේක.
මුනිවර වූ සිදුහත් බුදුරජ තෙම අනෝමාරාමයේ දී පිරිනිවී සේක. එහි ම උතුම් සෑය සිව් යොදුනක් උස්ව බැන්දේ ය.

මෙ කපින් කල්ප අනූහතරකට පෙර සාර නම් කල්පයේ පළමුවන අන්තඃ කල්පයේ ලොව පහල විය.
නගරය වේහාර නුවර
ජාතිය ක්‍ෂත්‍රීය
පියා උදේන (ජයසේන) ක්‍ෂත්‍රීය රජතුම
මව සුඵස්සා දේවිය
ප්‍රාසාදත්‍රය 1. කෝකා 2. උප්පල 3. පදුම
අග්‍රමහේෂී සෝමනස්ස දේවිය
පුත්‍රයා අනූපම කුමරු
අගාරවාස අවුරුදු දහදහසයි (10,000)
අභිනිෂ්ක්‍රමණය සිවිකා යානය (රන්සිවිගෙය) කින් නික්මුණහ
ප්‍රධන් වීර්ය මාස දහයක් ප්‍රධන් වීර්‍ය වැඩීය
කිරිපිඩු අසදිස බමුණුගම සුනෙත්ත බ්‍රාහ්මණ කුමරිය
කුස තණ වරුණ යවපාලක
බෝධිය කිණිහිරි
ධම්සක් දෙසීම ගයා මිගදායෙහි
ශ්‍රාවක සන්නිපාත ශ්‍රාවක සන්නිපාත තුනක් විය
අග්‍රශ්‍රාවක දකුණත්සව් සම්බල තෙරුන්
අග්‍රශ්‍රාවක වමත්සව් සුමිත්ත තෙරුන්
අග්‍රශ්‍රාවිකා දකුණත්සව් සීවලා තෙරණිය
අග්‍රශ්‍රාවිකා වමත්සව් සුරමා තෙරණිය
අග්‍ර උපස්ථායක රේවත භික්‍ෂුව
උපස්ථායකයෝ සුප්පිය, සමුද්ද
උපස්ථායිකාවෝ රම්මා, සුරම්මා
ආයු ප්‍රමාණය අවුරුදු ලක්‍ෂයයි. (100,000)
පරිනිර්වානය කඤ්ඤනවෙළු නගරයෙහි අනෝමාරාමයෙහි
බෝසතාණෝ මංගල නම් තාපසව විවරණ ලැබීය

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment