Friday, October 23, 2015

සක්වළ (ලෝක ධාතු)

බුදු දහමට අනුව එක් සක්වළකට මනුෂ්‍ය ලෝක එකකුත් දිව්‍ය ලෝක සයකුත් බ්‍රහ්ම ලෝක 20ක් හා අපාය භූමි සතරක් යනුවෙන් සත්වයන් උපදිනා ස්ථාන 31ක් දැක්වේ. මේවා තිස්එක් භූමි තල ලෙස ද හැඳින්වේ. මනුෂ්‍ය ලෝකයත් දිව්‍ය ලෝක සයත් හා අපාය සතරත් යන 11 කාමාවචර භූමි ලෙස හැදින්වෙන අතර බ්‍රහ්ම ලෝක 20න් 16ක් රූපාවචර වන අතර ඉතිරි බ්‍රහ්ම ලෝක 4 අරූපාවචර වේ.
මනුෂ්‍ය ලෝකය
 මිනිසුන් ජීවත්වන මෙම මහ පොළොව මනුෂ්‍ය භූමිය හෙවත් මනුෂ්‍ය ලෝකයයි. මිනිසුන්ගේ ආයු ප්‍රමාණය නියතයක් නොවේ. එක් කලෙක මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ක් තරම් අල්ප වේ. තවත් කලෙක ආයුෂ අවුරුදු අසංඛ්‍යය තරම් දීර්ඝ වේ. බුදු, පසේ බුදු, අග්‍රශ්‍රාවකයන් යන උතුමෝ මෙම මනුෂ්‍ය ලෝකයේ ම පමණක් පහළ වේ. මනුෂ්‍යයන්ගේ ඒ ඒ කාලවල ඇති ආයුෂය 'ආයුෂ් කල්පය' ලෙස හැඳින්වේ.
සදිව්‍ය ලෝක
 චාතුම්මහාරාජික දෙව්ලොව, තාවතිංස දෙව්ලොව, යාම දෙව්ලොව, තුසිත දෙව්ලොව, නිම්මානරති දෙව්ලොව හා පරනිම්මිතවසවත්ති දෙව්ලොව යනුවෙන් දිව්‍ය ලෝක 6ක් වෙති. මනුෂ්‍ය ලෝකයේ සිට පැරණි මිම්මෙන් යොදුන් 42 000ක් ඉහළින් පළමු දිව්‍ය ලෝකය වන චාතුර්මහා රාජිකය පිහිටා ඇත. එතැන් සිට යොදුන් 42 000 බැගින් දුරකින් අනෙක් දිව්‍ය ලෝක පිළිවෙළින් ඉහළට පිහිටා ඇත.
මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක් චාතුම්මහාරාජික දෙව්ලොවට එක් දිනයකි. එම දින 30ක් මාස එකකි. එවැනි මාස 12ක් එහි දිව්‍ය වර්ෂ 1ක් වේ. එවැනි දිව්‍ය වර්ෂ 500ක් චාතුමහාරාජික දෙවියන්ට ආයුෂ වේ. එය මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ 90 00 000 (අනූ ලක්‍ෂය) කි. (50 x 30 x 12 x 500 = 90 00 000)
මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 100ක් තාවතිංස දෙව්ලොවට එක් දිනයකි. එම දින 30ක් මාස එකකි. එවැනි මාස 12ක් එහි දිව්‍ය වර්ෂ 1ක් වේ. එවැනි දිව්‍ය වර්ෂ 1 000ක් චාතුමහාරාජික දෙවියන්ට ආයුෂ වේ. එය මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ 3 60 00 000 කි. (100 x 30 x 12 x 1000 = 3 60 00 000)
එය චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයුෂ මෙන් 4 ගුණයකි. (90 00 000 x 4 = 3 60 00 000) මෙසේ ඉහළ දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය ඊට පහළ දිව්‍ය ලෝකයේ ආයුෂය මෙන් 4 ගුණයක් වේ. එවිට දිව්‍ය ලෝකවල ආයුෂ ප්‍රමාණය පහත පරිදි වේ.
දෙව්ලොව දිව්‍ය වර්ෂ මනුෂ්‍ය වර්ෂ
චාතුම්මහාරාජිකය 500 90 00 000 අනූ ලක්‍ෂයයි
තාවතිංසය 1 000 3 60 00 000 තුන්කෝටි හැට ලක්‍ෂයයි
යාමය 2 000 14 40 00 000 දාහතරකෝටි හතළිස් ලක්‍ෂයයි
තුසිතය 4 000 57 60 00 000 පණස්හත්කෝටි හැට ලක්‍ෂයයි
නිම්‌මානරතිය 8 000 230 40 00 000 දෙසියතිස්කෝටි හතළිස් ලක්‍ෂයයි
පරනිම්‌මිතවසවත්‌තිය 16 000 921 60 00 000 නවසියවිසිඑක්කෝටි හැට ලක්‍ෂයයි
බ්‍රහ්ම ලෝක
 බ්‍රහ්ම ලෝක 20ක් ඇත. ඉන් 16ක් රූපාවචර බ්‍රහ්ම ලෝක වන අතර 4ක් අරූපාවචර බ්‍රහ්ම ලෝක වේ.
බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරොහිතය, මහාබ්‍රහ්ම බ්‍රහ්ම ලෝකය යන තුන ප්‍රථම ධ්‍යාන භූමිය ලෙස ද පරිත්තාභය, අප්පමාණාභය, ආභස්සර බ්‍රහ්ම ලෝකය යන තුන ද්විතීය ධ්‍යාන භූමිය ලෙස ද පරිත්තසුභය, අප්පමාණසුභය, සුභකිණ්හ බ්‍රහ්ම ලෝකය යන තුන තෘතීය ධ්‍යාන භූමිය ලෙස ද වෙහප්ඵලය, අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකය යන දෙක චතුර්ථ ධ්‍යාන භූමිය ලෙස ද අවිහය, අතප්‌පය, සුදස්‌සය, සුදස්‌සීය, අකනිට්‌ඨ යන පහ පඤ්ච සුද්‍ධාවාස ලෙස ද හැඳින්වේ. සුද්‍ධාවාස චතුර්ථ ධ්‍යාන භූමියට ම අයත් වේ. මේ බ්‍රහ්ම ලෝක 16 රූපාවචර බ්‍රහ්ම ලෝක වෙයි.
 ආකාසානඤ්‌චායතනය, විඤ්‌ඤාණඤ්‌චායතනය, ආකිඤ්‌චඤ්‌ඤායතනය, නෙවසඤ්‌ඤානාසඤ්‌ඤායතනය යන බ්‍රහ්ම ලෝක හතර අරූපාවචර බ්‍රහ්ම ලෝක ලෙස හැඳින්වේ.
 අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකයේ සත්වයන්ට කය පවතී නමුත් සිත නොපවතියි. ඔවුන්ට රූපය ම ප්‍රතිසන්ධිය වෙයි. අරූපාවචර බ්‍රහ්ම ලෝක සතරෙහි බ්‍රහ්මයන්ට කයක් නැත. සිත පවතියි.
 පරනිම්‌මිතවසවත්‌ති දිව්‍ය ලෝකයේ සිට පැරණි මිම්මෙන් යොදුන් 55 08 000ක් ඉහළින් ප්‍රථම ධ්‍යාන තලය පිහිටා ඇත. එතැන් සිට එපමණ දුරකින් ද්විතීය ධ්‍යාන තලය ද එතැන් සිට එපමණ දුරකින් තෘතීය ධ්‍යාන තලය ද එතැන් සිට එපමණ දුරකින් චතුර්ථ ධ්‍යාන තලය ද පිළිවෙළින් ඉහළට පිහිටා ඇත. එතැන් සිට එපමණ දුර ප්‍රමාණ බැගින් අවිහය, අතප්‌පය, සුදස්‌සය, සුදස්‌සීය, අකනිට්‌ඨ යන පඤ්ච සුද්‍ධාවාස පිළිවෙළින් ඉහළට පිහිටා ඇත. එතැන් සිට එපමණ දුර ප්‍රමාණ බැගින් ආකිඤ්‌චඤ්‌ඤායතනය, නෙවසඤ්‌ඤානාසඤ්‌ඤායතනය යන බ්‍රහ්ම ලෝක හතර පිළිවෙළින් ඉහළට පිහිටා ඇත.
මෙම බ්‍රහ්ම මෙම බ්‍රහ්ම ලෝකයන්හි ආයු ප්‍රමාණය මහා කල්ප වලින් දැක්වේ. එය පහත පරිදි වේ.
බ්‍රහ්ම ලෝකය ආයු ප්‍රමාණය (මහා කල්ප)
බ්‍රහ්මපාරිසජ්ජය 1/3
බ්‍රහ්මපුරොහිතය 1/2
පරිත්තාභය 1
මහාබ්‍රහ්මය 2
අප්පමාණාභය 4
ආභස්සරය 8
පරිත්තසුභය 16
අප්පමාණසුභය 32
සුභකිණ්හය 64
වෙහප්ඵලය 500
අසඤ්ඤසත්තය 500
අවිහය 1 000
අතප්‌පය 2 000
සුදස්‌සය 4 000
සුදස්‌සීය 8 000
අකනිට්‌ඨය 16 000
ආකාසානඤ්‌චායතනය 20 000
විඤ්‌ඤාණඤ්‌චායතනය 40 000
ආකිඤ්‌චඤ්‌ඤායතනය 60 000
නෙවසඤ්‌ඤානාසඤ්‌ඤායතනය 84 000

සතර අපාය
 නිරය, තිරිසන්, ප්‍රේත හා අසුර යන භූමි සතර සතර අපාය ලෙස හැඳින්වේ. අපාය යනු සැපයෙන් තොර වූ ස්ථානය යන්නයි. අතරක් නැති ව දුක් විසින්නට සිදුවන බැවින් අපාය නම් වේ.
 නිරයයන් 8ක් ඇත. එනම් සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය හා අවීචිය යන අටයි. මනුෂ්‍ය ලෝකයේ සිට පැරණි මිම්මෙන් යොදුන් 1 500ක් පහළින් පළමු නිරය වන සංජීවය පිහිටා ඇත. එතැන් සිට යොදුන් 1 500 බැගින් දුරකින් අනෙක් නිරයන් පිළිවෙළින් පහළට පිහිටා ඇත.
මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 90 00 000 (අනූ ලක්‍ෂය) ක් සංජීව නිරයට එක් දිනයකි. එම දින 30ක් මාස එකකි. එවැනි මාස 12ක් එහි නිරය වර්ෂ 1ක් වේ. එවැනි නිරය වර්ෂ 500ක් සංජීව නිරයේ ට සත්වයන්ට ආයුෂ වේ. එය මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ 1 620 000 000 000 කි. (90 00 000 x 30 x 12 x 500 = 1 620 000 000 000) එසේ ම;
නිරය නිරය වර්ෂ මනුෂ්‍ය වර්ෂ
සංජීවය 500 1 620 000 000 000
කාලසූත්‍රය 1 000 12 960 000 000 000
සංඝාතය 2 000 103 680 000 000 000
රෞරවය 4 000 829 440 000 000 000
මහා රෞරවය 8 000 6 635 520 000 000 000
තාපය 16 000 53 084 160 000 000 000
ප්‍රතාපය අන්තර කල්ප බාගයකි
අවීචිය මහා කල්ප එකකි
 
තිරිසන්, ප්‍රේත හා අසුරයන්ගේ ආයු මෙතෙකැයි නියම නැත.
එක් සක්වළක ප්‍රතිසන්ධි තල 31 පහත ලෙස දැක්විය හැකි ය.

ඉහල ම බ්‍රහ්ම ලෝකය වන නෙවසඤ්‌ඤානාසඤ්‌ඤායතනයේ සිට මහත් විශාල ගල් පර්වතයක් පහතට හෙළන්නේ නම් එම ගල් පර්වතය දිනකට යොදුන් 48 000ක වේගයෙන් පහතට වැටෙන්නේ ය. එය මනුෂ්‍ය ලෝකය වෙත පැමිණීමට දින 1497ක් හෙවත් වර්ෂ 4 යි මාස 1 යි දින 27ක් ගත වන්නේ ය.
ප්‍රථම ධ්‍යාන තලයේ සිට මහත් විශාල ගල් පර්වතයක් පහතට හෙළන්නේ නම් එම ගල් පර්වතය දිනකට යොදුන් 48 000ක වේගයෙන් පහතට වැටෙන්නේ ය. එය මනුෂ්‍ය ලෝකය වෙත පැමිණීමට දින 120ක් හෙවත් මාස 4ක් ගත වන්නේ ය.
විශ්වයේ ස්වභාවය
 සත්වයන් උපදිනා ස්ථාන 31කින් යුත් කොටසක් එක් සක්වළක් ලෙස හැඳින්වෙන බව ඉහත දැක්විය. එය ලෝක ධාතුවක් ලෙස ද හැදින්වේ. විශ්වය තුල මෙවැනි සක්වළ අනන්ත ප්‍රමාණයක් ඇත. නමුත් ඒ සියලු ම සක්වළවල් අතරින් අප වසන සක්වළ විශේෂ වේ. ඊට හේතුව සම්මා සම්බුදුවරු, පසේබුදුවරු, අග්‍රශ්‍රාවකයෝ, සක්විති රජවරුන් යන උතුමන් මෙම සක්වළෙහි පමණක් පහළවන බැවිනි. එබැවින් මෙම සක්වළ මංගල සක්වළ ලෙස හැඳින්වේ.
මෙම විශ්මෙම විශ්වය තුල අනන්ත අපරිමාණ සක්වළවල් හෙවත් ලෝකධාතු නොයෙක් ලෙස වර්ග කෙරෙයි. සහස්සී චූළනිකා ලෝකධාතුව, ද්විසහස්සී මජ්ඣිමිකා ලෝකධාතුව, ත්‍රීසහස්සී මහාසහස්සී ලෝකධාතුව, දසසහස්සී ලෝකධාතුව ඒ වර්ග කිරීම අතර ප්‍රධාන වේ.
එක් ලෝකධාතුවකට එක් ඉරක්, එක් සඳක්, එක් චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයක්, එක් තාවතිංස දිව්‍ය ලෝකයක්, ... ආදී ලෙස ඇත. මංගල සක්වළත් සමග ලෝකධාතු 1 000ක් ගත් විට එය සහස්සී ලෝකධාතුව ලෙස හැඳින්වේ. එම සහස්සී ලෝකධාතුවෙහි හිරු දහසක් ඇත. සඳු දහසක් ඇත. චාතුම්මහාරාජික දිව්‍ය ලෝක දහසක් ඇත. තාවතිංස දිව්‍ය ලෝක දහසක් ඇත. ... මෙය බුද්ධ ශ්‍රාවකයන්ට විෂය වේ.
මංගල සක්මංගල සක්වළත් සමග ලෝකධාතු 1 000 000ක් ගත් විට එය ද්විසහස්සී ලෝකධාතුව ලෙස හැඳින්වේ. එම සහස්සී ලෝකධාතුවෙහි හිරු 1 000 000ක් ඇත. සඳු 1 000 000ක් ඇත. චාතුම්මහාරාජික දිව්‍ය ලෝක 1 000 000ක් ඇත. තාවතිංස දිව්‍ය ලෝක 1 000 000ක් ඇත. ... මෙය ද බුද්ධ ශ්‍රාවකයන්ට අවිෂය වේ. බුදුන්ට ම විෂය වේ.
මංගල සක්වළත් සමග ලෝකධාතු 1 000 000 000ක් ගත් විට එය ත්‍රීසහස්සී ලෝකධාතුව ලෙස හැඳින්වේ. එම සහස්සී ලෝකධාතුවෙහි හිරු 1 000 000 000ක් ඇත. සඳු 1 000 000 000ක් ඇත. චාතුම්මහාරාජික දිව්‍ය ලෝක 1 000 000 000ක් ඇත. තාවතිංස දිව්‍ය ලෝක 1 000 000 000ක් ඇත. ... මෙය ද බුද්ධ ශ්‍රාවකයන්ට අවිෂය වේ. බුදුන්ට ම විෂය වේ.
මංගල සක්වළත් සමග ලෝකධාතු 10 000ක් ගත් විට එය දසසහස්සී ලෝකධාතුව ලෙස හැඳින්වේ. බුදුවරයකුගේ ඉපදීම ආදියේ දී කම්පා වන බැවින් මෙය ජාතික්‍ෂේත්‍රය ලෙස ද හැදින්වේ. මෙය ද බුද්ධ ශ්‍රාවකයන්ට අවිෂය වේ. බුදුන්ට ම විෂය වේ. 
මංගල සක්වළත් සමග ලෝකධාතු 1 000 000 000 000ක් (කෙළලක්‍ෂයක්/ කෝටිලක්‍ෂයක්) ගත් විට එය කෙළලක්‍ෂයක් ලෝකධාතුව ලෙස හැඳින්වේ. එහි හිරු  කෙළලක්‍ෂයක් ඇත. සඳු කෙළලක්‍ෂයක් ඇත. චාතුම්මහාරාජික දිව්‍ය ලෝක කෙළලක්‍ෂයක් ඇත. තාවතිංස දිව්‍ය ලෝක කෙළලක්‍ෂයක් ඇත. ... රතන සූත්‍රය, කඳ පිරිත, ධජග්ග සූත්‍රය, ආටානාටිය සූත්‍රය, මෝර පිරිත ආදියෙහි ආනුභාවය මෙම කෙළ ලක්‍ෂ ලෝකධාතුව තුල පැතිර පවතියි. එබැවින් මෙය ආඥා ක්‍ෂේත්‍රය ලෙස ද හැඳින්වේ. මෙය ද බුද්ධ ශ්‍රාවකයන්ට අවිෂය වේ. බුදුන්ට ම විෂය වේ. 

ඔබ මෙම පෝස්ට් එකට කැමති නම් අන් අය අතරේ බෙදා හරින්න.

29 comments :

  1. ඉතාමත් වටිනාම ලිපියක් !!!
    සංජීවය නිරයෙහි ලක්ෂ අනුවක්ද /ලක්ෂ අනු දහසක්ද.. මොකද යම් තැන් තැන්වල අන්තර්ජාලයෙහි තිබෙනු දුටුවා
    හරියටම පහද දෙන්න

    ReplyDelete
    Replies
    1. කාම සත්වයන් අතුරෙන් ප්‍රේත, තිරිසන්, අසුර හා නිරය යන සතර අපායේ සත්වයන්ට ද මිනිසුන්ට ද විනිපාතික අසුරයන්ට ( සුවදුක් දෙක ම විඳින සත්වයන්) ද ආයු නියමයක් නැත.
      නිරය තුළ සත්වයෝ කර්‍මය ප්‍රමාණයට ම දුක් විඳින්නා හ. යම්තාක් කර්‍මය නොගෙවේ ද ඒ තාක් ඉන් චුත නොවේ. සෙසු අපාය වල ද එසේම ය. බූමාටු දෙවියන්ගේ ද එසේම ය. සමහර කෙනෙක් සත් දවසක් පමණ ජීවත් වේ. තවත් කෙනෙක් අඩමසක්, කෙනෙක් මාසයක්, කෙනෙක් කල්පයක් ද ජීවත් වේ. මෙසේ දක්වා ඇත්තේ සම්මොහවිනොදනී විභංග අටුවාවෙහි ය.
      ආයු ප්‍රමාණ පිළිබඳ විභංගප්‍රකරණයේ දක්වා ඇත්තේ කාමාවචර සදේවලෝකයන් වල පටන් ය. ඒ මෙසේ ය.
      චාතුමහාරාජිකානං දෙවානං කිත‍්තකං ආයුප‍්පමාණං? යානි මානුසකානි පඤ‍්ඤාස වස‍්සානි, චාතුම‍්මහාරාජිකානං දෙවානං එසො එකො රත‍්තිදිවො. තාය රත‍්තියා තිංස රත‍්තියො මාසො. තෙන මාසෙන ද‍්වාදසමාසියො සංවච‍්ඡරො. තෙන සංවච‍්ඡරෙන දිබ‍්බානි පඤ‍්ච වස‍්සසතානි චාතුම‍්මහාරාජිකානං දෙවානං ආයුප‍්පමාණං. මනුස‍්සානං ගණනාය කිත‍්තකං හොති? නවුති වස‍්සසතසහස‍්සානි.
      (අභිධම්මපිටකෙ\විභඞ්ගපාළි\ධම්මහදයවිභඞ්ගො)
      එහි තේරුම “චාතුර්‍මහාරාජික දෙවියන්ගේ ආයු ප්‍රමාණය කොපමණ ද? මිනිසුන්ට අයත් යම් පනස් වසක් වේ ද, චාතුර්‍මහාරාජික දෙවියන්ට මෙය එක් රෑ දවාලකි. ඒ රාත්‍රියෙන් රාත්‍රි තිහක් මාසයකි. ඒ මසින් දොළොස් මාසයක් අවුරුද්දකි. ඒ අවුරුදු ගණනින් දිව්‍ය අවුරුදු පන්සියයක් චාතුර්‍මහාරාජික දෙවියන්ගේ ආයු ප්‍රමාණයයි. මිනිසුන්ගේ ගණනින් කොපමණ වේද? අවුරුදු නවලක්‍ෂයකි.” යන්නයි.
      මේ පිළිබඳ තවදුරටත් විභංගටීකාවේ මෙසේ දැක්වේ.
      යං චාතුමහාරාජිකානං ආයුප‍්පමාණං, සඤ‍්ජීවෙ එසො එකො රත‍්තිදිවො, තාය රත‍්තියා තිංස රත‍්තියො මාසො, තෙන මාසෙන ද‍්වාදසමාසිකො සංවච‍්ඡරො, තෙන සංවච‍්ඡරෙන පඤ‍්ච වස‍්සසතානි සඤ‍්ජීවෙ ආයුප‍්පමාණං.
      (විභඞ්‌ග-අනුටීකා)
      “චාතුර්‍මහාරාජික දෙවියන්ට අයත් යම් ආයු ප්‍රමාණයක් වේ ද, මෙය එක් රෑ දවාලකි. ඒ රාත්‍රියෙන් රාත්‍රි තිහක් මාසයකි. ඒ මසින් දොළොස් මාසයක් අවුරුද්දකි. ඒ අවුරුදු ගණනින් අවුරුදු පන්සියයක් සංජීව නිරයේ ආයු ප්‍රමාණයයි කියනු ලැබේ.”
      මේ අනුව සංජීව නිරයේ ආයු ප්‍රමාණය අවුරුදු (90, 00, 000 x 30 x 12 x 500) 1,620,000,000,000 ක් වේ.

      Delete
  2. අර ප්අ‍රස්ථාරයේ අරූපී බ්‍රහ්ම ලෝක වල ආයුෂ සඳහන් කරලා තියෙන්නේ වැරදි අනුපිලිවෙලට.

    ReplyDelete
    Replies
    1. අතපසුවීමකින් වූ දෝෂයකි. එය නැවත නිවැරදි කළෙමි.

      Delete
  3. මේ නිරයන් පිළිබඳවත් දිවය ලෝක පිළිබඳවත් සඳහන්වන ත්‍රිපිටක සුත්‍රය මොකක්ද?කරුණා කරලා පුලුවන්නම් කියන්න ගොඩක් පින් සිද්ද වෙනවා

    ReplyDelete
    Replies
    1. මෙහි දැක්වෙන තොරතුරු එක් සූත්‍රයකින් ගත් කරුණු ම නො වෙයි. සූත්‍ර පිටකයෙ හා අභිධර්ම පිටකය පුරා විසිරී ඇති කරුණු මෙන් ම අට්ඨකථා වල කරුණුත් අඩංගු වෙනවා.
      - අං.නි.\තිකනිපාතපාළි\8. ආනන‍්දවග‍්ගො\10. චූළනිකා සූත්‍රය
      - අං.නි.\තිකනිපාතපාළි\7.මහාවග‍්ගො\10 වන සූත්‍රය
      - අං.නි.\අට‍්ඨකනිපාතපාළි\5. උපොසථවග‍්ගො\2. විත‍්ථතඅට‍්ඨංගුපොසථ සූත්‍රය
      - අං.නි.\දසකනිපාතපාළි\3. මහාවග‍්ගො\9. පඨමකොසල සූත්‍රය
      ආදී සූත්‍ර වලින් ද එහි අටුවා වලින් ද විශේෂයෙන් ම අභිධර්ම පිටකයේ විභංගප්‍රකරණයෙන් ද තොරතුරු දැනගත හැකි ය. එසේ ම විශුද්ධිමාර්ගයේ ද විස්තර ඇත. තවත් බොහෝ තැන්වල විස්තර ඇත.

      Delete
    2. නිර්වාණ අවබෝධය සඳහාම මේ පිං හේතූ වේවා

      Delete
  4. පෘතුවියේ අරය සැතපුම් 3958 , යොදුන් නම් 1000.........(https://en.wikipedia.org/wiki/Earth)
    "මනුෂ්‍ය ලෝකයේ සිට පැරණි මිම්මෙන් යොදුන් 1 500ක් පහළින් පළමු නිරය වන සංජීවය පිහිටා ඇත" මෙම කියමන කොතරම් වලංගුද ?????????
    නුවර යුගයේ සිට මේ දක්වා පොතපතේ ලියවී ඇති දෑ අන්ධ භක්තියෙන් විශ්වාස කරනන් හට නම් මේ කරුණු පහන් සංවේග ඉපිද වුවත් අන් අයට සක මතුකරයි.

    බුදු පියාණන් බඹයක් තරම් වූ ශරීරයේ ලෝකය පැන වුවේ නම් මේ සියළු තල ඇත්තේ සිත තුල නොවේද ??????????

    සැබෑ බෞද්ධයෙකුගේ වගකීම වන්නේ නිවැරදි මඟ සොයා දැන, බුදුපියාණන් මතුකර පෙන්වා වදාළ මඟ අනුගමනය කර, එය තමාගේම පෞද්ගලික අත්දැකීමක් බවට පත්කරගෙන, නිවන අත්විඳ ගැනීමයි.https://www.facebook.com/groups/207762966284667/

    ReplyDelete
    Replies
    1. widyawa saha buddaagama patalaganna epa ,meeka dekak

      Delete
    2. මටත් මෙතනදි ගැටලු ඇතිවෙනව.මම දකින්නෙ මෙහෙමයි මේ ප්‍රශ්ණය.යොදුන කියන මිනුම් ඒකකය වර්තමාන මිනුම් ඒකක සමග සසදල තියෙන ප්‍රමාණය වැරදියි.එය නිවැරදිවිය යුතුයි.එතකොට අපාය තල හෝ දිව්‍යතල පිළිබදව නිවැරදි ගණනයක් සිදුකරගත හැකියි.

      Delete
    3. මිනිස් ඇසට ගෝචර වෙන මානයක නෙවෙයි දිව්‍යය තලය, බ්‍රහ්ම තලය හා නිරය තියෙන්නේ.ඒ නිසා ඔච්චර පතුලට යන්න ඕනි නැහැ, අපි ඉන්න තැනම එහා පැත්තේ තියෙන අපිට හසු නොවන මානයක තියෙන දේවල් අපිට පේන්නේ නැහැ. භෞතික ඇසට හසු වෙන්නේ නැහැ. මිනිස් ඇසට හසුවන මානයක තියෙන අපාය තමයි තිරිසන් අපාය කියන්නේ. එකම ස්ථානයක​ වුනත් වෙනත් මානයක තියෙන දේවල් මිනිස් ඇසට අහු වෙන්නේ නැහැ. ද්විමාන ත්‍රිමාන සංකල්ප​ පොඩ්ඩක් බලන්න​. සමාන්තර විශ්ව සංකල්පයේ පවා ඔය සරල​ කාරණය තියෙනවනේ.....

      Delete
  5. නමෝ බුද්ධාය!

    පින්වත් ඔබතුමාට අතිශයින්ම පින්!දැන ගන්ට අවශ්‍යව තිබූ සියලුම කරුණු පින්තූර ලෙස දක්වලා තියෙනවා. මේ පින ඔබට සෝතාපන්න වීමට සහ මග වැඩීමට හේතු වාසනා වේවා!!!

    Www.fb.com/aryasravaka

    ReplyDelete
  6. ඔබතුමාට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මෙය තිබෙන්නේ ත්රිපිටකය තුළ , මෙය කිසිවිටක බොරුවක් වන්නේ නැත

      Delete
  7. මට නම් මෙහි විකාර ස්වරූපයක් පෙනේ. ලෝකයේ ඉහලක් පහලක් නැත..

    ReplyDelete
    Replies
    1. ඉහල පහල පෙනෙන්න නම් අභිඣා තියෙන්න ඕනේ නිකම්ම නිකං නිකමන්ට ඒවා පේන්නේ නෑ.

      Delete
    2. ඉහල,පහල කියල සදහන් කරන්නේ, ලෝකයන්ගේ මට්ටම අනුව.
      උදාහරණයක් හැටියට තිරිසන් ලෝකයට වඩා මනුෂ්‍ය ලෝකය ඉහලයි කියල සලකනවනේ. ඉතින් තියෙන්නේ එකම තලයේ.

      Delete
  8. වටිනා ලිපියක්

    ReplyDelete
  9. ඉතාම ත් අගෙයි.
    නිවන් මඟ පිණිසම වේවා.🌼🌼🌼🌼🌼🌼☸️

    ReplyDelete
  10. අදහසක් දක්වන්න තරම් මා මෙය ගැන දැනුවත් මදියි සිතමි. වටිනා ලිපියක්. මේ ගැන අධ්‍යයනය කරමි. සක්වලට එක ඉරක් තිබෙ. එක සදක් තියෙන්නෙ කොහොමද. පෘතිවියට එකක් ඇත. සමහර ග්‍රහලෝක වලට දෙක තුනක් ඇත. පැහැදිලි කර දෙන්න. ඉල්ලිමකි.

    ReplyDelete
    Replies
    1. බොහොම සරලයි. එක ග්‍රහලෝකයකට එක උපග්‍රහයෙක් තිබිලා අනෙක් ග්‍රහවලට උපග්‍රහයින් නැති වුණාම එක උපග්‍රහයෙක් පමණක් ඇත.

      Delete
  11. බුදු හාමුදුරුවන් මේ සියල්ල වදාළේ උන්වහන්සේගේ බුද්ධිය තුළින්.අවුරුදු 2500කටත් වඩා කලින් මෙලෙස මේ දේවල් දේශනා කිරීමට උන්වහන්සේ සතුව කෙතරම් නම් උත්තරීතර වූ බුද්ධියක් තියෙන්නට ඇතිද? මෙවන් උතුම් ශාස්තෘවරයෙක් ලබන්න සියලුම බෞද්ධයෝ ලොකු කුසලයක් කරලා තියෙනවා.🙏

    ReplyDelete
  12. බුදු හාමුදුරුවන් මේ සියල්ල වදාළේ උන්වහන්සේගේ බුද්ධිය තුළින්.අවුරුදු 2500කටත් වඩා කලින් මෙලෙස මේ දේවල් දේශනා කිරීමට උන්වහන්සේ සතුව කෙතරම් නම් උත්තරීතර වූ බුද්ධියක් තියෙන්නට ඇතිද? මෙවන් උතුම් ශාස්තෘවරයෙක් ලබන්න සියලුම බෞද්ධයෝ ලොකු කුසලයක් කරලා තියෙනවා.🙏

    ReplyDelete
  13. කරුණාකර, පෘතුවියට සාපේක්ෂව සතරමහා දිවයිනේ සහ මහමෙරේ පිහිටීම පිළිබඳව පහදා දෙන්න.

    ReplyDelete
  14. විශුද්ධි මාර්ගයේ සඳහන් විස්තරය බැලුවද හි ඒවායෙහි ස්ථානගතවීම තාම ප්‍රශ්නයක්.


    දෙව් ලොව වඩින සෘද්ධිමතුන්ට මහමෙරට සතර පැත්තෙන් නුෂ්‍යලෝක සතර දිස්වන බවත්, එය හරියට නෙලුම් පොහොට්ටුවක හතර පැත්තට විහිදුණු පෙත් හතරක් වගේ පේන බවත් පොතකින් හමු වුණා මතකයි. නමුත් ඒ මූලාශ්‍රය දැන් අමතකයි. හැකි නම් මේ පිළිබඳව මූලාශ්‍රගත තොරතුරක් ලබා දෙන්න.

    ReplyDelete
  15. ඉතාමත් පැහැදිලිව සක්වළ ගැන බුද්ධ දේශනාව මෙහි විස්තර කර තිබෙනවා.බුදු නුවණ ගැන සැක සංකා නැති අය මෙය ඉමහත් ශ්‍රද්ධාවෙන් යුතුව පිලිගන්නවා.බුද්ධිය මුහුකුරා නොගිය පිරිස නවීන විද්‍යාවෙන් බුදු දහම සොයනවා.

    ReplyDelete