Sunday, January 24, 2016

අසිරිමත් ධාතු පුරාණය 2 කොටස

බුද්ධ ශාසනයේ ඉදි වූ පළමු ස්තූප දෙක

තුන්ලෝකාග්‍ර වූ ශාන්ති නායක වූ, සමන්ත භද්‍ර වූ, තුන්ලොව තිලක වූ, මාගේ ගෞතම නම් වූ මහා මුනින්‍ද්‍රයන් වහන්සේගේ ද්‍රෝණ අටක් වූ ශාරීරික ධාතුන් වහන්සේටත්, එසේ ම උද්දේශික ධාතූන් වහන්සේටත් , පාරිභෝගික ධාතුන් වහන්සේටත් නමස්කාරය මෙතුවක් පටන් පැවත එන සැටිය කියන්නා වූ ධාතූන් වහන්සේගේ පරම්පරා කථාව අඳුරු ගුහාවක දල්වන පහනක් සේ චිත්ත සන්තානයේ පහන් සංවේගය පිණිස මෙසේ ගෙන එන්නෙමු.
මුලින් ම ධාතුන් වහන්සේ නමක් ගැන මේ බුද්ධ ශාසන ඉතිහාසයේ කථාවෙන්නේ අපගේ තථාගතයන් වහන්සේ බෝධිසත්ව අවධියේ යි. උන්වහන්සේ මායා මව්කුසේ පිළිසිඳ ගත්විට මේ තුන් ලොව ම සලිත වුණා. මහා පොළොව කම්පා වූහ. අප්‍රමාණ ආලෝකයක් විහිදුණා. ඒ වගේ ම ඒ මායා බිසව ප්‍රකෘතියෙන් ම සීලවන්ත වෙනවා. ඒ බිසව දෙස රාග සිතකින් කිසිදු පුරුෂයෙකුට බලන්න බැරි ව යනවා. ඒ බිසවට තම කුස තුළ සිටින දරුවා දෑසට පෙනෙනවා. ඒ වගේ ම සතරවරම් දෙවියෝ සතර කොනේ සිට මවත්, දරුවාත් ආරක්ෂා කරනවා.
මහා බෝධිසත්වයෝ ලුම්බිණි සල් උයනේ දී වෙසක් පුන් පොහෝදා මහපොළොව කම්පා කරවමින් උපන්නා. උන්වහන්සේගේ පුංචි සිරිපතුල් පිළිගන්න පොළොව දෙදරවා නෙළුම් කුසුමන් පිපුණා. උතුරු දිසාවට පියවර හතක් වැඩම කළා. ඒ දරුවා පළමු පියවර තබද්දී මහා පොළොවේ ඒ සිරිපතුල පිහිටියා. අදටත් ලුම්බිණියේ සටහන් ව ඇති ඒ උතුම් සිරිපා සටහනට අප වන්දනා කරනවා.
සඳක් මෝරනවා වගේයි බෝසතාණන් වහන්සේ ගෘහ ජීවිතයේ වැඩුණේ. උන්වහන්සේ සතර පෙරනිමිති දැක ගෘහ ජීවිතය අත්හැරියා. තමන් වෙනුවෙන් ජීවිතය කැප කරන්න කාලාන්තරයක් සිට පෙරුම් පුරාගෙන ආ යශෝධරා, සිඟිති රහල් කුමරා අත්හැරියා. ඔබ ජාතක කථා කියවා ඇති. ඒ හැම කථාවක ම බිරිඳ යශෝධරා. ඒ බොහෝ කථාවල පුතා වෙලා ඉපදුණේ රාහුලයන්. මෙලෙස සසරේ ආ බැඳීම් අත්හැරියා.
සිළුමිණ සෑ ධාතු කථාව
මහා බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කර පළමු කෙස් වැටිය වම් අතින් අල්වාගෙන දකුණු අතින් මංගල කඩුවෙන් කපා උන්වහන්සේ අධිෂ්ඨාන කරනවා මට ගෘහ ජීවිතයේ තමායි මේ සියලු බැඳුම් තිබෙන්නේ. මාගේ මේ කෙස් වැටිය සිඳී යනවා වගේ ගෘහ බන්ධන සිඳී යනවා නම් එය කොතරම් හොඳ ද? සිතමින් පළමු කෙස් වැටිය කපා දැමූවා. සිද්ධාර්ථ බෝසතාණන් තමාගේ හස්ථයේ තිබෙන නිල්වන් කෙස් දෙස බලමින් කල්පනා කරනවා සසරේ කෙතරම් නම් කෙස් පොළොවට පස් වෙලා යන්න ඇද්ද? මේ පොළොවට පස් එකතු කරන ජීවිතය මෙයින් නතර වෙනවා නම්, මම අදහස් කරන ගමන සඵල වෙනවා නම් මෙම කෙස් කළඹ බිම නො වැටේවා කියා අධිෂ්ඨාන කරමින් ඉහළට විසි කළා. පුළුං රොදක් වගේ රැස් දහරා විහිදවමින් බෝධිසත්වයෙන්ගේ කෙස්රොද ආකාශයේ ඉහළට වැඩියා.
මහා බෝධිසත්වයන් තමාගේ කේස කලාපය මඟුල් කඩුවෙන් සිඳින විට ඒ සෑම කෙස් ගහක් ම අඟල් දෙක ගණනේ හිසේ ඉතිරි වෙන්නයි කැපුණේ. ඒ සියලු ම කෙස් දක්ෂිණාවර්ත ව සිරසේ කැරකුණා. එය පිරිනිවන් පාන තෙක් බුදු සිරසේ තැම්පත් ව තිබුණා. අලුතින් කෙස් වැවීමක් සිදු වුණේ නැහැ. අඟල් දෙකක් දිගට කේස ධාතුන් වහන්සේ කැරකිලා පිහිටියා. චාතුම්මහාරාජික දෙවියන්ගේ දෙව්ලොව ඒකාලෝක කරමින් කෙස් කළඹක් ඉහළට යනවා. තවුතිසාවේ සක් දෙවිඳු බැලුවා කුමක් ද? මේ විහිදෙන නිල්වන් රශ්මි දහරාව දුටුවා.
අභිනිෂ්ක්‍රමණය කළ බෝසතාණන්ගේ කේශ කලාපය යි. ඒ මොහොතේ ම රන් කරඬුවක් මැවුවා. ඒ රන් කරඬුව තුළ නීලවර්ණ කේස ධාතුන් වහන්සේ තැන්පත් කළා. ඉන්පසු යොදුන් තුනක් උස සෑයක් තැනුවා. ඒ සෑය ‘සිළුමිණ සෑයයි’. ඒ සිළුමිණ සෑය දෙවියන්ට පින් පුරන්න මහා වස්තුවක් වුණා. මුළු දෙව්ලොවට ම තිබෙන එක ම සෑය සිළුමිණ සෑයයි. ඒ සෑ රජාණන් වහන්සේට පැරණි අපේ මුතුන් මිත්තන් ගාථා වලින් එය වන්දනා කර තිබෙනවා.
බෝධිතතෝ පුරිමඤ්ඥේච – චූළා දුස්ස මණීරිතේ
තාවතිංස මුනින්දස්ස - තිදසින්දේන පූජිතා
බුදුවීමට පෙර ම තව්තිසා දෙව් ලොව සක් දෙවිඳු විසින් අප මුනිඳුන්ගේ කේශ ධාතුන් වහන්සේ පුදන ලද්දේය.
චූළා තියෝජන අබ්බේ – මණිථූපේ පතිට්ඨිතා
තහිං දක්ඛිණ දාඨා ච – දක්ඛිණක්ඛ කමේවච
තුන් යොදුන් ඒ මැණික් ථූපයෙහි අභ්‍යන්තරයේ දකුණු දළදා වහන්සේ ද, අකු ධාතුන් වහන්සේ ද නිධන් විය. (ඒ ධාතුන් වහන්සේ නිධන් වූයේ තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසුවයි) ඒ උතුම් සිළුමිණ සෑයට මම වන්දනා කරමි.
පරිනිබුබතම්භි සම්බුද්ධේ - නිහිතා ධාතුයෝ දුවේ
තං චූළාමණි චේත්‍යංච - නමාමි සිරසා අහං
ධාතුන් වහන්සේගේ පරම්පරා කථාව මෙසේ සිළුමිණ සෑයෙන් ආරම්භ වෙනවා.
සළුමිණ සෑ ධාතු කථාව
ඒ වගේ ම මහාබෝසතාණන් වහන්සේට වස්ත්‍ර දෙකයි. උතුරු සළුව සහ ජෝතිය ලෙස ඉනට ඇඳපු ඇඳුම. බඹ ලොව වැඩ සිටියා "ඝටීකාර" බ්‍රහ්ම රාජයා. කාශ්‍යප බුද්ධ ශාසනයේ ශ්‍රමණයන් වහන්සේ දැක තිබුණ උත්තමයා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපාසකයා. එදා කාශ්‍යප බුද්ධ ශාසනයේ “ජෝතිපාල” නමින් සිටි ඝටීකාර බ්‍රහ්මයාගේ ප්‍රිය මිත්‍රයා අබිනික්මන් කරනවා. බැලුවා මුණිවරු මොනවද පාවිච්චි කළේ. අඳනය, දෙපට සිවුර, තනිපට සිවුර. ඒ වගේ ම පිණ්ඩපාතයට පාත්‍රයක් ඕන. කෙස් රැවුල් බාන්න උපකරණයක් පාවිච්චි කළා. ඒ වගේ ම සිවුරු මැසීමට ඉදිකටුවයි, නූල් බෝලය යි, පැන් පෙරන්නට පෙරහන් කඩයි, අඳනය තදකර ගැනීමට ඉණ පටිය, එකට එකතු වුනා. මුලින් ම එහි දී අටපිරිකර කියන දේ බිහි වුණා. ඝටීකාර බ්‍රහ්මයායි පළමු ව ශ්‍රමණයෙකුට මේ පිරිකර අට පූජා කළේ. උන්වහන්සේ අඳනය සිරුරට පොරෝ ගත්තා. ගිහිසළු දෙක අතට අරගෙන අධිෂ්ඨාන කළා සසරේ කෙතරම් නම් ගෘහ ඇඳුම් ඇඳ ඇද්ද? ඒ එක ඇඳුමක්වත් මගේ අවසාන ඇඳුම වුණේ නැහැ. මහාබෝධිසත්වයන් අධිෂ්ඨාන කරනවා මගේ මේ හස්තයේ තිබෙන්නේ මේ ජීවිතයේ අවසාන ගෘහ වස්ත්‍ර නම්, මේ වස්ත්‍ර පොළොවට නො වැටේවා කියා ආකාසයට වීසි කළා. සුදු පාට රශ්මි දහරා විහිදවමින් සළුවක් අහසට යනවා. එය නවතාලන්නට චාතුම්මහාරාජික, යාමය, තාවතිංස, තුසිත, නිම්මානරතී, පරනිම්මිතවසවතී, දෙවියන්ටත් බැරිවුණා. දෙව්ලොව අභිබවා ගියා ශ්වේත වර්ණ සිත් ඇති බ්‍රහ්මයන්ගේ ලෝකයට සළුව යනවා. බ්‍රහ්ම කායික දෙවියෝ, බ්‍රහ්ම පුරෝහිත දෙවියෝ, මහා බ්‍රහ්ම දෙවියෝ දෝත නළලේ තබා මුණිවරයෙක්ගේ සළුවක් එනවා කියමින් සාධුකාර දුන්නා. එය බෝසතාණෝ අවසානයට ගෘහජීවිතයේ ඇඳපු සළුව. සහම්පති මහා බ්‍රහ්මයා මැණික් කරඬුවක් මවා ඒ කරඬුවේ සළුව තැන්පත් කරනවා. කරඬුව යොදුන් දොළහක් උස සෑයක් හදලා එහි තැන්පත් කරනවා. ඒ සෑය ‘සළුමිණ සෑය’. ධාතුන් වහන්සේගේ පරම්පරා කථාවේ ඉදිවෙන දෙවන සෑය. පසු කාලයක අකු ධාතුන් වහන්සේ තැන්පත් වුණේ බ්‍රහ්ම ලෝකයේ. අදටත් බ්‍රහ්මයෝ අකු ධාතුන් වහන්සේ වන්දනා කරමින් මහා පින් පුරෝගන්නවා. සියලු ම බ්‍රහ්ම ලෝකවලට තිබෙන එක ම එක සෑය සළුමිණ සෑයයි. ශක්‍ර දෙවියාවත් තවම ඒ සළුමිණ සෑය වන්දනා කර නැහැ. දෙවියන් සිළුමිණ සෑයත්, බ්‍රහ්මයෝ සළුමිණ සෑයත් වන්දනා කරනවා. සියලු ම බ්‍රහ්මයන්ගෙන් වැඳුම් පිඳුම් ලබන සළුමිණ සෑය කෙතරම් ආනුභාව සම්පන්න ද? කොතරම් තේජවන්ත ඇති ද? ඒ උතුම් සළුමිණ සෑයටත් අපගේ නමස්කාරය වේවා.
සළුමිණ සෑ වන්දනා ගාථාව
බ්‍රහ්ම ලොකේ දුස්සවරං - වාම අක්ඛක ධාතුයා
සද්ධං පූජෙන්ති බ්‍රහ්මාණෝ - ථූපේ ද්වාදස යෝජනේ
අහංපිතං නමස්සාමි – දුස්ස චේතිය මුත්තමං
බෝසතුන් මුදාහළ සළුව ද, වම් අකු ධාතුන් වහන්සේ ද නිධන් කොට දොළොස් යොදුන් ස්තූපය බ්‍රහ්මයෝ වන්දනා කරන්නාහු ය. ඒ උතුම් සළුමිණ සෑය මම වන්දනා කරමි.
මේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේගේ පරම්පරා කථාවේ ආරම්භය යි.
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ වප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ නොවැම්බර් 03 වනදා අඟහරුවාදා දින බුදුසරණ පත්‍රයේ පල වූ ලිපියක් ඇසුරිණි.

<<< Previous Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

1 comment :