Sunday, January 24, 2016

අසිරිමත් ධාතු පුරාණය 1 කොටස

සකල සතට පින් රැස්වෙන ධාතූන් වහන්සේ වන්දනාව

ධාතුන් වහන්සේලාගේ පරම්පරා කථාව අපට අසන්නට ලැබෙන්නේ සසරේ පිනකට ම ය. අපේ රටේ ජීවත් වන බොහෝ දෙනෙක් ධාතුන් වහන්සේලාගේ පරම්පරා කථාව දන්නේ ම නැති තරම්. එය හරියට රත්තරං කන්දක් උඩ ඉඳගෙන ඉන්න දුගී මනුස්සයෙක් වගේ. නිධානයක් උඩ ඉඳගෙන ඉන්න දුගී මනුස්සයෙක් වගේ. ඒ වගේ ම මැණික් පර්වතයක් උඩ ඉඳගෙන ඉන්න දුගී මනුස්සයෙක් වගේ වෙනවා ධාතුන් වහන්සේලාගේ විස්තරය දන්නේ නැති මනස.
අපේ මේ පින්බිම වන ශ්‍රී ලංකාවේ කෙනෙක් හිස හැරුණ පැත්තට ගියොත් ඒ ඕනෑම පැත්තක ධාතුන් වහන්සේ වැඩ සිටින සෑයක්, මන්දිරයක් තිබෙනවා. නමුත් මිනිසුන් දන්නේ නැහැ ධාතුන් වහන්සේ ඇසුරු කරගෙන කොහොමද? පින් කරන්නේ කියා. බුදුරජාණන් වහන්සේගේත් රහතන් වහන්සේගේත් ධාතුන් වහන්සේ ඉතිරි වෙන්නේ සකල සතට සෙත පිණිසයි. අමාමහ නිවන පිණිස වහා ධර්මය අවබෝධ වීම පිණිස පින් තිබෙන අය බුදු කෙනෙකුගේ ඇසුරෙන් සසරින් නිදහස් වෙනවා. ඒ වගේ ම ඒ පරම නිකෙලෙස් සිත් ඇති බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ ඇසුරෙන් සුගතියේ ඉපදෙන්න පින් කරගන්න අමා මහ නිවන පිණිස පින් පුරාගන්න පින්වතුන්ට හැකි වෙනවා. ඒ නිසායි තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේ ඉතිරි වෙන්නේ.
ඒ ධාතුන් වහන්සේ කොහොමද බෙදුණේ? ඒ ධාතුන් වහන්සේගේ ස්වභාවය කොහොමද? හඳුනා ගන්නේ කොහොමද? ධාතුන් වහන්සේ ඇසුරෙන් පින් කරන්නේ කොහොමද? ඒ වගේ ම ධාතුන් වහන්සේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන්නේ කොහොමද? මේ ධාතුන් වහන්සේ අතුරුදහන් වෙන්නේ කොහොමද? බුද්ධ ශාසනයේ අවසානය කුමක් ද? කියා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට යම් දැනුමක් තිබිය යුතු වෙනවා. මුල, මැද, අග පිරිසුදු ශාසනය පිළිබඳ ව හැඟීමක් තිබෙන්න ඕන. එවිට ඒ ශ්‍රාවකයා උපේක්ෂාවට පත්වෙනවා. රහතන් වහන්සේගේ යුගය බලා දැන් යුගයට සාප කරනවා නම් ඔහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකු නොවේ. අනිත්‍ය ස්වභාවය වැටහීමෙන් රහතන් වහන්සේගේ යුගය රහතන් වහන්සේගේ යුගය ලෙස දකිමිනුත් පිරිහෙන යුගය පිරිහෙන යුගය ලෙසත් දැකිය යුතු වෙනවා. එවිට විෂම ලෝකයේ සමව හැසිරෙන්න පුළුවන් වෙනවා.
ධාතුන් වහන්සේගේ පරම්පරා කථාවේ ආරම්භය සිදුවෙන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නත් කලින් බෝධිසත්ව කාලයේ දී ම යි. ඉදිරියේ දී අප බුදුරජාණන් වහන්සේගේ පරම්පරා කථාව ආරම්භයේ සිට අවසානය දක්වා ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස දැනුවත් විය යුතු බොහෝ කරුණු “බුදුසරණ” පුවත්පතේ ලිපි පෙළින් කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ කරුණු ඔබට කියවන්නට හැකිවුණොත් ඔබගේ සිතේ බලවත් වූ චිත්තපී‍්‍රතියක් ශ්‍රද්ධාවක් ඇති වේවි.
ඔබට ධාතුන් වහන්සේලා දකින්න, වඳින්න, පුදන්න ලැබෙනවා කියන එක විශාල ලාභයක්. ලෝකයේ ජනගහණයෙන් ඉතාමත් සුළු පිරිසකට තමා ධාතුන් වහන්සේ දකින්න, ඇසුරු කරන්න ලැබෙන්නේ. මැණික් ගලේ පය හැපුනට කණාට එහි වගක් නැහැ වගේ, තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් මිථ්‍යා දෘෂ්ටික සමාජයක ප්‍රදර්ශනය කළත්, මිනිසුන් එහි වටිනාකම තේරුම් ගන්නේ නැහැ. සමහර පිරිස් සිතාගෙන ඉන්නේ ධාතුන් වහන්සේ කියන්නේ රැස් විහිදවමින් දීප්තිමත්ව පවතිනවා කියා. එය වැරදියි. ඒ නිසා අප සිතනවා මේ දහම් ලිපි පෙළ ඔබට නිවැරදි වෙන්න ලොකු අස්වැසිල්ලක් වේවි කියා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ බෙදුණ ආකාරය, ඒ ධාතුන් වහන්සේ හඳුනා ගන්නා ආකාරය, ධාතුන් වහන්සේ වැඩ සිටින ආකාරය, ඍද්‍ධි ප්‍රාතිහාර්ය දක්වන ආකාරය ඔබට දැනගන්න ලැබෙනවා.
ධාතුන් වහන්සේ කොටස් තුනකින් හඳුන්වනවා. ඒ
1. ශාරීරික ධාතු,
2. පාරිභෝගික ධාතු
3. උද්දේශික ධාතු.
ශාරීරික ධාතු
ශාරීරික ධාතු කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ ම තිබෙන කොටස්. ඒ තමයි අස්ථි ධාතුන් වහන්සේ ඒ අස්ථි ධාතූන්ට අයිතියි දන්ත ධාතුන් වහන්සේ හතර නම, ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ දෙනම, ද්‍රෝණ අටක් සර්වඥ ධාතුන් වහන්සේ, රෝම ධාතුන් වහන්සේ, කේශ ධාතුන් වහන්සේ, නඛ (නිය) ධාතුන් වහන්සේ ඒ සියල්ල ශාරීරික ධාතුන් වහන්සේ ලෙසයි අයත් වන්නේ.
පාරිභෝගික ධාතු
ඊළඟට පාරිභෝගික ධාතුන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ පාරිභෝගික කළ දේ. ඒ අතර බැබළෙන පාරිභෝගික ධාතුවක් තමා විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ. උන්වහන්සේගේ වරුණ වෙනම ඉගෙන ගත යුතුයි. එය බෝධින් වහන්සේගේ පරම්පරා කථාවට අයත් වෙනවා. ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අසිරිමත් කථාව ලොමුඩැහැ ගන්වෙන සුළුයි. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පරම්පරා කථාව කෙනෙක් දන්නවා නම් බෝධින් වහන්සේ ළඟින් යන විට නිකම්ම අත් දෙක සිරසට එසවෙනවා. ඒ තරම් අසිරියක් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ තුළ තිබෙනවා. ඒ වගේ ම තථාගතයන් වහන්සේගේ චීවර ධාතුව, පාත්‍රා ධාතුව, ඉන පටිය, අතුරන ඇතිරිල්ල, ඉඳගන්න ඇතුරු ඇතිරිල්ල ඒ සියල්ල ම ගැනත්, ඒ ධාතුන් තැන්පත් වී ඇති ආකාරය ගැනත් පාරිභෝගික ධාතුන් ලෙස ඉදිරියේ දී ඉගෙන ගන්න ඔබට පුළුවන්. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ වැඩිය පුණ්‍ය භූමිත් පාරිභෝගික ධාතුන්. ඒ ධාතුන් වහන්සේ වැඳුම් පිදුම් කිරීමෙන් දෙලොව ම යහපත පිණිස අපමණ පින් රැස් වෙනවා.
උද්දේශික ධාතු
ඊළඟට උද්දේශික ධාතුන් කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන්කළ දේයි. එහි දී ප්‍රතිමා වහන්සේ මුල් තැන ගන්නවා. බෝසතාණන් වහන්සේ මවුකුසින් වෙසක් පුන් පෝ දා බිහිවෙන විට සහම්පති බ්‍රහ්මයා දිව්‍ය සළුවට කුමරුවා පිළිගත්තේ. ඊළඟට සතරවරම් දෙවිවරුන් අතින් පුංචි කුමාරයා මේ මිහිමඬලේ අවසන් ජීවිතයේ පළමු පියවර තබනවා. ඒ පියවර මේ මහ පොළොවේ කිඳා බැස්සා. ඉන්පසු තමයි නෙළුම් මල් පිපුණේ. ඒ පියවර අදටත් ලුම්බිණියේ සටහන් ව තිබෙනවා. උද්දේශික ධාතුවක් ලෙස අදටත් එය වන්දනා කරන්න පුළුවන්. ඒ වගේ ම කෙනෙක් සිරිපා සටහනක් සටහන් කර වඳිනවා නම් එයත් උද්දේශිකයි. ඒ කියන්නේ වෙනුවෙන්. ධර්මය චක්‍රයක් බුදුරජාණන් වහන්සේ ලෙස සටහන් කර වඳිනවා නම් එය උද්දේශික ධාතුන්. ඒ වගේ ම ධාතු තැන්පත් නැති ව කරඬුවක්, සෑයක්, පිළිරුවක් රූප රාමුවක් කෙනෙක් වඳිනවා නම් ඒවා උද්දේශික ධාතු ලෙස හඳුන්වා තිබෙන්නේ. තථාගතයන් වහන්සේ කෙතරම් ආනුභාව සම්පන්නයි ද කියනවානම් උන්වහන්සේගේ ප්‍රතිමාවකට වැන්දත් අපමණ පින් රැස් වෙනවා. උන්වහන්සේගේ ප්‍රතිමාවල පවා භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවය පිහිටා තිබෙනවා.
ඈත අතීතයේ කැලණිතිස්ස රජතුමාගේ කාලයේ මුහුද ගොඩ ගැලු දා ඒ ගොඩගැලීම නවත්වන්න ශ්‍රක්‍ර දේවේන්‍ද්‍රයා ශෛලමය ප්‍රතිමාවක් මවා වෙරළේ තබා තිබෙනවා. එතැනින් මුහුදු රැල්ල නතරවෙලා. දසමාර සේනා භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ සුනු විසුනු වී ගියා වගේ මුහුදු රැල්ල උන්වහන්සේගේ ප්‍රතිමාව අභියස දී විනාශ වුනා කියා සඳහන් වෙනවා. ඒ වගේ ම අවුරුදු පන්දහසක් ගිය කල සියලු ප්‍රතිමා අතුරුදහන් වෙනවා. ඒ නිසා උද්දේශික ධාතුන් ලෙස බුද්ධ ප්‍රතිමා මුල් තැනක් ගන්නවා. එනිසයි සෑම විහාරස්ථානයක ම බුද්ධ ප්‍රතිමා නිර්මාණය වෙන්නේ.
අප මෙලෙස පාරිභෝගික ධාතුන් වහන්සේ ගැනත්, උද්දේශික ධාතුන් වහන්සේ ගැනත් ඔබට යම් තරමකට කියා දුන්නා. මෙයට අමතර විශාල විස්තරයක් ශාරීරික ධාතුන් වහන්සේ සම්බන්ධව තිබෙනවා. අප කථා කරන, පැහැදෙන, වඳින පුදන කඳු ගණන් දානය පූජා කරන බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ අබ ඇටයක් තරම් ධාතුන් වහන්සේ නමකට වඳින්න, පුදන්න ඒ විස්තර අසන්න ලැබෙනවා නම් එය ඉතාමත් අසිරිමත්. තමාගේ ඇස් වලින් ධාතුන් වහන්සේ නමක් දැක්කේ නැතත් මේ කරඬුවේ ධාතුන් වහන්සේ නමක් වැඩ සිටිනවා කියන පණිවිඩය ම ඇති ඔහුගේ සිත පහදවා ගන්න.
එවැනි ශ්‍රද්ධාවක් උපදින්නේ ධාතුන් වහන්සේ ගැන විස්තර දන්නවා නම් පමණයි. ඒ නිසා ඒ ධාතුන් වහන්සේගේ අසිරිමත් පරම්පරා කථාව මෙතැන් සිට ඉදිරියට කියවමින් ඔබේ සිතේ අසිරිමත් ධාතු මන්දිරයක් ගොඩනඟා ගනිත්වා කියා ආශීර්වාද කරනවා.
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2559ක් වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015ක් වූ ඔක්තෝබර් 27 වන දා අඟහරුවාදා දින බුදුසරණ පත්‍රයේ පල වූ ලිපියක් ඇසුරිණි.

Next >>>

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

0 comments :

Post a Comment